Powered by Blogger.

plantජාත්‍යන්තර වෙළෙඳ‍පොළේ දිනෙන් දින ඉහළ යන ඉතා විශාල ඉල්ලුමක් ඇති “අගාවුඩ්” රත්තරන් වලටත් වඩා වටිනා ශාකයක් ලෙස මේ වනවිට ලොව පුරා ප්‍රචලිතව පවතී. වර්තමානයේ කතා බහට ලක්වන හරිත ආර්ථික සංකල්පය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අනාගත ආයෝජනයේ වැදගත්කම අවබෝධ කර ගත් සදාහරිත වැවිලි සමාගම අගාවුඩ් ශාකය ව්‍යාප්ත කිරීමේ කටයුත්තට මේ වනවිට උරදී තිබේ.
ඈත අතීතයේ සිටම උසස් තත්ත්වයේ සුවඳ විලවුන් වර්ග, ඖෂධ වර්ග, සුවඳ කාරක ද්‍රව්‍ය, රූපලාවන්‍ය ද්‍රව්‍ය නිෂ්පාදනයට බහුල වශයෙන් යොදා ගන්නා අගාවුඩ් අධික මිල ගණන් වලට අලෙවි වේ. ඇක්විලාරියා කේ‍රස්නා (Aquilaria Crassna) යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන අගාවුඩ් ශාකය තුළ නිපදවන සුවඳවත් රෙසින විශේෂය නිසා මෙම ශාකයට මෙතරම් වටිනාකමක් ලැබි ඇත. කාම්බෝජියාව, වියට්නාමය, තායිලන්තය, මැ‍ලේසියාව වැනි රටවල් වාණිජ මට්ටමෙන් අගාවුඩ් නිපදවනු ලබන අතර වර්තමානයේදී ශ්‍රී ලංකාවේද වාණිජ මට්ටමින් තෙත් සහ අතරමැදි කලාපයේ වගා කෙරේ.
දීර්ඝ කාලයක් අගාවුඩ් පිළිබඳ පර්යේෂණ පවත්වා ඒ තුළින් ලත් සාර්ථක අත්දැකීම් ඇති සදාහරිත සමාගම අගාවුඩ් තාක්ෂණය සඳහා ශ්‍රී ලංකාව තුළ පේටන්ට් බලපත්‍රය හිමි එකම ආයතනය ද වේ. ඒ අනුව ඇත්විලාරියා ශාකය වගා කොට සාර්ථක අගාවුඩ් නිෂ්පාදනයක් ලබාගත හැකි දිස්ත්‍රික්ක ලෙස කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කයන් සදාහරිත වැවිලි සමාගම තහවුරු කරගෙන ඇත.
අගාවුඩ් ශාකය තුළ අගාවුඩ් නිපදවීම සිදුවන්නේ ස්වභාවික ක්‍රියාවලියක් මගිනි. එනම් ස්වභාවිකව ගසට හානි සිදුවූ විට වාතයේ සිටින ක්ෂුද්‍ර ජීවීන් ගසට ඇතුළුවීම හා එයින් ගස ආරක්ෂා වීමට ගස විසින්ම නිපදවා ගන්නා රෙසින විශේෂය අගාවුඩ් ලෙස හඳුන්වයි. මෙම අගාවුඩ් කළු සහ තද දුඹුරු පැහැ ගන්නා අතර ඒවායින් පතුරු (chips) හා තෙල් ලබා ගනී. තෙල් නිස්සාරණයේ අතුරු ඵලයක් වන එය පවුඩර් හඳුන්කූරු නිපදවීම සඳහා යොදා ගනී. දකුණු ආසියාවේ විශාලතම අගාවුඩ් පැල තවාන හොරණ ඉංගිරිය ප්‍රදේශයේ ස්ථාපිත කොට ඇත. අක්කර 5ක පමණ වපසරියකින් යුත් පැල තවාන තුළ අගාවුඩ් පැල ලක්ෂ 2.5කට අධික ප්‍රමාණයක් ඇති බව පවසන සදාහරිත වැවිලි සමාගමේ විධායක අධ්‍යක්ෂ එච්.කේ. රෝහණ මහතා පවසන්නේ සදාහරිත සමාගම විසින් රෝපණය සඳහා අගාවුඩ් බිජ ගෙන්වන්නේ වියට්නාමයෙන් බවය.
සදාහරිත සමාගම විසින් එක් අගාවුඩ් පැලයක් රු. 1400ක් වැනි මිලකට අලෙවි කරන අතර අවම පැල දහයක් පාරිභෝගිකයෙකු වෙත නිකුත් කරයි. එසේම නියමිත කාලය පැමිණි පසුව හිමිකරුට අගාවුඩ් ශාකය සදාහරිත සමාගමට හෝ අගාවුඩ් මිලදී ගනු ලබන වෙනත් පාර්ශ්වයකට ශාකය විකිණිය හැකිය. එක් ගසක් අවම රු. 25000ක සහතික මිලකට මිලදී ගැනීමට සමාගම සැලසුම් කර ඇත. පැල මිලදී ගත් පසු වගාව සම්බන්ධයෙන් උපදෙස් ලබා දීමත් ක්‍ෂේත්‍ර නිලධාරීන් විසින් වගා භූමියටම පැමිණ පරීක්ෂා කිරීම් ආදිය සිදු කිරීමත් නොමි‍ලේම සිදු කරන බවද සභාපති වරයා පවසයි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය