Powered by Blogger.



මිනිස්‌ සිරුර අස්‌ථි විශාල සංඛ්‍යාවකින් සමන්විත වන අතර එමගින් ශරීරයට ශක්‌තිය ලබාදෙන සහ ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් ආරක්‌ෂා කරන අස්‌ථි සැකිල්ල (ඇටසැකිල්ල) නිර්මාණය වී ඇත. අස්‌ථි බන්ධනි මගින් අස්‌ථි දෙකක්‌ හෝ කීපයක්‌ එකට බන්ධනය කරන අතර පේශි බන්ධනි මගින් මාංශ පේශින් අස්‌ථිවලට සම්බන්ධ කරයි. සන්ධි ඇතුළත පිහිටි අස්‌ථි කාටිලේජමය ඉතාමත් මෘදු පටලයක්‌ මගින් ආවරණය කරයි. එමගින් අස්‌ථි එහා මෙහා ගමන් කිරීමේ හැකියාව ඇති කරන අතර අස්‌ථිවලට සිදුවන සුළු පීඩනයක්‌ දරා ගැනීමට හැකිවීම නිසා අස්‌ථි යම් තරමකට ආරක්‌ෂා කරයි. අනතුරක්‌ සිදු නොවී විනාශ නොවී පැවතුනහොත් මෙම කාටිලේජමය පටල දීර්ඝ කාලයක්‌ නොගෙවී පවතී. සන්ධි අතර පිහිටි යම් ද්‍රවයක්‌ මගින් (Synovial fluid) සන්ධි දෙකක්‌ ඇතුළත තෙතමනය ආරක්‌ෂා කර ගනී. එමගින් අස්‌ථි එහා මෙහා කිරීම ඉතාමත් පහසු කරයි.

ඔස්‌ටියෝ ආතරයිටීස්‌

ඔස්‌ටියෝ ආතරයිටිස්‌ යනු සන්ධි අතර පවතින කාටිලේජමය ස්‌වභාවය ගෙවී යැම නිසා සහ ඒවා නැවත වර්ධනය නොවීම නිසා හටගන්නා රෝග තත්ත්වයකි. මෙම රෝග තත්ත්වය බොහෝ විට වයස්‌ගත වීමත් සමග (සන්ධිවල ගෙවීයැම නිසා) ඇතිවිය හැකි අතර සියයකට අධික සන්ධි රෝග අතර ඔස්‌ටියෝ ආතරයිටිස්‌ ඉතාමත් බහුලවම දැකිය හැකි රෝග තත්ත්වයකි.

මෙම රෝග තත්ත්වයේ දී සන්ධි දෙකක්‌ අතර අස්‌ථි ආවරණය කරන කාටිලේජමය ස්‌වභාවය ගෙවී යැම නිසා සන්ධි මතුපිට ඝනකමින් අඩුවී රළු තත්ත්වයට පත්වේ.

එවිට අස්‌ථි දෙකක්‌ අතර පිරී පවතින ද්‍රවමය තත්ත්වය (Synovial fluid) අඩුවී යයි. මේ නිසා අස්‌ථිවල පිටතින් වර්ධනය වන සියුම් කොටස්‌ කැඩී ගොස්‌ මෙම දියරයේ පාවීමට පටන් ගනී. එවිට සන්ධි ඝන වී වේදනාකාරී විය හැකිය. විශේෂයෙන්ම ශරීරයේ පහළ කොටසේ සන්ධි මගින් ශරීරයේ බරින් වැඩි කොටසක්‌ දරාගෙන සිටින නිසා එම සන්ධි මෙම රෝග තත්ත්වයට වැඩියෙන් ගොදුරු වෙයි. උදා(- දණහිස්‌, විලුඹ සන්ධිය, උකුල් සන්ධිය ආදිය.

වයස අවුරුදු 55 ඉක්‌ම වූ ජනගහනයෙන් 75% ක්‌ පමණ මෙම රෝගයෙන් පෙළෙන්නන් බවට හඳුනාගෙන ඇත. ඇතැම් අවස්‌ථාවල තරුණ පුද්ගලයන්ද වාහන අනතුරු සිදුවීම නිසා ක්‍රීඩා කරන විට අනතුරු සිදුවීම නිසා රැකියා කරන විට සිදුවන අනතුරු නිසා අස්‌ථි සහ සන්ධිවලට හානි වීමෙන් මෙම රෝගයට ගොදුරු විය හැකිය.

මෙම රෝගය ඇතිවීමට බලපාන හේතු

එදිනෙදා ජීවිතයේ දී ප්‍රමාණයට වඩා බර වැඩ කිරීම තුළින් සිදුවන සන්ධිවල ගෙවීම හා ක්‍ෂය වීම, මීට අමතරව දියවැඩියාව පවතින විට විවිධ අනතුරුවලින් අස්‌ථි සහ සන්ධිවලට සිදුවන හානිය නිසා, තයිරොයිඩ් ග්‍රන්ථියේ යම් යම් රෝග තත්ත්වයන් පවතින විට, හෝමෝනවල සංයුතියේ යම් යම් වෙනස්‌කම් ඇතිවිටදී යම් තරමකටවත් ව්‍යායමවල නිරත නොවී අලස ලෙස කාලය ගත කරන විට සහ අස්‌ථි පද්ධතියේ (ඇටසැකිල්ලේ) උපතින්ම පවතින ව්‍යqහමය වෙනස්‌කම් (අතපය ඇදට, කොටට පිහිටීම ආදිය)

ඔස්‌ටියෝ ආතරයිටිස්‌ පවතින විට ඇතිවන රෝග ලක්‍ෂණ

අත්වල ඇඟිලිවල ඇතිවන වේදනාකාරී බව සහ තද බව.

ඇඟිලි තුඩු වෙව්ලීමට පටන් ගැනීම.

ඇඟිලි නැවීමට දිග හැරීමට අපහසුවීම.

ඇඟිලි පුරුක්‌ ඉදිමීම.

මැණික්‌ කටුව සන්ධිය වේදනාකාරී වීම.

දණහිස්‌වල තද බවක්‌ ඇතිවි වේදනාකාරී වී ඉදිමීම.

ඉඳ ගැනීමේදී නැගිටීමේදී දණහිස්‌ වේදනාකාරී වීම.

උකුල් සන්ධිවල ඇතිවන වේදනාව දණහිසටත් ඉන් පහළටත් පැතිර යැම.

තට්‌ටම සහ දණහිසෙන් ඉහළ කකුලේ ඇතිවන වේදනාව.

ඇඟ නැවීමේ සහ දිග හැරීමේ අපහසුව.

කොඳුඇට පෙළ බෙල්ලේ සහ කොන්දේ ඇතිවන තද බව සහ වේදනාව.

බෙල්ල දෙපසට හැරවීමේදී ඇතිවන වේදනාව.

කොන්ද නැවීමේදී සහ දිග හැරීමේදී ඇතිවන වේදනාව.

ඉහත සඳහන් කළ රෝග ලක්‍ෂණවලින් එකක්‌ හෝ කීපයක්‌ පවතී නම් වහාම වෛද්‍යවරයකු හමුවී පරීක්‍ෂා කරගෙන ප්‍රතිකාර ගැනීම අත්‍යවශ්‍ය වේ. නැතහොත් රෝගය දීර්ඝකාලීනව පැවතීමෙන් ඔබ එක්‌තැන් විය හැකිය.

රෝග පාලනයට එදිනෙදා ගත හැකි ක්‍රියාමාර්ග

තමන් එදිනෙදා කරන බර වැඩ යම් තරමකට අඩු කිරීම.

මනස පමණට වඩා වෙහෙස කරවන ආකාරයේ ක්‍රියාවල නිරත නොවීම (දිනපතා නිදි වැරීම ආදිය)

ව්‍යායාමවල නිරත වීමෙන් සන්ධිවල තදගතිය, වේදනාව සහ නැවීමේ දිග හැරීමේ අපහසුව තරමක්‌ දුරට අඩුකරගත හැකිය. නමුත් බර ඉසිලීම, දිවීම වැනි ව්‍යායාමවල නිරත වීම සුදුසු නැත.

අධික රස්‌නය සහිතව සන්ධි තැවීමෙන් වේදනාව අඩු කරගත හැකිය.

තරබාරුව ඇති අයට ශරීරයේ බර අඩු කර ගැනීම අත්‍යවශ්‍ය වේ. එමගින් බර දරා සිටින සන්ධිවලට ඇති පීඩාකාරී බව අඩුකර ගත හැකිය.

රාත්‍රියට ඝනකමෙන් යුතු මේස්‌ සහ රෙදි හෝ සම් ආවරණ මගින් සන්ධි ආවරණය කිරීමෙන් වේදනාව අඩුකර ගත හැකිය.

ප්‍රතිකාර ක්‍රම

රෝගය සඳහා විවිධ ප්‍රතිකාර ක්‍රම පවතින නමුත් ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමය ඉන් ප්‍රමඛස්‌ථානයක පවතී. එදිනෙදා රැකියාවක නිරත වෙමින් හෝ වෙනත් කාර්යයක නිරත වෙමින් වුවත් ඉතාමත් පහසුවෙන් භාවිතයට ගත හැකි ආකාරයට රෝගයටම විශේෂිතව නිෂ්පාදනය කර ඇති ඖෂධ මගින් රෝගය මනාව පාලනය කරගෙන කිසිදු අතුරු ආබාධයකින් තොරව ඉක්‌මනින් සුවදායී තත්ත්වයට පත්විය හැකිය.

වෛද්‍ය හේමාල් පිලපිටිය

පිලපිටිය වෙදමැඳුර

මීගමු පාර , අලුත් මල්කඩුවාව,

කුරුණෑගල.
071-0539889,
037-3617269

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය