Powered by Blogger.


කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ජයනාත් බණ්‌ඩාර ලාංකීය නාට්‍ය වේදිකාව ජයගත් අපූර්ව රංගන ශිල්පියෙකි. 1989 වර්ෂයේ යෞවන සම්මාන උළෙලේ දී උඩරට නැටුම් ඒකල ප්‍රථම ස්‌ථානය දිනා ගනිමින් මෙන්ම විද්‍යාලයේ නාට්‍ය අංශයේ කැපී පෙනෙන චරිතයක්‌ වෙමින්ද ජයනාත් බණ්‌ඩාර රංගාවතරණය සිදු විය.

1989 දී ටනූ- අනවරත්නගේ "මිහිදුම් සිහින", "හෙට කළුවර නෑ" ආදී නාට්‍යවල මෙන්ම 1993 සරසවි නාට්‍ය සම්මාන උළෙලේ හොඳම නළුවා වැනි සම්මාන දිනා ගනිමින් ඔහු තමන්ගේ රංගන ගමන් මඟ සනිටුහන් කළේය. 1999 රාජ්‍ය නාට්‍ය උළෙලේ දී සම්මාන හතක්‌ දිනාගත් තුමිඳු දොඩන්තැන්නගේ "අරුන්දතී" නාට්‍යයේ හොඳම නළුවා සම්මානයත් දිනා ගැනීමෙන් අනතුරුව ඔහුගේ රංගන ජීවිතයේ ස්‌වර්ණමය යුගය උදාවිය. 1999 දී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ "මනමේ" නාටකයේ වැදි රජුගේ චරිතයටත්, ඉන් අනතුරුව 2000 දී "සිංහබාහු" නාට්‍යයේ සිංහයාගේ චරිතයටත් රංගන දායකත්වය දුන් ඔහු අද දක්‌වාද නොකඩවා එම චරිතයන්ට රංගන දායකත්වය ලබාදෙමින් සිටී. එමෙන්ම "මහාසාර" නාටකයේ වැඳිරියගේ චරිතයත් "කදා වළලු" නාට්‍යයේ "සේරිවාණිජ"Êචරිතයටත් රංගන දායකත්වය ලබාදෙන ඔහු ඉහත සියලුම නාටකවල ප්‍රධාන චරිතයන්ට පණ පොවයි.

දයානන්ද ගුණවර්ධනයක්‌ගේ "නරි බෑණා" නාටකයේ නරියා සහ ගමරාළගේ චරිතයන් ද්විත්වයට රොඩ්නි වර්ණකුල සමග විටින් විට රංගන දායකත්වය ලබාදෙන ඔහු "මධුර ජවනිකා" නාටකයේ එළාර රජුගේ සහ රාජාධිරාජසිංහ රජුගේ චරිතයන් සඳහා තම රංගන දායකත්වය ලබාදෙමින් සිටී. ජයලත් මනෝරත්නයන්ගේ "අන්දරේලා" නාටකයේ රජුගේ චරිතයත් "සුදු රෙදි හොරු" නාටකයේ වන්දිභට්‌ටයාගේ චරිතයටත් පණ පොවමින් ඔහු මෙරට සුවිශේෂී නාට්‍ය නිර්මාණයන් පෝෂණය කරමින් සිටී.

එමෙන්ම ලූෂන් බුලත්සිංහල අධ්‍යක්‍ෂවරයාගේ "රතුහැට්‌ටකාරී" නාටකයේ රජුගේ චරිතයට රංගන දායකත්වය ලබාදෙමින් තම රංග ගමන් මඟෙහි ස්‌ථාවරය සටහන් කරන්නට ඔහුට හැකි විය. විජය නන්දසිරිගේ "දික්‌තල කාලගෝල" නාටකයේ දික්‌තලාගේ චරිතයටත් "ශ්‍රී ගජබා" නාටකයේ නාග චරිතයටත් රංගන දායකත්වය ලබාදෙමින් ඔහු තම රංගන ප්‍රතිභාව ප්‍රකට කළේය.

නාට්‍ය ධර්මී සම්ප්‍රදායෙන් ඔබ්බට තම රංග කෞෂල්‍යය විදහා පෑ ඔහු 2000 වර්ෂයේ දී බුද්ධික දමයන්ත නිෂ්පාදනය කළ "පාදඩයා" නාට්‍යයත්, 2001 දී "බන්සි මැරිලා නෑ" නාට්‍යයත්, 2013 දී බුද්ධික දමයන්තගේම "මාස්‌ටර් හැරල්ඩ්" නාටකයත් රංගන දායකත්වය ලබා දුන්නේය. පුංචි තිරයේ දී ඔහු දි. ග. සෝමපාලගේ "නිල්ල පෙනෙන මානයේ" ප්‍රධාන චරිතයටත්, ලක්‍ෂ්මන් විෙ-සේකරගේ "දඟයන්ට පමණයි" ටෙලි නාටකයේ ප්‍රධාන චරිතයටත් රංගන දායකත්වය ලබාදුන් ඔහු ස්‌වභාවික නාට්‍ය සම්ප්‍රදාය විෂයෙහිද තම ප්‍රතිභාව ප්‍රකට කළේය. හඬ කැවීම් ශිල්පියෙකු ලෙසද ටෙලි නාට්‍ය හා කාටුන් සඳහා සිරස ටී.වී., හිරු ටී.වී. වැනි නාලිකා හරහා ජයනාත් බණ්‌ඩාර තම හඬ අවදි කළේය. එමතුද නොව ටීවී ලංකා ආයතනයේ නිවේදකයකු ලෙසත් ජාතික රූපවාහිනියේ රංග භූමි අධ්‍යාපනික වැඩසටහනේ පිටපත් රචකයකු හා කථිකයකු වශයෙන් ඔහු තම ශිල්පීය ඥනය තුළින් ලාංකීය ප්‍රේක්‌ෂකයන්ට නවමු අත්දැකීමක්‌ එක්‌ කළේය. පුරා වසර 20 ක පමණ කාලයක්‌ දේශීය නාට්‍ය කලාකෙත පෝෂණය කළ ජයනාත් බණ්‌ඩාරයන්ගේ නාට්‍ය උළෙල මැයි මස ලයනල් වෙන්ඩ්ට්‌ රඟහලේ දී රංගගත වේ. එහිදී මැයි 22 තුමිඳු දොඩන්තැන්නගේ ගේ "අරුන්දතී" නාටකයත්, මැයි 23 මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ "මනමේ" නාටකයත්, මැයි 24 ලූෂන් බුලත්සිංහලගේ "රතු හැට්‌ටකාරි" නාටකයත්, මැයි 25 මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ "සිංහබාහු" නාටකයත් පිළිවෙළින් සවස 7.00 ට වේදිකාගත වේ. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන මෙම නාට්‍ය උළෙලෙහි සුවිශේෂීත්වය වන්නේ ඉතා පහසු මිලකට ප්‍රේක්‌ෂකයන්ට නාට්‍ය නැරැඹීමේ හැකියාව ලබාදීමයි. විශ්වවිද්‍යාලීය විද්‍යාර්ථින් ගෙන් සුසැදි කලාලය "ආර්ට්‌ස්‌" විසින් සංවිධානය කරන මෙම නාට්‍ය උළෙල ප්‍රේක්‌ෂකයන්ට අපූර්ව අත්දැකීමක්‌ වනු ඇත.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය