Powered by Blogger.

වැඩි දෙනෙක් හාට්ඇටෑක් ලෙස හඳුන්වන හෘදයාබාද ගැන සරල පැහැදිලි කිරීමක් කළ හැකිද?
හෘදයෙහි මාංශ පේශීන්ට රුධිරය සපයන රුධිර නාළයක් අවහිර වී එම රුධිර නාළය මඟින් රුධිරය සැපයූ හෘදයෙහි කොටසක් මියයාම හෘද අකරණිය ලෙස හැඳින්වෙනවා. හදවත අපගේ සිරුරෙහි ක්‍රියාකාරීත්වය සඳහා ඉතා වැදගත් ඉන්ද්‍රියයක්. එය අකර්මණ්‍ය වූයේ නම් සිරු‍ෙර් සෑම අවයවයකටම රුධිරය සමඟ ඔක්සිජන් සහ ග්ලූකෝස් සැපයීම ඇණහිටිනවා.
වෛද්‍ය විද්‍යාත්මකව එය ඉතා හදිසි තත්ත්වයක්. එවැනි අවස්ථාවක අදාළ පුද්ගලයා සිරුර වෙහෙසවා තවදුරටත් හදවත වෙහෙසට පත්කළේ නම් හදවතෙහි ක්‍රියාකාරිත්වය ඇනහිට විනාඩි කිහිපයක දී වුවද මිය යා හැකියි.
හෘද අකරණියක් ගැන කල්තියා දැනගත හැකිද?
එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. බොහෝ අයට හදවතේ අකර්මණ්‍යතාවක් සිදුවේ යැයි කල්තියා දැනගත හැකි අනතුරු හැඟවීමේ ලක්ෂණයක් වන්නේ හදවතෙහි වේදනාවයි. වෙහෙසට පත්වූ විට හෝ, සිත තැතිගත් අවස්ථාවන්හි දී පපුවේ මැද කොටසේ හටගන්නා වේදනාව විනාඩි කීපයක් පැවතී උරහිසට අත්වලට හා බෙල්ල දෙසට පැතිරී යා හැකියි. ඒ වේදනාව හඳුන්වන්නේ Angina (ඇන්ජයිනා) නමින්. එවැනි රෝග ලක්ෂණ මතුවන අය වහාම වෛද්‍යවරයෙක් වෙත යා යුතුයි. එමඟින් අනාගතයේ දී ඇතිවිය හැකි හෘද අකර්මණ්‍යතාවකින් බේරී සිටීමට පුළුවන්. මීට අමතරව සමහර අයට හෘදයාබාධයක් සිදුවන බවට කිසිදු හෝඩුවාවක් නොලැබී වුවද රෝගී විය හැකියි.
හෘද අකර්මණ්‍යතාවකදී හද‍වතෙහි සිදුවන ක්‍රියාවලිය මොනවගේද?
අපගේ මුළු සිරුරටම රුධිරය පොම්ප කරන්නේ හදවතෙන්. එහි ජීවය රැක ගැනීම සඳහා ද මනා රුධිර සැපයුමක් අත්‍යවශ්‍යයි. හෘදයට රුධිරය සපයන ප්‍රධාන රුධිර නාළ හෙවත් ධමනි දෙකක් දක්නට ලැබෙනවා. මේ රුධිර නාළවල බිත්තියේ කාලයක් තිස්සේ ‍කොලෙස්ටරෝල් නම් මේදය තැන්පත් වීමෙන් ‘ඇතරෝමා’ (Atheroma) නම් තෙල් කැටියක් හට ගන්නවා. ‍ඒ තෙල් කැටිය නිසා හෘද රුධිර නාළ හිරවුවහොත් ඉන් ඔබ්බට රුධිරය ගලා යා නොහැකියි.
එසේ හිර වූ ධමනියෙන් රුධිරය සැපයුණු කොටසේ සෛල මිය යාම සිදුවෙයි. රෝගියාට පපුවේ තද වේදනාවක් ඇතිවන්නේ එවිටයි. යම්හෙයකින් ඒ තත්ත්වයට පත්වී රෝගියා තවදුරටත් ජීවත් වන්නේ නම් මියගිය පේශිය ඇති ස්ථානයේ තන්තු පටක තැන්පත් වී කැළලක් හටගන්නවා. එහි නැවත පේශි වර්ධනය නොවන නිසා හෘදයේ රුධිරය පොම්ප කිරීමට ඇති ශක්තිය ද හීන වී යනවා.
හෘද අකර්මණ්‍යතාවක අවදානම වැඩි කාටද?
මැදිවියෙහි සිටින පිරිමි අයට සහ අවුරුදු 50 පසු කළ (ආර්තවය නතර වූ) කාන්තාවන්ට හෘද අකර්මණ්‍යතාවක් ඇතිවීමේ ප්‍රවණතාව වැඩියි. විශේෂයෙන් දුම්පානය කරන අය, වැඩිපුර තෙල් සහ මේදය සහිත ආහාර ගන්නා අය, කලබලකාරී ජීවන රටාවකට හුරු වූ අය, අධික සිත්තැවුලෙන් කල්ගෙවන අය අතර මේ රෝගය ඇතිවීමේ ඉඩ වැඩියි.
මාස් ශුද්ධිය සිදුවන කාන්තාවන් අතර සහ අවුරුදු 35ට අඩු පිරිමි අය අතර හෘදයාබාධ පිළිබඳව අසන්නට ලැබෙන්නේ කලාතුරකින්. අවුරුදු 30 - 40 දී මෙම රෝගයට ගොදුරු වන්නේ නොයෙකුත් හේතු සාධක ඇති අයයි. දියවැඩියාව, අධික රුධිර පීඩනය, රුධිරයේ කොලෙස්ටරෝල් වැඩිවීම, අධික ලෙස දුම්පානය කිරීම ආදී හේතු සාධක නිසා අඩු වයසෙන් හෘදයාබාධ ඇතිවීමට පුළුවන්. මීට අමතරව සමහර පවුල් අතර ද හෘදයාබාධ ඇතිවීමේ ප්‍රවණතාව ඉහළයි.
ආර්තවය හා හෘදයාබාධ අතර සම්බන්ධයක් තිබෙනවාද?
ස්ත්‍රීන්ගේ ශරීරයේ ඇති ඊස්ට්‍රජන් ‍හෝමෝනය නිසා ඔවුන්ට ආර්තවය පවතින කාලයේ හෘදයාබාධ හැදෙනවා අඩුයි. ඊස්ට්‍රජන් හෝමෝනය නිසා කිරීටක ධමනිවල මේද තැන්පත් වීම අඩුවීම ඊට හේතුවයි. ආර්තවය නැවතුණු පසු විශේෂයෙන් කාන්තාවන්ට හෘදයාබාධ හටගැනීමට ඇති ඉඩකඩ වැඩියි.
හෘදයාබාධයකදී වේදනාව දැනෙන්නේ පපුවේ කුමන පැත්තකද?
වැඩිපුරම වේදනාව දැනෙන්නේ පපුවේ මැද. ඒ වේදනාව ඇතැම්විට අලියකු විසින් පපුව පාගා සිටිනවා වැනි දැඩි වේදනාවක් විය හැකියි. එහෙත් වයසක අයට සහ දියවැඩියාවෙන් පෙළෙන අයට වේදනාවක් නොදැනීම හෘදයාබාධයක් ඇතිවිය හැකියි. ඒ වගේම පපුවේ වම්පසින් දැනෙන වේදනාවක් හෘදයාබාධයක ලක්ෂණයක් වීමට පුළුවන්.
හෘදයාබාධයට හේතුවන කොලෙස්ටරෝල් අවම කිරීමට ආහාර ගත් විගස උණුවතුර වීදුරුවක් පානය කිරීම හොඳයි කියන කතාව ඇත්තද?
නෑ. එම ප්‍රකාශය කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව පැතිරුණ මතයක්.
හෘදයක ප්‍රමාණය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ද?
ඔව්. පුද්ගලයාගෙන් පුද්ගලයාට පමණක් නොවෙයි වයස අනුවත් එය වෙනස් වෙනවා. පොදුවේ යම් පුද්ගලයකු ගේ පපුවේ පළලෙන් භාගයක ප්‍රමාණයක් හෘදයේ පළලට සමානයි. ඊට වඩා හෘදය විශාල වේ නම් එය හෘදයේ ඉදිමීමක් විය හැකියි.
හෘදය අකර්මණ්‍ය වූ මොහොතක ජලය පෙවීම අහිතකරද?
සාමාන්‍යයෙන් හෘදය අකර්මණ්‍ය වීමත් සමඟ රෝගියා සිහි මුර්ජාවට පත්වෙනවා. එවැනි අවස්ථාවක ජලය පෙවීම ඉතා නුසුදුසුයි. හෘදයේ වේදනාවක් දැනෙන මොහොතක බොහෝ අය සිතන්නේ එය ගැස්ට්‍රයිටිස් නිසා ඇතිවූ තත්ත්වයක් බවයි. ඒ නිසා ජලය පානය කරන අතර ම යෝගට් ආදිය ආහාරයට ගන්නවා. එවැනි ප්‍රතිකාරයකින් පසුත් වේදනාව දිගින් දිගටම පවතී නම් එය හෘදයාබාධයක ලක්ෂණයක් විය හැකියි. එවැනි අවස්ථාවක වහාම වෛද්‍යවරයකු වෙත යොමු විය යුතුයි.
පපුවේ වේදනාවක් දැනෙන මොහොතක වෛද්‍ය නිර්දේශයකින් තොරව ඇස්ප්‍රින් පෙත්තක් බීම සුදුසු ද?
එහි වරදක් නෑ. ඇස්ප්‍රින් ලබාදීමෙන් රුධිර කැටි ගැසීම වැළැක්වෙනවා.
හෘදයාබාධයක් හටගත් රෝගියකුට ලබාදිය හැකි ප්‍රථමාධාර මොනවා ද?
හෘදයාබාධයක දී බොහෝ සංකූලතා ඇති වන්නේ පළමු පැය තුන තුළදීයි. ඒ පැය තුන මඟ හැරුණානම් අදාළ රෝගියාට රෝහලක විශේෂ හෘද ප්‍රතිකාර ඒකකයක ප්‍රතිකාර කිරීම අවශ්‍ය නැති තරම්. එහෙත් මේ පිළිබඳව තීරණ ගත යුතු වන්නේ වෛද්‍යවරයා පමණයි. විශේෂයෙන් සුදුසුකම්ලත් වෛද්‍යවරයකු විසිනුයි. ඔහු රෝගියා ගේ තත්ත්වය පරීක්ෂා කර බලා (නාඩි, රුධිර පීඩනය, ශ්වසන ශබ්ද ආදිය) අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙනු ඇති. වඩාත් සුදුසු වන්නේ ළඟම ඇති රෝහලකට ගෙන ගොස් එහිදී ප්‍රතිකාර ලබා දීමයි.
හෘද අකරණියක් ඇති රෝගියකු රෝහල වෙත ගෙන යා යුතු වන්නේ කෙසේ ද?
මෙහිදී ඉතාම වැදගත් වන්නේ රෝගියා මහන්සි වීම වළක්වා ඇඳ විවේකයෙහි තැබීමයි. රෝගියාට ඇවිදින්නට දීම කිසිසේත් සුදුසු නොවන අතර ඔසවාගෙන යා යුතුයි.
හෘදයාබාධයක් වළක්වා ගැනීමට ගත යුතු පියවර මොනවා ද?
දුම්පානයේ දී රුධිර නාළ සිහින් වීම සහ ගන වීම ඇති කරයි. එය හෘදයාබාධ ඇතිවීමට ප්‍රධාන හේතුවකි. ඒ නිසා ඔබ දුම්පානය කරන කෙනෙක් නම් වහාම එය නතර කළ යුතුයි. අප ගන්නා ආහාරයේ ඇති සත්ත්ව තෙල් හා කොලෙස්ටරෝල් අඩු කිරීමෙන් ද හෘදයාබාධ ඇති කරන ‘ඇතරොමා’ නම් තෙල් කැටිය හට ගැනීම වැළැක්විය හැකියි. ඒ නිසා බිත්තර කහමදය, සත්ත්ව තෙල් වර්ග, හා රතු පැහැති මස් වර්ග අනුභවය අඩු කිරීම හෝ නවතා දැමීම වැදගත්.
හෘදයාබාධ වළක්වාලීමේ සුවිශේෂී පියවරක් වන්නේ ව්‍යායාමයයි. අඩුම තරමින් සතියකට තුන් වරක් පමණවත් පැය භාගයක පමණ කාලයක් ව්‍යායාමයන්හි නිරත වීම ඉතා වැදගත්. පිහිනීම, බයිසිකල් පැදීම සහ සෙමෙන් දිවීම හෝ වේගයෙන් ඇවිදීම පහසුවෙන් කළ හැකි ව්‍යායාම කිහිපයක්. එසේ නොවේ නම් ඔබට ගැළපෙන ව්‍යායාමය කුමක්දැයි වෛද්‍යවරයකු හමු වී උපදෙස් ලබාගත හැකියි.
ක්‍රියාකාරී දිවි පෙවෙතක් ගත කළ කෙනෙකුට හෘදයාබාධයකින් පසු වෙනදා මෙන් වැඩ කිරීම නුසුදුසු ද?
එවැනි රෝගියෙක් වැඩපළවල නිරත විය යුතු වන්නේ අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ඇතිවයි. සමහර හෘදයාබාධ රෝගීන් මාස තුනක් ඇතුළත සාමාන්‍ය ජීවිතයට පුරුදු වෙනවා. රෝහල් ගත වී සිට නිවසට ආ පළමු සති දෙක තුළ සමතලා පොළොවේ සෙමෙන් ඇවිදීම (මීටර් 800 ක් පමණ. දිනෙන් දින ක්‍රමයෙන් වැඩි කරමින්) කළ හැකියි.
මාස දෙකක් පමණ ඉක්මවූ විට වත්ත පිටියේ සරල වැඩක්, සෙමෙන් බයිසිකල් පැදීම ආදිය කළ හැකියි. එහෙත් අධික ලෙස එකවර මහන්සි නොවීම ඉතාම වැදගත්. එකවර බර ඔසවන්නට යාම, වාහන තල්ලු කිරීම කිසිසේත්ම නොකළ යුතුයි. වැඩ කිරීමේ දී වුවද එක දිගට වැඩයේ නිරත නොවී විනාඩි දහයකට වරක් හෝ විවේක ගනිමින් වැඩ කිරීම වැදගත්.
හෘදයාබාධයක් සෑදී සුව වූ රෝගියකුට ලිංගික හැසිරීම් අහිතකර ද?
අහිතකර බවක් නැතත් අධික ලෙස වෙහෙසීම නුසුදුසු විය හැකියි. යාර තුන්සියයක් පමණ මහන්සියකින් තොරව (පපුවේ වේදනාවක් නැතිව) එක දිගට ඇවිදීමට හැකිනම් එවැනි කාර්යයක නිරත වීම එතරම් ගැටලුවක් නොවෙයි. බර ආහාර වේලකින් පසු, වෙනත් කාර්යයක් නිසා සිරුර තෙහෙට්ටු වූවාට පසු ලිංගික හැසිරීම් අහිතකරයි. සාමාන්‍යයෙන් හෘදයාබාධයකින් පසු මාස දෙකක් පමණ ගතවනතුරු හෝ පරෙස්සම් වීම ඉතා වැදගත්.
හෘදයාබාධයකින් පියා මියගිය පවුලක දරුවකුට හෘද අකරණියක් ඇති වීම වළක්වා ගත හැකි වන්නේ කෙසේ ද?
එවැනි අය පවුලේ වෛද්‍යවරයා සමඟ තමන්ගේ ගැටලුව විවෘතව සාකච්ඡා කිරීම ඉතා වැදගත්. නිතිපතා රුධිර පීඩනය පරීක්ෂා කර ගැනීම, හා රුධිර පීඩනය වැඩි නම් ඖෂධ භාවිත කිරීම, රුධිර කෙලෙස්ටරෝල් මට්ටම පරීක්ෂා කරවා ගැනීම ආදියට වැඩි අවධානයක් යොමු කිරීම වැදගත්.
දියවැඩියාවෙන් පෙළෙන්නන් හෘදයාබාධවලට ගොදුරු වීමේ ඉඩ වැඩි නිසා දියවැඩියාවට ප්‍රතිකාර ගත යුතු අතරම ස්ථුල බවින් පෙළෙන්නේ නම් එය පාලනය කිරීම සඳහා ආහාර පාලනය කළ යුතුයි. ව්‍යායාම ද ඉතා වැදගත්.
අද බොහෝ දෙනෙක් විවිධ වැඩ කටයුතු නිසා අවිවේකයි. අවිවේකී බව වගේ ම නින්ද අඩුකම, මානසික අසහනය ආදියත් හෘදයාබාධවලට හේතු සාධක වෙනවා. එම නිසා කලබලකාරී වාතාවරණයෙන් දුරස් වී විනෝදයට, විවේකයට කාලය වෙන් කිරීම ද ඉතා වැදගත්.
සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ ‘මට හෘදයාබාධයක් හැදෙන එකක් නෑ’ කියලයි. එහෙත් අයහපත් පුරුදු නිසා තමන් නොදැනීම වුවද එවැනි තත්ත්වයක් ඇතිවිය හැකියි. හදිසියේ හෝ හෘද අකරණියක් ඇතිවූයේ නම් කළ යුතු දේ ගැන පවුලේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කර තිබීම වැදගත්. එය ඔබ අනාගතයේ ජීවිත අවදානමකින් මුදවා ගන්නට සමත් වෙනවා.
මත් වතුර හා හෘදයාබාධ අතර සම්බන්ධයක් තිබෙනවා ද?
මත් වතුර හා හෘදයාබාධ අතර සම්බන්ධයක් නැතත් මත් වතුර පානය නොකිරීම යහපත් සෞඛ්‍ය තත්ත්වයකට ඉතා සුදුසුයි.
හෘදයාබාධ රෝගීන්ගේ ආහාර රටාව කෙබඳු විය යුතු ද?
ආහාර රටාව ‍වගේම ජීවන පුරුදුත් ඉතා වැදගත්. දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය යන රෝගාබාධ හෘදයාබාධ සමඟ සම්බන්ධ නිසා ඒ අනුව ආහාර පාලනය ඉතා වැදගත්. විශේෂයෙන් සමබල ආහාර රටාවකට හුරු වීම මෙන්ම ව්‍යායාමය ද හදවතට හොඳයි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය