Powered by Blogger.


ජනශ්‍රැතිය යන්න ඉංග්‍රීසි භාෂාවේ ,"Folk Lore", යන්නට පර්යාය සිංහල වචනයකි. පරම්පරාගතව ව්‍යාප්ත වූ සාම්ප්‍රදායික ඥනය මේ යටතට අයත් වේ. ජනශ්‍රැතියේ ප්‍රධානතම අංගය වන ජන කවිය ජන විඥනය ප්‍රකට කරන කැඩපතකි.

සිංහල ජන කවිය තුළින් සිංහල සංස්‌කෘතියේ විවිධ අංග නිරූපණය වෙයි. විවාහය, කුල ක්‍රමය, දිවුරුම් ක්‍රම, විවිධ වෘත්තීන්, ජන ක්‍රීඩා, මානව සම්බන්ධතා ආදිය ඉන් කිහිපයකි.

ගැමි ජන ජීවිතයේ සංක්‍රාන්ති අවස්‌ථාවක්‌ ලෙස විවාහය සැලකේ. සිංහලයන් අතර විවාහ වීමේ ක්‍රම හතරක්‌ දක්‌නට ලැබේ. එය සිංහල සංස්‌කෘතියේ අනන්‍යතාව ප්‍රකට කරන විශේෂ අවස්‌ථාවකි. එම විවාහ ක්‍රම නම්,

1. දීග විවාහය

2. බින්න විවාහය

3. ඇවැස්‌ස විවාහය

4. එකගෙයි කෑම

ආවාහ විවාහ කටයුතුවලදී චාරිත්‍ර විධි විශාල ප්‍රමාණයක්‌ ඉටුකිරීම දැකිය හැකියි. එම චාරිත්‍ර පොදුවේ පහත පරිදි පෙළගැස්‌විය හැකි වේ.

අහබැලීම, කුල චාරිත්‍ර පරීක්‍ෂාව, පොරොන්දම් බැලීම, නෑයන්ට ආරාධනා කිරීම, මඟුල් මඩුවට කණු සෑදීම, තෙල් තාච්චි ලිප තැබීම, පෝරුව සෑදීම, මනාලයා පිටත්වීම, මනාලියගේ නිවසට පැමිණීම, පෝරුවට නැංවීම, පොරුවේ චාරිත්‍ර, පෝරුවෙන් බැස්‌සවීම, මනාල යුවල පිටත්වීම, පෝරුව ගැලවීම ආදියයි.

සිංහල විවාහ අතර එක්‌ විවාහ ක්‍රමයක්‌ වන බින්න විවාහ ක්‍රමය පිළිබඳ රසවත් තොරතුරු අනාවරණය වේ. සාමාන්‍යයෙන් බින්න විවාහය යනු පිරිමියා කාන්තාවගේ නිවසේ පදිංචියට යැමයි. සාමාන්‍යයෙන් පිරිමියාගේ පෞරුෂයට හානිකර තත්ත්වයක්‌ ලෙස ගැමියෝ මෙය සලකති.

බින්න විවාහයට පත්වන තැනැත්තාව බිරිඳගේ ආධිපත්‍යයට යටත්ව ජීවත් වීමට සිදුවෙයි. කිසියම් මොහොතක නිවසින් එළවා දැමීමට ඉඩ ඇති නිසා කවර අවස්‌ථාවක හෝ එසේ වුවහොත් බැහැරට යැමට අවශ්‍ය උපකරණ ළඟ තබා ගත යුතු යෑයි කියවේ. එමගින් මෙබඳු විවාහයන් පිරිමියාව හාස්‍යයට හා උපහාසයට ලක්‌කිරීමට පෙළඹී ඇත.

බින්න විවාහයේ ස්‌වරූපය ජන කවියෙන් නිරූපණය වන්නේ මෙසේය.

තක්‌ක තරිකොට බින්න දොං දොං

පැලේ යට හැරමිටිය දොං දොං

බොලේ කෝ තල අත්න දොං දොං

මලේ දිය හුළු අත්ත දොං දොං



අප්පගේ පෙරත්තෙ බැරුව නිසාව ට

බින්න මඟුලකට බා දී මෙමා හට

අප්පා ලෙසට උනි අඹුවත් එදා සිට

උපන් ගමට යැමට දැන් සිතෙයි මට



අලුත් පිටම බෑණා ගෙදර එන විට

මලුත් පුදා දුව කැඳවා දෙති ළඟට

කලුත් ගොසින් බෑණා පරණ වෙන කොට

බලුත් නොවටීය බෑණා නැන්දාට


ජන සංස්‌කෘතියේ ප්‍රකට විවාහ ක්‍රමයක්‌ වූයේ ඇවැස්‌ස විවාහයයි. එය ජන සංස්‌කෘතිය තුළ අනුමත කළ අයුරු එක්‌ ජන කවියකින් හෙළි වන්නේ මෙසේය.


වැහිදිය අයිති ගං හෝ සමුදුරටයි

මල් පැණි අයිති වට ගුමු දෙන බඹරාටයි

මීරා අයිති කිතුලේ කළ වැද්දාටයි

නෑණා අයිති කාටද මස්‌සිනාටයි

මස්‌සිනා හා නෑණා අතර සම්බන්ධතාව පිළිබඳව කියවෙන රසවත් කවි කිහිපයක්‌ දැක්‌වීමට පුළුවන.


මහවැලි ගඟේ දිය උඩහට ගලා දො

අමාවකට හඳ පායා තිබේදො

ලෝකයේ වෛරය මහ වැස්‌සට වැසේදො

නෑණේ නුඹව මට අත් වී නොයාදො



රන්මල සේම මම ලස්‌සන නැතුවාට

නාමල සේම සුදු රුපියල් නැතුවාට

පෙති ගෝමර අළු ගෝමර නැතුවාට

ඔහොම කතා නොකරන් මස්‌සිනේ මට



සාගතේ මොටද මිනිහෙක්‌ සතෙක්‌ නැති

මාවතේ මොටද ගමනට ඉඩක්‌ නැති

රාමතේ මොටද මග පෙරලුමක්‌ නැති

ජීවිතේ මොටද නෑණා කෙනෙක්‌ නැති


සිංහල ගැමි සංස්‌කෘතිය විසින් ඇවැස්‌ස විවාහය අනුමත කෙරෙන හෙයින් බාප්පා මහප්පා හෝ පුංචි අම්මා ලොකු අම්මා සමග පවතින සම්බන්ධයට වඩා ලිහිල් සම්බන්ධයක්‌ මාමා සහ නැන්දා හා සමග පවත්වා ගැනීමට තරුණයන්ට අවකාශ ලැබේ. එම සම්බන්ධතාව හෙළි කරන ජන කවිද අප අතර තිබේ. බොහෝ විට මාමා හා බෑණා අතර සිදුවූ හාස්‍යජනක සංවාද ජන කවිවලට වස්‌තු වී ඇත. එහෙත් නවීන වෛද්‍ය විද්‍යාව විසින් ඇවැස්‌ස විවාහ ප්‍රතික්‌ෂේප කෙරේ.

සුදුසු වයසේදී විවාහයක්‌ සිදුකර ගැනීමට නොහැකි වීම සමාජ ප්‍රශ්නයක්‌ වූ බව බොහෝ ජන කවිවලින් කියවේ.

අරළු ගසේ ගෙඩි මිස කොළ ගණන් නැති

නැන්දේ මසිත දුක කියතොත් නිමක්‌ නැති

මටත් බාල කොල්ලන් දැන් හිර ගෙනෙති

මට විතරක්‌ හිරයක්‌ දෙන කෙනෙක්‌ නැති


බෝවල මැණිකෙගේ වැඩිමල් දොණිව ලබන මාසේ දීගෙක දෙති

ඒ මදිවට තව බාල කෙළීටත් ගුරුදෙණියෙන් කටයුතු අසති

මගේ එකීටත් ලොකු වූ තැන් සිට මඟුල් ඇසුවත් තවත් නැති

කොපමණ මේ රට පිරිමින් හිටියත් මගේ එකී ගන්න එන කෙනෙක්‌ නැති


විවාහ දිවියට පත් වූ අඹු සැමියන් කිසි ලෙසකින් දීගය කඩා බිඳ දමා දික්‌කසාද වීම ගැමි සමාජය අනුමත නොකරයි. මැරෙන තුරාවට එකට විසීම ඔවුන්ගේ ඒකායන අරමුණයි. මෙය ජන කවියේ ඇතුළත් වන්නේ මෙලෙසිනි.


දීගේ ඇවිත් පිරිමින් හට උරණ එපා

ඒගේ තියෙන දේ වට පිට දෙන්න එපා

වේගේ වෙලා තම හිමියට බැනුම් එපා

දීගේ හැරී කණවැන්දුම් වෙන්න එපා


විවාහයේ එක්‌ පරමාර්ථයක්‌ වනුයේ ප්‍රජාව බිහි කිරීමයි. දරුඵල ලැබීම ගැහැනියකගේ පරම අපේක්‍ෂාවයි. විවාහ ජීවිතයට එළඹීමට නොහැකි වූ දරුඵල නොමැති ස්‌ත්‍රිය අවාසනාවන්ත තැනැත්තියක ලෙස ගැමි සමාජය තුළ සැලකිණි.

අහල පහල සැම අඟනන් දීග යතේ

නරක කලට මම ගෙදරට නාකි වෙතේ

මගේ මිනිහා තව මෙලොවට ඇවිත් නැතේ

දරු සුරතල් මට නම් කිසිදාක නැතේ


පල ඇති රුකේ වවුලොත් එල්ලෙති පේනු

රුව ඇත්නම් අපටත් බස්‌ දෙති ගෑනූ

ඇසින් කඳුළු බිඳු එයි නොහැකිව වානු

ඉතින් මොටද මේ වයසට නැති ගෑනු


සිංහලයාගේ විවාහ ජීවිතය පිළිබඳ රසවත් තොරතුරු ද ජන කවියේ නිරූපිතය.

අප්පගේ අඹුවට මාව එපා වී කළුවර රෑකම පිට කෙරුවයි

පහුදා කැලයේ ලී දඬු ගෙනවිත් ගෙයක්‌ තනන්නට මුල පිරුවයි

විසිවිය ලැබිලත් අඹුවක්‌ නැති කොට ගෙයක්‌ කුමටදැයි මට සිතුනයි

කළු මාමාගේ දුව ගන්නට ලැබුනොත් අඹුවත් ගෙදරත් එක තැනමයි

ලාංකේය ජන ජීවිතයේ සුවිශේෂී අවස්‌ථාවක්‌ මෙන්ම වැදගත් අවස්‌ථාවක්‌ වූ ආවාහ විවාහ පිළිබඳ රසවත් තොරතුරු ජන කවියේ ගැබ්ව ඇති අයුරු මෙලෙසින් විද්‍යමාන වේ.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය