Powered by Blogger.



මහේල ජයවර්ධන සහ කුමාර සංගක්‌කාර යන ක්‍රිකට්‌ ක්‍රීඩකයන් දෙදෙනාට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය විසින් සිදුකිරීමට යන විනය පරීක්‌ෂණය වහා අත්හිටුවා ඒ වෙනුවට ඔවුන් ජාතික වීරයන් ලෙස නම් කොට උපහාරයට ලක්‌කළ යුතු යෑයි එක්‌සත් ජාතික පක්‌ෂයේ හම්බන්තොට දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා කියා සිටී.

එම නිවේදනයෙන් වැඩිදුරටත් මෙසේද කියා ඇත.

20-20 ලෝක ක්‍රිකට්‌ ශූරතාව දිනා ගනිමින් අපේ රටට ගෞරවය, කීර්තිය හා අභිමානය ගෙන දුන් ජාතික වීරයන්ට මේ වන විට ලැබෙන පිළිකුල් සහගත සැලකිල්ල හෙළා දකිමි. රටේ ජාතික වස්‌තූන් බඳු වූ මහේල ජයවර්ධන හා කුමාර සංගක්‌කාර යන ක්‍රීඩකයන්ට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය විසින් අනුගමනය කරන නින්දා සහගත ක්‍රියාදාමය අතිශයින්ම පිළිකුල් සහගතය. මේ ක්‍රීඩකයන් දෙපළට එරෙහිව විනය පරීක්‌ෂණ සිදුකර ඔවුන් චිත්ත පීඩාවට හා මානසික අසහනයට පත් කිරීමට ගෙනයන ක්‍රියාදාමය මෙරට ක්‍රීඩා ලෝලීන්ගේ විමතියට හා සංවේගයට හේතු වී තිබේ.

වසර 1996 දී ලෝක ශූරතාව දිනා ගැනීමෙන් වසර 18 කට පසු පළමුවරට ලෝක ශූරතාවක්‌ දිනාගත් මහේල ජයවර්ධන, කුමාර සංගක්‌කාර ඇතුළු කණ්‌ඩායමට තුන්වැනි පංතියේ සැලකිල්ලක්‌ ලබාදීම කිසිසේත් සාධාරණ නොවේ. ඔවුන් මෙම ජයග්‍රහණය වෙනුවෙන් සටන් කළේ විවිධ අභූත චෝදනා මධ්‍යයේය. තරග පාවාදෙන බවට ඔට්‌ටුකරුවන්ට යටවී සිටින බවට අයි.පී.එල්. මුදල්වලට රට පාවා දෙන බවට චෝදනා නඟා ඔවුන්ගේ චිත්ත ධෛර්යය බිඳ දමද්දී ඔවුන් මෙවැනි උසස්‌ ජයග්‍රහණයක්‌ රටට අත්කර දීම සුවිශේෂ සිද්ධියකි.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩා ක්‌ෂේත්‍රයේ ජාතික වීරයන්ට අත්වූ ඉරණම දෙස අද මුළු ලොවම බලා සිටී. ඔවුන් විනය පරීක්‌ෂණවලට නොව ජාතික ගෞරවයට හා සම්මානයට පාත්‍ර විය යුතුව තිබේ. මේ ක්‍රියාදාමය නිසා ක්‍රිකට්‌ ක්‍රීඩාවේ ඊළඟ පරපුර වෙත ගලා යන්නේ වැරදි අර්ථකථනයකි. නැතහොත් වැරදි පූර්වාදර්ශයකි. එනම්, කුසලතා විදහා දැක්‌වීම හා ඒ වෙනුවෙන් කැපවීම ඇගයීමට නොව දඬුවම් ලැබීමට පාත්‍රවිය හැකි අනතුරුදායක තත්ත්වයක්‌ බවයි.

මෙම වාතාවරණය යටතේ ලබන වසරේ දී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියෙන් මෙම අද්විතීය ක්‍රීඩකයන් දෙදෙනා ඉවත් වුවහොත් එහි වගකීම ද ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය විසින් භාර ගත යුතුය. එහෙයින් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය විසින් කළ යුතු වන්නේ මෙම ක්‍රීඩකයන්ට එරෙහි අසාධාරණ විනය පරීක්‌ෂණය වහා අත්හිටුවා ඒ වෙනුවට ඔවුන් ජාතික වීරයන් ලෙස නම් කර උපහාරයට ලක්‌ කිරීම බව අවධාරණය කරනු කැමැත්තෙමි.
 

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය