Powered by Blogger.

අප්‍රේල් වසන්ත උත්සවයේ සුන්දරත්වය අත්විඳින්නට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට නවතම ආරෙක අත්දැකීමක් ලබන්නට මේ වන විට දොරටු විවරව ඇති බව කිව හැකිය.
නුවරඑළිය නගරයේ සිට කිලෝමීටර් 7ක් පමණ දුරින් පිහිටා ඇති සඳතැන්න පාරිසරික සහ කෘෂි සංචාරක කලාපය පසුගියදා දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් විවෘත කෙරිණි. මෙහි සුන්දරත්වය විඳගැනීමට යන ඕනෑම අයකු හට ස්වභාවික ඉහළ කඳුකර වනාන්තර (වලාකුළු වනාන්තර) මෙන්ම ඊට ආවේණික වූ ශාක හා සත්ත්ව විශේෂ ද මෙම ප්‍රදේශයේ දී නිරීක්ෂණය කළ හැකිය.
මෙම සංචාරක කලාපයේ අවසාන කෙළවර දක්වා යන විට අපට හමුවන්නේ පුංචි ලෝකාන්තයයි. මෙතෙක් අප හඳුනාගෙන ඇති හෝර්ටන්තැන්නේ පිහිටි ලෝකාන්තයට සමානවම මෙම පුංචි ලෝකාන්තය හඳුන්වා දිය හැකි නමුත් එයට හාත්පසින්ම වෙනස් දර්ශන රැසක් දැකිය හැකිය.
ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයෙන් ඉහළ ප්‍රදේශයක් ලෙස හඳුන්වා දිය හැකි මෙහි සිට ඌව ද්‍රෝණියේ නමුණුකුල කඳුවැටිය දක්වා චමත්කාරජනක දර්ශනයක් දැකිය හැකි වන අතර පිහිටා ඇති නැරඹුම් ස්ථානයේ සිට පහත සඳහන් කඳුවැටි ද දැක ගැනීමේ හැකියාව ලැබෙනු ඇත. පිදුරුතලාගල (අඩි 8281) සිංගල් ට්‍රී (අඩි 6890) කිකිළියාමාන (අඩි 7339) ග්‍රේට් වෙස්ටන් (අඩි 7257) කොනිකල් හිල් (අඩි 7116) කිරිගල්පොත්ත (අඩි 7835) තොටුපොළ (අඩි 7737) හග්ගල (අඩි 7116) සහ නමුණුකුළ (අඩි 6667)
මෙම සංචාරක කලාපයේ සැරිසරන ඕනෑම අයෙකුට ඌව ද්‍රෝණියේ භූ විෂමතා හා කෘෂිකර්ම රටා මැනවින් නිරීක්ෂණය කළ හැකි අතර ඉතාමත් පරීක්ෂාකාරීව ගමන් කරන පාරිසරික නිරීක්ෂකයකුට ‍ෙමහිදී සමනල විශේෂ, ක්ෂීරපායි විශේෂ සහ අනෙකුත් ජීවී විශේෂ ඇතුළු ශ්‍රී ලංකා පීතකන් කොණ්ඩයා, ශ්‍රී ලංකා සිතිසියා, ශ්‍රී ලංකා මයිල පරෙයියා, ශ්‍රී ලංකා නිල්මැසිමාරා, ශ්‍රී ලංකා දෙමලිච්චා සහ ශ්‍රී ලංකා දෑ දෙමළිච්චා වැනි දුර්ලභ වර්ගයේ කුරුලු විශේෂ නිරීක්ෂණය කළ හැකිය. ඒ අතර මොනරුන්, ගෝනුන්, මීහරකුන්, ඕලු මුවන්, වලස් වඳුරන් වැනි ක්ෂීරපායී සත්ත්ව විශේෂ ද දැකගත හැකිය.
බෝඹුරු ඇල්ල සීතාඑළිය රක්ෂිතයේ ඉහළ කොටසේ පිහිටා ඇති මෙම සඳතැන්න පාරිසරික හා කෘෂි සංචාරක කලාපය මුහුදු මට්ටමේ සිට අඩි 6438ක් උසින් පිහිටා ඇති අතර මෙම ස්ථානයේ සිට 360 0ක කෝණයක ප්‍රදේශයක් නිරීක්ෂණය කළ හැකිය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ යෝජනාවකට නුවරඑළිය නගරාධිපති මහින්ද දොඩම්පේගමගේ මහතාගේ සංකල්පයකට අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා මහනගර සභාවේ පූර්ණ දායකත්වය යටතේ ක්‍රියාත්මක කෙරෙන මෙම පාරිසරික සහ කෘෂි සංචාරක කලාපය සඳහා මධ්‍යම පළාත් වෙළෙඳ වාණිජ සහ සංචාරක දෙපාර්තමේන්තුව මඟින් මූල්‍යමය අනුග්‍රහය ලබා දී ඇත.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි ‍ෙකාබ්බෑකඩුව මහතා අතින් නොබෝ දා ජනතා අයිතියට පත් මෙම උද්‍යානය නැරඹීමට දැන් කාහටත් අවස්ථාව උදාවී ඇති හෙයින් මේ අප්‍රේල් වසන්ත උත්සවය අත්විඳින්නට පැමිණෙන සැමට නව අත්දැකීමක් ලබන්නට මෙම උද්‍යානයේ දොරටු විවරව ඇත.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය