Powered by Blogger.

රංගන ශිල්පී ටෙනිසන් කුරේ
අප්‍රේල් මාසය අපි හැමෝටම ප්‍රිතිදායක මාසයක්නේ. අලුත් අවුරුද්ද සමඟින් ලැබෙන නිවාඩුවේදී පවුලේ හැමෝම සමඟින් විනෝද ගමනක යෙදෙන්න සූදානම් වෙලා ඉන්නවා. මේ විනෝද ගමනේදී අපි රටෙන් භාගයක විතර ඇවිදින්න බලාපොරොත්තු වෙනවා.
මගේ උපන් දිනයත් මේ අතරතුරේදීම දිනයක යෙදිලා තියෙන නිසා මේ ගමන තුළ එයත් සමරන්න හිතාගෙන ඉන්නවා.
ඊට අමතරව මිචෙල් ෆොන්සේකාගේ සුපිරි අන්දරේ චිත්‍රපටය දැන් තිරගත වෙනවානේ. එහි මගේ ද්විත්ව චරිතවලටත් හොද ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම නාලක විතානගේ ගේ අලුත්ම චිත්‍රපටයේත් වැඩ කටයුතු සඳහා දායක වෙන්න නියමිතයි.




වැලිකඩ බන්ධනාගාරයේ

ගායන ශිල්පී ජානක වික්‍රමසිංහ
සිංහල අලුත් අවුරුදු සමයේ ප්‍රසංග කිහිපයක්ම යෙදිලා තියෙනවා. දශක ගණනාවකට පසු මිනිසුන්ට නිදහස ලැබිලා තියෙන නිසා දැන් ජනතාව ප්‍රසංග වේදිකාව වටා රොක්වෙලා සිටිනවා. කලාකරුවෙක් විදියට ඒ ගැන තියෙන්නේ ලොකු සතුටක්. ඒ වගේම මේ සතියේ මගේ උපන් දිනයත් යෙදිලා තියෙනවානේ. ඒ දවස මම වැලිකඩ බන්ධනාගාරයේ ගත කරන්න සූදානම් වෙලා ඉන්නේ. එදිනට එහි සංවිධානය වෙන ප්‍රසංගයක් සඳහා සහභාගි වෙන්න තියෙනවා. ඊට අමතරව පුණ්‍ය කටයුතු කිහිපයක්ම යොදා ගෙන තියෙනවා.
ඒ වගේම මේ වසරේදී අලුත් ගීත කිහිපයක්ම එළි දක්වන්නත් බලාපොරොත්තු වෙනවා. අරිසෙන් අහුබුදු සූරීන් වසර ගණනාවකට පෙර රචනා කළ ගීතයක් සහ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා රචනා කළ ගීතයකුත් ඇතුළත් වෙනවා. ගත වූ කාලය පුරාවට කලාකරුවෙක් විදියට දැනුන දෙයක් තමයි ජාතික අභිමානය, බුදු දහම ගැන කියෙවෙන ගීත බිහිවීමේ අඩුව.
ඉදිරි කාලය ඒ අඩුව පුරවාලන්න ගීත එළි දක්වන්නත් විශාල බලාපොරොත්තුවක් තියෙනවා. මේ දවස්වල වෙහෙසෙන්නේ ඒ කටයුතු වෙනුවෙන්. ඒ වගේම මෙතරම් ජනප්‍රියත්වයක් ලබා දුන් රසික ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලත් මම ප්‍රාර්ථනා කරනවා.

හඳගම එක්ක ලොකේෂන් බලනවා

කැමරා අධ්‍යක්ෂ චන්න දේශප්‍රිය
අශෝක හඳගමගේ කරන්නට යන අලුත්ම චිත්‍රපටයට මට ආරාධනා ලැබුණා. ඒ චිත්‍රපටයේ වැඩ කටයුතු ළඟදීම ආරම්භ වන නිසා මේ දවස්වල මම ඉන්නේ චිත්‍රපටයට සූදානම් වෙමින්.
ඒ සඳහා ලොකේෂන් බලන්නට යන්නත් තියෙනවා. ඒ අතර විදේශ ගතවීමට පුංචි අදහසකුත් මා සතුයි.






අවුරුදු උත්සවයක

රංගන ශිල්පිනී තෙසාරා ජයවර්ධන
ගෙවුණු අවුරුදු කාලය මා ගත කළේ හිරු රූපවාහිනියේ අවුරුදු උළෙලත් සමඟයි. ඒ නිසා අවුරුද්දට මම ගොඩක් කාර්යබහුල වුණා. මේ දවස්වල නම් මම ගෙදරට වෙලා මගේ ඉදිරි අධ්‍යාපන කටයුතුවලට සූදානම් වෙනවා. ඒ අතර ‘ස්නේහා’, ‘සකිසඳ සුවාරිස්’ ටෙලි නාට්‍යවල රඟපානවා.
‘ස්නේහා’ ටෙලි නාට්‍යයේ මම කරන චරිතයට වගේම ‘සැමීගේ කතාව’ චිත්‍රපටයටත් මට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ ගැන සතුටුයි.
 





සංගීත සංදර්ශන සමඟ

රංගන ශිල්පිනී මුතු තරංගා
මම මේ දවස්වල වැඩිපුරම කරන්නේ සංගීත ප්‍රදර්ශනවලට සහභාගි වෙන එකයි. රඟපෑම් කටයුතු අවසාන නිසා ප්‍රසංග කටයුතුත් සමඟ දවස ගත වෙනවා නොදැනෙන තරම්.
ඒ වගේම මම රඟපෑ ‘මැද ගෙදර’, ‘සුන්දර චන්දරේ’ ටෙලි නාට්‍ය මගේ රසිකයන් අතරට යන නිසා ලැබෙන ප්‍රතිචාරවලත් නිමක් නැහැ.
ඉදිරියේදී මම රඟපෑ ටෙලි නාට්‍ය දහයක් විතර විකාශයවීමටත් නියමිතයි.








මට තාම හිතා ගන්න බෑ

නිවේදිකා දිනූෂා රාජපතිරණ
මගේ උපන් දිනය යෙදෙන මේ සතිය මට බොහොම සුවිශේෂයි. සෑම උපන් දිනයකටම මම උදෙන්ම පන්සල් යන්න අමතක කරන්නේ නැහැ. ඒ වගේම පවුලේ හැමෝගෙම උපන් දිනවලදී මම ඔවුන්ව පුදුම කරවන නිසා මගේ උපන් දිනය සැලසුම් කරන්නේ පවුලේ උදවියයි.
ඒ නිසා ඒ අය මගේ මේ උපන් දිනයට මොනවා කරාවිද කියලා මට තවම හිතා ගන්නවත් බැහැ. අලුත් අවුරුද්ද ගෙවී ගියත් ස්වර්ණවාහිනියට නම් තවමත් අවුරුදු ඉවර නෑ. මම මේ තවමත් ඉන්නේ අවුරුදු උත්සවවලට සහභාගි වෙන ගමන්. ඒත් එක්කම ළඟදීම එන වෙසක් උත්සවයටත් සූදානම් වෙන්න ඕනෑ.
හත්දින්නත් තරු, සිත නිවන මඟ වැඩසටහන් සතිපතා විකාශය වෙන නිසා මම ටිකක් කාර්යබහුලයි. ළඟදීම මගේ රංගනය රැගත් ‘එඩ්ඩ්‍රස් නෑ’ චිත්‍රපටය තිරගතවීමටත් නියමිතයි.
 



රට පුරාම

ගායන ශිල්පී චාමර වීරසිංහ
සිංහල අලුත් අවුරුදු සතිය මට ගොඩක් ප්‍රීතිමත් සතියක්. අවුරුදු දවසට පවුලේ හැමෝම එක්ක විවෙකීව ගත කරන්න ලැබීම ගොඩක් සතුටුයි.
අප්‍රේල් මාසය පුරාවටම සංගීත සංදර්ශන සඳහා ආරාධනා ලැබිලා තියෙනවා. ඒ නිසා නම් ගොඩක් කාර්යබහුල ජීවිතයක් මේ දවස්වල ගත කරන්නේ.
 




හාස්‍ය නාට්‍යයක

රංගන ශිල්පිනී තුෂාරි වේහැල්ල
මම නම් මේ සතිය අවුරුදු නිවාඩුව සමඟින් බොහොම සතුටින් ගත කරනවා. ඒ වගේම මගේ උපන් දිනයත් මේ සතියට යෙදිලා තියෙනවානේ. ඒ ගැනත් ලොකු සතුටක් හිතේ තිබුණත් ලොකුවට සමරන්න නම් බලාපොරොත්තුවක් නැහැ.
කලා ජීවිතයේත් දැනට වැඩ කටයුතු කිහිපයක්ම යොදාගෙන තියෙනවා. හාස්‍යමය වේදිකා නාට්‍යයකට දායක වෙලා ඉන්නවා. මේ දවස්වල එහි රිහසල්වලටත් දායක වෙනවා.
ඊට අමතරව ටෙලි ඩ්‍රාමා කිහිපයකම ෂූටින්වලට දායක වෙන්නත් තියෙනවා. තව මම රංගනයෙන් දායක වූ චිත්‍රපට දෙකකුත් ඉදිරියේදී තිරගත වෙන්න නියමිතයි.
 



ටෙලි එනතුරු

ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ගිහාන් රෝහණ
‘සමනල පිහාටු’, ‘මං අවුලඤං’, ‘දිල් නේත්‍රා’ කියන මගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු ටෙලි නාට්‍ය කිහිපයේම වැඩ කටයුතු අවසානයි.
ඒ සියල්ල රූපවාහිනි චැනල්වලට ඉදිරිපත් කළා. තවම තේරුණාද නැද්ද කියලා දන්නේ නැහැ. ඒ වගේම ළඟදීම ‘මුතු කැට සිහිනය’ කියන ටෙලි නාට්‍ය ස්වාධීන රූපවාහිනියේ විකාශය වේවි. ඒ සියල්ල විකාශය වනතුරු මම විවේකයෙන් බලාගෙන ඉන්නවා.






එළවළු රොටි බදින සුවඳ උරලා වතුර බීලා නිදා ගන්නවා

මම වැහැරෙනවා අප්පච්චිට බලන් ඉන්න බැරිවුණා
මොනවා නැති වුණත් මම ඇත්ත කතා කරන්න බය නෑ
ඩී. එස්. එකට පත්වීම හදලා දුන්න මනුස්සකම මම හැමදාමත් සිහිකරනවා
“කරමන්තයක් දාලා, සද්දෙ ඇහෙන්ඩ වළලුත් දම්මලා හතර අවුරුද්දක් වයස මට සරමක් එහෙමත් හැඩට අන්දලා, අම්මලා අප්පච්චිලා මාව මහ ජනගඟක් පිරිච්ච තැනක උසම උස මහ වේදිකාවකින් තිබ්බා. ඒත් අප්පච්චි මාව ඔසවලා ඒ මහ වේදිකාවෙන් තියෙන වාරයක් වාරයක් ගාණෙම මං ආපිට හැරිලා වේදිකාවේ කෙළවරටම දුවගෙන එනවා. ඇවිත් පඩි පේළිවලින් බැහැගෙන බැහැගෙන බිමට ඇවිදින් අම්මව බදා ගන්නවා.
මං එහෙම කරන්න, කරන්න අප්පච්චි ආයෙ ආයෙමත් මාව ඔසවන් ගෙනිහින් තියන්නෙම ඒ වේදිකාවෙන්මයි. මගෙ අතට දීලා තිබුණෙ තාලම්පටක්. වේදිකාවෙදි මට කරන්න පැවරුණේ මඟුල් බෙර වාදකයකුගේ වටේ කැරකි කැරකී නටන්නයි. ඉතින් මං අම්මලෑ අප්පචිලෑ වදකිරිල්ල නිසාම මුලින් බෙර වාදකයකුගෙ වටේ තාලම්පට ගගහා එක රවුමක් කැරකිලා නටලා අම්මලා ළඟට එනවා. ඊළඟට ‘දැන් ඔන්න රවුම් දෙකක් එහෙම කරන්න ඕනැ හොඳද’ කියලා අප්පච්චි ආයෙත් මාව වේදිකාවට ඔසවලා තියනවා. ඔය විදියට මාවතගම මධ්‍ය විද්‍යාලෙ තිබිච්ච ඒ කලා උත්සවය හමාර වෙන තුරුම අප්පච්චි මාවත් නැටෙව්වා.
ජීවිතේ මට තියෙන ඈතම මතකය තමයි ඒ. ඒත් එයාලට එදා දැනෙන්නැති මං කලාවට යොමු වෙයි කියලා. මගෙ සබකෝලය නැතිකරන්න එයාලා ඒ මට දුන්න අවස්ථාව මගෙ ජීවිතේට ලොකු වටිනාකමක් ගෙනාවා.
මං මොන්ටිසෝරි ගියේ නෑ. ඒ වයස වෙද්දි අපි කුලියට හිටියේ කූරුණෑගල වෑ උඩ. ශරීෆ් කියලා මුදලාලි කෙනෙකුට තමයි ඒ ගේ අයිති. අපේ පවුලට දරුවන්ට ඉන්නෙත් මමයි අයියයි විරයි. අපි දෙන්නම හරියට කීකරුයි. ගෙදරින් පිටට යනවානම් අපි අම්මලා අප්පච්චිලට කියලම තමයි ගියේ. ඒත් දවසක් අපි දෙන්නත් එක්කලා අම්මලටත් නොකියම දිව්වේ යාළුවෙකුගේ ගෙදරට. කොහේ ගියත් කළුවර වැටෙන්න කලින් ගෙට ගොඩවන පුරුද්දක් අපිට තිබුණත් එදා අපි ගෙට ගොඩවැදුණේ කළුවරත් අරගෙන.
කවදාකවත් නැති විදියට අපි ගෙයින් පිටමං වුණාම අම්මට අප්පච්චිට දැනිලා තිබුණේ පුදුම වේදනාවක්. ඒත් එක්කම ඇතිවෙච්ච කේන්තියට අප්පච්චි අපි දෙන්නව අල්ලා ගත්තා. දෙන්නගෙම අත් බැන්දෙ පිටිපස්සට කරලා. මහ ලී කඳන්වලින් කරවපු දොරවල් දෙකක් ඒ ගෙදර තිබුණා. අපි දෙන්නව බැන්ඳෙ ඒ දොරවල් දෙකේ. පස්සෙ දෙන්නටම පස්ස රත්වෙන්න ලීයකින් දෙසාබෑවේ අපි යටිගිරියෙන් අඬ අඬා කෑ ගහද්දියි. දෙන්නම අඬ අඬා ඉඳිද්දි අපිව ලෙහුවෙ ඒ ගෙදර වැඩට හිටිය ප්‍රේමා අක්කා තමයි.
අද නම් මට ඒ දඬුවම මතක් වෙද්දි දැනෙන්නෙ සුන්දරකමක්. එදා අම්මලා කොච්චරනම් දුක්වෙන්නැතිද? එහෙම විතරක් නෙවෙයි, අපි හිටිය වෑ උඩ – යටිවිල්ල ගමේ පරිසරේ සුන්දරකම විඳගන්න මවුපියෝ ඉඩහැරියා. ඉස්කෝලෙ බාලාංශෙදි, ඉස්කෝලෙ ඇරුණු ගමන් අපි ගෙදර එන්නේ නෑ. කෙළින්ම දිව්වෙ ගමේ කන්දට. ඇති පදමට පලතුරු කඩාගෙන කන ගමන් සෙල්ලම් කර කර කන්ද පුරාම දුවපනින අපි ගෙදර යන්නේ හවසට. අපිව රොබෝවරු වගේ නොවෙන්ඩ සොබා දහමට බද්ධ වෙච්ච මිනිස්සු කරන්න වගේම ඕනෑම තැනකදී හරිදේට හරියි කියන්නත් වැරදි දේට වැරදියි කියන්නත් පුළුවන් විදියෙ කොන්දක් හැදුවේ මවුපියෝ තමයි.
කුරුණෑගල වෑ උඩින් අපි ගියේ ඊට නොදෙවෙනි තවත් ලස්සන ගමකට. ඒ තමයි මාතලේ මහවෙල. කඳුවළල්ලකින් වටවෙච්ච එකම වෙල්යායක් තමයි මහවෙල. අපිත් ගොවිතැන් කෙරුවා. පෑල දෙපෑල තරම් මහ ලොකුවට කළ ගොවිතැන් අස්වැද්දුනේ අප්පච්චිගෙයි අපෙයි දෑත්වල හයියෙන්. යල මහ දෙකන්නෙට ඉස්කෝලෙ ඇරිච්ච ගමන් අයියයි මායි දුවන්නේ හේනට නැත්නම් කුඹුරට. අදටත් මට මොනදේ නැතිවුණත් දෑතෙ හයිය තියෙන්නේ ඒ හුරුවෙන්. ඉතින් මොනම වරදානයක් නැති වුණත් ඇත්ත කතා කරන්න මං බය නෑ.
ඉස්කෝලෙ වයසෙම ඉඳිද්දි මං සංගීතය වැඩිදුර ඉගෙන ගන්න ආසා කෙරුවා. ගමේ සරසවි කලායතනේ එම්. ජී. සුගතදාස සූරීන් තමයි මට සංගීතය ඉගැන්නුවේ. මට කලාවට තිබිච්ච ආසාවයි, උනන්දුවයි හින්දම වයස අවුරුදු පහළොව වෙද්දි සංගීතය ඉගෙන ගන්න ගමන්ම ජාතික නැටුම් අවසාන විභාගයත් සමත් වෙලා හිටියා. සංගීතයෙන් භාත්ඛණ්ඩ සංගීත විද්‍යාලයේ විශාරද උපාධිය දක්වාම ගමන් කරන්න මට වැඩි කාලයක් ගත වුණේ නෑ. අපේ අම්මලාටත් මං ගැන හීනයක් තිබුණා. ඒ මාව දොස්තර කෙනෙක් කරවන්න. ඒත් අද සමහර අම්මලා වගේ එදා අම්මලා දරුවන්ට එහෙම බලපෑම් කළේ නම් නෑ. හපන්කම් පෙන්වන විවිධ පැතිවලින් ඉදිරියට යන්න දරුවන්ට දිරිදෙන එක තමයි කළේ.
වේදිකා නාට්‍යවලටත් මගෙ හිත ඇදුණේ ඉස්කෝලෙ ඉහළ පන්තිවල ඉඳිද්දි. ඒත් මට ලොකු නිදහසක් දුන්නු ගෙදරින්ම වේදිකා නාට්‍යවලට මං යන ගමනට නම් වැට බැඳුණා. සමහරදාට මං ඉස්කෝලෙත් නොගිහින් ගියේ කමල් බී. අලහකෝන් එහෙම පවත්වාගෙන ගිය මාතලේ ප්‍රොමිතියස් නාට්‍ය කණ්ඩායම ළඟට. ඒත් ගෙදරින් බැන්ඳ වැටකඩුලු උඩින් පැන පැන හොරෙන් හොරෙන් තමයි මට නාට්‍ය වේදිකාවට ගොඩවෙන්න වුණේ.
ඔය විදියට මුලින්ම මං ප්‍රොමිතියස් නාට්‍යයට ගියේ නාට්‍යයේ පෙළ මතක්කර දෙන්නා විදියට 1990 දී විතර. ඒත් නාට්‍යය පෙන්වන්න වුණේ ඊට අවුරුදු තුනකට විතර පස්සෙදියි. ඒ වෙද්දි පෙළ මතක්කර දෙන්නා විදියට නාට්‍යයට එකතු වෙච්ච මං ප්‍රධාන නළුවාත් වෙලා හිටියා. නාට්‍යය වේදිකාගත කරන දවසේ අපේ අප්පච්චිත් ඇවිත් හිටියා. ඒක දැකලා අප්පච්චිට ගොඩක්ම සතුටුයි. දොස්තර කෙනෙක් නෙවෙයි පුතාට කලාකරුවෙක් වෙන්නයි උරුම කියලා එදා අප්පච්චි හිතාගන්නැති. ඒ නාට්‍යයට මුළු සේසතම විතරක් නෙවෙයි ජීවිතයත් කැපකළ කලාකරුවන් අතර මංගල වන්සේකර ගේ නමත් මතක් නොකරම බැහැ.
ගෙදරින් වෙදිකාවට බැන්ද වැට කඩුලු ටික, ටික ලිහෙද්දි මට සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යවලට පණ දෙන්නත් පින පෑදුණා. ඒ කාලෙදි දවස් තුන හතර මං ගෙදර එන්නේ නෑ. ජංගම දුරකථනත් නොතිබ්බ මේ කාලෙදි කිසිම පණිවුඩයක් නොදීම දුර බැහැරට වෙලා නාට්‍ය රඟපෑව මාව අම්මලා අප්පච්චිලා විශ්වාස කෙරුවා. වැරදි වැඩවලට මං යොමු වෙන්නේ නැහැයි කියන හැඟීම එයාලා ළඟ තිබුණා.
මං කිංග්ස්වුඩ් විද්‍යාලෙ ඉගෙන ගනිද්දි අපේ ගුරුවරියක් වෙච්ච අමිතා රබ්බිඩිගල මැඩම් මාව ටෙලි නාට්‍ය පාඨමාලාවකට යැව්වේ නාලන් මෙන්ඩිස් ළඟට. ඒ වෙද්දි උසස් පෙළටත් කලා විෂය කරලා තමයි මං හිටියේ. දෙදහස් ගණනක් ඉල්ලුම්පත්‍රවලින් අන්තිමට තේරිච්ච පහළොස්දෙනා අතර මමත් හිටියා. ‘නෑදෑයෝ’ ටෙලි නාට්‍යයේදී මට ජගත් බෙනරගම ගෙ යාළුවෙක් විදියට නදීකගෙ පුංචි චරිතය ලැබුණෙ එතැනදියි.
සමහරදාට මාතලේ ඉඳන් මට ෂූටින්වලට එන්න වුණේ කොළඹට. කොළඹ ඇවිදින් පොඩි සීන් එකකට ඉඳලා ආයෙමත් මං මාතලේ යනවා. වේදිකා නාට්‍යවල වැඩ ඉවරවුනාමත් සමහරදාට මං එහෙම කොළඹින් පිටවුනේ රෑ එකොළහට විතර. එහෙම හුඟක් දවසට පාන්දර දෙක වෙද්දි මං නුවර. ඒත් නුවරින් මාතලේට බස් පටන් ගන්නේ හතරයි හතළිස් පහට. ඉතින් ඒ වෙනකල් මං මගේ ගමන් මල්ලෙම ගෙනියන බේඩ් ෂීට් එක එළාගෙන බෑග් එකත් ඔළුවට තියාගෙන නිදා ගත්තෙ නුවර ටවුමේ මහ ඔරලෝසු කණුව යට. හුඟක් දවසට නුවරට යද්දි අතේ මිටේ සල්ලිත් නෑ. ඒත් බඩගින්නෙ නිදා ගනිද්දි මට ඒ ළඟ නයිට් කඩේ එළවළු රොටි බදින සුවඳ එනවා. එහෙම වෙලාවට මං නැගිටලා ඒ පැත්ත බලනවා. නැහැයට දැනෙන සුවඳ විඳලා වතුර උගුරක් දෙකක් බීලා ආපිට අනෙක් පැත්ත හැරිලා නිදා ගන්නවා.
දිනපතාම මං මේ දින චර්යාවම ගතකළ කාලයක් තිබ්බා. සමහරදාට මාව සිංහ රෙජිමේන්තුව ළඟ රෝඩ් බ්ලොක් එක ළඟින් ගම පැත්තට යන වාහනයකට නග්ගවලා යවනා හමුදා නිලධාරිනුත් හිටියා. මේ අතරම තමයි මට රජයේ ගුරු පත්වීමක් ලැබුණේ. ඒත් මං නාට්‍ය වැඩවලට ගිහින් මාතලේ ගෙදරට එද්දිත් උදේ හත විතර වෙනවා. ඇවිදින් දනිපනියෙ ලක ලෑස්ති වෙලා ඉස්කෝලෙ යනවා. ඔය චක්කරේට අහුවෙච්ච නිසා අන්තිමට ඉතුරු වුණේ කෘශ වෙච්ච ශරීරයක් උරුම වෙච්ච සනත් විමලසිරි කෙනෙක්.
අප්පච්චිට මගෙ ඒ වැහැරීම බලා ඉන්නම බැරිතැන එයා ගිහින් හමුවුණේ අධ්‍යාපන ඇමතිව හිටිය රිචඩ් පතිරණ මහත්තයව. එතුමා පුළුවන් නම් පුළුවන් කියන බැරි නම් බෑ කියන කෙළින් වැඩ කළ කෙනෙක්. ඇමතිතුමා මා ගැන හොයා බලලා මගේ කලා වැඩවලටත්, ගුරු ජීවිතයටත් දක්වන සැලකිල්ලක් විදියට මට කොළඹ ඩී. එස්. විද්‍යාලෙට පත්වීම හදා දුන්නු මනුස්සකම මං හැමදාමත් සිහිකරනවා”

ඩී.ආර් කිව්වම අපි කිව්වේ ඩොක්ටර් කියලා

ටෝනි රණසිංහ
කලාකරුවන් සිත් ගත් දේ පවසන තැන පුදුම හතයි. කලා ලොවේ සැරිසරමින් අද පුදුම හතට තම සිත් ගත් චරිත ගැන කතා කරන්නට පැමිණියේ අපේ රටේ ජේ්‍යෂ්ඨතම රංගන ශිල්පියෙකු වන ටෝනි රණසිංහ.
ඔහු පුදුම හතේ සනිටුහන් කරන්නේ මෙරට කලා ක්ෂේත්‍රයේ ඔහුටත් වඩා ජේ්‍යෂ්ඨ වූ රංගන ශිල්පීන් ශිල්පිනියන් හත් දෙනෙකුගේ මතකයන් පිළිබඳවයි.
ලැඩී රණසිංහ
ලංකාවේ රඟපෑමේ ඉතිහාසය ගත්තොත් ලැඩී රණසිංහ එතරම් චිත්‍රපට ගණනාවක් සඳහා පෙනී නොසිටි නළුවෙකු වුනත් ප්‍රේම තරගය, දුප්පතාගේ දුක වැනි චිත්‍රපට වල අපූරු රංගනයන් සමගින් සිංහල සිනමාවේ සුවිශේෂ රංගන ශිල්පීන් අතරට එක් වෙනවා. දෙවියනි ඔබ කොහිද චිත්‍රපටයේ බිෂොප් චරිතයත් ඒ අතර විශේෂ වෙනවා. එහි ලැඩී සහ ගාමිණි ෆොන්සේකා රංගනයෙන් දායක වුණා. ගාමිණි දවසක් මට පණිවුඩයක් එවල තිබුණ මේ චිත්‍රපටයේ ඇක්ට් කරනවා බලන්න එන්න කියලා. මේ අවස්ථාවේදී වෙනත් චිත්‍රපටයක රූගත කිරීමකට දායක වෙමින් සිටියත් මම ඒ අවස්ථාව නරඹන්න ගියා. පුදුමාකර දක්ෂකමක් එහි එක් දසුනක තිබුණා. ඇත්තටම ඒ දසුනේ කඳුළු ගන්න තිබුණා. එදා ලැඩී එය අපූරු අන්දමින් නිරූපණය කළා. ඒ අවස්ථාව මට අද වගේ මතකයි.
ඒ වගේමයි හැම්ලට්ගේ චරිතය. හැම්ලට් විශේෂ වෙන්නේ චිත්‍රපටයක වගේ නොවෙයි නාට්‍යයක නාමාවලිය යන්නේ නැති නිසා අන්තිමට කියනවා සහභාගි වූවෝ කියලා. එහි නම් විශාල සංඛ්‍යාවක් වෙනුවට කියන්නේ ලැඩී රණසිංහ කියලා. හැම්ලට්ගේ චරිතය ඔපීලියස්ගේ චරිතය ක්ලොඩියාගේ චරිතය ආදි මේ හැම චරිතයක්ම කරලා තියෙන්නේ ලැඩී රණසිංහ. එය ඇත්තටම සුවිශේෂ දෙයක්. අද බොහෝ දෙනාගේ මතකයෙන් ඔහුගේ නම ගිලිහී ගොස් තියෙන බවයි පේන්නේ. මම අද ඔහු ගැන කතා කරන්න විශේෂ වුණෙත් ඒ හේතුවයි. මෙවැනි නළුවන් කලා ක්ෂේත්‍රයට පහළ වෙන්නේ කලාතුරකින්.
හතළිහ දශකයේදී වර්තමානයේ ගාමිණි හෝල් නැමැති ස්ථානය අසල නාට්‍ය ශාලාවක් තිබුණා. එහි හැම්ලට් නාට්‍යයේ ලැඩී රණසිංහ ඇක්ට් කරලා තිබුණා. මට ඒ නාට්‍ය බලන්න බැරි වුනත් ඒ නාට්‍යයේ ගැන ඉංගී‍්‍රසි බසින් ලියවුණු විවේචනයක් මට ලැබුණා. එහි අවසානයට ලියලා තිබුණේ මේ නාට්‍යයේ පරිවර්ථන දොස් මෙන්ම නිෂ්පාදන දෝෂ තිබුණත් හැම්ලට් කුමාරයා මෙන් රඟන ලැඩී රණසිංහගේ රඟපෑම එංගලන්තයේ ජෝන් ගියල්වුඩ් වැනි ශ්‍රේෂ්ඨ නළුවෙකුට සම කරන්න පුළුවන් කියලයි.
වසර හතලිහකටත් වඩා කාලයක සිට කලාව පිළිබඳව පොත පත පරිශිලනය කරන මට ඒ වගේ කීර්තියක් අසන්නට දකින්නට ලැබිලා නැහැ. මට ඔහුත් සමග රඟපාන්න අවස්ථාවක් නොලැබුණත් ලැඩී, ඩඩ්ලි වානගුරු සමඟ රංගනයෙන් දායක වුණ සැඟවුණ මැණික චිත්‍රපටයේ රූගත කිරීමක අතරතුර දී දවසක් මට ඔහු හමුවුණා. නළුවෙක් විදියට ඔබ සතුටු වෙන දෙයක් මං ලඟ තියෙනවා කියලා මම පහුවැනිදා අර ලිපිය ලැඩීගේ අතට දුන්නාම ඔහුගේ ඇස් දෙකට කඳුළු ආවා.
ඇත්තටම ලැඩී රණසිංහ කියන්නේ ශ්‍රේෂ්ඨ නළුවෙක්. මේ වගේ චරිතවලට අපේ මතකයෙන් ගිලිහි යාමට ඉඩ නොදිය යුතුයි. විශේෂයෙන් ලැඩී රණසිංහ ගැන නළුවෙක් විදියට කතා කරනකොට ඕනෑම කෙනෙකුට හිතෙන්නේ ඔහු පමණ ඉක්මවා රඟපාන බවයි. මටත් පෙරදී එවැනි වැරදි හැඟිලා තියෙනවා. වේදිකාවේ නළුවෙක් නිසා සිනමාවට පැමිණි විට එහෙම වෙනවා කියලා හිතුවත් නැවත නැවත බලන විට මට හැඟී ගියේ ඔහුගේ පෞරුෂයයි එයට බලපෑවේ කියලා.
ඩී. ආර් නානායක්කාර
හුඟක් අය ගැමි සංස්කෘතිය ගැන කතා කළත් සිනමාවේ ගැමි චරිතයට නියමාකාරයෙන් පණ දෙන්නට හැකි වුණේ කිහිප දෙනෙකුට පමණයි. ඒ අතරේ ඩී. ආර් නානායක්කාර කියන රංගන ශිල්පියා සුවිශේෂ ලෙස ම දකිනවා. අම්මා, සීදේවි චිත්‍රපටවල වගේම සුරංගනී චිත්‍රපටයේ කුදෙකුගේ චරිතය ගොඩක් ජනපි‍්‍රය වුණා. ඊට පසුව ප්‍රේක්ෂකයන් අතර ගොඩක්ම ජනප්‍රිය වුණේ කුරුළු බැද්ද සහ සිකුරු තරුව කියන චිත්‍රපට දෙකයි. සරු බිම කියන චිත්‍රපටය පුරාවටම ඔහු හිටියේ අමුඩයක් ඇඳගෙනයි. ඩී. ආර් ඒ ගැමි චරිතය කෙතරම් දක්ෂ අන්දමින් නිරූපණය කළත් ඔහුත් කොළොන්නාව ප්‍රදේශයේ නාගරිකව හැදී වැඩුණු අයෙක් බවත් අප අමතක නොකළ යුතු දෙයක්.
පරසතු මල් චිත්‍රපටයේ අමාරිස්ගේ චරිතයත් කාගේත් සිත් වලින් අමතක නොවන චරිතයක්. සුළු හෝ ප්‍රධාන හෝ වේවා ඕනෑම චරිතයක් ඔහු ඔහුටම විශේෂිත වූ ශෙලියකින් ඩී. ආර් රඟපෑවා. ඒ වගේමයි ප්‍රථම සරසවිය සිනමා සම්මාන උළෙලේ හොඳම නළුවා වෙන්නත් අවස්ථාව ලැබුනේ ඔහුටයි. තව ජනප්‍රිය නළුවා වුනෙත් ඔහුම යි. ඒක සිනමාවේ විශේෂිත සිද්ධියක්. ඔහු චිත්‍රපට නළුවෙක් විදියට නැති පෞරුෂයක් කවදාවත් ආරූඩකර ගත් පුද්ගලයෙක් නෙවෙයි. සරසවිය චිත්‍රපට උළෙලට පැමිණි හින්දි නිළියක වූ නූටාන් පවා ඔහුගේ රංගනය ඉහළින් අගය කළා මතකයි.
ඩී. ආර් ඕනම වෙලාවක බොහොම විහිළු තහළුවෙන් සිටින පුද්ගලයෙක්. ඉස්සර අපි චිත්‍රපටවල රඟපාන කොට ඔහුගෙ නමට විහිළු කරනවා මතකයි. ඩී. ආර් කියන්නේ ඩොක්ටර් නේ. ඒ නිසා අපි ඔහුට කියන්නේ ඩොක්ටර් නානායක්කාර කියලා. ඒ වුණත් එයා මොන වෙලාවකවත් වැරදිලාවත් කියන්නේ නැහැ මේ අකුරු දෙකේ කියවෙන නම් මොනවාද කියලා. දවසක් අපි රූගත කිරීමක් අතරේ කියපු දෙයකට කේනිති ගිහින් මේ බලනවා ඕනම වාහනයක් එළවන්න පුළුවන් ලයිසන් එකක් මට තියෙන්නේ කියලා ඔහුගේ ඩ්‍රයිවින් ලයිසන් එක පෙන්නුවා. ඔහුට අමතක වුණා ලයිසන් එකේ නම තියෙනවා කියලා. එතකොට තමයි මම ඔහුගේ සම්පූර්ණ නම දැක්කේ. දොන් රෙවුටර් නානායක්කාර.
මයිකල් සන්නස්ලියනගේ
මයිකල් සන්නස්ලියනගේ නම් රංගන ශිල්පියා අපේ වත්මන් පාඨකයන්ට සම්පූර්ණයෙන් අමතක වෙලා ඇතැයි හිතෙන චරිතයක්. අශෝකමාලා, එදා රෑ වැනි චිත්‍රපට කිහිපයක රංගනයෙන් දායක වුණු ඔහු එතරම් චිත්‍රපට ගණනාවකට දායක වුණේ නැහැ. ඒ කාලයේදී ඔහු නිතරම මා හමු වුණා. ඒ කාලයේ සිංහල සිනමාවේත් කඩවුණු පොරොන්දුවේ සිට අපේ නළු නිළියන් රඟපාන කොට දකුණු ඉන්දීය ශෙලිය අනිවාර්යයෙන්ම අපට ඉවසා දරා ගන්න සිදු වුණා. නමුත් අශෝකමාලා චිත්‍රපටයේ ද්‍රවිඩ ආභාෂය තිබුණත් ඒක අනෙක් ද්‍රවිඩ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් කළ නිර්මාණවලට වඩා හාත්පසින් වෙනස් එකක් වුණා කිව්වොත් නිවැරදියි. ඒකට හේතුව මම දැන ගත්තේ මයිකල් සන්නස්ලියනගේ කියලා.
මොකද ශාන්ති කුමාර් මහත්මයා මයිකල්ට කියලා තියෙනවා මම ඇක්ට් කරනකොට මට මාව ඩිරෙක්ට් කරන්න බැහැ. මම ඇක්ට් කරනකොට ෆ්‍රේම් එක ඔයාට දෙනවා. මම වැරැද්දක් කළොක් කට් කරන්න කියලා. මෙන්න මේ කරුණ එයට බලපෑවා කියන එකයි මගේ විශ්වාසය. ඊටත් වැඩිය මම අගය කරන්නේ එහි රඟපාන හැම දෙනාම ශාන්ති කුමාර් , මයිකල්, එමලින් දිඹුලාන වැනි අය පුදුමාකාර අන්දමින් පමණ ඉක්මවා රඟපාන්නේ නැතිව ඉතා අවම රඟපෑම ඉදිරිපත් කිරීමයි. ඒ යුගයේදි මෙම ස්වභාවික රඟපෑම ඉතාමත් අගය කළ යුතු ප්‍රශංසනීය අමතක නොකළ යුතු දෙයක්.
එමලින් දිඹුලාන
මම කවදාකවත් කණගාටු වෙන්නේ නැහැ අහවල් නිළිය හෝ නළුවා සමග රඟපාන්න අවස්ථාවක් ලැබුනේ නැහැ කියලා. නමුත් ඇත්තටම මම චිත්‍රපටවලට එන කොටත් එමලින් දිඹුලාන සැබෑවට දැකලා තිබුණේ නැහැ. සැඬොල් කඳුළු චිත්‍රපටයේ රූගත කිරීම් වගයක් පේරාදෙණිය සරසවියේ යොදා ගෙන තිබුණා. එක දවසක් ෂුටින් කරද්දි බොහොම රූමත් කාන්තාවක් ඇවිත් බලාගෙන හිටියා මම දැක්කා. සිලෝන් තියටර්ස් හි ඇයගේ ඥාතියෙක් හිටියා ඔහු පැමිණ මට ඇය එමලින් දිඹුලාන ලෙසින් හඳුන්වා දුන්නා.
හඳුනා ගැනීම සතුටක් කියු මම ඇයගේ රඟපෑම අගය කළා. ඊටත් පසුව වසර හතළිහක් පමණ ගත වෙලා යළිත් නිහාල්සිංහයන් සංස්කරණය කළ අශෝකමාලා නැරඹු විටදී ඇයත් සමග රඟපාන්නට අවසථාවක් නොලැබීම ගැන පසුව මම දුක් වුණා. මොකද මම සිනමාවට පිවිසෙන කොට සිටි ෆ්ලොරිඩා ජයලත් හැරුණාම සියළුම නිළියන් සමග මම රඟපාලා තිබුණා. එක චිත්‍රපටයක පමණක් රඟපෑවත් එමලින් දිඹුලාන නම් රංගන ශිල්පිනිය අපේ මතකයෙන් ගිලිහී යා නොදිය යුතු නිළියක් විදියට මම දකිනවා.
අපේ සිංහල සිනමා ඉතිහාසය ගත්තාම සුජාතා චිත්‍රපටයත් රඟපෑම අතින් එක්තරා අන්දමක වැදගත්කමක් තියෙන චිත්‍රරතපටයක්. ඒ චිත්‍රපටය තුළින් ඉතා විශිෂ්ඨ නළුවන් දෙදෙනෙකු සහ නිළියක අපට දකින්නට ලැබුණා. එහි ඩේවිඩ් ධර්මකීර්ති, ඩොමී ජයවර්ධන සහ ශාන්ති ලේඛා සිංහල සිනමාවට හඳුන්වා දුන්නා. එක්තරා විදියක ස්වභාවික රඟපෑම් ඔවුන් තුළින් දැකගත හැකි වුණා.
ඩොමී ජයවර්ධන
සුජාතා තිරගත වුණේ 1953 වසරේදී. ඒ කාලයේ ඩොමී ජයවර්ධන පටන් ඔහු නිර්මාණ සඳහා රංගන දායකත්වය ලබා දුන් සුවිශේෂ රංගන ශිල්පියෙක්. සමහර අය කියන්න පුළුවන් ඩොමී රඟපෑවේ සුළු පරාසයක බව. ඒ වුනත් ඔහු දුෂ්ඨ චරිත වගේම විකට චරිත ආදි නොයෙක් චරිත විශිෂ්ඨ අන්දමින් නිරූපණය කරලා තියෙනවා. ඇත්තටම ඩොමී ජයවර්ධන ඉතාම සූක්ෂම විදියට ඕනෑම චරිතයක් හසුරුවන්න පුළුවන් කෙනෙක් කියලා මට බය නැතුව කියන්න පුළුවන්.
ඩොමී ජයවර්ධන පොල් පර්යේෂණ ආයතනයේ නිළධාරියෙක්. ඒ අතරතුර ඔහු වේදිකා නාට්‍යයවල රඟපෑවා. මම රංගනයට පැමිණි හැටේ දශකයේදී රංගනය හදාරන්න හුඟාක් අවස්ථා ලැබී තිබුණා.
මෙහිදී විශේෂයෙන් වැදගත් වෙන්නේ ඩොමී ජයවර්ධන වගේම ඩේවිඩ් ධර්මකීර්තිත් කිසිම හැදෑරිමක් නොකර කොහොමද මේ තරම් දක්ෂ අයුරින් රඟපෑවේ කියයන එකයි. ඩොමී හතරමහා නිධානය චිත්‍රපටයේ අපි බලාපොරොත්තු වන දුෂ්ඨ චරිතයෙන් බැහැරව විජිත මල්ලිකාගේ පියාගේ චරිතය රඟපෑවා. තවත් චිත්‍රපටයක කපු මහතෙකුගේ චරිතයක් නිරූපණය කළා. ඒ අයුරින් ඒකාකාරී චරිතවලට කොටු නොවූ හැම අතින්ම දක්ෂ නළුවෙක් කියලා කියන්න පුළුවන්.
ඩේවිඩ් ධර්මකීර්ති
සුජාතා චිත්‍රපටයේ මුදලි චරිතය රඟ පෑ ඩේවිඩ් ධර්මකීර්ති ඒ චරිතය ඉතාම ස්වභාවික අන්දමින් ඉතාම අපුරු ලෙසින් ඉදිරිපත් කළා. ඒ වෙනුවෙන් ඔහු ලද ප්‍රශංසාත් ඒ වගේමයි. ඔහුගේ හොඳම චරිතය ලෙසින් මම දකින්නේ ගම්පෙරළිය චිත්‍රපටයේ කයිසාරුවත්තේ මුහන්දිරම්ගේ චරිතය යි. ඔහුත් මුල් කාලයේ සමුපකාර පරීක්ෂකවරයක් ලෙසින් රාජකාරිය කළ අයෙක්. සුජාතා චිත්‍රපටයෙන් පසුවට ඔහු ලද හැම චරිතයක්ම ආකර්ශනීය අයුරින් රඟපෑ බව කියන්න පුළුවන්.
ඩේවිඩ් ඉතා හාස්‍ය පි‍්‍රයතාවයක් තිබු පුද්ගලයෙක්.සියලු දෙනා සමගින් විහිළු තහළු කරමින් ඉතාම සුහදව සිටින පුද්ගලයෙක්. දවසක් රූගත කිරීමකට අතිරේක නළුවෙක් ඇවිත් හිටියා.
හැබැයි ඔහුගේ කට නම් ටිකක් වැඩියි. එහි දසුනක් තිබුණා ඩේවිඩ් හා මම අර නළුවා සමග දෙබසක් කියන්න. අපි පුහුණු වෙලා ලයිට් කරලා ඩිරෙක්ටර් ඇක්ෂන් කිව්වා. පටන් ගත්තු ගමන් කැමරා ශිල්පියා වූ ගෆුර් කිව්වා රනවුට් කියලා. ලයිට් ඕෆ් කළා. අර නළුවා බලනවා මොකද මේ වුණේ කියලා. ඒ වෙලාවේ ඩේවිඩ් එකපාරටම ‘මොකද ඔයා අරකෙ ඇක්ට් කළා මේකේ ඇක්ට් කළා කියලා කයිවාරු ගැහුවට ඉංගී‍්‍රසී තෙරෙන්නේ නැද්ද’ කියලා ඇහුවා.
මොකද ඉංගී‍්‍රසී තේරෙන්නේ නැත්තේ කියලා අර නළුවා කියන කොට ‘එහෙනම් රනවුට් කියන කොට එළියට දිව්වෙ නැත්තේ ඇයි’ කියලා ඩේවිඩ් ඇහුවා. ‘හරි හරි අන්කල් මට ඩිරෙක්ටර් කිව්වේ නැහැනේ. කියන්නකො දෙබස මම එළියට දුවන්නම්’ කියලා අර නළුවා ආයෙමත් ෂූට් එකට ලැස්ති වුණා. ඒ වෙලාවේම මං හෙමිහිට ගිහින් අධ්‍යක්ෂ කිංස්ලි රාජපක්ෂට කිව්වා ඩේවිඩ් අර නළුවට ලණුවක් දීලා තියෙන්නේ කියලා. නැත්නම් ඉතින් අපිට මේක ආයෙමත් ෂූට් කරන්න වෙනවනේ.
ශාන්ති ලේඛා
නැටීමට ඉතා දැඩි පි‍්‍රයතාවයක් තිබුණු තරුණ කතක් රත්නපුරේ සිට කොළඹට පැමිණියා. ශාන්ති විරාජ් නම් නාට්‍ය ශිල්පියාගෙන් නාට්‍ය කලාව හදාරමින් සිටියදී තමයි ඇය සුජාතා චිත්‍රපටයට දායක වුණේ. ඉන් පසුව ඇය උප ප්‍රධාන චරිත නිරූපණය කළත් ප්‍රේක්ෂකයන්ගේ ආදරයට ලක්වන චරිත නොව තරමක් දුෂ්ඨ චරිත නිරූපණය කළේ.
ඊට පසුව ඇය මම සමඟ චිත්‍රපට ගණනාවක මවකගේ චරිත වෙනුවෙන් පෙනීසිට තියෙනවා. සිංහල සිනමාවේ මව ලෙසින් ඇය හැඳීන් වූ කාලයක් පවා තිබුණා. ඒ වගේමයි ඇයට තියෙනවා ස්වභාවයෙන්ම ලද නිර්මාණශීලිත්වයක්. එය මම හොඳීන්ම දුටුවේ පරිත්‍යාගය චිත්‍රපටයේදියි. එහි තිබුණා වසන්ති චතුරාණි ඇවිත් ශාන්ති ලේඛා සමග කතාකරන දෙබසක්.
ඇය එවිට එච්. ඩී ප්‍රේමරත්නයන් අමතා, ‘ප්‍රේම් මම මෙතන නිකන් හිටගෙන ඉන්නකොට මට හරි අපහසුයි මම මොනවා හරි කරන්නද’ කියලා ගිහින් පැත්තක තිබුණු පොල් අත්තක් අරගෙන දෙකට පළලා පොඩි බංකුවක ඉඳගෙන අර පොල් අත්ත වියන්න පටන් ගත්තා. ඒ රංගනය අපි ඇත්තෙන්ම අගය කළ යුතුයි. අඬන්න ඕනි නම් අඬන්න, හිනා වෙන්න ඕනි නම් හිනා වෙන්න වෙන අය වගේ ක්‍රමවේදය කියලා මූඩ් ගහලා ඉන්න ඕනි නැහැ.
අවශ්‍ය වෙලාවට අවශ්‍ය රංගනය ඉදිරිපත් කිරීමේ හැකියාවෙන් පරිපූර්ණ වුණා කිව්වොත් නිවැරදියි. අවසාන කාලය රටින් පිට වෙලා හිටියේ නැති නම් ඇය අවසාන මොහොත දක්වාම චරිත ලබන්න වාසනාව තිබු දක්ෂ රංගන ශිල්පිනියක්.

කොහේ ගිහිල්ල ආවත් හල්පිට යන්නේ පූසෝ බලන්න

හේමසිරි හල්පිටගේ බිරිය ධම්මි හල්පිට
සීතල මුහුදු සුළඟ ඇදී එන බෙන්තොට වෙරළට පැමිණි ඔහු මුහුදේ රළ නඟින දෙස බලා සිටින්නට ඇත. කිරි පාට පෙණ පිඬු දැක ජීවිතයේ අනිත්‍ය ද දකින්නට ඇත. ඔහු ලියූ දහස් ගණනක ගී පද සංකල්පනා ගැන ද සිහියට නැඟුනා විය හැකිය. ඒ 2006 වසරේ අප්‍රේල් 27 වැනිදායි. කොවුල් ගී නදින් හැඩවුණ එරබදු මල්වලින් අලංකාර වී ඵල බරින් පිරි අලුත්ගම පැවැති බක් මහා වසන්ත සැණකෙළියේ රාත්‍රී ප්‍රසංගයේ නිවේදන කටයුතු භාරව තිබුණේ ද මේ ප්‍රතිභා පූර්ණ නිවේදන ශිල්පියාටය.
අලුත්ගම පැවැති ප්‍රසංගය නිම වී 28 වැනිදා පාන්දර යාමයේ පාණදුර ඔහුගේ නිවෙසට පැමිණියේ විඩාබර ගතින් හා සිතින් යුතුවයි. පිනිබර යාමයේ නිවෙසට පැමිණි මේ සුන්දර නිහතමානී මිනිසාට බිරිය ධම්මිගෙන් ආදර සංග්‍රහ පුද සත්කාර ලැබිණි. මහන්සිය වැඩි නිසාම හෙතෙම ඉක්මනින්ම නින්දට වැටිණි. අවදිවන විට මධ්‍යාහ්න එකේ කනිසම ද පසු වී තිබිණි. හදිසි කටයුත්තකට බිරිය ධම්මි ගෙදරින් පිටට ගොස් සිටිය ද ඔහුගේ දහවල් කෑම වේල පිළියෙල කරන්නට ඕ අමතක නොකළාය. ගෙදර නැවතී සිටින මේ කලාකරුවාගේ ඥාති නැගණියට ඔහුට අවශ්‍ය දේ සපයන්නට ද ඇයට පවසා සිටියාය.
අවදි වූ හෙතෙම නා පිරිසුදු වී එදින රාත්‍රි ප්‍රසංගයකට යාමට සූදානම් වූයේ දහවල් ආහාරය යහමින් ගත් පසුවය.
මේ අතරතුර ධම්මි ද නිවෙසට පැමිණියාය. 28 රාත්‍රියේ ඇති ප්‍රසංගයට යාමට සූදානම් වූ මේ සුන්දර සුගම මිනිසා ගේට්ටුව ළඟට ගොස් ආපසු හැරී ආවේය. ඒ තමන්ට අමතක වූ බේත් පෙති බෝතලය රැගෙන යාමටය.
ඒ පැමිණි අතර ධම්මිට හාදුවක් දෙමින් පැවසුවේ “මට තව අවුරුදු පහක් ජීවත් වුණොත් ඇති” කියාය. ධම්මිට සහ ඥාති නැගණිය වූ ස්ටෙලාට සමුදුන් ඔහු තමන්ගේ ප්‍රසංගය සඳහා පිටත් විය. හවස පහ පමණ වන විට, ප්‍රවීණ සංගීතඥ සරත් ද අල්විස් ධම්මිට දුරකථන ඇමතුමක් දී පැවසුවේ හැකි ඉක්මනින් කළුබෝවිල රෝහලට පැමිණෙන ලෙසයි. කලා ලොවේ බොහෝ පිරිසක් රෝහලේ පිවිසුම් දොරටුව අසල සිටිනු දුටු ධම්මිට සහ ස්ටෙලාට සිතා ගන්න බැරි දුකක් දැනුණි.
ධම්මි රෝහලේ වාට්ටුව වෙත පැමිණුනා පමණි. දුටු දෙයින් ඈ බිරාන්ත වී සැලී ගියේය. රෝහලේ සයනයක් මත තම පෙම්බර සැමියා සිටින්නේ ජීවය නිරුද්ධවයි. මෙය සිහිනයක්ද යන්න ඇයට දැනුණි. දේහයට ළං වුණු ධම්මි නාස්පුඩු මත අත තියා බැලුවේය. තවත් වසර පහක් පමණක් ජීවත් වන්නට පෙරුම්පිරූ තම ආදරබර සැමියා තම පුතු දිනුෂ හා තමා තනිකර ඈත ලෝකයකට පියඹා ගොස්ය. සුන්දර ජීවිතය ගැන ගී දහස් ගණනක් ලියූ මේ සොඳුරු කලාකරුවාගේ රසික හිතවතුන් මෙන්ම ගීත ලොවේ හිතවතුන් ද හැරදා නික්ම ගොස්ය.
හේමසිරි හල්පිට නම් කලාකරුවා මීට වසර අටකට ප්‍රථම එසේ අප හැරදා මිය පරලොව ගියේය. ඔහුගේ ආදරබර බිරිය ධම්මි හල්පිට මෙවර පිය සටහන් සමඟින් හේමසිරි හල්පිටයන්ගේ මතක සමඟින් සරසවිය හා එක්වන්නීය.
“මගේ මුල් ගම අනුරාධපුරයේ, ගලෙන්බිඳුණුවැව. 1977 අවුරුද්දෙ විතර මම ඉගෙන ගන්නට කොළඹ ආවා. 1978 අවුරුද්දෙදි ගුවන් විදුලි සංස්ථාවේදී ලස්සන සුදු කඩවසම් තරුණයෙක් මා දිහා උනන්දුවෙන් බැලුවා. ඒ අවුරුද්දෙම අප්‍රේල් මාසේ එයා මගෙන් ඇසුවා කැමැතිද බඳින්න. ඔයා මොකද කියන්නේ කියලා. මම කිව්වා ගෙදරින් අහන්න කියලා. එයා ගෙදරින් ඇහුවා. අපි ඒ අවුරුද්දෙම දෙසැම්බර් මාසේ කසාද බැන්දා. එතකොට එයා ප්‍රවාහන සේවයට සම්බන්ධ රැකියාවක් කළා. ඊට පසු කාලේදි ගුවන් විදුලියට වගේම, විවිධ ආයතන වල නිවේදන කටයුතුත් කළා. අපි කසාද බැඳලා පදිංචි වුණේ මොරටුව රාවතාවත්තේ ගෙදරක.
නිහාල් නෙල්සන්, සමන් ද සිල්වා, වර්නන් පෙරේරා වගේ අය නිතරම ඒ දවස්වල අපේ ගෙදර එනවා යනවා. ඒ කාලේ සමාජ සේවයටත් හේමසිරි කැපවෙනවා. කවදාවත් එයා මස් වර්ග කෑවේ නැහැ මම දැනුවත්ව. එයා වැඩියෙන්ම සතුටු වුණ දවස තමයි දිනූෂ පුතා ඉපදුන දවස. එයාටම වෙන් වුණ කාමරයක් තිබුණා. නිදහස උපරිමයෙන්ම අගය කළ කෙනෙක්. බොහෝ පොත පත පරිශීලනය කළා. එහෙම කියූ ධම්මි ඔහුගේ ඡායාරූපයක් දෙස බලමින් නැවතත් අප හා කතාවට එක් වුණා.
“එයාගේ එකම විනෝදාංශය සත්තුන්ට සැලකීම. පාරේ යද්දි මොන සතෙක් දැක්කත් ඒ සතාට කෑම දෙන සිරිතක් එයාට තිබුණා. හරිම ඉක්මනට සිත සසල වෙනවා. හරිම සංවේදී කෙනෙක්. කොහේ ගිහිල්ලා ගෙදර ආවත් මටත් කතා කරන්න පෙර එයා යන්නේ එයා ආසාවෙන් ඇති කළ පූසෝ ටික බලන්න. එයා නැතිවෙලා අවුරුදු අටක් ගත වුණත් අදටත් එයාගේ පූස් රංචුවෙන් දෙන්නෙක් අපේ ගෙදර ඉන්නවා. හල්පිටයන්ගේ ආදර සංග්‍රහයට වාසනාව තිබූ එක් පූස් පැටියෙක් දැන් පූස් මවක්ව සිටින්නීය. ධම්මිගේ ඇඟේ දැවටි දැවටී මේ පූසිය මොනවාදෝ ඉල්ලයි. අසල සිටි ස්ටෙලා මේ පූස් අම්මාට සහ පැටවුන්ට කෑමක් ලබා දුන්නේ හල්පිටයන්ගේ මතකද අලුත් කරමින්ය. මේ සියල්ල දෙස මඳ වේලාවක් බලා සිටි ධම්මි නැවතත් අතීත මතක අතර සැරිසරන්නට වූවාය.
අපි බැඳලා පුතාවත් ලැබුණට පස්සේ එයා ලියපු සිංදු ගොඩක් ජනපි‍්‍රය වුණා. එයා හැම ගායකයෙකුටම වගේ සිංදුවක් ලිව්වා. ඒ සිංදු රේඩියෝ එකේ වගේම ටී.වී. එකේ ප්‍රචාරය වෙනකොට හරිම ආසාවෙන් අසාගන සිටියා. හැබැයි කවදාවත් උදම් ඇනුවේ නැහැ. තරාතිරම නොබලා එයා හමුවට එන ඕනෑම කෙනෙකුට සිංදුවක් ලියලා දෙනවා. සල්ලි මත්තෙම එයා ජීවත් වුණේ නැහැ. එයා මනුස්සකමට මුල් තැන දුන්න කෙනෙක්.
අපි ආර්ථික ප්‍රශ්න තිබුණත් හරිම සතුටින් සැහැල්ලුවෙන් ජීවත්වුණේ. එදා හරියටම 2006 අප්‍රේල් 27 වැනිදා බෙන්තර හොටෙල් එකක ප්‍රසංගයකට ගිහිල්ලා ඇවිත් පාන්දර නිදා ගත්තා. ගොඩාක් දවල්වෙලා අවදි වුණේ. මම එයාට දවල්ට කන්න උයලා තියලා පොඩි වැඩකට එළියට ගියා. එයාගේ නංගි ස්ටෙලා එයාට කෑම බෙදලා දීලා තියෙනවා. එදා 28 වැනිදා එයා වෙනදා කනවටත් වඩා හොඳටම බඩ පිරෙන්න කෑම කෑවලු. එයා කාලා ඉවරවෙනකොටම වගේ මම ආවා. එදා හවස තිබුණ වැඩකට යන්න තුනට විතර ලෑස්ති වුණා. එයා යන්න මගට ගිහින් ආපසු හැරිලා ඇවිත් එයාගේ බේත් පෙති ටික ඉල්ලා ගත්තා. මොකද එයාට පොඩි පපුවේ අමාරුවක් තිබුණා.
ඒ යන්න හදන වෙලාවේ එයා කිව්වා මට තව අවුරුදු පහක් ජීවත් වුණොත් ඇති. මගේ දිනුෂ පුතාගේ මඟුල් ගෙදර කලා ලෝකයේ ඔක්කොටම කියලා ගන්න. ඔන්න ඔය වචන ටික කියලා ගිය හල්පිට අන්තිමට මම දැක්කේ කළුබෝවිල රෝහලේ ඇඳක් මත ඉන්නවා. එයා එදා අපි හැමෝම දාලා යන්න ගියා. එයා ගීත හයදාහක් පමණ ලියලා තියෙනවා. නමුත් අදටත් අපි ඉන්නේ කුලී ගෙදරක.
එයා සල්ලි ඉපයුවේ නැති වුණාට මිනිස්සු හම්බ කළා. අදටත් ජිප්සීස් කණ්ඩායමේ සුනිල් පෙරේරා අපි ගැන හොයලා බලනවා. සිරස එෆ්.එම්. ආයතනය එයා ලියපු ගීතවලට කර්තෘ භාගය අදටත් ගෙවනවා. නමුත් කලාකරුවෙක් වෙනුවෙන් කියලා කිසිදු දේශපාලන මහත්තයෙක් උදව්වක් කළේ නැහැ. එයා ඕනෑ තරම් දේශපාලන වේදිකාවල නිවේදන කටයුතු කරලා ඇති.
සරසවිය පුවත්පත ඇතුළු පත්තර මිත්‍රයන්, මාධ්‍ය මිතුරන් හල්පිට කියන නාමය කවදාවත් අමතක කරලා නැහැ. හල්පිටගේ සිහිනය වුණ දිනුෂ පුතා දැන් කසාද බැඳලා. ගවීෂ කියලා පුතෙකුත් ඉන්නවා. ඒ පුතා හල්පිට වගේමයි. ඒ වගේම දිනුෂගේ බිරිය පත්මි මට ලේලියක් නෙමේ මගේම දියණියක් වගේ. පුතා උපයන දෙයින් තමයි අපි හැමෝම ජීවත් වෙන්නේ. හල්පිට කොහෙ හරි ඉඳන් අපි දිහා බලාන ඇති. සුමුදු මල් සුවඳ දෙයි - සුළඟේ විසිරිලා. ඒ ඔබේ සුවඳ මෙන් දැනුණේ ළං වෙලා.
මට හැමදාමත් ඒ සුවඳ දැනෙනවා.

මාලිනියේ ඉන්ද්‍රජාලය

ගාමිණී ෆොන්සේකා අරභයා සිනමා සක්විති යන පර්යාය පදය යෙදීම මෙන්ම මාලිනී ෆොන්සේකා අරභයා නිළි රුජණ ලෙස හඳුන්වා දීම ද කිසිසේත් අතිශයෝක්තියකින් යොදන ලද පදයක් වන්නේ නැත.අපට සිනමාව ඉගැන්වූ දකුණු ඉන්දියාවේ සිනමා තාරකාවන් හැඳීන්වීම සඳහා පුරච්චි තලයිවර්,නඩිගම් තිලකම් වැනි නාම යොදන්නේ චිත්‍රපට නාමාවලියේ සිටමය. එහෙත් සිනමා සක්විති හෝ නිළි රුජණ යන පද යුගලම මාධ්‍යය විසින් හැඳීන්වීමේ දී භාවිතයේ යෙදෙනුයේ එබඳු වානිජ අරමුනකින් නොවේ.
එමෙන්ම තමිල්නාඩු වේ සුලබව යොදන නළු නිළි විශේෂතා මෙන් තාරකා අගය නංවනවාට වඩා හේතු ප්‍රත්‍ය කරුණු ඇතිවය. ගාමිණී සහ මාලිනී දෙදෙනාම අදාල ගෞරවාර්ථ ලබා ගත්තේ සිනමා කලාව අරභයා ඔවුන් විසින් දශක කිහිපයක් මුළුල්ලේ කරන ලද දායකත්වය සළකා බැලීමෙන් අනතුරුවය. මාලිනීය අරබයා නිළි රුජණයැයි භාවිතයට ගන්නා ලද්දේ මෙයින් වසර දහයකට පමණ ඉහතය.එයට පෙර නිළි රුජණයැයි රුක්මණි දේවිය අරබයා ද යොදන ලදී. එහෙත් රුක්මණීය අරබයා එම ගෞරවාර්ථය යෙදුනේ ඇයගේ හදිසි මරණයත් සමඟ ඇතිවූ කම්පනයෙන් පසුවය. මෙරට මුල්ම සිනමා නිළිය සහ ගායිකාව ලෙස රුක්මණී දේවිය විසින් ඇති කරන ලද වාර්තාව කිසිවකුට සම කළනොහැක.
එයා දැන් ලොකු ළමයෙක්
එමෙන්ම මුල් දශක ත්‍රිත්වයෙහිම බිහි වුන සිනමා නිළියන් (එනම් මාලිනිය ද ඇතුළුව) සියලු දෙනා සිය ළමා වියේදී නිළියක ලෙස සිහින දකින්නට රුක්මණී දේවිය විසින් කරන ලද සමාජ බලපෑම් සහ ඇයගේ නිහතමානි ගති ගුණ ද පුන පුනා වර්ණනා කරති. රුක්මණියගේ ගායනා විලාසය කිසිවකු විසින් හෝ අනුකරණය කළ ද ඇය ගේ රංග විලාසය අනුකරණය කරන්නට ඇගේ අනුප්‍රාප්තික කිසිදු නිළියක උත්සාහ නොකළාය. එමෙන්ම දෙවැනි දශකය එළැඹෙන්නට මත්තෙන් රංග විලාසය අතින් රුක්මණිය අබිබවා යා හැකි නිළි පරම්පරාවක් සිනමාවට බිහි විණ. මේ ඇතැමෙකු ජනප්‍රියත්වය අතින් ද රුක්මණිය අබිබවා ගියාය. මේ නිසාම රුක්මණිය පසු කාලීනව බොහෝ විට චිත්‍රපට වලට තෝරා ගන්නේ වැඩිහිටි මවකගේ චරිතයක් වැනි අවස්ථාවකට පමණය. එහෙත් මුල්ම නිළිය ලෙස ඇය අත් පත් කර ගත් කීර්තිය හා ගෞරවය ඇය මිය යනු තෙක්ම මෙන්ම මරනයෙන් පසුව ද සිනමා කෙෂත්‍රයේ සියල්ලන්ට අමතක නොවිණ.එය වඩාත්ම නැගී සිටියේ ඇය ජීවත් වන සමයටත් වඩා ඇය මිය ගිය පසුවය.
මාලිනී ෆොන්සේකා සිනමාවට පිවිසෙනුයේ කඩවුණු පොරොන්දුව තනා සිනමාවේ දෙවැනි දශකය ද ගෙවුන පසුවය.ඇය සිනමාවට පිවිසෙන්නට පෙරාතුව හොඳම නිළිය ලෙස වේදිකාවේ සම්මානයට පත් ව සිටියාය.ඇයගේ මුල්ම රංගනය වේදිකා මස්තකයෙහියෙහි බිහි කොට දැන් වසර පනහකි.ඇය සිනමාවට පිවිසෙන 1968 වසර වන විට පස් වසරක් පුරා ඇය වේදිකවේ දක්ෂ නිළියක ලෙස නමක් දිනා තිබිණ. ඒ වන විට මෙරට බිහි වූ සිනමා නිළියන් මෙන්ම නළුවන් බහුතරය ද සිය සිනමා රංගනයයෙහි ගුරු කොට ගත්තේ වේදිකා රංගන රීතිය හෝ ඉන්දියානු සිනමා රංගනයේ අනුකරණයන්ය.එය වෙනස කරලිමෙහි ඒ වන විටත් සමත් නිළියන් කිහිප දෙනෙක් මගේ මතකයේ එයි. අයිරාංගනී සේරසිංහ, සහ අනුලා කරුණාතිලක ඒ අතර ප්‍රමුඛ වෙයි.
මාලිනියට සිය මුල්ම සිනමා කෘතිය වන තිස්ස ලියනසූරිය අධ්‍යක්ෂණය කරන පුංචි බබා චිත්‍රපටයේ රඟපෑමට සිදු වන්යේ එම ඉන්දියානු ගති ලක්ෂණ සහ වේදිකා සම්ප්‍රදාය ගුරු කොට නොගත් අත්‍යන්තයෙන්ම සිනමා රංගනයට අවතීරණය වන නළු නිළි යුවලක් සමගය.එයින් එක් අයෙක් වනුයේ ජෝ අබේවික්‍රමයි. නිළිය අනුලා කරුණාතිලකය. පුදුමය වනුයේ වේදිකාවෙන් පිවිසිය ද මාලිනිය තම මුල්ම චිත්‍රපටය බැව් නොසළකා රංගනයේදී තමා සිනමා නිළියක් බැව් ඔප්පු කිරීමට සමත්වීමය. කැමරාව ඇයගේ රූපයට පෙම් කළ අතර සිනමා රංගනයෙහි දී පළපුරුදු නිළියක ලෙස ඇය රූපයේ සීමා වන් හඳුනාගෙන චරිත නිරූපණය කළාය. ඇය ට මුල් යුගයේ ලැබෙන චරිත සියල්ලම විවිධ අත්දැකීම් ගෙන එයි. මුල් පස් වසර ඇතුළත චිත්‍රපට විසි අටකට රංගනයෙන් දායක වන ඇය ට එහි රඟපාන්නට ලැබෙන චරිත පමණක් ගෙන මෙහි උදාහරණ සැපයිය හැකි වෙයි. දහසක් සිතුවිලි,දැන් මතකද,ආදරවන්තයෝ ප්‍රවේශම් වන්න, හතර දෙනාම සූරයෝ. නිධානය,එදත් සූරයා අදත් සූරයා,සහනය.
මේ දෑස කුමටද, තුෂාරා, සිනාවයි ඉනාවයි, හොඳයි නරකයි, ආදරේ හිතෙනව දැක්කම,හොඳම වෙලාව,සුහද පැතුම මේ අතර කැපී පෙනෙන චිත්‍රපට කිහිපයකි. මේ අතරින් කිහිපයක් ඉන්දියානු අනුකරණ චරිත වුව ද එහි දී ඇය කිසි විටෙකත් ඉන්දියානු නිළියකගේ විලාසය ඉස්මතුවන්නට ඉඩ නොදුන්නාය. එය ඇයගේ රංගනයක් බවට පත් කළාය. එය අපේ ප්‍රධාන ප්‍රවාහයේ සිනමාවේ නිළියක ඉන්දියානු අනුකරණ වාදි චිත්‍රපටයකදී පවා තම ස්වාධිනත්වය පළ කළ මුල්ම අවස්ථාවයි. මාලනී සිනමාවේ ප්‍රධාන ප්‍රවාහය මෙන්ම කලාත්මක ප්‍රකාශනයන් ගෙන් ද අවශ්‍යම නිළිය බැව් ඔප්පු කළාය. එමෙන්ම සිනමාවේ සුපිරි තාරකාවක් සතු විය යුතු කුසලතාවය ද අතිශය විරළ ජනප්‍රයතාවය ද යන ද්වි කාරණාවන් ඇය වෙත ගලා ආවේ දශකයක් ඉක්මවා යන්නට පෙරාතුවය. හැත්තැව දශකය සමග සිනමාවේ බිහි වන නව ප්‍රබෝධයේ වඩාත්ම සාර්ථක පංගුකාරියක වන්නේ ඇයයි. මෙහිදී තමා පෙනි සිටින කවර චරිතයක් සඳහා වුව ද ඇය තම වගකීම නිසි ලෙස ඉටු කරන්නීය. සිනමාවට පිවිස මුල් වසර පහක් ගත වන්නට මත්තෙන් ඇය ගාමිණී මාලිනී යුගයක් පමනක් නොව විජය මාලිනි යුගයක් සඳහා දායක වන්නීය.
මේ සිනමා තාරකාවන්ගේ ආලෝකය රට පුරා දිදුලන යුගයයි. එහෙත් ලෙනින් මොරායස්ට යසපාලිතට පමනක් නොව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ ධර්මසේන පතිරාජයන්ට ද අත්‍යවශ්‍ය වන්නීය. සිනමාවේ තාරකා ගුණයෙන් මෙන්ම රංගනයේ ප්‍රකශණ ශක්තිය අතික්‍රමණය කිරීමෙන් ලැබෙන දුර්ලභ ජනප්‍රියත්වය නම් වාසනා ගුණය ද ඇය සතුවීම ඉතා වැදගත් කාරණයකි.පුදුමය නම් එයින් දශක පහක් මුලුල්ලේ පවා මේ අපූර්ව ගුණය අඩු නොකොට පවත්වා ගෙන යන්නට ඇයට වාසනාව ලැබීමයි. සිනමා කෙෂත්‍රෙය් දශක පහක් නියැලීම පුදුමයක් නොවේ. එහෙත් එම දශක පහ පුරාම අඛන්ඩව හැකියාවත් තාරකා ගුණයත් යන කාරණා සියල්ල එක ලෙස රඳවන්නට ලැබීම අතිශය දුර්ළභ දෙයකි.
වර්තමානයේ සිනමා රංගනය සඳහා අවශ්‍ය චිත්‍රපට බිහි නොවිම රංගවේදිනියක ලබන ඛේදවාචකයක් බව ඇත්තය.මේ බේදවාචකය මතුයෙහි පවා සිය සිනමා රංගනයේ යෙදීමට මාලනීයට හැකිව ඇත්තේ පෙර කියන වාසනාව නිසා විය යුතය. එහි ඇති දුර්ළභම කාරණය වනුයේ මාලිනීයට මෙරට සිනමාවේ සෑම දශකයකම සිනමාකරුවන් ගේ චිත්‍රපට නියෝජනය වන පරිද්දෙන් රඟපාන්නට ලැබීමය. ඇය මුල් දශකයේ සිනමාව නියෝජනය කරනුයේ ඇයගේ සිනමා රංගනයේ විශිෂ්ට ඵලයක් ලෙස අප දකින නිධානය නිර්මාණය කරන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් හරහාය සිරිල් පී. අබේරත්නගේ ඇය අධ්‍යක්ෂණය කළ මුල් දශකය නියෝජනය කරන අනෙක් සිනමාකරුවාය. එතැන් පටන් ගත වූ වර්ෂයේ බිහි වූ කපිල සූරියාරච්චි දක්වා ඒ ඒ දශකයන් බිහි කළ සිනමාකරුවන් ගේ චිත්‍රපට රාශියකට දායක වූවාය. අමරනාත් ජයතිලක, සුගතපාල සෙනරත් යාපා, ජී.ඩී.ඇල් පෙරේරා, නීල් රූපසිංහ, ජේ.සෙල්වරත්නම්, කිංස්ලි රාජපක්ෂ, තිමති වීරරත්න, වසන්ත ඔබේසේකර, කේ.ඒ.ඩබ්ලිව් පෙරේරා, විජය ධර්ම ශ්‍රි, සුනිල් ආරියරත්න, දයා විමලවීර, පරාක්‍රම නිරිඇල්ල, දිනේෂ් ප්‍රියසාද්, සෝමරත්න දිසානායක, ප්‍රසන්න විතානගේ, ජැක්සන් ඇන්තනි, ඇයගේ රංගන ජිවිතයේ විවිධ සිනමා යුගයන් නියෝජනය කරමින් ඇයට හමුවන සිනමාකරුවන් අතරින් කිහිප දෙනෙකි.
ඇය තවත් වාර්තාවක් තබනුයේ ටෙලි නාට්‍යය කරණයට බට මුල්ම නිළිය හැටියටය. ඒ නිරූපමාලා ටෙලි වෘතාන්තය නිර්මාණය කරමිනි.
මාලිනිගේ රංගනය ඉන්ද්‍රජාලික එකකැයි කිම වැරැද්දක් නොවේ.එහි ඇය කිසිදු ගුරුකුළයකට නෑකම් නොකියයි.සිනමා රංගනයේ ඇය බොහෝ දෙනෙකුට ගුරුවරියක වනුයේ සියුම් චරිතාංග රංගනය පිලිබඳ මෙරට ට පූර්වාදර්ශයක් වෙමිනි. ඇයගේ සිනමා චාරිකාව දිගු එකකි. මෙරට සිනමා රංගනය පිලිබඳ හොඳම පාඩම වනුයේ ඇයගේ රංගනය අධ්‍යයනයැයි වරෙක් ප්‍රවීණ නළු ජැක්සන් ඇන්තනි කියා සිටියේය. සිනමාවේ දි ඇයට හා එක්වන සෙසු නළු නිළියන් කෙතරම් පළපුරුදු ද හෝ ආධුනික ද යන්න ඇයට වැදගත් නොවිණ. මේ හැම සමග හොඳීන් රඟපාන්නට ඇයට හැකි වූයේය. ඇයගේ රංගනයේ විශ්ෂ්ටත්වය හඳුනා ගත් විදෙස් සිනමා උත්සව ඇය වෙනුවෙන් බුහුමන් පුදති. පසුගිය වකවානුවේ ඇය වෙනුවෙන් ප්‍රත්‍යවලෝකන සිනමා දැක්මයන් කිහිපයක්ම විදෙස් සිනමා උළෙලයන්ගේ පැවැත්වින. එහෙත් තවමත් මාලනිය පිළිබඳ එබදු ප්‍රත්‍යවලොකන උළෙලකට මෙරට සිනමා බළධාරින් සූදානම් නැත.
නිළියකගේ ජීවිතය සඳහා ප්‍රත්‍යවලෝකන උළෙලයන්ට වඩා වැදගත් වනුයේ විශිෂ්ට සිනමා රංගනය් යෙදෙන්නට ඉඩ ඇති චිත්‍රපට නිෂ්පාදනයැයි මම විශ්වාස කරමි. එහෙත් සිනමා ලෝකය ඇතුළත කිසියම් නිළියකුගේ හෝ නළුවකුගේ කාර්ය භාරය ඇගයිය හැකි වනුයේ එකී රංග විලාසයන් එකවර දැකිය හැකි ප්‍රත්‍යවලෝකන උළෙලක දීය. මේ උපන් දිනය සමරන මොහොතේ සිනමා ලෝලීන් වෙනුවෙන් සරසවිය පතනුයේ ද එම කටයුත්ත ඉෂ්ට වේවා යන්නයි. එය මාලිනියට කෙසේ වෙතත් රටට වැදගත් වන හෙයිනි.













0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය