Powered by Blogger.

Train-accidentමහමග අනතුරු නිරතුරු සිදුවෙන නිසා ෙදෙනිකව වාර්තා වන මාරක රිය අනතුරක් පිළිබඳව අප පුදුමයට පත්වන්නේ නැත. නමුත් දුම්රිය දෙකක් එකිනෙකගැටුනා යැයි කිවහොත් අපි ඒ ගැන පුදුමයට මෙන්ම බියටද පත් වෙමු. එවැනි බිහිසුණු දුම්රිය අනතුරක් ප්‍රධාන දුම්රිය මාර්ගයේ ‍පොතුහැරදී ඉකුත්දා සිදුවිය. මෑත ඉතිහාසයේ මෙරට වාර්තා වූ බිහිසුණුම දුම්රිය අනතුරක් ලෙස මෙය හැඳින්වීමට පුළුවන.
වවුනියාව සිට මාතර බලා ධාවනය වෙමින් තිබූ ‘රජරට රැජින’ දුම්රිය සහ කොළඹ සිට පලෙයි දක්වා ධාවනය වෙමින් තිබූ ‘දැයට කිරුළ’ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය මෙහිදී එකිනෙක ගැටුණි. එවිට වේලාව උදෑසන 8.00 පමණ විය.
මෙය බිහිසුණු දුම්රිය අනතුරක් වුවද වාසනාවකට මෙන් ජීවිත හානි කිසිවක් සිදුනොවීය. නමුත් අහිංසක දුම්රිය මගීන් 63 දෙනකු තුවාලකරුවන් බවට පත් විය. ඔවුන්ගෙන් පහළොස් දෙනෙක් පමණ බරපතළ තුවාල ලැබූහ. තුවාලකරුවන් දැනට කුරුණෑගල සහ කොළඹ ජාතික රෝහල්වල ප්‍රතිකාර ලබයි. තුවාලකරුවන් අතර කුඩා ළමුන් හයදෙනෙකුද සිටී. සුෂුම්නාව කැඩීමකට ලක්වූ පුද්ගලයෙකු තුවාලකරුවන් අතර සිටින බව වාර්තා විය. බොහෝ තුවාලකරුවන්ගේ අත් පා බිඳී ඇත. සමහරුන්ගේ ඉලඇට පවා බිඳී ගොස් තිබේ. මේ නිසා තුවාලකරුවන් අති බහුතරයක් දෙනා සාමාන්‍ය තත්ත්වයට පත්වන්නට විශාල කාලයක් බලා සිටීමට සිදුවනු ඇති බව රෝහල් ආරංචි මාර්ග පැවැසීය.
වවුනියාවේ සිට සෑම දිනකම ‘රජරට රැජින’ මාතර බලා පිටත්වන්නේ අලුයම 3.20 ට පමණය. එය ‍පොතුහැර දුම්රිය ස්ථානයට පැමිණෙන විට පෙරවරු 8.00 පමණ වේ. ‘රජරට රැජින’ ‍පොතුහැර දුම්රිය ස්ථානයේ නවතා තබන්නේ ඒ වේලාවටම කොළඹ සිට පලෙයි බලා ධාවනය වන ‘දැයට කිරුළ’ නගරාන්තර දුම්රියට එය පසුකර යාමට මාර්ගයේ ඉඩදීම සඳහාය.
අනතුර සිදුවන අවස්ථාවේ ‘රජරට රැජින’ දුම්රියේ සහ ‘දැයට කිරුළ’ දුම්රියේ මගීන් විශාල ප්‍රමාණයක් සිට ඇත.
අනතුර සිදුවීමත් සමග බොහෝ දෙනා අනතුරට හේතුවත්, ඊට වගකිවයුත්තේ කවුරුන්ද යන්නත් පිළිබඳව විවිධ මත පළකරන්නට වූහ. මේ නිසා Train-accident1සුපුරුදු ලෙස ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා අනතුර පිළිබඳ සෙවීමට කමිටුවක් පත් කළේය. ප්‍රවාහන අමාත්‍යවරයා කමිටුවක් පත් කරන්නට පෙර දුම්රිය දෙපාර්තමේන්තුවද මේ සඳහා වෙනමම කමිටුවක් පත් කළේය. නියෝජ්‍ය දුම්රිය ස්ථානාධිපති ඒ.ඩී. සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති එම කමිටුවද අනතුර පිළිබඳව පරීක්ෂණ පවත්වන අතර කමිටු දෙකෙහිම වාර්තා ඉතා කඩිනමින් බලධාරීන් වෙත ලබාදීමට නියමිතය.
මෙසේ දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටීම අසාමාන්‍ය දෙයකි. බොහෝ දුම්රිය ස්ථාන අසල මෙන්ම ‍පොතුහැර දුම්රිය ස්ථානය සමීපයේද දුම්රියවලට මාර්ගය මාරුවීම සඳහා අමතර කුඩා මාර්ගයක් තිබේ. එහිදී කොළඹ සිට පලෙයි බලා ධාවනය වන දුම්රිය ‍පොතුහැරදී ප්‍රධාන මාර්ගයෙන් අමතර මාර්ගයට අවතීර්ණය වී රජරට රැජින මගහැර නැවත ප්‍රධාන මාර්ගයට අවතීර්ණ විය යුතුය.
මෙහිදී දැයට කිරුළ දුම්රිය පැමිණ ඇත්තේ ප්‍රධාන දුම්රිය මාර්ගයේ රජරට රැජින නවතා තිබූ මංතීරුවේමය. දුම්රිය දෙක මුහුණට මුහුණ ගැටෙන්නේ මේ නිසාය. නමුත් දැයට කිරුළ දුම්රිය රජරට රැජින දුම්රිය නවතා තිබූ දුම්රිය මංතීරුවේම පැමිණියාය කියා දැයට කිරුළ දුම්රියේ රියැදුරු මීට වගකිවයුතු යැයි අපට නිගමනය කළ නොහැකිය. මන්ද එම දුම්රියට ඉදිරියට පැමිණීමට හෝ නොපැමිණීමට ලබාදී තිබූ මාර්ග සංඥාව නිසි ලෙස ක්‍රියාත්මක වූවාද යන්නද මෙහිදී සොයා බැලිය යුතුය.
‍පොතුහැර දුම්රිය ස්ථානය සමීපයේ ඇති සංඥා පද්ධතිය විදුලි සංඥා නොවේ. එම සංඥා පද්ධතිය හඳුන්වන්නේ “සෙමෝ‍පෝ” සංඥා කියාය. කටවහරින් සිග්නල් කණු කියා හඳුන්වන්නේ මේවාය.
මෙම සංඥා ක්‍රියාත්මක කරනු ලබන්නේ සංඥාකරුවෙකු විසිනි. අතින් පහළට අදින ලීවරයක් මගින් සංඥා ක්‍රියාත්මක වේ. දුම්රිය සංඥාකරු ඈතක සිට ලීවරය ඇද්ද පසු කේබල් එකක් මාර්ගයෙන් සංඥා අත ක්‍රියාත්මක වේ.
‍පොතුහැර දුම්රිය ස්ථානයේදී ‘දැයට කිරුළ’ දුම්රියට ඉදිරියට ඒමට අදාළ මාර්ග සංඥාව ලැබුණේද, නැද්ද යන්න තවමත් ප්‍රශ්නයකි. ඇතැමුන් සංඥාව නිසි පරිදි ලැබි තිබූ බව පවසති. සමහරු සංඥාව ලැබි නොතිබුණු බව කියති. සංඥාව අසලදී දුම්රිය නතර කිරීමට උත්සාහ ගත්තද තිරිංග ක්‍රියාත්මක නොවූ බවට කතාවක්ද පැතිරිණි. ඒ අතර දුම්රිය අධික වේගයෙන් ධාවනය වූ බවට කතාද තිබේ.
සාමාන්‍යයෙන් අපේ රටේ මෙවැනි අනතුරක් වූ පසු සියල්ලන්ම  බලන්නේ ඇඟ බේරාගැනීමටය. බලධාරීන් ඇඟ බේරාගන්නේ මේ සඳහා කමිටු පත්කරමිනි. නමුත් අධිවේගී මාර්ග හදන අපේ බලධාරීන්ට ඉතා නොදියුණු දුම්රිය සංඥා පද්ධති දියුණු සංඥා පද්ධති බවට පත්කිරීමටවත්, දියුණු තාක්ෂණික ක්‍රමවේද දුම්රිය සේවයට හඳුන්වා දීමටවත් වුවමනාවක් ඇති බවක් නොපෙනේ. මෑත ඉතිහාසය පුරා සිටි බොහෝ ප්‍රවාහන බලධාරීන් කළේ දුම්රිය සේවය පවත්නා තත්ත්වයෙන්ම පවත්වාගෙන යාම පමණි.
මෙම අනතුර නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට වූ අලාභය මතෛක් නිල වශයෙන් ගණන් බලා නැත. වාර්තා වන අන්දමට එය රුපියල් කෝටි 15කටත් වැඩිය.
ශ්‍රී ලංකාවට වර්ෂ 1954 දී රැගෙන විත් ඇති ‘රජරට රැජින’ දුම්රියේ ‘එම්.2’ වර්ගයේ එන්ජිම අනතුරත් සමග බරපතළ ලෙස විනාශ වී ඇත. මෑත කාලයේ ඉන්දියාවෙන් රැගෙන ආ පවර් සෙට් වර්ගයේ දුම්රියක් වන දැයට කිරුළ නගරාන්තර දුම්රියේද එන්ජිම, මැදිරි බරපතළ ලෙස විනාශ වී තිබේ. අනතුර නිසා දුම්රිය මාර්ගයේ පීලි පවා ඇඹරී, ගැලවී ගොස් තිබුණි. දුම්රිය මාර්ගය යථාතත්ත්වයට පත්කිරීමටද දින තුනකට වඩා ගතවිය. සියල්ල ගණන් බලන විට පාඩු පිට පාඩු ලබමින් දුවන දුම්රිය සේවයට මෙම අනතුර දැඩි මූල්‍ය ප්‍රහාරයකි.
මෙවැනි දුම්රිය අනතුරක් සිදුවූ විගසම බලධාරීන් කරන තවත් සුපුරුදු ක්‍රියාවක් වන්නේ කිහිප දෙනෙකුගේ වැඩ තහනමට ලක්කිරීමය. මෙහිදීද ‘දැයට කිරුළ’ දුම්රිය රියැදුරු, රියැදුරු සහයක, දුම්රිය නියාමක, ‍පොතුහැර දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති හා ‍පොතුහැර දුම්රිය ස්ථාන සංඥාකරු යන අයගේ රාජකාරි අත්හිටුවා තිබේ.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය