Powered by Blogger.


පනස්‌ තුනේ හර්තාලය ගැන අපි අසා ඇත්තෙමු. එදා හර්තාලය ආරම්භ කරමින් පළමු වෙඩිමුරය පත්තුකළේ රන්දොඹේ ගම්මුන්ය. එදා මෙම ගම්මානයේ සිටි කාන්තාවන් විශාල පිරිසක්‌ හර්තාලයට එක්‌ව සිටියහ. අප මේ කියන්නට යන්නේ එදා හර්තාලයට එක්‌වූ කාන්තා නායිකාවක්‌ ගැනය.

ඇය නමින් පෙරමාදුර නන්දාවතී ද සොයිසාය. නන්දාවතී මාතාවගේ දැන් වයස අවුරුදු අසූ හතරකි. ඒ විතරක්‌ නොව ඇය දරුවන් දස දෙනකුගේ මාතාවකි. නන්දාවතී මාතාව අන් කාන්තාවන්ට වඩා සුවිශේෂී වූ තැනිත්තියකි. ඇය දැනට ගතින් දුබල වුවද සිතින් නම් තවමත් සටන්කාමී, විප්ලවකාරී කාන්තා නායිකාවකි. ඇය අයුක්‌තියට අසාධාරණයට එරෙහිව සටන් කළ කාන්තාවකි.

ඇය සටන්කාමි කාන්තාවක්‌ ලෙස ස`දහන් කළේ 53 වසරේ පැවති හර්තාලයට ඇය එක්‌වූ බැවිනි. එදා 53 හර්තාලයට මුලපුරමින් පළමු වෙඩිමුරය පත්තු කළේ අම්බලන්ගොඩ රන්දොඹේ ගම්මුන්ය. ඒ 53 අගෝස්‌තූ මස 08 වැනිදාය. මේ ස`දහා නායකත්වය ගත්තේ රන්දොඹේ කාන්තාවන්ය. නන්දාවතී මාතාවද එදා හර්තාලයට එක්‌වු කාන්තාවන් අතර දැනට රන්දොෙඹි ගම්මානයේ ජීවත්ව සිටින එකම කාන්තාව වන්නීය.

මෙ නිසා ඇයට එදා හර්තාලයට මුල පිරූ හැටි හො`දට මතකය. එදා නන්දාවතී මාතාව නාඹර යොවුන් වියේ පසුවූ තරුණියකි. ඇය අතීත සිද්ධීන් අප සමග සිහිපත් කළාය.

ඒ කාලයේ තිබුණේ ඩඩ්ලි සේනානායක මහත්තයාගේ ආණ්‌ඩුව. ශත විසිපහට තිබුණු හාල් සේරුව ශත හැත්තෑ පහ කරලා තිබුණා. රන්දොඹේ සමුපාකාරය එදා තිබුණේ ගාලු පාර අයිනේ. ගමේ කාන්තාවන් සමුපාකාරයට ගියා හාල් ගෙන්න. හාල් දෙන්නේ නැහැ කියලා දැන්වීමක්‌ ගහලා තිබුණා. ඒ විතරක්‌ නෙවෙයි, හාල් සේරුව භාගය කරලා. මේකට ගමේ කාන්තාවන් කුපිත වුණා. කාන්තාවන් පොල් ලෙලි තලපු කිතුල් පොලු අරගෙන තමයි මහපාරට ආවෙ. අවිත් සමුපාකාරය වට කළා. ඉන් පස්‌සේ ගමේ පිරිමි අයත් මේ ස`දහා එකතුවුණා. හර්තාලය පටන් ගත්තේ ඔය ආකාරයට තමයි. නන්දාවතී මාතාව කියන්නීය.

හර්තාලය ස`දහා එදා රන්දොඹේ කාන්තාවන්ට නායකත්වය දුන්නේ ඡේන් ලයියා අප්පුමුත්තා මේ ස`දහා නායකත්වය දුන් තවත් නායකයෙකි. එවකට ලංකා සමසමාජ පක්‍ෂයේ බලපිටිය සුළු නගර සභාවේ රන්දොඹේ කොට්‌ඨාශයේ මන්ත්‍රීවරයා වූයේ සිරිල් වික්‍රමසේකර මහතාය. ඔහුද මේ සටන ස`දහා නායකත්වය ලබාදුන් නායකයෙකි. එදා ඡේන් නෝනලා නන්දාවතීලා මහපාරට බැස්‌සේ කිතුල් පොලු රැගෙන ඕනැම අභියෝගයකට මුහුණ දීමේ සූදානමිනි.

හර්තාලය පටන්ගන්න කාලයේ මගේ මතකයේ හැටියට මට අවුරුදු 22 ක්‌ විතර ඇති. මම එදා පොල් ලෙලි තල තලා තමයි හිටියේ. ලෙලි තලපු කිතූල් පොල්ල අරගෙන තමයි මහ පාරේ වාඩිවුණේ. ඒ කාලෙ අම්බලන්ගොඩ හා බලපිටිය බහු ආසනයක්‌. එවකට මන්ත්‍රීවරයා වුනේ පී. එම්. විලියම් සිල්වා මහත්තයා. කොල්වින් ආර්. ද සිල්වා මහත්තයාගේ නිවස ඉදිරිපිට ගාලු පාරේ වාඩි වෙලා තමයි හර්තාලය පටන් ගත්තේ. හාල් සේරුව වෙනුවෙන් තමයි සටන් කාළේ. අපට කන්න දියව්, බොන්න දියව්, හාල් සේරුවේ මිල අඩු කරව්, කියලා තමයි මහපාරේ වාඩි වෙලා කැගැසුවේ.

අපි මෙහෙම රාංචු ගැහිලා ඉන්නකොට පොලිසියේ රාළහාමිලා රයිපල් බැටන් පොලු අරගෙන ආවා. ඒවාට කවුරුවත් භය වුණේ නැහැ. වාහන යන්න බැරිවෙන්න පාර අවහිර කරගෙන තමයි හිටියේ. රාළහාමි මේ අහන්න, රයිපල් එක අපට දෙන්න, අපිත් දන්නවා වෙඩි තියන්න, කියලා කාන්තාවන් කෑගැසුවා. ඒ විතරක්‌ නෙවෙයි, හැම කාන්තාවක්‌ ළ`ගම කිතුල් පොල්ලක්‌ තිබුණා. පොලිස්‌ රාළහාමිලා හැදුවේ අපිව එලවන්න. නමුත් කිතුල් පොල්ලට රාළහාමිලා භය වුණා. නන්දාවතී අම්මා සිනහවෙමින් කිවාය.

එවකට ප්‍රබල වාමාංශික නායකයින් වූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා විලියම් සිල්වා යන මහත්වරුන් පදිංචිව සිටියේ මේ ප්‍රදේශයේය. එයද හර්තාලය කිරීමට රන්දොඹේ වැසියන්ට දැඩි ශක්‌තියක්‌ විය. හර්තාලය කැ`දවා තිබුණේ 53 අගෝස්‌තු මස 12 වැනිදාය. කෙසේ වුවද රන්දොඹේ ගම්මුන් ඊට පෙර හර්තාලය අරඹමින් පළමු වෙඩිමුරය පත්තු කළහ. මේ නිසා 53 හර්තාලයේදී රන්දොෙඹි ගම්මුන් ඉතිහාස ගතවන්නේ හර්තාලය ස`දහා මුලින්ම නායකත්වය දුන් අයවලුන් හැටියටය.

ඒ අනුව නන්දාවතී මහත්මිය ඒ කණ්‌ඩායමේ සිටි එක්‌ තැනැත්තියකි. ඇය යළි අතීත මතකය අවදි කළාය.

අපි පාරේ වාඩිවෙලා රෑ වනතුරු හිටියා. සමුපාකාරය ඉස්‌සරහ මහපාරේ ලිප් බැදගෙන රොටි පුචිචගෙන කෑවා. කන්න බත් තිබුණේ නැහැ. පිරිසක්‌ බලපිටිය මහනගර සභාවට පෙලපාලියක්‌ද ගියා. ඇත්තටම ගෙවල්වල හිටපු කාන්තාවන් සියලු දෙනාම වගේ හර්තාලයට ආවා. කාන්තාවන් තමයි මේ සදහා නායකත්වය දුන්නේ. පස්‌සේ මේ හර්තාලය රටපුරා ව්‍යාප්ත වුණා. ඇය කියන්නීය.

නන්දාවති මහත්මියගේ සැමියා වන දැඩිමුනි ඇල්බට්‌ සිල්වා මහතාද සම සමාජ පක්‍ෂයේ ප්‍රබල ආධාර කරුවෙකි. හේ අද ජීවතුන් අතර නැත.

මගේ මහත්තයාත් හො`ද සටන්කාමියෙක්‌. හො`ද සමසමාජ පාක්‍ෂිsකයෙක්‌. මටත් සැමියාගේ ආභාසය තමයි ලැබුණේ. රතු කමිසයක්‌ තමයි මහත්තයා නිතරම ඇ`දගෙන හිටියේ. ඇල්බට්‌ මුදලාලි කිව්වහම මේ පළාතේ නොදන්න කෙනෙක්‌ නැහැ. ඇන්. එම්. පෙරේරා මහත්තයා ගෙන්නලා ඔහු මේ පළාතේ රැස්‌විමක්‌ තිබ්බා. ඒ රැස්‌වීමෙදී මහත්තයා මෙහෙම කවියක්‌ කිවා. ඇන්. එම්. පෙරේරා රත්තරන්. කොල්වින් ආර්. ද සිල්වා ඉස්‌තරම්. බලපිටිය රැකදෙනු මැනවි කියා.

මගේ මතකයේ හැටියට 60 මහ මැතිවරණයේදී අපි ඉන්දියාවේ වන්දනා ගමනක්‌ ගිහින් හිටියේ. ඒ කාලයේ බලපිටිය බහු ආසනයට ඡන්දය ඉල්ලුවේ ඇල්. සී. ද සිල්වා මහත්තයා. මමත් මහත්තයාත් ඡන්දය දමන්න ඉන්දියාවේ ඉ`දලා ඇවිත් ඡන්දය දමලා ආපසු ඉන්දියාවට ගියා. ඒ කාලේ එහෙමයි අපි ඡන්දය කළේ. දැන් වගේ පාවා දෙන සටන් කළේ නැහැ. එක හිතකින් තමයි වැඩ කළේ.

නන්දාවතී මහත්මිය අදටත් කැමති රතූ පැහැති ගවුම් අඳින්නටය. ඇය සොයා අප නිවසට යනවිටත් ඇය රතූ පැහැති ගවුමකින් සැරසි සිටියාය. ඇය තවත් හරි අපුරු කතාවක්‌ කීsවාය.

ඒ කාලයේ අප පදිංචි වෙලා හිටියේ කොළඹ. මට එතකොට වයස අවුරුදු දහතුනයි. කොයි විදියකින් හරි ඡන්ද නාමලේඛනයට මගේ නම ඇතුළත් වෙලා තිබුණා. අයියලා කීවා වයස පේන්න සාරියක්‌ ඇඳගෙන ඡන්දය දමන්න යමු කියලා. පළමු වතාවට සාරියක්‌ ඇන්දේ ඡන්දය දමන්න යන්න. ගිහින් රතුපාට පෙට්‌ටියට තමයි ඡන්දය දැම්මෙ. ඇය සිනහසෙමින් කියන්නීය.

ඒ විතරක්‌ නොව, නන්දාවතී මහත්මිය ඒ කාලයේ සෑම මැයි දිනයකටම පාහේ සහභාගි වන්නීය. ඒ තම සැමියා සමගය. ඒ කාලයේ සම සමාජ පක්‍ෂයේ මැයි රැළියේ ගමන් කළ සමසමාජ ආධාරකරුවන්ට දොඩම් බීමවලින් සංග්‍රහ කළේ නන්දාවතීගේ සැමියාය.

දැන් වගේ අරක්‌කු දීලා බත් පැකට්‌ එකක්‌ දීලා නෙමෙයි මැයි දිනයට සෙනඟ එක්‌ක ගියේ. කම්කරුවන්ගේ හඬ එදා මැයි දිනවලදී රැව් පිළිරැව් දුන්නා. බොහොම සටන්කාමී මැයි පෙලපාලි තමයි දක්‌නට ලැබුණේ. සම සමාජ පක්‍ෂයේ මැයි රැළිවලට තමයි මම සහභාගි වුණේ. හරි විනෝදයෙන් තමයි ගියේ. දැන් වගේ ගහ මරා ගත්තේ නැහැ. මගේ මහත්තයා රතූපාට කමිසයකින් සැරසි මැයි දිනයට සභහාගි වන විට මහත්තයාගේ මස්‌සිනා කොළපාට කමිසයකින් සැරසි මැයි දිනයට ගියේ එකම නිවසේ ඉ`දලා" යෑයිද නන්දාවතී මාතාව කියන්නීය.

පසුගිය බ්‍රහස්‌පතින්දාත් රට එවන් මැයි දිනයක්‌ සැමරුවේය. එහෙත් අද එවන් මැයි දින සමරන්නේ කම්කරුවන් සිහිපත් කිරීමෙ අරමුණින් නම් නොවේ. පක්‍ෂවලට බෙදී තම තමන්ගේ බලය විදහා දැක්‌වීම ස`දහාය. නන්දාවති මාතාව ගැන තවත් කරුණක්‌ ස`දහන් කළයුතුය. සුනාමියට හසුවි ඇගේ නිවසට දැඩි අලාභානි සිදුවිය. නමුත් ඇයට මේවන තෙක්‌ ඒ ස`දහා කිසිදු වන්දි මුදලක්‌ ලබා දී නැත. ලබාදුන් සුනාමි නිවසේ අයිතිය තහවුරු කරගැනීම ස`දහාද ඇය නඩු කියන්නිය. ඇය එක්‌ අවස්‌ථාවකදී බැරිම තැන මෙම නිවසේ වහලය මත ගොඩවී හර්තාලයක්‌ද කළාය. ඒ සුනාමි නිවස තමන්ට ලබාදෙන ලෙස ඉල්ලමින්ය. මෙ ස`දහා ගම්මුන්ද නන්දාවතීට සහයෝගය ලබා දුන්නහ. එහෙත් ඇගේ ඉල්ලිම් මේ දක්‌වා ඉටුවි නැත. ඇගේ මේ ඉල්ලිමට බලධාරින්ගේ අවධානය යොමුවිය යුතුය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය