Powered by Blogger.

ජනප්‍රිය ක්‍රීඩා මාධ්‍යකරුවන්ගේ නම් ලැයිස්තුවේ මුලින් නම ලියැවුණු සාරංග පතිරණ හිරු රූපවාහිනියේ ‍‍‍ජ්‍යෙෂ්ඨ විධායක නිෂ්පාදක හැටියටත් කටයුතු කරනවා. මලල ක්‍රීඩකයෙක් හැටියට කටයුතු කළ ඔහු මාධ්‍යකරුවෙක් වෙන්නේ කොහොමද කියලා කතා කරන්නත් ඔහුගේ විවාහ මංගල්‍යය ගැන කතා කරන්නත් රිවිසරසි කතාබහකට සාරංගව එකතු කරගත්තා. මේ ඔහුගේ අදහස්.
සාරංග ඔබ මාධ්‍යකරුවෙක් වෙන්න කලින් මලල ක්‍රීඩකයෙක්. ඒ අතීතය ආවර්ජනය කරලාම අපි කතාබහට පිවිසෙමු?
මගේ ගම මාතර, මොරවක. ඒත් පුංචි කා‍ලේ ඉඳලා අපි හැදුණේ කොළඹ. මම මූලික අධ්‍යාපනය ලැබුවේ මහරගම ධර්මාශෝක කනිෂ්ඨ විද්‍යාලයෙන්.ශිෂ්‍යත්වයෙන් සමත් වුණාට පස්සේ මහරගම ජනාධිපති විද්‍යාලයට ඇතුළත් වුණා. මාව මුලින්ම මලල ක්‍රීඩකයෙක් කළේ ජනාධිපති විද්‍යාලය. අවුරුදු දහතුනෙන් පහළ ඉඳලා මම මීටර් සියය, දෙසීය නියෝජනය කළා. සමස්ත ලංකා ජයග්‍රහණ පවා හිමිකර ගත්තා. පසුව උසස් පෙළ වාණිජ අංශයෙන් ඉගෙන ගත්ත මම කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වුණා. මගේ මලල ක්‍රීඩාවේ ස්වර්ණමය යුගය ආරම්භ වන්නේ ආනන්දයෙන්. 98 වර්ෂයේ මීටර් සියය හොඳම කාලය වාර්තා කරන්නේ මම. ඊට පස්සේ ලංකා ලයන්ස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළා. උසස් පෙළ විභාගයෙන් සමත් වෙන්නේ විශ්ව විද්‍යාලයට යන්න ලකුණු පහක් ප්‍රමාණවත් නොවී. ඒ නිසා දිගටම දුවනවා කියලා හිතුවා. ඒ අතරතුර මූල්‍යමය ආයතනයක වැඩ කරන්න ඕන කියන හීනයක් තිබුණා. අම්මා නිතරම කිව්වා දුවන එක පැත්තකින් තියලා රස්සාවක් කරන්න කියලා. ඒ අතරතුර මලල ක්‍රීඩා සංගමයෙන් 2004 වර්ෂයේ ශිෂ්‍යත්වයක් ලැබුණා අවුරුදු දහයක් කියුබාවේ ඉන්න. අවුරුදු දහයක් පිටරට ඉන්න ඕන නිසා අම්මා ඒකට විරුද්ධ වුණා. ඔය අතරතුර 2014 අප්‍රේල්  ආසියා ගෝන්ෆ්‍රී ශ්‍රී ලංකා අදියර මීටර සියය හතර දුවන්න තේරුණා. ඒත් එදා මට දුවන්න බැරිවුණා. ඒ සියල්ල පැත්තකින් තියලා ක්‍රීඩා ජනමාධ්‍යකරුවෙක් හැටියට කටයුතු කරන්න අවස්ථාවක් ලැබුණා.

මලල ක්‍රීඩාව නිසාද ඔබ ක්‍රීඩා මාධ්‍යකරුවෙක් වෙන්නේ?
ඔව්. ගෝන්ෆ්‍රී තරගාවලියට යන්න තිබුණෙත් මාධ්‍යකරුවෙක් හැටියට. මුලින්ම ස්වර්ණවාහිනියේ සම්මුඛ සාකච්ඡාවට යන්න තිබුණෙත් එකම කාලසීමාවේ. කියුබාවේ සංචාරයට සම්බන්ධ වෙන්න අවශ්‍ය ලිපි සකස් කරන්න ක්‍රීඩා සංගමයට ගියා මගේ අම්මා එක්ක. එතැනදී තමයි ස්වර්ණවාහිනියේ ක්‍රීඩා අංශ ප්‍රධානී සංජය දිසානායක අයියා හඳුනා ගත්තේ. ඔහුගේ මාර්ගයෙන් තමයි ස්වර්ණවාහිනියට සම්බන්ධ වුණේ. සම්මුඛ සාකච්ඡාවට යනකොට මගේ සහතික විශාල සංඛ්‍යාවක් අරගෙන ගියා. ඒත් එක්ක පුවත්පත්වලට ලියූ ලිපි තිබ්බා. මාව ඉන්ටර්විව් කළේ රොස්මන්ඩ් සේනාරත්න මහත්මයා. එතුමා කිව්වා මාධ්‍යවේදියෙක් විදිහට සහතික වැඩක් නැහැ මම අභියෝගයක් දෙනවා, මාස තුනකින් පෙන්වන්න ඕන මේ දේ කරන්න පුළුවන් කියලා. ඒ මොහොතේ මම හිතාගත්තා ආයෙමත් සර් ළඟට යන්නේ ඔයා තමයි ස්වර්ණවාහිනියේ හොඳම ක්‍රීඩා මාධ්‍යවේදියා කියලා අහන්න කියලා. එදා ඉඳලා මම ස්වර්ණවාහිනියේ ක්‍රීඩා ජනමාධ්‍යකරුවෙක් විදිහට වැඩ කළා. ඒ වගේම කියන්න ඕන මම සම්බන්ධ වෙන්න හිටිය ගෝන්ෆ්‍රී තරගාවලිය මට මාධ්‍යකරුවෙක් විදිහට ආවරණය කරන්න වුණා. ඒක ඇත්තටම මාව පුදුම කරන සිදුවීමක් වුණා.

ඒ අභියෝගය ඔබ ජයගන්නේ හොඳම ක්‍රීඩා මාධ්‍යවේදියාට හිමි සම්මානය රැගෙන. එහෙම නේද?
මම 2004 අප්‍රේල් මස 30 වැනිදා ස්වර්ණවාහිනියට සම්බන්ධ වුණේ පුහුණු ප්‍රවෘත්ති සහකාර විදිහට. 2005 දී ප්‍රවෘත්ති සහකාර, 2006 සහකාර නිෂ්පාදක, 2007 දී නිෂ්පාදක, 2008 දී නිෂ්පාදක සහ නිවේදක ඉඳලා ක්‍රීඩා ප්‍රවෘත්ති කර්තෘ දක්වා මම උසස්වීම් ලැබුවා. ඒ තමයි මගේ ජයග්‍රහණය. 2012 දී සුමති සම්මාන උළෙ‍ලේ හොඳම ක්‍රීඩා වැඩසටහනට මට සම්මානයක් ලැබෙනවා. මම හිතනවා මට ලැබුණ අභියෝගය ඒ හරහා ඉටුකරගත්තා කියලා. ඒ වගේම වෙනස්ම විදිහට ක්‍රීඩා ප්‍රවෘත්ති ඉදිරිපත් කරමින් මගේ හඬෙනුත් අලුත් දෙයක් කළා කියලා හිතෙනවා.

හිරු රූපවාහිනියට එකතු වෙන්නේ?
2012 වර්ෂයේදී මම තීරණය කළා මගේ රටාවේ වෙනසක් වෙන්න ඕන කියලා. හිරු රූපවාහිනියෙන් ආරාධනා ලැබුණා. ඒ ආරාධනාව මත මම තීරණය කළා මට වෙනසක් කරන්න පුළුවන් හොඳම තැන හිරු කියලා. හිරු රූපවාහිනියේ තාක්ෂණ භාවිතය ඉතා උසස්. ඒ නිසා මාධ්‍ය ජීවිතයට ඇවිත් අවුරුදු අට පිරෙන දවසේ හිරුත් එක්ක එකතු වෙනවා ‍‍‍ජ්‍යෙෂ්ඨ විධායක නිෂ්පාදක හැටියට. එතැනදිත් මට ලොකු අභියෝගයක් ලැබෙනවා ආකෘතිය වෙනස් කරමින් නැවුම්, වෙනස් ක්‍රීඩා රටාව සමාජගත කරන්න. ඒ අභියෝගය ජය ගන්නේ රාජ්‍ය සම්මානයකුත්, රයිගම් සම්මානයකුත් ලබා ගනිමින් තමයි.

ක්‍රීඩා ජීවිතයෙන් සමු අරගෙන ක්‍රීඩා මාධ්‍යකරුවෙක් හැටියට වෘත්තිය කරන්න ලැබුණු එක ගැන කනගාටුවක් නැද්ද?
2004 ගෝන්ෆ්‍රී තරගාවලිය රන් පදක්කම දිනා ගත්තේ ශ්‍රී ලංකාව. එදා මම වෙනුවට හිටිය තරගකරුවාට මට වඩා වේගය අඩුයි. එදා එතැන මම හිටියා නම් ලංකාවේ තිබ්බ වාර්තාව බිඳිමින් වේගවත් වාර්තාවක් තියන්න තිබුණා කියලා මම දුක්වුණා. හීන දැක්කේ ක්‍රීඩකයෙක් වෙන්න. ඒත් නොහිතපු විදිහට මාධ්‍යකරුවෙක් වුණා. කොහොම වුණත් එදා මම ගත්ත තීරණය හරි. ලොකු කනගාටුවක් නැහැ.

ඔබේ හැකියාවට පවුලෙන් ලැබුණු සහයෝගය කොයි වගේද?
මගේ අම්මා අනුලා ලියනගේ. එයා ගෘහණියක්. මගේ ලොකුම ශක්තිය ඇයයි. මම මලල ක්‍රීඩා තරගවලට හෝ පුහුණුවීම්වලට යනවා නම් ඇය මගේ ළඟින් හැම මොහොතකම හිටියා. මගේ තාත්තා විජේරත්න පතිරණ, ව්‍යාපාරිකයෙක්. නංගි ගයනි පතිරණ. එයා විවාහකයි. මේ හැම කෙනෙක්ම මට හුඟක් උදව් කළා. උපරිම සහයෝගය දුන්නා.

ඔබේ පෙම්වතියත් ප්‍රවෘත්ති නිවේදිකාවක්. පුබුදු රත්නායකව මුණ ගැහෙන්නේ කොහොමද? ඇගෙන් ඔබට ලැබෙන සහයෝගය කොයි වගේද?
මම මුලින්ම පුබුදුව දකින්නේ ස්වර්ණවාහිනියේදී. අපි දෙන්නා එකට ප්‍රවෘත්ති ඉදිරිපත් කළා. එයා මුලින්ම දැක්ක කාලයේ නම් එයා ගැන ආදරයක් හිතුණේ නැහැ. ඊට පස්සේ එයා උසස් පෙළ දෙවැනි වර කරන්න ගෙදර නතර වුණා ටික දවසකට. එතකොට මට හිතුණා එයා එක්ක කතා කරන්න ඕන කියලා. කතා කරන්න පුළුවන් අංකයක් තිබුණොත් නැහැ. කාගෙන් හරි ඉල්ල ගන්නත් පුළුවන්කමක් තිබුණේ නැහැ. කට්ටිය විහිළු කරයි කියලා. මාත් එක්ක හරි එකතුයි අපේ සාමාන්‍යධිකාරී රොස්මන්ඩ් සේනාරත්න මහත්මයා. මම එතුමාව මුණ ගැහිලා කිව්වා මට පුබුදුගේ නම්බර් එක ඕන එයාට ටියුට් ටිකක් දෙන්න ඕන කියලා. එතුමා මුලින්ම ප්‍රතික්ෂේප කළා. පස්සේ මට දුන්නා. මම පුබුදුට කතා කරලා අවශ්‍ය ටියුට් ටික දෙන්න ලෑස්ති කළා. එතැන ඉඳලා අපි කතාබහ කළා. ආදරය කළා. මම ස්වර්ණවාහිනියෙන් ඉවත් වනතුරු හුඟ දෙනෙක් අපේ සම්බන්ධය දැනගෙන හිටියේ නැහැ. එයාගෙන් මට උදව් ලැබෙනවා. හොඳ අවබෝධයකින් අපි ජීවත් වෙනවා.

විවාහ මංගල උත්සවයත් ළඟයි නේද?
මැයි මාසේ 21 වැනිදා තමයි අපේ විවාහ මංගල උත්සවය පවත්වන්නේ. ගංගාරාම පන්ස‍ලේ චාරිත්‍ර කරලා ජයික් හිල්ටන් එකේ විවාහ උත්සවය පවත්වනවා.
හර්ෂණී වීරරත්න
ඡායාරූප- වෙනුර චන්ද්‍රමාලිත
http://www.rivira.lk/edition/images/2014/05/18/saranga%20pathirana%20(3).jpg
http://www.rivira.lk/edition/images/2014/05/18/saranga%20pathirana%20(1).jpg

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය