Powered by Blogger.

වැඩසටහන් නිවේදකයෙක් හැටියට ජනප්‍රිය මුදිත විජේසුන්දර වඩාත් කතාබහට ලක් වුණේ ලොව වටා සුන්දර තැන්හි නොදුටු තැන් ප්‍රේක්ෂකයින්ට රැගෙන ආ දුටු නුදුටු වැඩසටහන ඔස්සේයි.
මීට වසර කිහිපයකට පෙර ස්වර්ණවාහිනියෙන් එම වැඩසටහන ඉවත් වුවත් අදටත් මුදිත ඒ නමින් කවුරුත් හඳුනනවා. ඔහුගේ තොරතුරු මෙවර රිවිසරසියෙන් මෙසේ සටහන් කරමු.
මුදිතගේ රූපය සිනමාවට එකතු කරගත්තා කියලා ආරංචියි. ඇත්තද මුදිත?
ජයන්ත චන්ද්‍රසිරියන් අධ්‍යක්ෂණය කරන දුටුගැමුණු චිත්‍රපටයේ තිස්ස ඇමැතිතුමාගේ චරිතය රඟපාන්න අවස්ථාවක් ලැබුණා. ඒක ඇත්තටම අහම්බෙන් ලැබුණු අවස්ථාවක්. ඒ අවස්ථාව අහම්බයක් වුණාට අවුරුදු දොළහක පමණ කාලයක ඉඳලා රඟපාන්න ආසාවෙන් හිටියේ. ඒ ආසාව මේ චරිතය හරහා ඉටු වුණා කියන්න පුළුවන්.

මයික්‍රෆෝනය පැත්තකට දාලා දිගටම නළුවාගේ භූමිකාව රඟපාන්නද කල්පනා කරන්නේ?
නිවේදනය හා රඟපෑම කියන්නේ කාර්යයන් දෙකක්. නිවේදනය වගේම රඟපෑම ගැනත් අධ්‍යයනයක් තියෙන්න ඕන. විනෝදාංශයට රඟපාන්න බැහැ. එහෙම වුණොත් අධ්‍යක්ෂවරයාටත් නිර්මාණයටත් කරන අසාධාරණයක් වෙනවා. බැරි දේවල් කරන්න ගිහින් මම ඉන්න තත්ත්වයෙන් පහළට වැටෙන්න මම කැමැති නැහැ. ඒ නිසා ඉදිරියට රඟපානවා නම් ඒ ගැන අධ්‍යයනයක් ලබා ගන්නවා. මම වෘත්තිය නිවේදකයෙක් නිසා ඉදිරියේදීත් රඟපානවා කියලා ස්ථිරවම කියන්න බැහැ. මුල්තැන දෙන්නේ නිවේදනයට තමයි.

නිවේදනයෙන් මුදිතව වැඩිය දක්නට ලැබෙන්නේ නැහැ. ඒ ඇයි?
පුදුම හත හා මහජන සේවය පිණිසයි කියන වැඩසටහන් දෙක කරනවා. ඊට අමතරව පුදුම හත, කෝෆි විත් ලකී, හද රැඳි පැය, එළිමහන් ප්‍රසංග තුන නිෂ්පාදන කටයුතු කරනවා, වැඩසටහන් දෙක තුනකින් එකවර දකින් නැති නිසා මාව නිතරම රූපවාහිනි තිරයෙන් දකින්න ලැබෙන්නේ නැහැ.

ඒ කියන්නේ මුදිතට ලැබුණු ජනප්‍රියත්වය දැන් අඩුයි ?
දුටු නුදුටු වැඩසටහන කරන කා‍ලේ මම හුඟක් ජනප්‍රියයි. ඒ දවස්වල ප්‍රතිචාර හුඟක් ලැබුණා. ඒ වැඩසටහන නිසා වයස් භේදයකින් තොරව රසිකයන් මට ආදරය කළා. රූපවාහිනියෙන් දකින වාර ගණන අඩු වෙන කොට ජනප්‍රියත්වයත් අඩු වෙනවා. මාව දැන් වැඩිය දකින්න නැති නිසා ඇත්තටම ජනප්‍රියත්වය අඩු වෙලා. ඒ නමුත් හඳුනාගෙන කතාබහ කරන අය ඉන්නවා.

මුදිත දුටු නුදුටු වැඩසටහනත් එක්ක රටවල් කීයක සංචාරය කරලා තියෙනවද?
ඇමෙරිකාව, එංගලන්තය, සිංගප්පූරුව, ඉන්දියාව ඇතුළු රටවල් එකොළහකට ගියා. මාව ජනප්‍රිය කළ පළමු වැඩසටහන තමයි ඒ. ඒ වැඩසටහන මගින් දකින්න ලැබෙන්නේ නැති හුඟක් තැන් ප්‍රේක්ෂකයින්ට බලන්න සැලැස්සුවා. ඒ වැඩසටහන පටන් ගත්තේ 2005දී. ඒ කා‍ලේ ඒ වගේ වැඩසටහන්වල අඩුවක් හිස් තැනක් තිබුණා. ඒ නිසා රූපවාහිනී වැඩසටහන් අතරට එකතු වුණු දුටු නුදුටු වැඩසටහන මිනිස්සු ආදරය කළා. ඒ වැඩසටහනට 2007 වර්ෂයේ සුමති සම්මාන උළෙ‍ලේ හොඳම වැඩසටහන විදියට සම්මානයකුත් ලැබුණා. 2009 වර්ෂයේ ඒ වැඩසටහන නතර කළත් මාව අමතන අය කතා කරන්නේ දුටු නුදුටු කරපු මුදිත කියලයි.

පසුගිය කා‍ලේ දේශපාලනය සම්බන්ධයෙන් වැඩ කළා කියලා ආරංචියි. ඉදිරි කාලයේදී දේශපාලනයට සම්බන්ධ වෙන්න අදහසක් තියෙනවද?
මම දේශපාලන විද්‍යාව සම්බන්ධයෙන් වැඩිදුර ඉගෙන ගත්තා. ඒ විෂය විෂයක් හැටියට ඉගෙන ගත්තේ ක්‍රියාකාරී දේශපාලනයට එකතු වෙන්න හිතාගෙන ‍නෙවෙයි. අපිට අනන්‍ය වූ දේශපාලනයක් තියෙනවා. ‍පෝස්ටර් අලවන තැන ඉඳලා රටක් පාලනය කරන තැන දක්වා ඒ යන්ත්‍රයට ඇතුළත්. එහෙම කියන්නේ මම ඡන්දයට ඉල්ලනවා කියන එක ‍නෙවෙයි. මම ඒ විෂය ඉගෙන ගන්නේ මගේ වෘත්තීය නිවේදන ජීවිතයටත් වැදගත් නිසයි.

වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් නොවී ප්‍රවෘත්ති නිවේදකයෙක් වුණා නම් කියලා හිතෙන්නේ නැද්ද?
මම ඉගෙන ගත්තේ මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන්. උසස් පෙළ විභාගයෙන් පස්සේ ජන සන්නිවේදනය පිළිබඳව වැඩිදුර අධ්‍යාපනය ලැබුවා. ඒ අතරතුර තමයි 2002 අවුරුද්දේ ස්වර්ණවාහිනියට එකතු වුණේ. මම ස්වර්ණවාහිනියට මුලින්ම සම්බන්ධ වුණේ ප්‍රවෘත්ති නිවේදකයෙක් වෙන්න හිතාගෙන. ඒත් මගේ හඬවත් ස්වරූපයවත් ප්‍රවෘත්ති නිවේදනයට ගැළපුණේ නැහැ. ඒ නිසා මට වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් හැටියට වැඩ කරන්න අවස්ථාව ලැබුණා. ඒ දවස්වල ප්‍රවෘත්ති අංශයේ හිටියේ ප්‍රවාත්ති නිවේදනයට හොඳ පෞරුෂයක් තියෙන අයයි.  ඒ නිසා ඒ අවස්ථාව මගෙන් මග හැරුණා.

නිවේදන වෘත්තිය තුළ ඔබේ හැකියාව ප්‍රයෝජනයට ගෙන නැහැ කිව්වොත්?
මම මගේ වෘත්තිය ගැන තෘප්තිමත්. ඒත් මම කරන දේ ගැන තෘප්තිමත් වෙන්නෙ නැහැ. පුංචි කා‍ලේ ඉඳලා හිතුවා ප්‍රසිද්ධ සමාජයට එකතු වෙනවා කියලා. ඒ හීනය මේ හරහා සැබෑ කරගත්තා. ඒත් මගේ දක්ෂතාවය නිසි තැන තියන්න මට තවම හැකියාවක් ලැබිලා නැහැ. මිනිසුන් ජීවිතයේ වැරදි තීරණ ගන්නවා. මම මගේ ජීවිතයේ ගත්ත වැරදි තීරණයක් ගත්තේ කිව්වොත් මම හරි. ඇත්තටම කිව්වොත් නිවේදන වෘත්තිය තුළ මට මීට වඩා වෙනස් දෙයක් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඒ වෙනස කරන්න මට අවස්ථාව ලැබුණොත් ඒ අභියෝගය භාර ගන්න මම සූදානම්.

නිවේදනය වෘත්තියක් විදිහට තෝරා ගන්නවාට ඔබේ දෙමාපියන් කැමැති වුණාද? ඒ ගැනත් මතක් කරමු?
මගේ අම්මා බණ්ඩාර මැණිකේ විජේසුන්දර. මීට අවුරුදු අටකට කලින් මියගියා. මූල්‍ය ආයතනයක වැඩ කළේ. තාත්තා නවරත්න විජේසුන්දර. විශ්‍රාම සුවයෙන් ඉන්නවා. අයියා නන්දික. නංගි සුරංගිකා. දෙන්නම විවාහකයි. අම්මායි තාත්තයි කැමැති වුණේ නැහැ. මම මේ වෘත්තිය තෝරා ගන්නවට. මගෙ තනි තීරණයට මේ වෘත්තිය තෝරා ගත්තේ. ඒ අය කැමැති වුණා මම මූල්‍ය ආයතනයක රැකියාවක් කරනවාට.
හර්ෂණී වීරරත්න
ඡායාරූප - මධුසංඛ සිරිවර්ධන
http://www.rivira.lk/edition/images/2014/04/27/muditha%20wijesundara%20(2).jpg

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය