Powered by Blogger.

කොලොම්බියානු ලේඛක ගේබ්‍රියල් ගාර්ශියා මාර්කේස්‌ පසුගිය 17 වැනිදා 87 වියේදී මිය ගියේ ය.

අසූ හත් විය සපුරා, මෙක්‌සිකෝ නගරයේ සිය නිවසේ දී අවසන් හුස්‌ම හෙලු, ලෝ පතළ ගත්කරු ගේබ්‍රියල් ගාර්ෂියා මාර්කේස්‌ විසි දෙහැවිරිදි තරුණයකුව සිටියදී, කොලොම්බියාවේ කැරිබියානු වෙරළාසන්න මිටියාවතේ පිහිටි, කෙසෙල් වගාවන්ගෙන් සහ වගුරු බිම්වලින් වට වුණු සිය උපන් ගම වූ අරකටාකා නම් කුඩා නගරය වෙත ඔහුගේ මව ද සමග ගිය ගමන තම ලේඛක දිවියේ වැදගත් ම සන්ධිස්‌ථානය වූ බව ඔහු වරක ප්‍රකාශ කරන්නට යෙදිණි. වාෂ්ප බෝට්‌ටුවකින් සහ අබලන් දුම්රියකින් යා යුතු වූ එම ගමනේ අරමුණ ව තිබුණේ, ඔහු ඉපදුණු මෙන්ම සිය ජීවිතයේ පළමු වසර අට, සීයා සහ ආච්චීගේ ඇසුරේ හැදී වැඩුණු දැමූ ඔහුගේ මව්පස මහ ගෙදර විකුණා දැමීම යි.

අරකටාකා වෙත ගිය එම ගමන, ලතින් ඇමරිකානු ලේඛයකු අතින් මෙතෙක්‌ ලියෑවුණු ජනප්‍රියතම මෙන් ම උසස්‌ත ම සම්භාවනාවට ලක්‌ වූ නවකතාව වන "සිය වසක හුදකලාව" කෘතියෙහි වස්‌තු බීජය සැපයීය. එසේ බිහි වූ නවකථාවේ පළමු වාක්‍යය වන "වසර ගණනාවකට පසු, වෙඩික්‌කාර භට ඛණ්‌ඩයට මුහුණ දී සිටියදී, කර්නල් අවුරලියානෝ බුවෙන්දියා හට, ඔහුගේ පියා ඔහුට අයිස්‌ පෙන්වීමට රැගෙන ගිය ඒ ඈත අතීත සවස්‌ යාමය ගැන සිහිපත් විය" යන වැකිය මගින් ම කියවන්නාව විචිත්‍ර සහ ෙත්‍රෙකාලික වූ කතාන්දරමය ලෝකයකට කැඳවා ගෙන යයි. ඔහුගේ දේශය වන කොලොම්බියාව පමණක්‌ නොව, සමස්‌ත ලතින් ඇමරිකාව ම, විශ්ව සාහිත්‍ය සිතියම මත ලකුණු කළ කෘතියක්‌ වන එහි "මකොන්දෝ" යන ගුප්ත නමකින් යළි උපදින්නේ ඔහු කුඩා කල හඳුනා ගත් අරකටාකා නගරයයි. එහි වැස්‌සක්‌ වසර පහක්‌ ද ඉක්‌මවා එක දිගට වසිනු ඇති අතර අහසින් කහ මල් වරුසා කඩා වැටෙනු ඇත. කතාවේ ආරම්භයේදී ම හමු වන කර්නල් බුවෙන්දියාගේ චරිතය ගාර්ෂියා මාර්කේස්‌ ගොඩ නගන්නේ ඔහුගේ මව් පස සීයා, එනම්, "දින දාහේ යුද්ධය" නමින් ප්‍රකට 1899-1902 පැවති කොලොම්බියානු නිදහස්‌ කැරැල්ලේ සටන් වැදි, කර්නල් නිකොලා මාර්කේස්‌ගේ චරිතය ඇසුරිනි.

ආශ්චර්යාත්මක යථාර්ථවාදී සාහිත්‍යයේ නිල මුද්‍රාව බඳු, "සියක්‌ වස හුදෙකලාව" නවකථාව තුළ කාලය සර්පිලාකාර පථයක්‌ ඔස්‌සේ ගෙවී යන්නේ ද අභ්‍යව්‍ය දේ සාමාන්‍යය බවට පත් වන්නේ ද, සාමාන්‍ය මිනිසුන්ගේ අසාමාන්‍ය ජීවිත අරා පැතිරි ශෝකී මෙන්ම විකට වූ ඉරණම විචිත්‍රවත් අතිශයෝක්‌තියක්‌ තුළ සෙල්ලක්‌කාර උත්කර්ෂකයට පත් කරමිනි. ඒ සැණකෙළිමය අවකාශය තුළ, ලතින් ඇමරිකානු ජන ජීවිතය ද සිතුම් පැතුම් රටාව ද එක්‌තැන් කොට කැඩපතකින් මෙන් පිළිබිඹුවක්‌ මැවූ මාර්කේස්‌, දහ නව වන සියවස යුරෝපා සාහිත්‍ය ප්‍රබෝධය සනිටුහන් කළ චාර්ල්ස්‌ ඩිකන්ස්‌ හෝ ඔනොරේ ද බල්සක්‌ වැනි, විචාරක පැසසුම මෙන් ම සාමාන්‍ය වැසියන්ගේ ආදරය ද එක සේ දිනා ගත් ලේඛකයින් කිහිප දෙනා අතුරින් අයෙකි.

ලොව පුරා විශ්ව විද්‍යාලයන්හි අධ්‍යයනය කරනු ලැබීමට මෙන්ම යන්තමින් කියවීමේ හැකියාව ඇතියවුන්ගේ ප්‍රසාදයට එක්‌වර ම පත් වීම යනු සැබවින්ම සුවිශේෂී සිදු වීමකි. පාඨක ප්‍රජාවක්‌ දිනා ගැනීම අතින් බැලු කල, එය සාර්ථකත්වයේ පරිසමාප්තියයි. ඒ සාර්ථකත්වය වටහා ගැනීමට තැත් කිරීම වඩාත් ආකර්ෂණීය දෙයක්‌ බවට පත් වන්නේ, ලෝ පුරා පිටපත් මිලියන පහළොවකටත් වඩා අලෙවි වුණු "හුදෙකලාවේ සියවසක්‌" කෘතියේ සාර්ථකත්වය ගැන තමා ම පුදුමයට පත් වන බවත් 1975 දී ‘Autumn of the Patriarch’ යනු තමාගේ වඩාත් පරිපූර්ණ වූ කෘතියක්‌ බවත් ඔහු ම කී බව සිහිපත් කරනා විට දී ය.

ලතින් ඇමරිකානු ලේඛකයින්, ඔවුන් ලේඛකයින් නිසා ම, ජන නායකයින් ලෙස පිළි ගැනෙන, විශාල අනුගාමිකයින් පිරිසක්‌ ගොඩ නැගෙනා බවත් මාර්කේස්‌, කියුබානු ලේඛක මාර්ති, නෙරූදා, සහ චිලියානු ලේකා මිස්‌ත්‍රාල් ආදීන්ගේ ගමන් මග දෙස බලනා විට පෙනී යයි. මේ තත්ත්වය විස්‌තර කරමින් ඉසබෙල් අයියන්දේ මෙසේ පවසයි, "දකුණු ඇමරිකානු මහාද්වීපය යන අති සංකීර්ණ සහ අද්භූත දේශයේ වෙසෙන ජනතාවකගේ සාමූහික බලාපොරොත්තු, සිහින සහ භීතිකාවන් සම්පිණ්‌ඩනය කර දක්‌වන්නේ ලේඛකයින් බැවින්, තමන්ව දිනපතා පාහේ වික්‌ෂිප්ත කරනවන යථාර්ථය ගැන පුqරෝකථන කිරීම ජනතාව සිය ලේඛකින්ගෙන් බලාපොරොත්තු වෙති. ලේඛකයෝ අපේ ඉතිහාසය - මායාවක්‌ සහ භයංකර වූ ඒ ඉතිහාසය - අප වෙත යළි ලබා දෙති." මාර්කේස්‌ගේ ශෛලියත්, විටෙක ඔහුව ජනාධිපති කළ යුතු යෑයි කියන තරමට ඔහු සතු වූ අධික ජනප්‍රිතාවත්, වාම දේශපාලන නායකයින් සමග පැවැත්වූ කිට්‌ටු මිත්‍රත්වයත් වටහා ගැනීමට මේ ප්‍රකාශය පසුබිම සකසයි.

මාර්කේස්‌ගේ කෘතීන්හි හමුවන විශ්වයෙහි ලාක්‌ෂණික ගුණය නම් ඇදහිය නොහැකි දේ මහා පිපුරුමක්‌ මෙන් විත් පාඨකයා වෙළා ගැනීමයි. ලොව පුරා කෝටි ගණනක්‌ පාඨකයින් ආකර්ෂණය වීමට හේතු වූයේ, ඒ මායා ලොව තුළ අප එදිනෙදා අත් දකින මුත් නිති මග හරිමින් සිටින හේතු දැක්‌විය නොහැකි සහ කිසි විට ඇදහිය නොහැකි, බොහෝ සිදුවීම්ල කිසිදු පැකිළීමකින්, ව්‍යාජයකින් තොරව පිළි ගැනෙන ලොවක්‌ මාර්කේස්‌ තනා දීමයි. අනාගතය කියෑවෙන හීන සුබ අසුබ පෙර මග ලකුණු කියන හූනන් බල්ලන් සිටින වෙහෙරවලින් රැස්‌ විහිදෙන, කිරි නැහැවෙන තැනක වෙසෙන අපේ යථාර්ථය ද එය නොවේද?

වෙනත් ඕනෑ ම සාහිත්‍ය ව්‍යාපාරයක මෙන්, ආශ්චර්යාත්මක යථාර්ථවාදයෙහි සාර්ථකත්වය ද ඊට ම පාරා වළල්ලක්‌ නො වී යෑයි කිව නොහැකි ය. දකුණු ඇමරිකානු මහාද්වීපය අත්පත් කර ගත් ස්‌පාඤ්ඤ කොන්කිස්‌තදෝර්වරු සිය රජුන් වෙත ලියා යෑවුණු ලිපිවල සිට ම අතිශයෝක්‌තිය පිරී පවතී. ලතින් ඇමරිකාව තාරුණ්‍යයෙන් අනූන බවත්, මැජික්‌ සහ දියමන්ති ගල් ගොඩවල් මෙන් ගොඩ ගැසී ඇති බවත්, එහි ඇතැම් මිනිසුන්ට රයිනෝසිරයකුට මෙන් නහය මත අඟක්‌ ඇති බවත් තවකෙකුගේ එක්‌ යටි පතුළක්‌ ඉතා විශාල බැවින් දවල් නිදා ගන්නා විට එය ඉර අව්ව මැඩලීමට කුඩයක්‌ සේ ඔසවා ගන්නා බවත් ඔවුහු ස්‌පාඤ්ඤ රජුට ලියා යෑවූහ. මේ විචිත්‍ර ලේඛනයන්ගෙන් නිරූපිත ලතින් ඇමරිකාව, මාර්කේස්‌ගේ, නැතහොත් එම පරපුරේ වෙනත් ලේඛකයින්ගේ නිරූපණයන්ගේ නිර්මාණවලින් කෙතරම් දුරස්‌ වී ද? ආශ්චර්යාත්මක යථාර්ථවාදී ලේඛයින් වෙත, ඔවුන්ට පසු ලේඛක සහ විචාරක පරපුරින් එල්ල වන ප්‍රධානත ම චෝදනාව නම්, ඒ තුළ ලතින් ඇමරිකාව නියෝජනය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය දියුණු විය නොහැකි, පුරුෂෝත්තමවාදයෙන්, කාම රාගයෙන් සහ විශමයෙන් ස්‌ථාපිත අක්‌ෂයක්‌ වටා නිබඳ කැරකැවෙමින්, ඉදිරි ගමනක්‌ නැති ග්‍රාමීය මහාද්වීපයක්‌ ලෙස බවයි.

සියයට හැත්තෑවක්‌ පමණ වන නාගරික ජනගහනයක්‌ වෙසෙන, ඇමරිකානු ජනප්‍රිය සංස්‌කෘතිය අනුව අනුනාද වන හද ගැස්‌මක්‌ සහිත වර්තමාන පරපුරත් ඔවුන්ගේ යථාර්ථයත් නියෝජනය කිරීමට ආශ්චර්යාත්මක යථාර්ථවාදය අසමත් බව නව පරපුරේ ස්‌ථාවරයි. Macondo වෙනුවට McOndo යන McDonald’s වෙළද ලකුණ ගැන සංඥා කරන සාහිත්‍ය ව්‍යාපාර නාමය වටා මේ නව ලතින් ඇමරිකානු සාහිත්‍යය රාශී වී තිබේ. දෛවෝපගත දේ නම්, මාර්කේස්‌ ඇමරිකානු ජනප්‍රිය සංස්‌කෘතියේත් එය ලතින් ඇමරිකාවට කරන බලපෑමේත් යාවජීව විවේචකයකුව සිටීම සහ ඔහු බිය වූ දෙයම යථාර්ථය බවට පත් වූ දිනක ඔහු වියපත් බලා සිටින්නකු, ඔහුගේ ප්‍රකට ම නවකතාවේ මෙන් අවසන් කාලයේදී "නිහඬ බුවන්දියා" කෙනෙකු බවට පත් වීමයි.

කෙසේ වෙතත්, අදටත් ලතින් ඇමරිකාවේ මෙන් ම, විශේෂයෙන් ආසියාව කෙරෙහි ද පොදුවේ ලෝකය ම කෙරෙහි ද මාර්කේස්‌ සහ ඔහුගේ රචනා වලංගු වන්නේ, විස්‌තර නොකළ හැකි දෙය මාර්කේසියානු යථාර්ථයක්‌ වන බැවිනි. සිය වසක හුදකලාව නිමා වූ තැන සත්‍යය නිරාවරණය වූ පරිදි, හුදකලාවේ දෙසිය වසක්‌, හෝ තුන්සිය වසක්‌ ගෙවූ විට අප අද ජීවත් වන මායාව පිළබඳ "සැබෑව් හෙළි වනු ඇත. එදින මාස්‌කේස්‌ යළි උපදී.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය