Powered by Blogger.

මහනුවර ජනපති මැදුර


අද අපට දෙපයින් නැඟිට සිටීමට හැකියාව ලැබී තිබෙන්නේ අතීතයේ විසූ වීර පුරුෂයන් තම ජීවිත පරිත්‍යාගයෙන් යුතුව මෙරට ආරක්ෂා කළ බැවිනි. මහනුවර රාජධානියේ අවසන් කාලසීමාව දේශ පේ‍්‍රමීත්වය, ද්‍රෝහීත්වයෙන් පමණක් නොව සිංහලයන්ගේ රුධිරයෙන් සහ කඳුළෙන් තෙත් වූ යුගයකි. එදා පෘතුගිසි, ලන්දේසි සහ ඉංග‍්‍රීසි යන පරදේශක්කාරයන්ගෙන් පමණක් නොව දශක කිහිපයක් මෙරට පාලනය කළ ඉන්දීය වඩුග දමිළ පාලකයන් ගෙන් ද බෞද්ධ සිංහල දේශය බේරා ගත යුතුව තිබිණි. එහිදී පෙරමුණ ගෙන සටන් කළ වීර පුරුෂයන් අතර පිළිමතලව්වේ ,,, වන පල්ලෙගම්පහේ මහා අදිකාරම් (ක‍්‍රි.ව 1790 - 1811) ට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.
ඔහුට අවශ්‍ය වූයේ වඩුග ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ (ක‍්‍රි. ව. 1798 - 1815) පළවා හැර සිංහල ජාතිකයෙකු සිංහාසනාරූඪ කරවීමට ය. එහෙත් අද මෙන්ම එදා ද තාන්න, මාන්න, නම්බු නාම, නිල තල, මිල මුදල් වෙනුවෙන් තම ආත්මය පවා දෙන නිවටයෝ ද රජු සමඟ සිටියහ. එවන් අය නිසා පිළිමතලව්ව මහා අදිකාරම්ගේ උත්සාහය අසාර්ථක විය. නැවත එවන් කැරළි කෝළාහල සිදු නොකරන බව පොරොන්දු වන්නේ නම් සමාව ලබා දීමට රජු කැමැත්ත පළ කළ ද, ඊට එකඟ නොවී, දං ගෙඩියට ගෙල තැබුයේ දේශානුරාගයෙන් මත් වූ මහා වීර පුරුෂයෙකු ලෙසිනි. තම වාසිය වෙනුවෙන් කටයුතු කළානම් අනිවාර්යයෙන්ම ඔහු ජිවිතය බේරා ගනු ඇත. ඔහුට ඒ සඳහා  ඕනෑ තරම් අවස්ථාවද තිබුණි. ඒ මහා වීර සිංහලයාගේ නිල වලව්ව පිහිටා තිබුණේ දළදා මාළිගාවට නුදුරෙන් වූ වත්මන් ජනාධිපති මන්දිරය පිහිටා ඇති ස්ථානයේ ය.
 

මහනුවර ජනපති මන්දිරය සාදා ඇත්තේ පිළිමතලව්ව වලව්ව කඩා බිඳ දමා ය
එවකට දළදා මාළිගය අසළ රජ මාළිගය ද, රජ මාලිගය ඉදිරියෙන් රජුට සහාය වූ අදිකාරම්වරුන් ගේ වලව් ද, වත්මන් මහනුවර ජනාධිපති මන්දිරය පිහිටා ඇති ස්ථානයේ පිළිමතලව්වේ ,,, වැනි මහා අදිකාරම් ගේ නිල රාජකාරි සඳහා වූ වලව්ව ද පිහිටා තිබුණි. එම වලව්ව කි‍්‍ර.ව 1822 දී ආණ්ඩුකාර ශ‍්‍රිමත් එඞ්වර්ඞ් පැපේ ගේ නියමයෙන් කඩා දමා නව ගොඩනැගිල්ලක් සෑදීම ආරම්භ කරන ලද නමුත් එය නිම කරන ලද්දේ ශ‍්‍රීමත් එඞ්වර්ඞ් බාන්ස් ආණ්ඩුකාරයා ගේ දෙවෙනි සේවා කාලයේදීය (කි‍්‍ර.ව 1824 - 1831). පසුව එය රාජකීය මන්දිරය (KINGS PAVILION) ලෙස භාවිතයට පත්විය.
පිළිමතලව්වේ මහා අදිකාරම්වරුන් ගේ මුල් වලව්ව පිහිටියේ අලකොළඅංගයේය. එය වර්තමානයේ පිළිමතලාව යන නමින් හැඳින්වේ. පිළිමතලාව මහා විද්‍යාලය පිහිටි භූමියේ මුල් වලව්ව (මදුරාව) පිහිටි අතර, පිළිමතලාව නගරය පමණක් නොව ඇඹිල්මීගම තෙක් වූ අක්කර සිය ගණනක භූමි ප‍්‍රදේශයක් එකළ පිළිමතලව්ව මහා අදිකාරම්වරු සතු වූහ.
,,, වැනි පිළිමතලව්වේ මහා අදිකාරම් රාජ්‍ය පාලනය පිළිබඳ මනා දැනීමක් සහ බොහෝ බලතල තිබු නායකයෙකි. එකල රාජ සභාවේ ඔහු තරම් ශූර පුද්ගලයෙක් නොසිටියේ ය. තම ඥාණය මෙහෙයවා සාකච්ජා කිරීමට හැකි, තමාට අවශ්‍ය ආකාරයට අනුන් හැසිරවීමේ සුවිශේෂී දක්ෂතාවය නිසාම ඔහුට විවිධ පදවි තානාන්තර ලබා ගැනීිමට හැකි විය.  මුහන්දිරම්, රටේ අතපත්තු, බස්නායක නිලමේ, ලේකම්, දිසාව, මහ දිසාව, දියවඩන නිලමේ, උඩගම්පහේ මහා අදිකාරම්, පල්ලේගම්පහේ මහා අදිකාරම් ඇතුඵ තනතුරු බොහොමයක් දැරුවේය.  එකවර තනතුරු විස්සක් පමණ දැරූ ඔහු දෙවැනි වූයේ රජතුමාට පමණි. කෙටියෙන් පවසන්නේ නම් රජතුමා සිටිය ද රටෙහි පාලන කටයුතු බොහොමයක් සිදු වූයේ පිළිමතලව්වේ III වැනි මහා අදිකාරම්ට අවශ්‍ය ආකාරයට ය.  
 

පිළිමතලව්වේ පරම්පරාවේ ආරම්භය  
පිළිමතලාව පරම්පරාව ආරම්භ වන්නේ මදුරාපුරයෙන් (ඉන්දියාවෙන්) පැමිණි සුමේධ කුමාරයා ගෙනි. ඉතිහාසය පවසන පරිදි පිය රජු සමඟ කිසියම් අමනාපයක් නිසා ඔහු තම බාල සහෝදරියන් දෙදෙනා ද සමඟ අනුරාධපුරයට පැමිණේ. එහි නුවර වැවේ වලව්වේ නැවතී ටික කාලයක් ගත කරන ඔවුන්, එම පවුලේ ටිකිරි බණ්ඩාරට වැඩිමහල් නැගණිය කෞශල්‍යා විවාහ කර දී බාල නැගණිය සුපන්නා සමඟ සෙංකඩගල පුරවරයට පැමිණේ.  එවකට කුණ්ඩසාළේ රජතුමා සුමේධ කුමාරයා ගේ නැදෑයන් බව දැන අලකොළඅංග ගම ලබා දී රජු ගේ මහ වාසල ලේකම් (මහලේකම් මිටිය ලියන්නා) වශයෙන් පත් කර තවත් කාලයක් ගත වෙද්දී මහා ගබඩා නිලමේ (කි‍්‍ර.ව 1723 - 1732) තනතුරට පත් කළේ ය.  ඔහු අලකොළඅංගේ මදුරාව යන නමින් වලව්වක් සාදා ගෙන මදුරාවේ බණ්ඩාර ගබඩා නිළමේ යන නමින් ජීවත් වූවේය. පසුව දුල්ලෑවේ බණ්ඩාර කෙනෙකු ගේ දියණියක වන අනුහස් හාමී සරණ කර ගත්තේ ය.  
ඔවුන්ට එක පිරිමි දරුවෙක් සහ ගැහැණු දරුවන් හය දෙනෙකි. වැඩිමහල් එකම පිරිමි දරුවා පිළිමතලව්වේ අරාව ටිකිරි බණ්ඩාර හෙවත් පිළිමතලව්වේ විජයසුන්දර රාජකරුණා තනතුරු කිහිපයක්ම හෙබවිය. දිසාව සත් කෝරළේ (කි‍්‍ර.ව 1766), දිසාව සතර කෝරළේ (කි‍්‍ර. ව 1765 - 1767), උඩගම්පහ මහ අදිකාරම් (කි‍්‍ර.ව 1738 - 1762) ,පල්ලේගම්පහ මහ අදිකාරම් (කි‍්‍ර.ව 1765 -1773) ඉන් ප‍්‍රධානය. අස්ගිරි පරණ විහාරය (කි‍්‍ර.ව 1766) ගොඩනැඟුවේද එතුමා ය. පිළිමතලව්වේ පරම්පරාවේ පළමුවැනි මහා අදිකාරම් වූ මොහු විවාහ වූයේ මොනරවිල කුමාරිහාමි සමඟ ය. ඔවුන්ට දරුවන් සතර දෙනෙකි. ඔවුහු පිළිමතලව්වේ මැණිකේ, පිළිමතලව්වේ විජයසුන්දර රාජපක්ෂ, පණ්ඩිත වාසල මුදියන්සේ දිසාව, පිළිමතලව්වේ විජේසුන්දර මුදියන්සේ මහා අදිකාරම් II සහ පිළිමතලව්වේ විජේසුන්දර රාජකරුණා සෙනෙවිරත්න අබේකෝන් පණ්ඩිත මුදියන්සේ නොහොත් උරුලෑවත්තේ අග‍්‍ර සේනාධිපති නම් වූ අරාවේ III වැනි අදිකාරම් වූ සිංහලයේ දෙවැනි රජ්ජුරුවෝ ය.
වැඩිමහල් පුත‍්‍රයා වන මුදියන්සේ දිසාව කි‍්‍ර.ව 1767 වසරේදී බතාවියට දුත මෙහෙවරක් පිණිස ගොස් ඇති අතර, නැවත පැමිණෙමින් සිටිය දී මිය ගොස් ඇත. දෙවැනි පුත‍්‍රයා මහා අදිකාරම් II (කි‍්‍ර.ව 1778 සිට 1784 හෝ 1789 වසර තෙක්) තනතුරේ සේවය කර තිබේ.  
අරාව ටිකිරි බණ්ඩාර ගේ නැගණියෝ හය දෙනා පිළිවෙලින් ලෙව්කේ, උරුලේවත්ත, කෙම්පිටිය, උනම්බුව, රත්වත්ත, කැප්පෙටිපොළ යන අදිකාරම් වරුන් සමඟ විවාහ වූහ.  
 
පිළිමතලව්වේ වලව්ව

පිළිමතලව්ව නම ලැබුණු ආකාරය
පිළිමතලව්වේ යන නම ලැබු ආකාරය පිළිබඳව මත කිහිපයක්ම පවතී. මඳුරාවේ බණ්ඩාර කුඩා කණ්ඩායමක් මෙහෙයවමින් ලන්දේසීන් සමඟ සටන් කළ ද ජය ගත නොහැකිව, අසළ තිබූ විහාරයකට ගොස් තැනට සුදුසු නුවණ භාවිතා කර, පිළිම අතරේ පිළිමයක් මෙන් සැඟවී සිට ජිවිතය බේරා ගෙන නැවත සෙනඟ රැුස්කරවා ඔවුන් මරා දැමුවේ ය. පිළිම අතරේ පිළිමයක් මෙන් සිටි නිසා පිළිමතලව්වේ යන නම පට බැඳුණි.  
සුමේධ කුමාරයා නැගණියන් දෙදෙනා සමඟ පැමිණීමේදි බාල නැඟණියට හා සමානව රත‍්‍රන් පිළිමයක් ද රැගෙන පැමිණ තිබේ. එම පිළිමය අළකොළ අංගයට ද රැුගෙන පැමිණි අතර, රාජසභාවට යාමේදී කුඹුරේ හෝ ගං ඉවුරේ සඟවා යති. ඒ නිසා පිළිමතලව්ව යන නම භාවිතයට පැමිණ තිබෙන බව තවත් කතාවකි.
කෙසේ වෙතත් පිළිමතලව්ව ගම යටිනුවර මැදපළාත කෝරළේ පිහිටා ඇත. ගඩලාදෙණිය විහාරයේ ඇති 14 වැනි සියවසට අයත් සෙල් ලිපිය පිළිමතලාව හා ඇම්බුල්මීගම (ඇඹිල්මීගම) යන ගම්මාන දෙක ගැන සඳහන් කර ඇත. 19 වැනි සියවස මුල් කාලයේ දී පිළිමතලව්ව පවුලේ එක් පාර්ශවයක් පිළිමතලාවට යාබද ඇඹිල්මීගම ගම්මානයට පැමිණෙන්ට ඇත. දෙනුවර විසූ  පිළිමතලව්වේ පවුල් අතර විවාහ සම්බන්ධකම් ඇති කර ගනිමින් කාලයේ ඇවෑමෙන් උඩරට සිංහලයන් බවට පත් වූහ.
 

පිළිමතලව්වේ වලව්ව
ඒ.සී ලෝරී ගේ වාර්තා වලට අනුව පිළිමතලව්ව මුල් වලව්ව පිහිටා තිබී ඇත්තේ හැරමිටිගල විහාරයට හා ප‍්‍රධාන මාර්ගයට තරමක් නිරිත දිගින් උස් ස්ථානයක ය. එම ස්ථානයෙහි ඝනවට වැඩුණු ලන්තානා පඳුරු වලින් යුත් ඉඩමක පොල් ගස් කිහිපයක් තිබී ඇත. පිළිමතලව්වේ වලව්වට තරමත් නුදුරින් මඳුරාව වලව්ව (උරුලෑව වලව්ව) පිහිටියේ ය. වලව්වක් කියූ පමණින් අප ගේ මතකයට නැෙඟන්නේ තරමක් විශාල මන්දිරයකි. එහෙත් රජ දවස වලව්ව කුඩා ය. එදා රජ මාළිගා අද දක්නට නොලැබුණ ද, දළදා මාළිගා පරිශ‍්‍රයේ ඇති ගොඩනැගිලි දෙස බැලීමේදී එය සනාථ වේ. ඒ අනුව මඳුරාව වලව්ව ද කුඩා නිවෙසකි. සුමේධ කුමාරයා පැමිණි කාලයේ වලව්වේ වහලයට පිදුරු, පොල්අතු සෙවිළි කළද, පසුව රවුම් උඵ භාවිතා කර තිබේ. බිත්ති මැටි වලින් සාදා සුදු හුණු ආලේ්ප කර ඇත. බිමට ගොම, මැටි ගා තිබේ. දොර උඵවසු සාදා ඇත්තේ දැව දඬු යොදා ගෙන ය.
ලෝරි ගේ වාර්තා තවදුරටත් පරික්ෂා කිරීමේදී පෙනී යන්නේ වත්මන් පිළිමතලාව නගරයේ පොළට හා අලකොළඅංගේ පාලමට (පිළිමතලාව ඔරලෝසු කණුව අසල ඇති) නුදුරින් කොළඹ ප‍්‍රධාන මාර්ගයට ඉහළින් පිළිමතලව්වේ වලව්ව පිහිටා තිබෙන්නට ඇති  බවකි. එය පරණගල පන්සල ආසන්නයේ නගරයේ ඉන්ධන පිරවුම් හලට ඉහළින් පිහිටි තේ වගා කර ඇති භූමියේ වූවා විය හැක. එහෙත් ආනන්ද සෙනරත් පිළිමතලව්වේ මහතා ගේ පියා පවසා ඇති ආකාරයට එම ස්ථානය පවුලේ සුසාන භූමියට ආසන්න වූ, වත්මන් පිළිමතලව්ව මහා විද්‍යාලය සාදා ඇති ස්ථානය විය හැකි බව ය. කෙසේ වෙතත් එම වලව්ව පිහිටා තිබූ බවට කිසිදු සාක්ෂියක් අද වන විට සොයා ගත නොහැකි අතර එම පරිශ‍්‍රයේ පිහිටි මඳුරාව වලව්ව එම ස්ථානයේම නැවතත් ගොඩ නඟා ඇත. දොඩංවල පවුලේ සාමාජිකයකු විසින් එහි හිමිකාරිත්වය දරයි. මහනුවර නගරයේ ජනාධිපති මන්දිරය සාදා ඇත්තේ නිල රාජකාරි වලව්ව කඩා බිඳ දැමීමෙන් පසුව බව ඉහතදී සඳහන් කළෙමු.
 

පිළිමතලව්වේ මහා අදිකාරම් ගේ එකම පිරිමි දරුවා
පිළිමතලව්වේ III වැනි මහා අදිකාරම් හෙවත් දෙවැනි රජ්ජුරුවන්ට විවාහ දෙකක් සිදු කර ගැනීමට සිදු වන්නේ දෛවයේ සරදමක් නිසාදැයි නොතේරේ. පළමු විවාහය සිදු වූයේ මාරලන්ද කුමාරිහාමි සමඟ ය. තවත් කාලයක් ගෙවී ගොස් දොඩන්වල (කනිෂ්ඨ) අදිකාරම්ගේ දියණියක් වූ දොඩන්වල කුමාරිහාමි සමඟ ද විවාහ වූයේ ය.  කෙසේ වුවත් දියණියෝ දෙදෙනෙක් සහ එක පුත‍්‍රයෙක් ඔහුට සිටියහ. එහෙත් එම දරුවන් කුමන විවාහයෙන් බිහි වුණා දැයි යන්න දැන ගැනීමට හැකියාවක් නොමැත. ඔහු ගේ එකම පුත‍්‍රයාද සිංහල ජාතිය වෙනුවෙන් සටන් කළ වීර පුරුෂයෙකි. පිළිමතලව්වේ විජේසුන්දර රාජපක්ෂ බණ්ඩාරනායක මුදියන්සේ (කනිෂ්ඨ) යන නමින් හැඳින් වූ ඔහු වයස අවුරුදු දොළහක වැනි බාල කාලයේදී ම, ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු විසින් උඩුනුවර දිසාව ලෙසත්, පසුව සතර කෝරළේ දිසාව වශයෙන්  ද පත් කරන ලදී. ක‍්‍රි.ව 1815 මාර්තු 02 දා මහනුවර දී උඩරට ගිවිසුමට අත්සන් කරන ලද්දේ මෙම පිළිමතලව්වේ දිසාව ය.  ඒ ඔහු ගේ ඥාති සොහොයුරෙකු වූ උඩගම්පහේ අදිකාරම සහ සබරගමුවේ දිසාව නොහොත් කපුවත්තේ දිසාව සමඟ ය.  
පියා මෙන්ම ඔහු ද දක්ෂ පරිපාලකයෙකු සහ සොල්දාදුවෙකු ද විය. උඩරට ගිවිසුමට අත්සන් කිරීමෙන් පසුව ඉංග‍්‍රීසින් නොයෙකුත් බදු පනවමින් ජනතාව දුකට පත් කර තිබේ. උඩරට ගිවිසුම කඩ කරමින් සිදු කරන පාලනයට එරෙහිව කන්ද උඩරට ජනතාව පෙළ ගැසිණි. එහි එක් නායකයෙකු වශයෙන් පිළිමතලව්වේ දිසාව (කනිෂ්ඨ) පෙරමුණ ගනිමින් ඌව වෙල්ලස්ස කැරැල්ල නොහොත් ප‍්‍රථම නිදහස් සටනෙහි දී (කි‍්‍ර.ව 1817 -  1818) වීර කැප්පෙටිපොළ සමඟ නායකත්වය ලබා දෙමින් මෙහෙයවූයේ ය. පසුව ඉංග‍්‍රීසින්ගේ අත් අඩංගුවට පත් වන පිළිමතලව්වේ දිසාව කි‍්‍ර.ව 1820 දී මුරුසි දුපතට පිටුවහල් කරන ලදී. ඒ වන විට ඔහු උඩුනුවර දිසාව (කි‍්‍ර.ව 1804), සතර කෝරළේ දිසාව (කි‍්‍ර.ව 1810 - 1811 සහ 1815 - 1816) සත් කෝරළේ දිසාව (කි‍්‍ර.ව 1816 - 1818), යටිනුවර රටේ මහත්තයා (කි‍්‍ර.ව 1816 - 1818), දියවඩන නිළමේ ශ‍්‍රි දළදා මාළිගය (කි‍්‍ර.ව 1812 - 1816* මහ ගබඩා නිලමේ යන තනතුරු කිහිපයක්ම දරා සිටියේ ය. කි‍්‍ර.ව 1833 වසරේ දි නැවත ශ‍්‍රී ලංකාවට පැමිණ ඇති පිළිමතලව්වේ දිසාව (කනිෂ්ඨ) එම වසරේදීම මිය ගොස් ඇත්තේ වීර පුරුෂයෙක් ලෙසිනි.
 

පිළිමතලව්වේ III වැනි පල්ලෙගම්පහේ මහා අදිකාරම් හෙවත් සිංහලයේ දෙවෙනි රජ්ජුරුවෝ....  
පළමු වෙනි පිළිමතලව්වේ මහා අදිකාරම් ගේ තෙවැනි පුත‍්‍රයා වන පිළිමතලව්වේ විජේසුන්දර රාජකරුණා සෙනෙවිරත්න අභයකෝන් පණ්ඩිත මුදියන්සේ හෙවත් සිංහලයේ දෙවැනි රජ්ජුරුවෝ කි‍්‍ර.ව 1787 දී පමණ ශ‍්‍රි රාජාධී රාජසිංහ රජු යටතේ (කි‍්‍ර.ව 1781 - 1798* උඩගම්පහේ මහා අදිකාරම් ලෙස පත් වූ අතර, කි‍්‍ර.ව 1790 දී පමණ පල්ලේගම්පහේ මහා අදිකාරම් ලෙස උසස් කරනු ලැබුවේ ය. රාජාධි රාජසිංහ රජු මිය යාමෙන් පසු ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමා (කි‍්‍ර.ව 1798 - 1815) යටතේ ද, දශක දෙකකට මඳක් වැඩි කාලයක් එම තනතුරු ඇතුඵ විවිධ තනතුරු විස්සක් පමණ දැරුවේ ය. එවකට රාජ්‍ය සභාවේ බලවත් ම අදිකාරම් වූයේ ද මොහු ය.
 

මුත්තුසාමි සිර කර කන්නසාමි රජ කරවයි...
ශ‍්‍රී රාජාධි රාජසිංහ රජතුමා මිය යාමෙන් පසු රජකමට වැඩි සුදුසුකමක් තිබූ මුත්තුසාමි සිර ගත කොට කන්නසාමි කුමාරයාව ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ ලෙස සිංහාසනාරූඪ කරවන්නේ පිළිමතලව්වේ III වැනි මහා අදිකාරම් ය. කන්නසාමි ද තෙළිඟු භාෂාව කතා කරන දකුණු ඉන්දියානු සම්භවයක් සහිත අයෙකි. ඔහු ශ‍්‍රී රාජාධි රාජසිංහ රජුගේ අග මෙහෙසිය ගේ නැගණිය වූ සුබ්බම්මාට ලංකාවේදී උපන් පුත‍්‍රයෙකි. එවකට දහ අටවැනි වියේ පසු වූ කන්නසාමිට නිසි අධ්‍යාපනයක් හෝ රජකමට පැහැදිලි අයිතියක් ද නොතිබිණි. සමහර දෙනකු ගේ අදහස වූයේ කන්නසාමි ගේ සැබෑ පියා අදිකාරම් බවය.  එහෙත් පිළිමතලව්වේ අදිකාරම් ගේ අදහසට අනුව කන්නසාමි රාජාධි රාජසිංහ රජු ගේ නීත්‍යානූකූල නොවන දරුවෙකි. ඒ අකාරයෙන් මුත්තුසාමි සිරකර කන්නසාමි රජ කරවීමට පිළිමතලව්වේ අදහස් කළේ ඇයි ද යන්න බුද්ධිමත්ව විමසා බැලිය යුතු කරුණකි. මෙහිදී පැහැදිළි වනුයේ, තව දුරටත් නායක්කාර් වංශික දමිළ රජවරුන්ට අවස්ථාවක් ලබා නොදී සිංහල ජාතිකයෙක් රජු වශයෙන් තෝරා ගැනීමට තැබූ පළමු වෙඩිල්ල මෙය බව ය. ඒ අනුව කන්නසාමි රජකරවා පිළිමතලව්ව අදිකාරම්ට අවශ්‍ය ආකාරයෙන් ඔහුව පාලනය කරමින් දුර්වල අවස්ථාවක නෙරපා හැරීමට අදහස් කළා විය හැක. තවද, තම ඉලක්කය සපුරා ගැනීම සඳහා අවස්ථාව එළඹෙන තෙක් බලා සිටීමට ඔහුට සිදු විය.
පිළිමතලව්වේ මහ අදිකාරම්
එවකට රජකමට සුදුසු බණ්ඩාර වලියට අයත් පුද්ගලයන් බොහෝ දෙනෙක් සිටිය ද, එක් පුද්ගලයෙක් අභිභවා තවත් පුද්ගලයෙකුට නැගී සිටිමට ඉඩ නොදෙන දුර්වල කමක් ඔවුන් සතුව පැවතියේය. එපමණක් ද නොව රාජාධි රාජසිංහ මෙන්ම කීර්ති ශ‍්‍රි රාජසිංහ යන නායක්කාර් දමිළ රජවරුන් උඩරට රාජධානියේ අවශ්‍යතා සහ බෞද්ධාගම අනුව ඉතාමත් සූක්ෂම ලෙස ඔවුන් ගේ විදේශීයත්වය යටපත් වන අයුරින් රාජ්‍ය පාලනය කර ගෙන ගියේ ය. එහෙත් ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමා ගේ කපටි අරමුණු ඔහු ගේ අවසාන කාලයේ දී හෙළි විය. මේ අනුව කිසිදු උඩරට රදළවරයෙකුට පිටස්තර ආධාරයකින් තොරව සිංහාසනාරූඪ විය නොහැකි බව මහා අදිකාරම් තේරුම් ගත්තේ ය.  එමනිසා සිංහල රාජ වංශය නැවත ඇති කිරීමට අවස්ථාවක් සැලසෙන තුරු පිළිමතලව්වේ අදිකාරම්ට අවශ්‍ය පුද්ගලයෙක් වූ කන්නසාමි තෝරා ගැනීමට රදළවරුන් කැමති කරවා ගත්තේ ය.  ඔහුගේ මෙම පරමාර්ථය උතුම් එකක් බව පැවසිය යුතුව තිබේ.
කන්නසාමි හෙවත් ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු එයට කෘතගුණ සැලකිමක් ලෙස සියලූ රාජ්‍ය බලතල මෙහෙයවීමට මහා අදිකාරම්ට අවසර ලබා දුන්නේ ය. කන්නසාමිට ඒ ආකාරයෙන් කටයුතු කිරීමට සිදුවූයේ රාජ්‍ය සභාවේ පමණක් නොව ජනතාවගේ ද විශ්වාසය මහා අදිකාරම් දිනා ගෙන සිටි නිසා ඔහු තමා හා අමනාප වේ යැයි බියක් දැක් වූ බැවිනි. කාලයක් ගත වන තුරු සංකේතාත්මක වශයෙන් පමණක් බලය රඳවා තබා ගැනීමට රජතුමා කැමති වූයේය.
තවත් කාලයක් ගත වී ගොස් කි‍්‍ර.ව 1806 වසර උදා විය. එම වසරේ දී මීගස්තැන්නේ උඩගම්පහේ අදිකාරම් මිය ගියේය. පසුව රජු විසින් සත් කෝරළේ දිසා වන්නිය පාලනය ඇහැළේපොළ හා මොල්ලිගොඩ අතරේ බෙදා දෙන ලදී. මෙම කි‍්‍රයාව සම්ප‍්‍රදායට මෙන්ම පෙර පැවති ප‍්‍රතිපත්ති වලට පටහැනි ය.  එපමණක් නොව අමතර බද්දක් ද පැනවිණි. මේවාට ජනතාව විරුද්ධ වූහ. දැඩි උද්ඝෝෂණයක් ඇති විය. පිළිමතලව්වේ අදිකාරම් තම බලය හා ප‍්‍රතාපවත් බව යොදා ගනිමින් එය මැඩ පැවැත් වූවේ ය. ඔහු එය පාලනය කළේ තමාටත්, රත්වත්තේ දේවමැද්දේ නිළමේ නම් වූ තම බෑණනුවන් අතර එම දිසාවන්නිය බෙදා දෙන බවට වූ පොරොන්දුව මත ය. පිළිමතලව්වගේ ක‍්‍රියා කළාපය පිළිබඳව රජතුමා පැහැදි සිටියේය.
 

රජු හා මහා අදිකාරම් අතර මතබේද
එහෙත් ඒ වන විටත් පිළිමතලව්වේ අදිකාරම් ඉංග‍්‍රීසීන් සමඟ රහසින් සාකච්ජා පවත්වමින් සිටියේ රජුව එළවා දැමීම අරමුණු කර ගෙන ය. එයට හේතු වූ තවත් කාරණා බොහොමයක් ඒ වන විට පෙළ ගැසීි තිබිණි. වහල් මිනිසුන් යොදා ගෙන සෙංකඩගල නගරය අලංකාර කිරීමට වැවක් සහ පත්තිරිප්පුවක් ගොඩනැගීමට රජුට තිබූ අවශ්‍යතාවය ඉන් එකකි. එහෙත් පිළිමතලව්වේ මහා අදිකාරම් ඇතුඵ ඔහු ගේ රාජ්‍ය සභාවේ අදහස වූයේ බොර වැව හා බෝගම්බර වැව තිබෙන බැවින් වී වගාව වැඩි කිරීම සඳහා තවත් වැව් අවශ්‍ය නැති බවත්, අවශ්‍ය වනුයේ අලූත් ඉඩම් අස්වැද්දීම බවත් ය.
අනෙක් කරුණ වූයේ, අස්ගිරිය හා මල්වතු විහාර දෙක නුවරින් ඉවත් කර පේරාදෙණියට රැුගෙන යාමත්, ඉන් නොනැවතී, සතර දේවාල ද නගරයෙන් පිටතට රැුගෙන යාමත් ය. එපමණකින් නොනැවතී අස්ගිරි මල්වතු විහාර භූමිය රජ මාළිගාවේම කොටසක් බවට පත් කිරීමටත්, විශේෂයෙන්ම සිංහල බෞද්ධ රජවරුන් විසින් අනුගමනය කිරීමට බැඳී සිටි ”දස රාජ ධර්මය” වෙනුවට ”මනුගේ නීති” වලට අනුව සකස් කරන ලද හින්දු ආගමික රාජ්‍ය පාලන ක‍්‍රමයක් ඇති කිරීමටත් රජතුමා සැලසුම් කරමින් සිටින බවට සැකයක් පහළ විය. මෙවැනි කරුණු වලට අමතරව රජු හා පිළිමතලව්ව මහා අදිකාරම් අතර වෙනත් ප‍්‍රබල කරුණු කිහිපයක් නිසා ද මතබේද රාශියක් ඇති විය. මාසයකට ඉන්දියාවෙන් සංක‍්‍රමණිකයන් ලෙසින් මලබාර් ජාතිකයන් හැත්තෑවක පමණ සංඛ්‍යාවක් ගෙන්වා යුද භටයන් ලෙස පුහුණු කිරීම හා අන්තඃපුරයක් පිහිටුවා ඒ සඳහා වැඩි වියට පත් නොවූ ගැහැණු ළමයින් දකුණු ඉන්දියාවෙන් ගෙන්වා ගැනීම පමණක් නොව රදළ පවුල් වල ගැහැණු ළමයි පවා ඊට යොදා ගැනීම ඊට හේතු විය.  
පිළිමතලව්ව අදිකාරම් ගේ සැකය ඒ ආකාරයෙන් තහවුරු වෙමින් පවතින මොහොතක නිලමේවරුන් ගේ බලතල දුර්වල කිරීමේ අරමුණෙන් බෙදා පාලනය කිරීමේ ප‍්‍රතිපත්තියක් රජු අනුගමනය කළේ ය. එහිදී  දිසාවන් කොටස් කර, කඩා බෙදා නව පවුල්වල සාමාජිකයන්ට එහි තනතුරු ප‍්‍රදානය කර, ඒ වන විටත් නිල තල දැරූ අය දිසාවෙන් දිසාවට නිතරම පාහේ මාරු කරමින්, ඔවුන් ගේ ද බලතල අඩු කළේ ය. ඒ වන විට මහා අදිකාරම් ගේ පුත‍්‍රයා මාම්පිටිය වාහල බණ්ඩාර ගේ දියණිය සමඟ විවාහ ගිවිස ගෙන සිටි අතර, එයට රජු විරුද්ධ වූයේය. ඊට හේතු වූයේ වාහල බණ්්ඩාර, කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු ගේ අවජාත පුත‍්‍රයෙකු වීමයි.
මෙම තත්ත්වයෙන් උපරිම ලෙස ප‍්‍රයෝජනයට ගත් රජු ගේ නායක්කර් ඥාතීහු දුර්වල තත්ත්වයට පත්ව සිටි සිංහල රදළ වරුන්ට විශාල වශයෙන් ණය මුදල් ලබා දෙමින් ඔවුන් තම පැත්තට හරවා ගත්හ. ඒ වන විට දකුණු ඉන්දියාවෙන් කුලී හේවායන් විශාල වශයෙන් පැමිණ සිටි අතර, ඔවුන් වෙනුවෙන් සහ ඔවුන්ව පරික්ෂා කිරීමට යොදවා සිටි අමතර සුපරීක්ෂකවරුන් වෙනුවෙනුත් භාණ්ඩාගාරයට අමතර මුදලක් අවශ්‍ය වී තිබුණි. ඒ වෙනුවෙන් මුදල් සොයා ගැනීම සඳහා ”මරාල බද්ද” වැනි බදු පැනවීම යළිත් ඇරඹුණි. මේ නිසා ජනතාව තවදුරටත් පීඩා වින්දහ. නව තනතුරු ලැබූ අය ගෙන් ද වැඩිපුර ගෙවීමක් අපේක්ෂා කරනලදී. එමෙන්ම පෙර සිටි රජවරුන් සේ බෞද්ධ ආගමානුකූල කටයුතු වලට අනුබලදීම වෙනුවට විවෘතව හින්දු ආගමික චාරිත‍්‍ර වලට අනුබල දුන් රජු, නිතර බීමත්ව හැසිරීමත්, රජ වාසලේ හා තම ඥාතීන් ගේ පරිභෝජනය සඳහා දළදා මාළිගාවට නුදුරින් එළුවන් මැරීමට ඉඩ ලබා දීමත් නිසා සිංහල බෞද්ධ ජනතාව ගේ හා මහා සංඝයා වහන්සේ ගේ පිළිකුලට ලක් වූයේ ය.
මෙවන් පසුබිමක් නිර්මාණය වීම නිසා සාමාන්‍ය සිංහල ජනතාව ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජු සමඟ වෛරයක් ඇති කර ගත්හ. පිළිමතලව්වේ මහා අදිකාරම් බොයිඞ් නම් ඉංග‍්‍රීසීන්ගේ ලේකම් හා ෆ්‍රෙඞ්රික් නෝත් ආණ්ඩුකාරවරයා සමඟ අවිස්සාවේල්ලේදී නිතරම සාකච්ජා කළේ ඉංග‍්‍රීසින් ගේ සහාය ඇතිව කන්ද උඩරට වඩිග රජු සිහසුනෙන් නෙරපා, සම්පූර්ණ බලය තමන් වෙත ලබා ගෙන සිංහල රජ කෙනෙකු පත් කර දස රාජ ධර්මයට අනුව සිංහලේ පාලනය කිරීමේ උතුම් අරමුණෙනි.
 

රජු පළවා හැරීමට ගත් උත්සාහයන්
මහා අදිකාරම් ගේ සැලැස්ම දැනගත් ඉංග‍්‍රීසින් පවසා සිටියේ මහනුවර පාලනය සිදු විය යුත්තේ බි‍්‍රතාන්‍ය රජු ගේ නමින් බවයි.  රාජ්‍ය පාලනය තමාට පවරා දී බි‍්‍රතාන්‍ය හමුදා සේනාංකයක් මහනුවර රඳවා තැබුව හොත් බි‍්‍රතාන්‍ය කිරීටය හා රජු ගේ ගරුත්වය රැකෙන ආකාරයට කටයුතු කරන බවට අදිකාරම් කැමැත්ත පළ කළේ ය. ඉන්පසු මහා අදිකාරම් විසින් ජනරාල් මැක්ඩොවල් ප‍්‍රමුඛ ඉංග‍්‍රීසි දුත කණ්ඩායමක් නුවර දී මුණ ගැසීමට රජුව කැමති කරවා ගත්ත ද, කි‍්‍ර.ව 1800 වසරේදී සිදු වූ එම දුත ගමන අසාර්ථක විය. එයට හේතු වූයේ ඒ සම්බන්ධයෙන් ගිවිසුමක් අත්සන් කිරීමට රජු මැළිවීමයි. එහෙත් මහා අදිකාරම් ආණ්ඩුකාරවරයා සමඟ පවත්වාගෙන ගිය සාකච්ජා නැවැත්වූයේ නැත. එහි අවසන් ප‍්‍රතිඵලය වූයේ කි‍්‍ර.ව 1803 ජනවාරි මස 31 දින මහා අදිකාරම් ගේ සහයෝගය ඇතිව ඉංග‍්‍රිසින් විසින් උඩරට ආක‍්‍රමණය කිරීමයි.
ජනරාල් මැක්ඩොවල් යටතේ භටයන් 1700 ක්ද, කර්නල් බාර්බට් යටතේ තවත් භටයන් 1200 ක පිරිසක් ද මහනුවරට ගියද, ඒ වන විට රජු නුවර අතහැර දමා හඟුරන්තෙකට ද එතැනින්ද පළා ගොස් කෙසේ හෝ නැවතත් සිංහාසනාරූඪ විය. පසුව පිළිමතලව්ව මහා අදිකාරම ගේ බලතල අහිමි කර ඔහු හෙබ වූ තනතුරු වලින් ද පහ කළේය. ඉන්පසු මහා අදිකාරම සබරගමුවේ වාසය කළ අතර, රජුට වසූරිය වැළඳී ඇති බව දැන ගන්නට ලැබී නැවත මහනුවරට පැමිණ රජු ගේ විශ්වාසය දිනා ගෙන බලතල නැවත ලබා ගත්තද, ඉංග‍්‍රීසින් සමඟ දිගටම සාකච්ජා කරමින් රජුව නෙරපීමට උත්සාහ කළේ ය. එහෙත් ඉංග‍්‍රීසින් ගේ සහ අදිකාරම් ගේ අදහස් පරස්පර විරෝධී වූ බැවින් තවදුරටත් ඉංග‍්‍රීසින් සමඟ සාකච්ජා කිරීමෙන් පලක් නොවන බව තේරුම් ගත්තේය.
ඉන් පසුව තනිවම ක‍්‍රියා කිරීමට තීරණය කර ජා කුලී හේවායන් ලවා රජුව ඝාතනය කිරීමට සැළසුම් සකස් කළේ ය. අනතුරුව කැරැුල්ලක් ඇති කර ඉංග‍්‍රීසින්ට ආරාධනා කොට කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු ගේ අවශේෂ බිරිඳක ගේ පුත‍්‍රයා වූ මාම්පිටිය බණ්ඩාරව රජු වශයෙන් පත් කිරීමටත් තීරණය කළේ ය. එහෙත් ඒ වන විටත් වාසනාව පැවතියේ ශ්‍රී වික‍්‍රම රාජසිංහ සතුව ය.  මහා අදිකාරම් ගේ අවාසනාවට කුමන්ත‍්‍රණය අසාර්ථක විය. රජු සැතපී ඇතැයි නිගමනය කළ මොහොතක අවදිව සිටීමත්,  මෙම තත්ත්වය නොදත් යටිනුවර, උඩුනුවර පිරිස් ගිවිසගෙන තිබූ නියමිත වේලාවට ප‍්‍රථමව කැරැල්ලට එක්වීම නිසාත් අවසාන මොහොතේදී එය නවතා දැමීමට සිදු විය. මෙවර පිළිමතලව්ව මහා අදිකාරමට එරෙහිව නඟන ලද චෝදනා බරපතල ඒවා ය.
දළදා මාළිගා පරිශ‍්‍රයේ පිහිටි මඟුල් මඩුවෙහිදී දින තුනක් පුරාවට නඩුව ඇසිණි. රජු විනිසුරු ලෙසත්, රජුට පක්ෂ නිළමේවරුන් ජුරි සභිකවරුන් ලෙසත් කටයුතු කර අවසානයේ පිළිමතලව්වේ මහා අදිකාරමට මරණීය දණ්ඩනය නියම කළේ ය. එහෙත්, මින් ඉදිරියට තමා ගේ රජයට එරෙහිව කටයුතු නොකරන බවට ප‍්‍රතිඥාවක් ලබා දෙන්නේ නම් සමාව ලබා දීමට කැමති බව රජු ප‍්‍රකාශ කළද, රැුස්ව සිටි පිරිස පුදුමයට පත් කරමින් ප‍්‍රතිඥාව ලබාදීම ප‍්‍රතික්ෂේප කොට පවසා සිටියේ තමාට අවශ්‍ය වූයේ රජුට හානියක් සිදු කිරීම නොව ආදරණීය මව්බිම නොමඟ ගිය පාලනයෙන් මුදා ගැනීමට පමණක් බවයි. මෙය වර්තමාන දේශපාලකයන්ට මහඟු පුර්වාදර්ශයකි.
අවසානයේ දී පිළිමතලව්වේ ,,, වැනි මහා අදිකාරම් ප‍්‍රභූවරුන්ට දඬුවම් පමුණුවන ලද බහිරව කන්ද පාමුල පිහිටි ස්ථානයකට කැඳවා ගෙන ගොස් ක‍්‍රි.ව 1811 වසරේ දිනයකදී මරණයට පත් කළහ. මහා අදිකාරම් මරණයට පත් කිරීමට පෙර තම ගෙල සිඳීමට භාවිතා කළ කඩුව පරීක්ෂා කර බලා මෙම අසිපතෙන් සුඵ වේලාවක් තුළදී මෙහි සිටින සියලූම රාජ පුරුෂයන් නැසීමට මා හට හැකියාවක් තිබුණ ද නීතියට ගරු කිරීමට මම දනිමි යනුවෙන් ප‍්‍රකාශ කළ බව කියවේ. 
(දේශානුරාගයෙන් මත්ව ජාතිය වෙනුවෙන් තම ජීවිතය පරිත්‍යාග කළ පිළිමතලව්ව මහා අදිකාරම් ගේ මරණය සිදු වූ නිවැරදි මාසය සහ දිනය කිසිදු ලේඛණයක සඳහන්ව නොමැති වීම කනගාටුවට කරුණකි.) පිළිමතලව්වේ අදිකාරම මරණයට පත් කිරීමෙන් ශී‍්‍ර වික‍්‍රම රාජසිංහට කන්ද උඩරට පාලනය කිරීමට හැකි වූයේ තවත් වසර හතරක පමණ කෙටි කාලයකි. මෙයින් ඒ දුෂ්ට, කපටි වඩුග රජු ගේ පමණක් නොව සිංහලයේ රජවරුන් ගේ පාලනය ද අවසන් විය. එය දෛවයේ සරදමක් දැයි අදටත් තේරුම් ගත නොහැක.

 
ස්තුතිය : විස්තර සහ ඡුායාරූප ලබා දුන්නේ පිළිමතලව්ව පරම්පරාවේ මේ වන විට ඉතිරිව සිටින ජේ්‍යෂ්ඨ සාමාජිකයෙක් වූ ආනන්ද සෙනරත් පිළිමතලව්ව (අවුරුදු 78) මහතා ය. ඔහු වෘත්තිය ලෙස තෝරා ගත්තේ වතු පරිපාලනය වන අතර, මේ වන විට විශ‍්‍රාම සුවයෙන් ඇඹිල්මීගම වලව්වේ ජීවත් වේ. විශ‍්‍රාම ලබා ගැනීමෙන් පසු තම මුතුන් මිත්තන් පිළිබඳව අසා තිබූ ජනප‍්‍රවාද සහ ලිඛිත මූලාශ‍්‍ර වලින් සොයා ගන්නා ලද කරුණු එකතු කොට ඒ සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කර The Pilimatalavuvas In The Last Phase Of The Kandyan Kingdom (Sinhale) නමින් ඉංග‍්‍රිසියෙන් සහ සිංහලෙන් පොත් කිහිපයක් ලියා පළ කර ඇත. ආනන්ද මහතා මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
 

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය