Powered by Blogger.



චීනයේ මධ්‍යම කොටසෙහි පිහිටි ලංකාව මෙන් තුන් ගුණයකට ආසන්න විශාලත්වයකින් යුතු (වර්ග සැතපුම් 64000) හේනාන් නමැති ප්‍රාන්තය ඉතා පැරැණි බුද්ධ භූමියකි. නවකෝටි පනස්‌ ලක්‍ෂයක ජනගහනයක්‌ නූතනයෙහි මෙහි වාසය කරන අතර චීන ශිෂ්ටාචාරයේ තොටිල්ල ලෙස එම පළාත හඳුන්වනු ලැබේ. ආසියාවේ දෙවැනි දිගම ගංගාව වන සැතපුම් 3395 ක්‌ දිග Yellow River හෙවත් කහ ගංගාවේ ගංවතුරෙන් හේනාන් ප්‍රාන්තය නිරන්තරයෙන් යට වී ගිය ද එම ගංවතුර මගින් ගොඩබිමට ගෙන එන රොන් මඩ නිසා ප්‍රාන්තය සශ්‍රීක විය. ගොවිතැන් සරු සාර ප්‍රදේශයක ශිෂ්ටාචාරය වහ වහා දලුලයි. එවැනි ප්‍රදේශයක පැතිර යන ආගමික විශ්වාසය සහ ඇදහිලි මගින් ශිෂ්ටාචාරය ශකතිමත් කෙරෙයි. මෙයට වසර 2000 කට පෙර බුදුසමය හේනාන් ප්‍රදේශයට පැමිණි අතර ඉන්පසු එම ප්‍රදේශයෙහි බහුල වශයෙන් බෞද්ධ විහාරාරාම තනනු ලැබීය. හේනාන් කඳුකරයෙහි කුඩා ලෙන් 1400 ගණනක්‌ සාදන ලද අතර, භික්‍ෂුන් වහන්සේලා ඒවා තුළට වී භාවනා සුවයෙන් කල් ගත කළහ. මේ ලෙන් හැම එකකම වාගේ බුද්ධ ප්‍රතිමා ඉදිකර ඇත. වසර 2000 ක්‌ හෝ ඊට වඩා පැරැණි එම ප්‍රතිමා එපමණ ප්‍රමාණයක්‌ ඉදිකෙරුණේ ඇෆ්ගනිස්‌ථානය හෝ පාකිස්‌ථානය වැනි රටවල බෞද්ධ සම්ප්‍රදායයේ විනාශයට තුඩු දුන් අන්‍යාගමික ත්‍රස්‌තවාදයක්‌ ක්‍රි. ව. 600 වන තුරු හේනාන් ප්‍රාන්තයෙහි නො හට ගත් නිසා ය.

හේනාන් ප්‍රාන්තයේ බෞද්ධ ලෙන් 1400 ක්‌ පිහිටි ප්‍රදේශය ඛදබටපැබ ඨරදඑඑදැs යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙහි පිහිටි අංක 104 දරන ලෙන තුළ පිහිටි අමිතාභ බුදුන්ගේ අඩි 24 ක්‌ උස පද්මාසන පිළිමය ලොව තිබෙන ඒ වර්ගයේ එකම සහ සුවිශේෂතම ප්‍රතිමාව ය. හේතුව එම ප්‍රතිමාව බුදුන් වහන්සේ සිය දකුණතෙහි දබරැඟිල්ල සහ මැදගිල්ල පමණක්‌ ඔසවාගෙන සෙසු ඇඟිලි හකුලාගෙන සිටින පරිදි නෙළා ඇති නිසා ය. ලෙන් අහස තුළ බුද්ධ ප්‍රතිමා සහ අග්‍රශ්‍රාවකයන්ගේ ප්‍රතිමා ද බුද්ධ ශ්‍රාවකයන්ගේ ප්‍රතිමා ද ලක්‍ෂයකට වඩා තිබේ. එහෙත් ඒ කිසිදු ප්‍රතිමාවක්‌ අංක 104 දරන ලෙනෙහි ඇති ප්‍රතිමාව මගින් දක්‌වන හස්‌ත මුද්‍රාව නිරූපණය කරන්නේ නැත.

පුරාවිද්‍යාඥයන් සහ සමාජ විද්‍යාඥයන් තර්ක කරන පරිදි දබරැඟිල්ල සහ මැදඟිල්ල ඔසවා සෙසු ඇඟිලි නවා ගැනීම බටහිර ලෝකයට කියන පණිවුඩය V මුද්‍රාව හෙවත් Victory මුද්‍රාවය. මෙය සම්පූර්ණයෙන් ම පදනම් වන්නේ Victory හෙවත් ජයග්‍රහණය යන වචනයේ පළමුවන අකුර වන V අකුරේ හැඩය මත ය. එහෙත් බුදුන් වහන්සේ වැඩ වාසය කළ කාලයේදී සහ හේනාන් ලෙන්වල ප්‍රතිමා නෙළන ලද කාලයේදී ඉංග්‍රීසි භාෂාව ආසියාවේ හතර මායිමකවත් නොවීය. ඉංග්‍රීසි භාෂාවේ මුල්ම අවස්‌ථාව පවා බිහිවන්නේ ක්‍රි. ව. 100 න් පසුවය. V සංඥාව ආසියාවට එන්නේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසු (1940 න් පසු) යුරෝපීය හමුදා ජපානය ඇතුළු ආසියාතික රටවල පදිංචි වීමෙන් පසුවය.

අංක 104 දරන ලෙන් ප්‍රතිමාව ඉදිකරන ලද්දේ Lizhi නමැති චීන අධිරාජ්‍යයකු විසිනි ඔහු ක්‍රි. ව. 650 - 683 අතර සමස්‌ත උතුරු චීනයම පාලනය කළේය. ඔහු රාජ්‍යය භාර ගන්නා කාලය වූ කලී චීනයේ බුදු සමය ඉතා හොඳින් පැතිර ගොස්‌ තිබූ කාලයයි. චීනයේ බුදු දහම විසින් විශේෂ කලා සම්ප්‍රදායයක්‌ ඇති කර තිබේ.

Lizhi අධිරාජ්‍යයාගේ පාලන කාලය

ක්‍රි. ව. 628 ජුලි 21 දා ඉපිද, ක්‍රි. ව. 683 දෙසැම්බර් මාසයේ 23 වැනිදා මියගිය ලී - සි අධිරාජ්‍යයාගේ රාජ්‍ය පාලන කාලයෙන් වැඩි කොටසක්‌ පාලනය හිමිව තිබුණේ ඔහුගේ දෙවන මෙහෙසිය වූ Wu Zetian ට ය. එයට හේතුව වයස 47 වන විට අධිරාජයාට හෘදයාබාධ මාලාවක්‌ වැළදී ඔහු ඔත්පල වීමය. කඳ පණ කෙළින් සිටියදී පවා මේ අධිරාජ්‍යයා දුර්වල මිනිසකු වූ අතර අනියම් වශයෙන් රට පාලනය කළේ පෙර කී මෙහෙසියයි.

කෙසේ වුවද චීනයට ඉස්‌ලාම් ආගම එන්නේ ලිං සි අධිරාජ්‍යයාගේ කාලයේදී බව සැළකෙයි. මහම්මත්තුමාගේ හිතවතකු වූ සාද් ඉබන් අබි වක්‌තාස්‌ තුමා ලි සී අධිරාජ්‍යයා හමුවීමට චීනයට පැමිණි බවත් ඉස්‌ලාමීය චින්තනය සහ කොන්ෆියුසියස්‌ ධර්මය අතර සමානකම් ඇති බව සිතූ අධිරාජ්‍යයා ඉස්‌ලාම් දහම චීනයෙහි පැතිර යැමට ඉඩහල නමුත් එම ආගමෙහි තිබෙන දැඩි විනය නීති නිසා කිසි විටෙකත් එම ආගම වැළඳ ගත්තේ නැති බවත් පුරාවෘත්තවල සඳහන් වෙයි. කෙසේ වුවද චීනයේ පළමුවන මුස්‌ලිම් පල්ලිය ගොඩ නැඟීමට ඉඩ දෙන්නේ ලී සිං අධිරාජ්‍යයා ය.

Mail Online/Wikipedia
අනුර සොලමන්ස්‌

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය