Powered by Blogger.

සිසුවාගේ මරණයට
හේතුව තවම අනාවරණය වී නැහැ

පුස්‌සැල්ලාවේදී සියදිවි හානිකරගත්
සිසුවා හා සිසුවියගේ මරණ පරීක්‍ෂණය


ගම්පොල - සුරංග දිල්හාන්

නංගී මේ පාර ඕලෙවල් විභාගෙ හොඳට පාස්‌වෙලා උසස්‌පෙළ විභාගේ කරන්න සූදානම් වෙලා හිටියේ. මම දැක්‌කා මෙයා අපට හොරෙන් ෆෝන් එකක්‌ පාවිච්චි කරනවා. මම ඇහුවා ඒක කාගේද කියලා. යාළුවකුගේ කීව නිසා ඒක යාළුවාටම දෙන්න කීවා. ඒත් එයා ඒක ආයෙත් හොරෙන් පාවිච්චි කරනවා දැක්‌කා. ඉගෙන ගන්න ළමයි ෆෝන් පාවිච්චි කරන කොට ඉගෙන ගන්නෙ නෑ. වෙන වෙන දේවල් කරන්නේ කියලා මම එයාට දොස්‌ කීවා.

පස්‌සේ මම වැඩ කරන පුස්‌සැල්ලාවේ තියෙන ෆාමසියට ගියා. උදේ 9.30 ට විතර මට පණිවුඩයක්‌ ආවා නංගී ගේ ඇතුලේ එල්ලිලා ඉන්නවා කියලා. මම ඉක්‌මනට එයා බලන්න ගියා යෑයි ඉගෙන ගන්න කාලේ ජංගම දුරකථනයක්‌ පාවිච්චි කරන්න එපා යෑයි කළ අවවාදයට කලකිරී එල්ලී දිවි නසා ගත් තරුණියගේ මරණ පරීක්‍ෂණයේදී සාක්‍ෂි දෙමින් ඇගේ වැඩිමහල් සොයුරිය වන ඒ. තමිල්මලර් පැවසුවාය.

මෙසේ සියදිවි නසාගෙන ඇත්තේ පුස්‌සැල්ලාව අගලකොටුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඒ. තමිල් අරුෂි හෙවත් භවනි නැමැති පාසල් ශිෂ්‍යාවයි.

පුස්‌සැල්ලාව පොලිස්‌ ස්‌ථානාධිපති එච්. එන්. බී. හේරත් මහතාගේ උපදෙස්‌ මත පො.කො. (52085) වසන්ත ධර්මසිරි මහතාගේ සාක්‍ෂි මෙහෙයවීම මත කඳුකර ඉහළ හදිසි මරණ පරීක්‍ෂක ඒ. ඩී. ඩබ්ලිව්. දිඹුල්ගස්‌තැන්න මහතා විසින් මෙම මරණ පරීක්‍ෂණය පැවැත්විණි.

එහිදී තවදුරටත් සාක්‍ෂි දුන් තමිල්මලර් මෙසේද කීවාය.

අපේ පවුලේ ඔක්‌කෝම හය දෙනයි. තාත්තා මීට අවුරුදු 6 කට උඩදී මියගියා. මට වැඩිමහල් අක්‌කලා දෙන්නෙක්‌ ඉන්නේ. ඒ අය සෞදිවල රැකියාවට ගියා. නංගියි, මමයි, අම්මයි ගෙදර ඉන්නේ.

නංගි ඉගෙන ගන්න නිසා එයා ගැන අපි බැලුවා. මම ටවුමේ ෆාමසියක රැකියාවක්‌ කරනවා. පසුගිය 14 දින මම දැක්‌කා නංගි අපට හොරෙන් ෆෝන් එකක්‌ පාවිච්චි කරනවා. ඒa ගැන මම ඇහුවා ඒත් නංගි ඒක යාළුවෙක්‌ගෙ කීවාම ඒක එයාට නොදී අපට හොරෙන් පාවිච්චි කරනවා දැක්‌කා. මම එයාට කීවා ඉගෙන ගන්නැතිව ෆෝන් අරගෙන වෙන කරදර වලට පැටලෙන්නේ ඇයි කියලා. ඉතිං මම වැඩට ගියාට පස්‌සේ අම්මත් උදේ නාන්න ගිහින් තියෙනවා. ඒ වෙලාවේ තමයි නංගි මේ දේ කරගෙන තියෙන්නේ.

මෙහිදී මියගිය තරුණියගේ මව වන කේ. කිඩ්තම්මාගෙන්ද සාක්‍ෂි විමසන ලදී.

පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූ පුස්‌සැල්ලාව වහුගහපිටිය රෝහලේ වෛද්‍ය ඩිලාන් සංගීත් මහතා මෙය එල්ලීම නිසා ගෙල හිරවී සිදුවූ මරණයක්‌ බව වාර්තා කොට තිබිණි.

මෙම සිසුවියගේ මරණයත් සමඟ පුස්‌සැල්ලාව රොච්චයිල්වත්තේ පදිංචි 8 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ 13 හැවිරිදි පාසල් සිසුවකුද නිවස තුළ ගෙල වැලලාගෙන මියගොස්‌ තිබිණි.

විජය කුමාර් සදුෂන් නමැති මෙම සිසුවාගේ මව විදේශ ගතව සිටින අතර ඔහු ආච්චි, සීයා හා පියා සමඟ ජීවත්ව සිට ඇත.

පෙදරේරුවකු වන පියා වැඩට ගොස්‌ සිටියදී මෙම සිසුවා නිවසේ ගෙල වැලලාගෙන සිටිනවා දුටු ඔහුගේ බාප්පා වහාම එම සිසුවා රෝහලට රැගෙනවිත් තිබුණත් ඔහු මියගොස්‌ ඇති බව දැනගෙන තිබේ.

මොහුගේ මරණ පරීක්‍ෂණයද කඳුකර ඉහල හදිසි මරණ පරීක්‍ෂක ඒ. පී. ඩබ්ලිව්. දිඹුල්ගස්‌තැන්න මහතා විසින් එම අවස්‌ථාවේදීම පවත්වන ලදී. පුස්‌සැල්ලාව පොලිසියේ පො.කො.(52085) වසන්ත ධර්මසිරි මහතාගේ සාක්‍ෂි මෙහෙයවීම මත සිසුවාගේ පියා වන ඒ. විජයකුමාර හා බාප්පා වන ඒ පද්මනාදන් සාක්‍ෂි දෙන ලදී. මෙහිදී මෙම සිසුවාගේ සියදිවි හානිකර ගැනීමට නිශ්චිත හේතුවක්‌ අනාවරණය නොවූ අතර පශ්චාත් මරණ පරීක්‍ෂණ පැවැත්වූ වෛද්‍ය ඩිලාන් සංගීත් මහතා ගෙලවැලලා ගැනීම නිසා සිදුවූ මරණයක්‌ බව වාර්තා කොට තිබුණි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය