Powered by Blogger.

ඇමෙරිකාවේ සුපිරි වීර ප්‍රබන්ධ චරිතයක් වන ‘කැප්ටන් ඇමෙරිකා’ ගේ තිඹිරි ගෙය ‘මාවල්’ චිත්‍රකතා පොත්ය. පළමු වතාවට මාවල් චිත්‍රකතා පොතකින් ‘කැප්ටන් ඇමෙරිකා’ චරිතය එළිදැක්කේ 1941 මාර්තුවේදීය. 2007 වසරේදී කළ ගණනයකදී හෙළි වූයේ ලොව රටවල් 75ක ‘කැප්ටන් ඇමෙරිකා’ චරිතය ඇතුළත් චිත්‍ර කතා පොත් පිටපත් ලක්ෂ 2100ක් අලෙවි වී ඇති බවයි.
මෙම චරිතය ඇතුළත් සිනමා පට තිරගත වීම ආරම්භ වූයේ 1944 පටන්ය. රූපවාහිනියට ද මෙම සුපිරි වීරයා සපැමිණි අතර කාලයත් සමඟ ලෝකයට ඔහු අමතකව ගියේය.
එහෙත් 2011 දී යළි හොලිවුඩය මේ සුපිරි වීර චරිතයට පණ දුන්නේය. ඒ ‘කැප්ටන් ඇමෙරිකා - ද ෆස්ට් ඇවෙන්ජර්’ සිනමාපටයෙනි. 1944 පටන් අතීතය දෙස බැලුවහොත් එය ‘කැප්ටන් ඇමෙරිකා’ චිත්‍රපට පෙළේ නමවැන්න වූයේය. කෙසේ වෙතත් ඊට පෙර වසර ගණනාවක් පුරා ‘කැප්ටන් ඇමෙරිකා’ තිරගත නොවී තිබූ හෙයින් එය ‘කැප්ටන් ඇමෙරිකා’ නූතන චිත්‍රපට පෙළේ පළමුවැන්න ලෙස හැඳින්විණි.
එහි දෙවැන්න ‘කැප්ටන් ඇමෙරිකා - ද වින්ටර් සෝල්ජර්’ හි මංගල දර්ශනය පසුගිය මාර්තු 13දා ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි දී පැවැත්විණි. පසුගිය මාර්තු 26 දා පටන් එම සුපිරි වීර ත්‍රිමාන චිත්‍රපටය ලොව පුරා ප්‍රදර්ශනය වීම ආරම්භ විය.
ලෝකයේ පොලිස්කාරයා වන්නට කැසකවන ඇමෙරිකාවට මිහිමත සුපිරිම වීරයා වීමට ද අවශ්‍යය. සැබෑ ලෝකය ගැන සලකන විට වියට්නා‍මයේදීත්, ඉරාකයේදීත්, ඇෆ්ගනිස්තානයේදීත් අසාර්ථකත්වයම අත්පත් කරගත් ඇමෙරිකාවේ කිළිටි පැල්ලම් මකා ගන්නට ඔවුන් සිනමාව උපයෝගී කරගත්තේ අද ඊයේක ‍සිට නොවේ. වියට්නාමයේ ලද පරාජය මකාගන්නට හොලිවුඩ් සිනමාකරුවෝ ‘ජෝන් ජේ.රම්බෝ’ වැනි සුපිරි වීර චරිත මැවූහ. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින බව අඟවමින් ඉරාකය හා ඇෆ්ගනිස්තානය වැනි රටවල් අවුලෙන් අවුලට ඇද දැමූ ඇමෙරිකාව මේ ‘සුපිරි වීර චරිත’ ඇතුළත් සිනමාපටවලින් ලෝක සිනමා ප්‍රේක්ෂක මනස්වලට කාවද්දන්නේ ලෝකයේ ගැලවුම්කරුවා ඇමෙරිකාව බවයි.
මාවල් චිත්‍රාගාරයේ නිමැවුම් වූ ‘කැප්ටන් ඇමෙරිකා -2’ එම කාර්යයේ යෙදෙන අලුත්ම චිත්‍රපටයයි. ඇන්තනී සහ ජෝ රූසෝ එක්ව අධ්‍යක්ෂණය කර ඇති මෙම ත්‍රිමාන චිත්‍රපටය වෝල්ට් ඩිස්නි සමාගමේ නිපැයුමකි.
කැප්ටන් ඇමෙරිකා හෙවත් ස්ටීව් රොජර්ස් නූතන ලෝකයේ අභියෝගවලට මුහුණ දෙමින් අ‍ැමෙරිකාව වෙනුවෙන් සටන් වදියි. මෙම චිත්‍රපටයෙන් දැක්වෙන්නේ පැරැණි ඉතිහාසයේ අභියෝග වර්තමාන ලෝකයට තර්ජනයක් වන ආකාරයකි. සීතල යුද සමය නිමාවී සෝවියට් රුසියාව බිඳී ගිය පසු කලක් ගත වන තුරු හොලිවුඩ් චිත්‍රපටවලින් රුසියාව සතුරකු ලෙස දැක්වුණේ නැත. එහෙත් මේ වන විට ව්ලද්මීර් පුටින් ජනාධිපතිවරයාගේ රුසියාව යළිත් ඇමෙරිකාවට තර්ජනයක් අභියෝගයක් වන බව හොලිවුඩයට දැනී ඇති සේය. කැප්ටන් ඇමෙරිකා මේ අලුත් චිත්‍රපටයේ සටන් කරන්නේ ‘වින්ටර් සෝල්ජර්’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන රුසියානු ඔත්තුකරුවා සමඟිනි. කෙසේ වෙතත් මේ වන විට මෙම චිත්‍රපටය සාර්ථකව ‍ෙලාව පුරා ප්‍රදර්ශනය වෙමින් තිබේ.
හොලිවුඩයෙන් ලැබෙන අලුත්ම ආරංචි මාර්ගවලින් පැවසෙන්නේ මෙම චිත්‍රපටයේ තෙවැන්න ද ඇන්තනී හා ජෝ රූ සෝ දෙසොහොයුරන්ගේ අධ්‍යක්ෂණයක් ලෙස 2016 මැයි මස තිරගත කරනු පිණිස නිපැයෙන බවය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය