Powered by Blogger.

ඇන්ජලින් ද ලැනරොල් ගුණතිලක


“මම එම්. එස්. ප්‍රනාන්දු සමඟ ගායනා කළ ‘නෙළුම් මලේ පෙති කඩලා’ සහ ‘අහා හැඩයි රූපේ’ වැනි ගීත වේග රිද්ම ගී වුණාට පැහැදිලිවම ඒවා බයිලා නොවේ. විශේෂයෙන්ම අපි ගායනා කළ රිද්මයෙන් ජනතාව අතර ජනප්‍රියත්වයට පත් වී සමාජ ගත වූ මෙවැනි ගීත රිද්මය වෙනස් කර වැඩි වේග රිද්මයෙන් (high speed) ගැයුවාම එය විකෘති කිරීමක් නොවෙයි කියා කියනවා නම් ඔහු පල් මෝඩයකු මිස සිහිබුද්ධියෙන් මේ සංගීත ක්ෂේත්‍රයේ හැසිරෙන musician කෙනෙක් නෙමේ. මම දෙවියන් වහන්සේගේ දරුවෙක්. ඒ නිසා මම කවදාවත් කාටවත් අසාධාරණ ලෙස බොරු චෝදනාවක් කරන්නේ නැහැ. මම කිව්වේ සහතික ඇත්ත. මගේ චෝදනාව music දන්න කවුරු වුණත් අනුමත කරනවා. මගේ චෝදනාව බොරු චෝදනාවක් නොවේ. වෝල්ටර් ප්‍රනාන්දුට පමණක් නෙමේ, ජනප්‍රිය ගීත විකෘති කර ගයන කාට වුණත් මගේ මේ චෝදනාව තවදුරටත් වලංගුයි.”
එලෙස පවසමින් ප්‍රවීණ ගායන ශිල්පිනී ඇන්ජලින් ද ලැනරෝල් ගුණතිලක සුපුරුදු සෙනෙහසින් අප සමඟ කතා බහට එක් වුණත් ඇන්ජි අක්කාගේ සිත කලකිරීමකින් පිරිලා මෙන් ය. පසුගිය මාර්තු 30 වැනිදා වෝල්ටර් ප්‍රනාන්දු ඇන්ජි අක්කාගේ නිවෙස අසල පැවැති ගීත ප්‍රසංගයකදී “නෙළුම් මලේ පෙති කඩලා” සහ “අහා හැඩයි රූපේ” ගීත වැඩි වේග රිද්මයකට ගායනා කර විකෘති කිරිම හේතුවෙන් එම වරද සුහදශීලීව පහදා දීමට දුරකතනයෙන් වෝල්ටර්ව ඇමතීමේ දී සිදු වූ සිත් රිදවීමෙන් පසුව තවදුරටත් ඒ පිළිබඳ “රසඳුන” මඟින් පහදා දුන් විටදීත් ඔහු පසුගිය ඉරුදින ‘රසඳුන'ටත් ඇන්ජි අක්කාට පිළිතුරු ලෙස ප්‍රකාශ කර තිබුණු අදහස් ඇගේ කලකිරීමට හේතු වී ඇතැයි අපි සිතමු. අපි ඇයට සවන් දෙමු.
“මං මොනතරම් හොඳ හිතකින් ද වෝල්ටර්ට කතා කළේ. ඒත් එදා මට කතා කරන්න වත් නොදී ‘එහෙම නම් ඔයා නඩු දා ගන්න. මෙතැන පිස්සු කතා කරන්න එනවා’ කියලා ටැලිෆෝන් එක තියලා දැන් මගේ වැරැදි වටහා ගැනීම ගැනයි, මං තරහෙන් බොරු චෝදනා කරනවායි, වෛර බඳිනවායි වගේ වෙන වෙන දේවල් දොඩවලා. මොනව ද ඔය විකාර. මම ඉන්නේ ඉණිමඟ උඩ. ඔවුන් ඉන්නේ පහළ. මට වැඩක් නෑ ඔය පණු කූඩෙට වැටිලා ඔවුන් එක්ක වාද කරන්න.”
“මං හොඳට හිතලා බලලා ඉවසා ගෙන ඉදලා බැරිම තැන තමයි පත්තරෙන් ප්‍රසිද්ධියේම ඔය වරද හෙළිදරව් කළේ. දැන් ඉතින් හැදෙන කෙනෙකුට හැදෙන්න පුළුවන්නේ, ඔවැනි වැරැදි නොකර. හැබැයි මගේ ‍චෝදනාවට වෙන අනං මනං හිතලු කතා අඹර අඹර දෙඩෙව්වාට වෝල්ටර් ප්‍රනාන්දුට පිළිතුරු දෙන්න නෙමේ මම මේ දේවල් කියන්නේ. සුහදශීලීව වරදක් පෙන්වා දුන්නාම එය පිළිගෙන නිවැරැදි කරගන්නා මහත්මා ගතිගුණ ඇති ‘හිවල් ගති පෙන්වන සුනඛයින් නොවන’ අපේ සංගීත ක්ෂේත්‍රයේ ඉන්න හොඳ මහත්වරුන්ට තේරුම් ගන්නයි.
වෝල්ටර් පවසන්නේ ප්‍රසංග වේදිකාවේ දී ගීතයක් වැඩි වේග රිද්මයෙන් ගායනා කිරීමෙන් එම ගීතය විකෘති නොවන බව නේද...?
“මොන විකාරයක් ද ඒ. මුලින්ම ගීතයක් නිර්මාණය වෙද්දී ඒ ගීතයට අදාළ වන රිද්මයකටනේ එය නිර්මාණය වෙන්නේ. ඉන්පසු එය අසන්නන් අතර ජනප්‍රිය වෙන්නේ ඒ රිද්මයෙන්. එය සැබෑ ගීත රසිකයින් හඳුනනවා. ජනතාව අතර ජනප්‍රිය වූ එවැනි ගීතයක රිද්මය හෝ වචන හෝ වෙනස් කිරීම කියන්නේ ඒ ගීතය විකෘති කෙරුවා කියන එකටයි. ඕක තේරෙන්නේ නැතිකම නෙමේ, අවස්ථාවාදිකම. වැරැද්ද පිළිගන්න තියෙන අකැමැත්ත. මනුස්සයන් වුණාම අපි කා අතිනුත් වැරදි වෙන්න පුළුවන්. එහෙම වැරැද්දක් අපේ අතින් වෙලා කවුරුන් හෝ ඒක පෙන්වා දුන්නාම පිළිගෙන එම වැරැද්ද හදා ගන්න එක තමයි මනුස්සකම නැත්නම් මහත්මා ගතිය කියන්නේ. එහෙම නැතුව ඔය මොනවා හරි දොඩවලා වැරැද්ද වහගන්න එක හිවල් ගතියක්. මෙතැනදී වෙලා තියෙන්නෙත් ඒ දේමයි.”
ප්‍රසංග වේදිකාවේ දී වැඩි රිද්මයකින් (high speed) ගීත ගයන්න සිදුවන නිසාත්, නැත්නම් රසිකයින් “හූ” කියන නිසාත් එසේ කරන බවයි වෝල්ටර් පවසන්නේ.
“ඒක හරි කතාවක් ද...? එහෙම නම් ප්‍රසංග වේදිකාවේදී ගයන්න සුදුසු ගීත තමන්ටම හදාගන්නේ නැතුව අපේ ගීත ගායනා කරලා විකෘති කරන එක හරි ද. මං මුලින්ම මේ ගැන පැහැදිලිව කිව්වා. අපි චිත්‍රපට වලට ගැයූ වේග රිද්ම ගී තිබුණාට ඒවා බයිලා නොවේ. අපි ඒවා ගායනා කර තියෙන්නේ variation ඇතුව නිර්මාණශීලීවයි. රසිකයින් ‘හූ’ කියනවයි කියලා අපේ නිර්මාණ විකෘති කරන්න කාටවත්ම අයිතියක් නැහැ. අපිත් ඔය නිර්මාණ අනන්තවත් ප්‍රසංග වේදිකාවල ගයනවා. හැබැයි ඉතින් අපිට නම් කවදාවත් රසිකයින් ‘හූ’ කියලා නැහැ. ඒකෙන්ම වැටහෙනවානේ, රසිකයින් ‘හූ’ කියන්නේ මොවුන් අනුන්ගේ සින්දු විකෘති කර කියන හින්දා බව. ඔවැනි වැරදි කරන ගායක ගායිකාවන්ට මහජනයා ‘හූ’ කියන්න ඕන තමයි. ගීත රසිකයින්ට තේරෙන තරම් දෙයක් වත් තේරුම් ගන්න බැරුව ඔය පල්හෑලි ඇදබාලා ප්‍රශ්නයෙන් මඟහරින පුද්ගලයින් ගැන තවත් මොන කතා ද.”
“මං ගයන්නේ මගේ අයියාගේ (එම්. එස්. ප්‍රනාන්දුගේ) සින්දු මිස අනුන්ගේ සින්දු නෙමේ” කියලත් වෝල්ටර් පවසනවා.
“තාත්තලා කියපු සින්දු පුතුන්ට අයිති නැහැ. අයියලා කියපු සින්දු මලයලාට අයිති නැහැ. යුග ගීතයකදී නම් ඒ ගීතය ගායනා කළ ගායක ගායිකාවන් දෙදෙනාගෙන් එක් අයෙකු හෝ ජීවතුන් අතර ඉන්නවා නම් වෙන කාටවත් ඕන ඕන හැටියට ඒ ගීතය ගයන්න කිසිඳු සදාචාරාත්මක අයිතියක් නැහැ. ඔය ‘නෙළුම් මලේ පෙති කඩලා’ සහ ‘අහා හැඩයි රූපේ’ ගීත ගායනා කළ මේ ගායිකාව තාමත් ජීවත්ව ඉන්නවා. මං මේ තාමත් ඉද්දී වෙන කවුරුත් කොහොමද මගේ සින්දු කියන්නේ. ගායකයෙකුගේ ගීතය ඒ ගායකයාගේ පුතෙකුට වත් අයිති නැත්නම් සහෝදරයෙකුට අයිතියක් කොහෙන්ද.”
ඇන්ජි අක්කාගේ හිතේ කාලයක සිට තිබෙන වැරදි වටහා ගැනීම් කිහිපයක් නිසා ඇති අමනාපයක් හේතුවෙන් ඔබ වෝල්ටර්ට වෛර බඳිනවා කියලත් ඔහු හිතනවා නේද...?
“හම්, ඒක හරිම කතාවක් තමයි. එයා කොහොම ද මගේ හිතේ වැරැදි වැටහීම් තියෙනවා ද නැද්ද කියලා දන්නේ. මට ඕනකමක් නැහැ. වෝල්ටර්ට උත්තර දෙන්න. අපිත් ඔවුන් වගේ අදාළ නැති කාරණා දොඩවලා අපේ මාතෘකාවෙන් පිට පනින්න ඕනෑ නැහැනේ. ඔය අසාධාරණයන්ට, ඊර්ෂ්‍යා, වෛර, ක්‍රෝධයන්ට දෙවියන් වහන්සේ කැමැති නැහැ. අපි කලාකරුවෝ දෙවියන් වහන්සේගේ මහිමය පිණිස කටයුතු කරන්න ඕනේ. ඒ නිසා මම කවදාවත් මේ ලෝකයේ කාටවත් වෛර බඳින හෝ නිකරුණේ බොරු චෝදනා හෝ කරන කෙනෙක් නෙමේ. දෙවියන් වහන්සේ අදහන අය අසාධාරණයට, වැරැදි ක්‍රියාවන්ට කැමැති නැහැ. මට තවමත් හොඳින් ගීත ගායනා කරන්න වගේම මෙවැනි වැරදි දැක්කම මේ වගේ කතා කරන්න ශක්තිය දෙවියන් වහන්සේ තමයි දීලා තියෙන්නේ. මම කැත, වැරදි වැඩ කරනවා නම් මට මෙහෙම ආශිර්වාද කරන්නේ නැහැ දෙවියන් වහන්සේ. මම ඇත්ත ප්‍රකාශ කරන ගායිකාවක්. මම බොරු කියන්නේ නැහැ. එදා මට වෙච්ච දේ, දැනුණු දේ මං ඒ විදිහට එවලේම ‘රසඳුන'ට කිව්වා. ඉතින් දිගින් දිගටම ඇවිස්සෙන්න මට ඕනකමක් නැහැ. මේ ටික ඔහුට කිව්වාම හොඳටම ඇති.”
කිසියම් ගීතයක් චිත්‍රපටයකදී හෝ ගීත තැටියකදී ගයා ඇති රිද්මයට වෙනස්ව මඟුල් ගෙදරකදී, ශාලාවක් ඇතුළත ප්‍රසංගයකදී සහ එළිමහන් ගීත ප්‍රසංගයකදී ආදී වශයෙන් විවිධ රිද්මයන්ට ගායනය කිරීමෙන් එම ගීතය විකෘති වෙන බව ඔබ තවදුරටත් පවසනවා ද...?
ඔව්. original ගීතයේ රිද්මයට තමයි ඔය හැම තැනකදීම ඒ ගීතය ගයන්න ඕනේ. අපි චිත්‍රපටවල කිව්ව ගීත stage වල ගයද්දී ඒ රිද්මයන් වෙනස් කරන්නේ නැහැ කවදාවත්. එහෙම වෙනස් කළොත් එම ගීතය විකෘති ගීතයක් වෙනවා. විශේෂයෙන් high speed ගායනා කළොත් ඒ හානිය වැඩියි. මම අදටත් ‘පෙම්වතියන්ගේ’ - ‘මා එදා’ - ‘බංගලි වළලු’ වගේ ගීත ගයන්නේ මුලින්ම ගායනා කළ රිද්මයන්ටයි. වෙනත් අය අපේ ගීත විකෘති කර ගායනා කරද්දී වේදනාවක් දැනෙන්නේ ඒ නිසයි.”
ප්‍රසංග වේදිකාවලදී සංගීත කණ්ඩායම් වාදනය කරන අයුරු ගායනා කරන්න ගායක ගායිකාවන්ට සිදුවීම නිසා ඇතැම් විට high speed ගයන්න යාමේ දී මෙසේ සිදු වෙනවා යයි පැවසීම සාධාරණ ද...?
“නැහැ. ඒ ඔය කීයක් හරි දෙන මුදලත් අරගෙන සින්දු කියන්න stage show වලට යන ගායක ගායිකාවන් කියන කතාවක්නේ. ඔවුන්ට ලොකු මුදල් පමණයි. තමන්ගේ ආත්ම ගෞරවයවත් ඒ අය රැකගන්නේ නැහැ. ඉතින් කොහේද ඒ අය තමන්ගේ ගීත රැකගන්නේ. මම - ‘ඇන්ජලින් ද ලැනරෝල් ගුණතිලක’ මම ගීත ගයන්න පෙර band එක දැනුවත් කරනවා. කෝච්චි දුවනවා වගේ දුවන්න බැහැ මගේ ගීත වාදනය කරද්දී. පොඩ්ඩක් වත් speed කරන්න දෙන්නේ නැහැ. හුඟාක් band මට call කරලා අහනවා - ‘අක්කේ මේ සින්දුවේ speed හරි ද?’ කියලා. එහෙම දැනුවත් වෙලයි අපි මේ ගනුදෙනුව නිවැරැදිව කරන්නේ. මට ඔවුන් ගරු කරනවා. මට දෙවියන් වහන්සේ ලබා දීලා තියෙන හැකියාව මම ගෞරවනීය ලෙස භාවිත කරනවා. එතකොට අපිට ප්‍රසංග වේදිකාවල නැගී band පුහුණු කර කර ඉන්න අවස්ථාව නැතුවට කමක් නැහැ. ගීත විකෘති නොකර ගායනා කරන්න පුළුවන්. එහෙම නැතුව ගීත high speed ගායනා කරන්න ගිහිල්ලා විකෘති කරලා ඒ වැරැද්ද band වල ළමයි පිට පැවරීම සාධාරණ නැහැ.”

රඟපෑමේදී ඇමැතිකම් නෑ මම අධ්‍යක්ෂකවරයාට බයයි

දේශපාලනයෙන් කලාවට
කලාවෙන් ලැබෙන ජනප්‍රියත්වය නිසා දේශපාලනයට එන බොහෝ දෙනා අපට මේ දිනවල දැකගත හැකිය. එහෙත් දේශපාලනයෙන් කලාවට යොමු වන්නේ එහෙමත් අයෙකි. ඉතිහාසය මෙන්ම රට ජාතිය ආගම ගැන ඇති උනන්දුව නිසාම රංගනයට යොමු වුණු විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාගේ කලාකාමී ‍ෙතාරතුරු වෙත අප යොමු වන්නේ අද ජාතික රූපවාහිනියේ ‘මුල්’ නාට්‍යය ඔස්සේ ඔහු හා හා පුරා කියා රංගනයේ යෙදෙන බැවිනි.

ඔබ හිතන්නේ වඩා වැදගත් කලාවද? දේශපාලනයද?
ලෝකේ කොච්චර දියුණු වුණත් සමාජයට, මහජනතාවට නියෝජිතයකු ඕනෙ. ඒ වගේම තිරිසනාගෙන් මිනිසා වෙනස් වුණු පළමු පියවර කලාව. ඒ නිසා කලාව වගේම දේශපාලනය එක සේ වැදගත්. හැබැයි ඒ දෙකටම අවංකව කැපවී‍ෙමන් වැඩ කළොත් විතරයි දිනන්න පුළුවන්.
ඔබ සෞන්දර්ය විෂයයන්ට ළැදිද?
ඔව්. ඒත් මම ශිෂ්‍යත්වය පාස්වෙලා රෝයල් කොලේජ් එකට ආවම ජාතික ගීතය කියන්න කියලා ලයනල් රංවල සර් කණ්ඩායමට කීවා. ඊට පස්සේ මගේ ළඟ නතර වෙලා ආපහු තනියම කියන්න කීවා. ඒ පාර අහගෙන ඉඳලා කීවා පුතා ඔයා චිත්‍රවලට ගියා නම් හොඳ නැද්ද කියලා!
ඉතින් ඔබ හොඳින් චිත්‍ර කළාද?
මම දක්ෂ චිත්‍ර ශිල්පියකු වුණේ නෑ. හැබැයි විභාගේ නම් සමත් වුණා. මම හිතන්නේ ලියන කොටසින් ලකුණු ලැබෙන්න ඇති.
ඒ කියන්නේ ඔබ ගායනයයි චිත්‍රයි ජීවිතෙන් ඉවත් කළාද?
නෑ නෑ ට්‍රිප් එකක් එහෙම යද්දි සාමූහික සින්දු කියනකොට මම ප්‍රධාන පෙළේ ඉන්නවා. ඒත් තනියම කියාගන්න බෑ.
ඔබ ගීත රසවිඳිනවා?
ඔව්. අමරදේව මාස්ටර්, ධර්මදාස වල්පොල, එච්.ආර්.ජෝතිපාල, එඩ්වඩ් ජයකොඩි මම කැමැති ගායකයන් කීපදෙනෙක්.
නන්දා මාලිනිය වගේම මාලනී බුලත්සිංහල, දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ව‍ගේ ගායිකාවන්ට කැමැතියි.‍
කැමැතිම ගීතය?
“මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනවි” “ටිකිරි කුමරු රාජසිංහ නමින් රජවුණා” යන ගීත දෙක.
කැමැති නළු නිළියන් එහෙම?
මම ජෝ අබේවික්‍රමට හරිම කැමැතියි. ගැමියකුගේ චරිතයට සාධාරණයක් ඉෂ්ට කළ නළුවෙක් කියලා ඔහුව හඳුවන්න පුළුවන්. ගාමිණී ෆොන්සේකටත් කැමැතියි.
නිළියන්ගෙන් කැමැතිම මාලනී ෆොන්සේකාට.
කැමැතිම චිත්‍රපටය?
‘සංදේශය’, ‘මුවන්පැලැස්ස’ මං හිතන්නේ මුලින්ම බලපු චිත්‍රපට නිසා වෙන්න ඇති ඒවාට කැමැති.
ඒ කියන්නේ ඔබ චිත්‍රපට ලෝලියෙක්?
ඉස්සර මාව බෝඩිම්වලින් එළවන ගානට චිත්‍රපට බැලුවා. රෝයල් එකට ආවාම මම නතර වුණේ අංක 100 බාන්ස් ප්ලේස් කියන තැන බෝඩිමක. මමයි මහින්දානන්ද අලුත්ගමගේයි එකට හිටියේ. අපි ඉස්කෝලේ වැඩ කිය කියා චිත්‍රපට බලනවා. දවසක් ‘මාතලං’ බලලා එද්දි තාත්ත බෝඩිමට ඇවිත්. ගියේ කොහෙද ඇහුවම ඉස්කෝලේ අමතර වැඩක් කීවා. අපේ තාත්තා මට හොඳටම ගහලා බෝඩිමත් මාරු කළා.
හැබැයි දැන් නම් ඒවාට විවේකයක් නැහැ. මම ගෙදර යන බොහෝ වෙලාවට රූපවාහිනී නාළිකාත් ඉවර වෙලා.
ඒත් ඔබට පොත් කියවන්න විවේකයක් ති‍ෙබනවා?
මම හරියට ‍ෙපාත් කියවනවා. මගේ ළඟ පොත් 10,000ක විතර එකතුවක් තිබෙනවා. පොත් ප්‍රදර්ශනයකට ගියොත් මම අතේ තියෙන සල්ලි ඔක්කෝගෙන්ම පොත් අරගෙන අන්තිමට ණයත් වෙලා එන්නේ. මගේ එකතුවෙන් පොත් තුන්හාරදාහක් විතර මම තවම කියවලා නෑ. ඒත් ඒවා ළඟ‍ට ගිහින් අතගාලා එනවා කවදා හරි කියවන්න හිතා‍ගෙන.
මම ජයසේන ජයකොඩිගේ, ඇරැව්වල නන්දිමිත්‍රගේ, ආර්.එල්.ස්පිට්ල්ගේ පොත්වලට කැමැතියි.
එතකොට පොත් ලියන්නේ? පත්තරවල තීරු ලිපි ලියන්නේ?
පත්තරවලට ලියන්න මම පෙලැඹුණේ අහම්බෙන්. 2001 විපක්ෂ‍ෙය මන්ත්‍රීවරුන්ට පුවත්පත්වල ඉඩ සීමා වුණා. ඒත් 'දිනකර' පත්තරේ සාකච්ඡාවකදී ආර්ථික විද්‍යාව ගැන කොලමක් ලියන්න කීවා. මට පුංචි කාලේ ඉඳන් සිද්ධි හොඳට මතකයි. අපේ ගෙදර පොල් කඩන්න එන මනුස්සයා ලණු වළල්ල හදන විදිහ පවා මට මතකයි. ඒවා යොදාගෙන කොලම ලියද්දි හැමෝම රසවින්දා. ඒ ඔස්සේ මම දැන් පොත් අටක් ලියා තිබෙනවා. 'සිළුමිණේ' පළවූ තුන්වැනි සිතිවිල්ල, උල්පත් පෑන, පන්හිඳක මුවහත, දැයට කිරුළ අටවසරක මතක සටහන්.
පවුලේ කවුරුත් කලාවට සම්බන්ධද?
නෑ. ඒත් අපේ අම්මාට හොඳට කවි කියන්න පුළුවන්. රවුම් අකුරුවලින් ලියුම් ලියන්න පුළුවන්.
ඔබ එතකොට රඟපාන්න පුරුදු වුණේ?
පොඩි කාලෙවත් මම වේදිකාවක රඟපාලා නෑ. හැබැයි දේශපාලනය නිසාම අපට දැන් සබකෝලේ නෑ. අනෙක ඕන තරම් කැමරාවට මූණ දීලා තියෙන නිසා ඒ බයත් නෑ. හැබැයි මුහුණෙන් ඉරියව් පෙන්වද්දි තමයි අමාරු වුණේ.
ඒ කියන්නේ ‘මුල්’ ඔබේ මුල්ම රංගනය?
ඔව්. ඒකත් මම කීපවතාවක්ම බෑ කියද්දි එහි අධ්‍යක්ෂකවරයා බලෙන්ම මාව හමුවී කතා බහ කළාට පසු ගත් තීරණයක්. අනෙක මෙහි මම රඟපාන්නේ රාජසිංහ රජුගේ චරිතය. මම කොහොමත් විදේශිකයන් අපේ රට ආක්‍රමණය කළ ඉතිහාසය ගැන බොහොම උනන්දුයි. අනෙක මේ කතාවෙදි රාජසිංහ රජු ගැන ප්‍රසිද්ධ කරුණුවලට අමතරව සැඟවුණු දේවල්, ගැන කතා කෙරෙන නිසා මම බොහොම උනන්දු වුණා ඒවා ගැන. ඒත් මම අධ්‍යක්ෂවරයාගෙන් ඇහුවා මට රාජසිංහ රජු හැටියට රඟපාලා එක්කෝ ඒ නාට්‍යයට හෝ රාජසිංහ රජුට අසාධාරණයක් වෙයිද කියලත්!
රඟපෑම ගැන කොහොමද හිතෙන්නේ?
එය ඉතා ශ්‍රේෂ්ඨ කලාවක්. එතැනදි මගේ ඇමැතිකම් නෑ. මම අධ්‍යක්ෂවරයාට බයයි.
ඉදිරියේදීත් රඟපාන්න පුළුවන් වෙයිද?
පොඩි අත්දැකීමක් ඇතිව එහෙම ලොකු බලාපොරොත්තු තියාගන්න බෑ නේද?
ඔබේ රඟපෑම ගැන පවුලේ අයගේ ප්‍රතිචාර කොහොමද?
‘මුල්’ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහත්මයා‍ගේ සංකල්පයක්. යහපත් දෙයක් වෙනුවෙන් අමාරු කටයුත්තක් වුණත් කරන්න වුණාට ප්‍රශ්නයක් නෑ. මගේ බිරිය අචලා ධම්මචාරිකා ඇයත් ඊට එකඟ ඇති. ලොකු දූ මල්කි ෂාෂා පොඩි දූ මල්ෂා ශානි ඒ දෙන්නා එක්ක තමයි මම දෙබස් කියලා පුරුදු වුණේ. මොකද දෙවැනියා විශාඛා විද්‍යාලයේ නාට්‍යවලට සම්බන්ධයි.
ඔබ දේශපාලනයෙන් සමුගත් දාක?
දේශපාලනයෙන් විශ්‍රාම ගිය දවසක මම ලියනවා.

කණ්ඩායමේ  උප නායකයා වීම මට ලොකු ගෞරවයක්

ළහිරු තිරිමාන්න

හෙට්ටිගේ දොන් රුමේෂ් ළහිරු තිරිමාන්න. අපි කවුරුත් හඳුනන ළහිරු තිරිමාන්න. ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ හෙට දවස පැහැබර කරන්නට උපන් තවත් එක් සුවිශේෂී ක්‍රීඩකයෙක්.
පාසල් ක්‍රිකට් ක්‍රීඩාවෙන් පසු ඉතාමත් කෙටි කලකින් ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වාසනාව ලැබු ඔහු මේ වන විට ටෙස්ට්, එක්දින සහ විස්සයි 20 යන ජාතික කණ්ඩායම් තුනේම උපනායකයා ලෙස පත්වී සිටිනවා.
සහෝදර ක්‍රීඩකයන් ‘තිරි’ යන ආදරණීය නාමයෙන් හඳුන්වන ඔහු 2011 වසරේ ශ්‍රී ලංකාවේ එංගලන්ත සංචාරයේ දී ජූනි 16 - 20 දක්වා පැවැති ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් ටෙස්ට් වරම් ලැබීය.
ඉන්පසු 2013 ජනවාරි 03 වැනිදා සිට ඕස්ට්‍රේලියාව සමඟ පැවැති සිය 08 වැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී අංක 04 පිතිකරු ලෙස පිටියට පිවිස පන්දු 151 කදී ලකුණු 91 ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස ශතකය පෙනි පෙනී දැවී ගිය තිරිමාන්න 2013 මාර්තු 08 වැනිදා බංගලාදේශයට එරෙහිව ක්‍රීඩා කළ සිය 09 වැනි ටෙස්ට් තරගයේදී මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වනවා.
මෙහිදී මිනිත්තු 426 ක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 256 කදී හතරේ පහර 14 ක් සමඟින් ඔහු නොදැවී ලබාගත් ලකුණු ගණන 155 ක්.
මේ දක්වා එක්දින තරග 62 කට ක්‍රීඩා කර ඇති ‘තිරි’ ඉනිම් 47 කදී නොදැවීම් 4 ක් සමඟ ලකුණු 1322 ක් රැස්කරගෙන ඇති අතර ඊට ශතක 3 ක් අර්ධ ශතක 6 ක් ඇතුළත්.
පසුගිය ආසියානු කුසලාන තරගාවලියේ ශූරයන් ලෙස කිරුළ පලඳින්නට සිය සුවිශේෂී දායකත්වය ලබා දුන් තිරි එහිදී තරග 5 කදී ශතක 2 ක් සමඟ ලකුණු 279 ක් රැස්කර ගනිමින් තරගාවලියේ වීරයා සම්මානය හිමිකර ගන්නවා.
එළඹෙන අයර්ලන්ත සහ එංගලන්ත සංචාරය සඳහා පුහුණුවීම් වල යෙදෙන අතරතුර ‘රසඳුන’ සමඟ සුවිශේෂී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ‘තිරි’ දැක්වූ අදහස් මේ.
ඔබේ පවුලේ විස්තර වලින් ම කතාබහ ආරම්භ කළොත්...
මගේ තාත්තා ලලිත් තිරිමාන්න. අම්මා ශ්‍යාමලී වික්‍රමසිංහ. පවුලේ ඉන්නේ අයියයි මමයි, අයියා තුලනිඳු තිරිමාන්න. මගේ තාත්තා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සේවය කළේ. තාත්තා නිට්ටඹුවේ. රැකියාවේ මාරුවීමක් නිසා අපි කුඩා කාලයේ ඉඳල හිටියේ බණ්ඩාරවෙල.
ඒ නිසා මම පහ වසර වෙනකම් බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයට ගියා. 2000 වසරේදී ඒ කියන්නේ මට වයස 11 දී මගේ පියා නැතිවුණා. ඊට පස්සෙ අපි අම්මාගෙ ගමට මොරටුවට පදිංචියට ආවා. 6 වසරේ ඉඳල මොරටුව වේල්ස් කුමර විදුහලට ගියා.
ඔබේ ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භය සිදුවන්නෙ එහිදී.
ඇත්තටම මොරටුවට ආවට පස්සෙ තමයි ක්‍රිකට් ගහන්න පටන් ගත්තෙ. මුලින්ම මගේ පාසලේ පුහුණුකරු වුණේ සුජීව ගුණරත්න මහතා. ඉන් පස්සෙ 19 න් පහළ වෙනකොට ජයන්ත පෙරේරා මහතා පුහුණුකරු වුණා.
ඔබ කුඩා කාලයේ සිටම කැපී පෙනෙන දක්ෂතා දැක්වූ කෙනෙක්.
මම ක්‍රිකට් පටන්ගත්ත කාලෙම වගේ 14 න් පහළ අන්තර් පළාත් තරගාවලියක් පැවැත්වුණා. ඒ තරගාවලියේදී ඕල් අයිලන්ඩ් බෙස්ට් බැට්ස්මන් වුණා. ඒ නිසාම 15 න් පහළ, 17 න් පහළ, 19 න් පහළ ජාතික සංචිතවලට ඇතුළත් වෙලා විදෙස් සංචාරවලට සහභාගි වෙන්න හැකියාව ලැබුණා. අවසානයේ 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියටත් සහභාගි වීමේ අවස්ථාව ලැබුණා.
නායකත්වය ඔබට නුහුරු අත්දැකීමක් නොවෙයි.
මම පාසලේ 11 න් පහළ කණ්ඩායමේ සිට ඉහළට සියලුම කණ්ඩායම්වල නායකත්වය දරා තිබෙනවා. විද්‍යාලයෙන් එළියට ගියාට පස්සෙ ක්‍රීඩා සමාජවලට ක්‍රීඩා කළා. එහිදී ක්ලබ් එකේ 23 න් පහළ නායකත්වය දැරුවා. ඉන්පසු ක්‍රිකට් සංවර්ධන සංචිතයේ උපනායකයා ලෙස කටයුතු කළා. ඒ විදිහට තමයි මම ඉස්සරහට ආවෙ.
ජාතික කණ්ඩායමට තේරීම ගැනත් කතා කරමු.
මුලින්ම ජාතික ටෙස්ට් කණ්ඩායමට ක්‍රීඩා කිරිමට මට අවස්ථාව ලැබුණා. 2011 වසරේ එංගලන්ත සංචාරයේදී එංගලන්තයට එරෙහිව තමයි ටෙස්ට් වරම් ලැබුවේ. දැනට ටෙස්ට් තරග 10 ක් පමණයි ක්‍රීඩා කර තිබෙන්නේ.
ඊට පස්සෙ තමයි මට වන්ඩේ සෙල්ලම් කරන්න හම්බ වුණේ. වන්ඩේ සෙල්ලම් කරන්න ගත්තට පස්සෙ මගේ දස්කම් එළියට එන්න පටන් ගත්තා. පසුව යළිත් මම ටෙස්ට් කණ්ඩායමට ආවා.
ඒ අතරතුර ටී 20 තරගවලත් සෙල්ලම් කරන්නත් අවස්ථාව ලැබුණා. ඉතින් මේ තරග තුනේම අවස්ථාවන්ට අනුව සෙල්ලම් කරන්න පුළුවන් වුණු හින්දා මගේ දක්ෂතා පෙන්වමින් ඉදිරියට යන්න පුළුවන් වුණා.
මේ ක්‍රීඩා අංශ තුනේම එක වගේ දක්ෂතා පෙන්වන්නේ කොහොම ද?
ඇත්තටම ලේසි නෑ. ඒත් බැට්ස්මන් කෙනෙක් වුණාම සිටිවේෂන් එකේ ඕනම තරග රටාවකදී ක්‍රීඩා කරන්න පුළුවන් වෙන්න ඕන.
සමහර විට වන්ඩේ එකකදී වුණත් අවසාන ඕවර කීපයේ ටී 20 එකක වගේ සෙල්ලම් කරන්න ඕන වෙනවා. ඒ වගේ වෙලාවකදී කොහොම ද සෙල්ලම් කළ යුත්තෙ කියල පොඩි අවබෝධයක් තියෙන්න ඕන ඉස්සරහට යන්න.
උපනායකයා වීම ඔබට පීඩනයක් වේවි ද?
මුලින්ම කියන්න ඕන ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකත්වය දරනවා කියන්නෙ ලොකු ආඩම්බරයක් ලොකු ගෞරවයක්.
මම දැන් මාස තුන හතරක ඉඳල පිතිකරුවෙක් ලෙස දක්ෂතා දක්වමින් මගේම රටාවක් හදාගෙන තියෙනවා. මට ඒ ගේම් එකෙන් එළියට යන්න ඕන නෑ. මම උපනායකත්වය දැරුවත් නොදැරුවත් මට ඕන වෙන්නෙ මේ පහුගිය මාස කීපයෙ මම කරගෙන ආව ටික ඒ විදිහටම ඉදිරියට කරගෙන යන්න.
එළඹෙන එංගලන්ත සංචාරය තීරණාත්මකයි.
අපි ලෝක කුසලානය දිනල ආවට පස්සෙ අපිට දවස් 5 ක් වගේ කෙටි නිවාඩුවක් තමයි තිබුණේ. ඊට පස්සෙ නැවතත් පුහුණුවීම් පටන් ගත්තා. අයර්ලන්ඩ්, ඉන්ග්ලන්ඩ්, වලට වඩා මෙහෙ කන්ඩිෂන්ස් තනිකරම වෙනස්. ඉතින් අපි සති එකහමාරක් විතර පුහුණුවීම් කටයුතු කළා.
ගොඩක් වෙලාවට ඒ රටවල්වල කන්ඩිෂන්ස්වලට හරි යන විදිහට උදේ 8.00 ට විතර බැට් කළා ඛෙත්තාරාම ග්‍රවුන්ඩ් එකේ. ඉතින් අපට පුළුවන් විදිහට ඒ රටවල දේශගුණයට ගැළපෙන විදිහට ඒ දෝලනයට හරියන විදිහට බැට් කරන්න පුහුණු වුණා.
කණ්ඩායමම ඉතාමත් හොඳින් ලෑස්ති වෙලා ඉන්නවා තරගාවලිය සාර්ථකව නිම කරන්න.
විචාරකයන් හඳුන්වනවා ඔබ අනාගතයේ තවත් සංගක්කාර කෙනෙක් කියලා.
සංගක්කාර කියන්නේ ලෝකයේ නොම්මර 01 ටෙස්ට් පිතිකරු කිව්වොත් නිවැරැදියි. ඒ වගේම ඔහු ඕනම වර්ෂන් එකක සෙල්ලම් ‍කරන්න පුළුවන් පිතිකරුවෙක්.
ඉතින් ඔහු ශ්‍රී ලාංකිකයෙක් වීම පිළිබඳව මම ඉතාම සතුටු වෙනවා. මොකද ඒ වගේ පිතිකරුවන් බිහි වෙනවා අඩුයි.
ඔහු මගේ ප්‍රියතම ක්‍රීඩකයා. ඔහු වගේ සෙල්ලම් කරන්න පුළුවන් වුණත් බැරි වුණත් මට අවශ්‍ය ගොඩක් දේවල් ඔහුගෙන් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මට තව ලොකු ගමනක් යන්න තියෙනවා. ඒක හෙමිහිට යන්න තමයි බලාපොරොත්තුව.
සංගාගෙන් ලැබෙන සහාය ගැන කිව්වොත්...
ඇත්තටම ඔහු ටීම් එකටම ලොකු සහායක් දෙනවා. එයා විතරක් නෙමෙයි මහේල සහ ඩිල්ෂාන් ඔවුන් තුන්දෙනා තමයි බැටින් ගත්තොත් අපේ සීනියර් ප්ලේයර්ස්ලා. ඔවුන් ටීම් එකට ලොකු ශක්තියක්.
ඒ ඒ අවස්ථාවලදී ඔවුන් නිහතමානීව කියල දෙනවා මේ විදිහට බැට් කරන්න ඕන කියලා. ඉතින් අපේ කණ්ඩායමේ ඉන්න ගොඩක් යංග්ස්ටර්ස්ලට ඒක ලොකු උදව්වක්.
ඔබේ මේ ගමන්මගේ සාර්ථකත්වයේ රහසක් තියෙනව ද?
මම වයස 11 දී මගේ තාත්තා නැතිවුණා. ඊට පස්සෙ අපි මොරටුවට පදිංචියට ආවා. මම ක්‍රිකට් ගහන්න පටන් ගත්තෙ ඊට පස්සෙ. අම්මා මගේ හෙවණැල්ල වගේ මගේ පිටිපස්සෙන් හිටියා. අදටත් එහෙමයි. තාත්තා නැති අඩුව මට නොදැනෙන්න ක්‍රිකට්වලට මට උදව් කළේ මගේ බාප්පා. තාත්තගේ මල්ලි. ඔහු විරාජ් තිරිමාන්න. ඒ දෙන්නා තමයි මගේ සාර්ථකත්වයේ රහස.
තිරිමාන්න මොන වගේ චරිතයක් ද?
වැඩිය කතා කරන්නෙ නැති කෙනෙක් කිව්වොත් තමයි හරි. ඒ වගේම මම හිතන්නෙ කේන්ති යන අවස්ථා ගොඩක් තියෙනවා. ඒත් ඒව පාලනය කරගෙන ඉන්න පුළුවන් චරිතයක්.
විවේකය ගත කරන්නෙ කොහොම ද?
ගෙදර ඉන්න වේලාවට ටී වී බලනවා. ෆිල්ම් එකක් බලනවා. දවස් කීපයක් නිවාඩු ලැබුණොත් ඈත පළාතකට ගිහින් විවේකීව ඉන්නවා.
පෞද්ගලික ජීවිතය ගැනත් කියන්න.
මට පෙම්වතියක් ඉන්නවා. එයාගෙ නම රුක්ෂාණි හරිශ්චන්ද්‍ර. විද්‍යා ගුරුවරියක් ලෙස කටයුතු කරන අතර විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරනවා. අපි දෙන්නා යාළුවෙලා වසර 5 කටත් වැඩියි.
දැන්ම විවාහ වෙන්න අදහසක් නැද්ද?
අපෝ තව කල් තියෙනවා.
ළහිරු විලාසිතා වලට ප්‍රිය කරනව ද?
ඩෙනිම් කලිසමයි ටී ෂර්ට් එකයි අඳින්න වඩාත්ම කැමැතියි. විලාසිතා කියන්නෙ ලස්සනට අඳින්න කැමැතියි. ඒත් ක්‍රිකට් සංචාරවලට මාස තුන හතර ලංකාවෙන් පිට ඉන්න නිසා චාන්ස් ලැබෙනවා අඩුයි.
ක්‍රිකට් ක්‍රීඩකයෙක් නොවුණානම්...
මම ඉගෙනීමට දක්ෂයි. ක්‍රිකට් ගහන අතරෙත් සාමාන්‍ය පෙළ A - 7 ක් B - 3 ක් අරගෙන උසස් පෙළ ගණිත අංශයෙන් ඉගෙන ගත්තා. ඊට පස්සෙ උසස් පෙළ විභාගය කරන්න ලැබුණේ නෑ. සංචාර කීපයකටත් 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියත් නිසා ඉගෙනීම අතපසු වුණා. ඒත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉස්සරහට ඇවිත් තිබෙන නිසා ඒ ගැන සතුටුයි.

චිත්‍රපටයෙන් පොලිසිය උපහාසයට ලක් කරන්නේ නැහැ
 

උදයකාන්ත වර්ණසූරිය යනු සිංහල සිනමාවට විවිධ වර්ගයේ නිර්මාණ තිළිණ කළ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. වරෙක ඔහු සිනමා ප්‍රේක්ෂකයන්ට කුතුහලය ත්‍රාසය රැගෙන එන්නේය. තවත් විටෙක වැඩිහිටි තේමා ඔස්සේ සිය නිර්මාණ මෙහෙයවමින් ප්‍රේක්ෂක සිත් සතන්හි ආදරය, සෙනෙහස, සංවේදී මනුෂ්‍ය සබඳතාවයන්ගේ අපූර්වත්වය ගෙනහැර පාන්නේය. එපමණක් නොව දිවයිනේ සුවහසක් දූ දරුවන්ගේ ආදරය දිනාගත් නිර්මාණ ඉදිරිපත් කරමින් ළමා ‍ප්‍රේක්ෂක අවධානය ද දිනා ගත්තේය.
 
‘බහුබූතයෝ’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් හාස්‍ය රසයෙන් සිනමා ප්‍රේක්ෂකයින් නැළවූ ඔහු නැවත වතාවක් සූදානම් වන්නේ එවැනි ම වූ හාස්‍ය රසයකින් පිරි නැවුම් සිනමා නිර්මාණයක් ඔබ වෙත තිළිණ කිරීමටයි.
 
දැන් 12 වැනිදා සිට රීගල්, ලිඩෝ ඇතුළු සිනමා එන්ටර්ටේන්ට්මන්ට් මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගත වන මේ චිත්‍රපටය “කොස්තාපල් පුඤ්ඤසෝම” ය. උදයකාන්ත වර්ණසූරියගේ 18 වැනි සිනමා නිර්මාණය ලෙසින් දොරට වඩින මෙය පවුලේ සැමට එකට සිට නැරඹිය හැකි විනෝදාත්මක සිනමා පටයකි. කොස්තාපල් පුඤ්ඤසෝම පිළිබඳවත්උදයකාන්තගේ සිනමා දිවියේ ඉදිරිය පිළිබඳවත් කළ කතා බහකි මේ.
* ඔබ විනෝදාත්මක සිනමාවට ප්‍රවිෂ්ට වුණේ ‘බහු භූතයෝ’ චිත්‍රපටය නිර්මාණය කිරීමෙන්. නැවත වතාවක් එවැනි විනෝදාත්මක, හාස්‍යය උපදවන කතාවක් කරන්න හිතුවේ ඇයි?
මේ උත්තේජනය නැවත නැවත මට ලබා දුන්නේ ‘බහු භූතයෝ’ චිත්‍රපටයම තමයි. ඒ චිත්‍රපටය අතිශයින් ම සාර්ථක වුණා. ප්‍රේක්ෂකයින්ගෙන් ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා. සිනමාවේ වෙනස් වෙනස් මාතෘකා කතා කරපු මට නැවත වතාවක් මෙවැනි චිත්‍රපටයක් කළොත් හොඳයි කියලා හිතුණේ ඒ අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාර නිසයි. ඒ නිසා තමයි ‘කොස්තාපල් පුඤ්ඤසෝම’ නිර්මාණය කළේ.
* මේ චිත්‍රපටය ගොඩනැගී තිබෙන්නේ පොලිස් කොස්තාපල්වරයෙක් වටා. මේ වස්තු බීජය ඔබට ලැබුණේ කොහොමද?
සමස්තයක් වශයෙන් ගත්තම අපි එදිනෙදා ජීවත් වෙත්දී පොලීසිය සම්බන්ධයෙන් විවිධ කතා අහලා තිබෙනවා. මේ ඇසු දුටු කතා එක් රැස් කරගෙන අලුත්, සුන්දර කතාවක් ගොඩ නැගුවා. මේ චිත්‍රපටයේ එන කොස්තාපල් පොලීසියේ සුළු නිලධාරියෙක්. ඔහුට රාජකාරියේදී පමණක් නොව පෞද්ගලික ජීවිතයේ දී හමුවන විවිධ තරාතිරමේ පුද්ගලයින්, විවිධ අකරතැබ්බ, ප්‍රශ්න, කරදර, ඒ නිසාවෙන් ඔහුට විඳින්න සිදුවන ගැහැට, පීඩනය ආදිය තමයි හාස්‍යොත්පාදක සිද්ධි ඇතුළත්ව මේ කතාව තුළ තිබෙන්නේ.
* පොලීස්’ සේවය මේ නිසා කිසියම් අපහසුතාවයකට පත්කර තිබෙනවා යැයි කෙනෙකුට ඔබට චෝදනා නොකළ හැකි අන්දමට ද මේ නිර්මාණය ඔබ කළේ.
අනිවාර්යනේ ම තිර පිටපත ලියත්දී ඒ ගැන සුපරික්ෂාකාරි වුණා. සමස්තයක් වශයෙන් ජනතාව තුළ ඒ ගැන අප්‍රසාදයක් පළ වුණත් පොලීසියට කියන්නේ මේ රටට විශාල සේවයක් කරන ආයතනයක්. ඒක හෑල්ලුවට ලක් කරන්න හොඳ නෑ. ඒ නිසා මේක කිසිවිටෙකත් පොලීසිය උපහාසහට ලක් කරන්න කරපු උත්සාහයක් නොවෙයි.
නමුත් අපි විදේශීය සිනමාව දිහා බැලුවොත් විශේෂයෙන් ඉන්දියානු සිනමාවේ අනන්ත අප්‍රමාණව පොලීසිය උපහාසයට ලක්වෙනවා. ‘Police Acadamy’ වගේ බටහිර චිත්‍රපටයක් ගත්තත් පොලිස් නිලධාරින් හාස්‍යයට ලක්වෙන නිර්මාණ කරලා තිබෙනවා. ඒ නිසා මම ඉල්ලන්නේ අපේ සිනමා ප්‍රේක්ෂකයින්ගෙන් ‍පොලිස්කාරයෝ විදියට මේ චිත්‍රපටය දිහා බලන්නේ නැතුව, සාමාන්‍ය සිනමා ප්‍රේක්ෂකයෝ ලෙස චිත්‍රපටය බලා සතුටු වන්න කියලයි.
* සිනමා ප්‍රේක්ෂකයෝ හිනස්සන එක පහසු කාර්යයක් ද?
මිනිස්සුන්ව අඬවන්න ලේසියි. ඒත් හිනස්සන්න හරි අමාරුයි. ‘කොස්තාපල් පුඤ්ඤසෝම’ පවුලේ හැමෝට ම නරඹලා විනෝදවෙන්න පුළුවන් චිත්‍රපටයක්. මිනිස්සු හිනස්සද්දිත් නිර්මාණකරුවා විදියට අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. ඒ මොකද ප්‍රේක්ෂකයින්ගේ බුද්ධියට නිඟා නොකර හාස්‍ය රසය උපද්දන්නට පරිස්සම් වෙන්න ඕන. එහෙම නැතුව දෙපිට කැපෙන වචන ටිකක් දාලා නළු නිළියන්ව දඟලවල හිනස්සන්න බෑ. ඒ නිසා ‘කොස්තාපල් පුඤ්ඤසෝම’ ඔස්සේ ප්‍රේක්ෂක බුද්ධියට ගෞරව කරමින් හාස්‍ය රසය උපද්දන්න විශාල මහන්සියක් ගත්තා. මේ අභියෝගය මම ජය අරගෙන තිබෙනවාද කියන එක තීරණය කරන්න ඕන අපේ බුද්ධිමත් සිනමා රසිකයෝයි. මේ චිත්‍රපටය සාර්ථක වු‍ණොත් ‘කොස්තාපල් පුඤ්ඤසෝම - 2’, සාර්ජන්ට් පුඤ්ඤසෝම නමින් කරන්න දැනටමත් මම තිර කතාව ලියලයි තියෙන්නේ.
* ඔබ ‘රන්කෙවිට’ චිත්‍රපටයේත් දෙවැනි කොටස කළා. ඇයි දෙවැනි කොටසක් කරන්න උනන්දු වෙන්නේ, අලුත් නිර්මාණයක් වෙනුවෙන් මහන්සි නොවී?
පළමුවැනි කොටස සාර්ථක නිසානේ, දෙවැනි කොටස කරන්නේ. ‘රන් කෙවිට’ චිත්‍රපටයටත් විශාල ඉල්ලුමක් තිබුණු චිත්‍රපටයක්. ඒ නිසා තමයි එහි දෙවැනි කොටසත් නිර්මාණය කළේ. මේ ප්‍රවණතාව විදේශීය සිනමාවේත් දකින්න තිබෙනවා. ඒ වගේම ඒවා සාර්ථක වෙලා තිබෙනවා. අලුතින් ම නිර්මාණයක් කරනවට වඩා දෙවැනි කොටස කරත්දි වන අවදානමත් අඩුයි.
* ‘කොස්තාපල් පුඤ්ඤසෝම’ ගේ චරිතයට ඔබ තෝරා ගෙන තිබෙන්නේ ‘මහේන්ද්‍ර පෙරේරව'. ඔහුගේ විශේෂත්වය කුමක් ද?
මහේන්ද්‍ර කියන්නේ ඕනෑම විදියේ රංගනයක් අධ්‍යක්ෂවරයෙකුට ලබා ගත හැකි නළුවෙක්. මගේ ‘බහු භූතයෝ’ චිත්‍රපටයේත් ප්‍රධාන චරිතය කළේ මහේන්ද්‍ර. ඒ හාස්‍යොත්පාදක චරිතය ඉතාම හොඳට ඔහු කළා. ඔහුගේ රංගනය ගැන මට බයක් නෑ. ඒ වගේ ම තමයි මේ චිත්‍රපටයට දායක වුණු දුලීකා මාරපන, ආනන්ද අතුකෝරාල, ආර්.පී. සිරිවර්ධන, ගාමිණී හෙට්ටිආරච්චි ඇතුළු සියලුම නළු නිළියන් ඉතාම හොඳ රංගනයක් මට ලබා දුන්නා. ඔවුන්ගේ කැපවීම නිසා තමයි මේ තරම් හොඳට මේ චිත්‍රපටය නිම වුණේ.
* ඔ‍‍ෙබ් ඉදිරි සිනමා නිර්මාණ ගැන කතා කළොත්?
‘බහු භූතයෝ - 2’ කරන්නත්, ‘කොස්තාපල් පුඤ්ඤසෝම - 2’ කරන්නත් පුළුවන්. ඊට අමතරව ‘ගිනි අවි සහ ගිනි කෙළි’ වගේ ක්‍රියාදාම චිත්‍රපටයකුත් ලියලා තියනවා. කොහොමත් මම අවුරුද්දට එක චිත්‍රපටයක් වගේ තමයි කරන්නේ. චිත්‍රපට ගණනින් වැඩිකර ගැනීමේ උත්සාහයක් නෑ.

ජෝති අනුස්මරණ ප්‍රසංගවල මං සින්දු කිව්වා

මෞත්‍ර ලිංගික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නෙවිල් පෙරේරා
ළමා කාලයේ ගෙවූ සුන්දර ජීවිතය ඔහුට තාමත් මතකය. ඔහුගේ නි‍ෙවස පිහිටියේ බදුල්ලේ සුන්දර වෙල්යායකට ආසන්නවය. වෙල, කමත, නියර ඔහුට හොඳ හුරුය. පුංචි සන්දියේ කමතේ සෙල්ලම් කළ හැටි, ගොයම් කැපූ පසුව වෙල් යායේ සරුංගල් යැවූ හැටි බෝල ගැසූ හැටි ඔහු සිහිපත් කරන්නේ ඉතා මිහිරි හැඟීමකිනි. ඇතැම් රාත්‍රියක වෙල්යායෙන් ඇසුණු සී පද හඬ පිළිබඳ මතකය ද ඔහුගේ සිතට ගෙන එන්නේ පහන් හැඟීමකි. අද කොළඹට ආසන්නව ජීවත් වුවද, රටක්, ලොවක් දිනූ වෛද්‍ය විද්‍යා මහාචාර්යවරයකු වුවද ඔහු තවමත් කැමැති පරිසරයත් සමඟ ජීවත් වන්නටය. ඒ ඔහුගේ හැටිය. අද “ඉසිවර වරුණ” විශේෂාංගයට අප එක්කරගත් ඔහු මෞත්‍ර ලිංගික රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය නෙවිල් පෙරේරා මහතාය. මෙම විෂය සම්බන්ධයෙන් ලංකාවේ දැනට සිටින එකම මහාචාර්යවරයා ද වන්නේ ඔහුය.
“මගේ ගම බදුල්ල. තාත්ත වැඩ කළේ කච්චේරියේ ලිපිකරුවෙක් හැටියට. අම්ම රැකියාවක් කළේ නැහැ. මට ඉන්නේ නංගි කෙනෙක් විතරයි. බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන් තමයි මම අධ්‍යාපනය හැදෑරුවේ. උසස් පෙළ කරන්න ජීව විද්‍යා අංශය තෝරා ගත්තේ ජීව විද්‍යා අංශයට තිබුණු කැමැත්ත නිසයි. වෛද්‍යවරයෙක් වෙන්න ඕනමයි කියන හැඟීම මගේ හිතේ තිබුණේ නෑ. නමුත් මට පොඩි කාලෙ ඉඳල ලොකු අරමුණක් තිබුණා ඊළඟට ඉදිරිපත් වන විභාගය ඉහළින් ම සමත් වෙන්න. එහෙම හිතාගෙනයි මම සැම විටම පාඩම් කළේ. පාසලේදී සංගීතය විෂයක් හැටියට ඉගෙන ගත්තා. පාසලේ සෑම අමතර වැඩකටම මම සහභාගි වුණා. පාසලේ ඉදිරිපත් කළ නාට්‍යවලත් රඟපාල තියෙනවා. පාඨශාලාන්තර නාට්‍ය තරගාවලියට ඉදිරිපත් කළ නාට්‍යවලත් මම රඟපාල තියෙනවා. හැබැයි මම වැඩියෙන්ම ආශා කළේ චිත්‍ර විෂයට. චිත්‍ර අඳින්න මට හොඳ හැකියාවකුත් තිබුණා. පාසලේ අපේ චිත්‍ර ගුරුවරයා වුණේ සුමින්ද දිසානායක ගුරුතුමා. එතුමා ඉතාම ජනප්‍රිය දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. ඒ දවස්වල එතුමා චිත්‍ර කතා පත්තරවලට චිත්‍ර ඇන්දා. සුමින්ද සර් ඉන්දියන් තීන්තවලින් චිත්‍ර කතා අඳින හැටි අපි බලාගෙන සිටියේ හරිම ආශාවෙන්.
කවපෙත්ත විසිකිරීම, යගුලිය විසි කිරීම වැනි ක්‍රීඩාවල තමයි මම පාසලේදි යෙදුණේ. උසස් පෙළ කරල පාසලෙන් ඉවත්වන තෙක්ම මම ක්‍රීඩාවල යෙදුණා. මට පුංචි ගායන හැකියාවකුත් තිබුණු නිසා පාසලේ උත්සවවලදී ගීත ගායනා කළා.
බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් පෙළ කළ මම කොළඹ වෛද්‍ය විද්‍යාලයට තේරුණේ ඌව පළාතෙන් ම වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යයා හැටියට. විශේෂඥ වෛද්‍ය රනිල් ජය‍සේන මහත්තය මගේ ම පාසලේ එකම වසරේ වෙනත් ජීව විද්‍යා පන්තියක ඉගෙනගත් කෙනෙක්. 1976 අවුරුද්දේ අපි දෙන්නා තමයි වෛද්‍ය විද්‍යාලයට තේරුණේ. මම කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වුණා. ගෙදරින් පිටවෙලා ආව පළමු දවස තමයි මම විශ්වවිද්‍යාලයට ආව දවස. ඒ 1977 අවුරුද්දේ. කාටත් වගේ ම මටත් විශ්වවිද්‍යාල ජීවිතය හරිම සුන්දරයි.
ගායන ක්ෂේත්‍රයෙන් මට තරමක් ඉදිරියට එන්න පුළුවන් වුණේ වෛද්‍යවරයෙක් හැටියට වැඩ කරන්න ගත්තට පස්සේ. ඒ; ගුවන් විදුලියේ සහ රූපවාහිනී නාළිකාවල විවිධ වැඩසටහන්වල ගීත ගායනා කිරීමෙන්. “චැට් ඇන්ඩ් මියුසික්”, “රිදම් චැට්”, “සරසවි පාලම” වැනි වැඩසටහන්වල මම ගීත ගායනා කළා. ඒ වගේ ම ජෝති අනුස්මරණ ප්‍රසංග වැනි ප්‍රසංගවල ලංකාවේ ඉතා ජනප්‍රිය ගායක ගායිකාවන් සමඟත් මට ගීත ගැයීමේ අවස්ථාව හිමි වුණා. ඒක ලොකු අවස්ථාවක් හැටියට මම දකිනවා. මේ වනවිට මගේම ගීත 14 ක් මම නිර්මාණය කරගෙන තියෙනවා. අවුරුදු හය හතක් තිස්සේ ඒවා නිර්මාණය කරගත්තා. ඒ ගීත ලංකාවේ ඉතා දකෂ ගීත රචකයින්ගේ ගීත පදවලට දක්ෂ සංගීතඥයින් සංගීතය නිර්මාණය කළ ඒවා. මේ ළඟදිත් මම මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට කියල ගීතයක් ලියවා ගත්තා. මම එතුමාට කිව්වා ප්‍රේමය ගැන කියවෙන්නේ නැති ගීතයක් මට ලියල දෙන්න කියලා. එතකොට එතුමා මට කිව්වා ප්‍රේමය තරම් ලස්සන මාතෘකාවක් ගීතවලට නැහැ කියලා. ඊට පස්සෙ එතුමා ප්‍රේම ගීතයක් ම මට ලියලා දුන්නා. ඒ ගීතයට සංගීතය නිර්මාණය කළේ ‍රෝහණ වීරසිංහයන් විසින්. කොහොම හරි මේ අවුරුද්දේ ඒ ගීත එකතුව සංයුක්ත තැටියක් හැටියට එළිදක්වන්න මම බලාපොරොත්තු වෙනවා.
එච්.ආර්. ජෝතිපාලගේ පටන් විශාරද අමරදේවයන්ගේ ගීතත් මම රස විඳිනවා. හොඳ ගීතයකට හොඳ පද රචනාවකුත් හොඳ තනුවකුත් අත්‍යවශ්‍ය බවයි මගේ හැඟීම. ගායක මිල්ටන් මල්ලවාරච්චිගේ ‘මේ මැයි ගහයට’ ගීතය මම ඇසුවේ පාසල් යන කාලයේ. ඒ කාලයේ ඒ ගීතය අහල අපිට ඇති වුණු ප්‍රේමාන්විත හැඟීම් අද පරපුරේ කෙනෙක් ඒ ගීතය ඇසුවත් එම පුද්ගලයාටත් ඇති වෙනවා. ඒවා සදාකල්ම පවතින ගීත. මම විශ්වාස කරන විදියට හොඳම ගීත බිහි වුණේ 70 දශකයේදී,
පාසල් යන කාලේ මම චිත්‍රපටි බලන්න හරියට ප්‍රිය කළා. වැඩියෙන් බැලුවේ දෙමළ චිත්‍රපට. ඒ වගේ ම සීතල වතුර, රෑන ගිරව් වැනි චිත්‍රපට මට තවමත් මතකයි. මෑතදී මම නරඹපු හොඳ චිත්‍රපටයක් තමයි “සමනල සංධ්වනිය”. සමස්තයක් විදියට මම ප්‍රසන්න විතානගේ විශේෂයෙන් ම ධර්මසිරි බණ්ඩාරනායක නිර්මාණය කළ චිත්‍රපට ඉතාම ආශෘවෙන් බැලුවා.
මගේ බිරිය ඌෂා සමරසිංහ. ඇයත් විශේෂඥ වෛද්‍යවරියක්. අපි එකම පාසලේ. එයා හිටියේ වෛද්‍ය රනිල් ජයසේනගේ පන්තියේ. අපි ළඟින් ඇසුරු කරන්න ගත්තේ වෛද්‍ය විද්‍යාලයට ආවට පස්සේ. අපිට දරුවන් දෙදෙනෙක් ඉන්නවා. දුව මාලඹේ වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්යවරියක්. පුතා එහි වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නවා.
මම හිතන විදිහට මම මගේ ජීවිතය ජයග්‍රහණය කළේ “බැහැ” කියන වචනය මගේ ශබ්ද කෝෂයෙන් ඉවත් කරගත් නිසයි. අපේ බොහෝ දෙනෙකුගේ පුරුද්දක් තියෙනවා ජීවිතයට අලුත් අභියෝගයක් ලැබුණම එයට මුහුණ දෙන්නේ නැතිව “බැහැ” කියල ඒ අභියෝගයෙන් ඉවත් වෙනව. එහෙම හිතන්නේ නැතිව ඕනෑම ප්‍රශ්නයක් දිහා ධනාත්මකව බලල ඒ ප්‍රශ්නය ජයගන්න ඕන කියල හිතුවොත් අනිවාර්යෙන් ම එය ජයගන්න පුළුවනි.
මම ඉගෙන ගන්න කාලෙ 80 ජූලි වර්ජනයේදී මගේ තාත්තගෙ රැකියාව අහිමි වුණා. ඒ වෙලාවෙ අපිට ගැටලු කීපයක් ම ආව. නමුත් ඒව ජයගන්න මට හැකි වුණා. ඒ වගේ ම මීට අවුරුදු කීපයකට ඉස්සර ලංකාවේ තිබුණු දේශපාලන තත්ත්වය නිසා වෛද්‍යවරුන්ට රජයේ රෝහල්වල රැකියාව කළ නොහැකි තත්ත්වයක් ඇති වුණා. ඒ වෙලාවේ මම නාවික හමුදාවට බැඳිලා අවුරුදු 8 ක් වෛද්‍යවරයකු ලෙස සේවය කළා.
මෞත්‍ර ලිංගික රෝග පිළිබඳ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය තනතුරට මම ඉල්ලුම් කරන්න හදන විට ගොඩක් දෙනෙක් මට කිව්ව රජයේ රැකියාව කරන ගමන් ඔයාට ඔය වැඩේ කරගන්න අමාරුයි, පර්යේසණ සඳහා කාලය සොයාගන්න අමාරුයි කියලා. නමුත් මම කොහොමහරි කාලය සොයාගෙන ඒ පර්යේෂණවල යෙදුණා. ඉන්පසුවයි මම මහාචාර්ය පදවියට ඉල්ලුම කළේ. එවැනි නොපසුබට උත්සාහයක් තියෙන නිසයි මට මේ තැනට එන්න ලැබුණේ. මම මේ වන විට රෝගීන් හැට දහසකට වැඩි ප්‍රමාණයකට ශල්‍යකර්ම සිදුකරලා තියෙනවා. රෝගීන් ලක්ෂ ගණනක් පරීක්ෂාවට ලක් කරලා තියෙනවා. ඉතා වේදනාවෙන්, එහෙම නැතිනම් මරණාසන්නව අප වෙත එන ලෙඩෙක් අපේ ප්‍රතිකාර වලින් පසුව සුවවෙලා සිනා සිසී ගෙදර යනව දකින එක මට විශාල සතුට දනවන දෙයක්. එයින් මම විශාල තෘප්තියක් ලබනවා. මම විශ්‍රාම ගිහිං වයසට ගිය කාලෙක වුණත් රෝගීන්ට කළ ඒ සේවය ගැන හිතල සතුටු වෙන්න පුළුවනි. මම ගහට කොළට පරිසරයට හරිම කැමතියි. කෝට්ටේ තියෙන මගේ ගෙදර වත්ත පුංචි කැළයක් ව‍ගේ. විවිධ වර්ගයේ ගස් වැල් අපි වවල තියෙනවා. ඒකට මගේ බිරියත් දරුවනුත් හරිම කැමැතියි.
මම බෞද්ධයෙක්. මම කැමතියි බෞද්ධ ධර්මය ගැඹුරින් අධ්‍යයනය කරන්න. මේ කාර්ය බහුල ජීවිතයෙන් මිදුණු දවසක, දරුවන්ගේ ප්‍රශ්නවලින් නිදහස් වුණු දවසක මම අධ්‍යයනය කරන්න ඉතිරි කරගෙන ඉන්න දේ තමයි බුදු දහම.”



0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය