Powered by Blogger.



වන මෘගයන් විසින් පමණක් සේවනය කරන්නට ප්‍රිය කරන මහා වනයක හුදකලාව බවුන් වඩන පැවිද්දෙකි. හණ නූලෙන් කරන ලද ගත දැවටි චීවරයත් පාත්‍රයත් හැරෙන්නට ඔහු සතුව ඇති වෙනත් කිසිවක් නොපෙනේ. සත්‍ය සෙවීමේ පරම අරමුණ
පෙරදැරි කරගත් මේ හුදකලා තවුසාණන් මහා රාජ්‍යයක උරුමකරුවෙක් බව මේ නිසසල ගහකොළකෙසේ නම් දනියි ද විමුක්තිය වෙනුවෙන් මහා රාජ්‍ය සුඛය අලුයම ලූ කෙළ බිඳක් සේ බැහැර කරන්නට මේ මහා පුරුෂයාට කෙසේ නම් හැකි වීද. සමස්ත මානව වර්ගයාම ප්‍රිය කරන සාමාන්‍ය විෂය ලෝකයේ නිස්සාර අරමුණු අත්හැර උඩුගං බලා පිහිනන්නට ඔහුට කෙසේ නම් වීරිය ලැබුණේද. එහෙත් මේ සියල්ල සත්‍යය. සියල්ල යථාර්ථයන්ය. මෙයට වසර දෙදහස් හයසිය වසකට පෙර එක් පැහැබැර වූ දිනයක සාමාන්‍ය මිනිස් මව්පියනට දාව උපන් සාමාන්‍ය මිනිසෙක් විශ්වයේ පරම සත්‍යය. පසක් කරගන්නට සමත්විය. එතැන් සිට ලෝකය වෙනස් විය.
තථාගත බුදු රජාණන් වහන්සේගේ තෙමඟුල සිහිකරන උතුම් වූ වෙසක් ‍පොහෝ දිනය ළංවෙයි. උපන් දිනයම මියගිය දිනය බවට  පත් වූ මිනිසුන් ලොව සිටී. එසේම උපන් දිනයම සිය ජීවිතයේ වඩාත්ම වැදගත් දිනය බවට පත් වූ මිනිසුන් ද සිටී. බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ ද මේ ලක්ෂණය දක්නට හැකිය. උන්වහන්සේ මිනිසකු ලෙස මහාමායා දේවියගේ කුසින් බිහි වූයේ වෙසක් ‍පොහොය දිනකය. එසේම ජීවිතයේ උතුම්ම පදවියට පත් වූයේ ද එවැනිම දිනයකය. සාමාන්‍ය තේරුමෙන් ගත්විට ජීවිතයෙන් සමුගත්තේ ද එවැනිම දිනකය. සමහර මිනිසෙකුට පමණක් ජීවිතයේ හිමිවන මේ අපූර්ව ස්වභාවය උරුම වූ ලෝකයේ මහා කාරුණිකයාණන් වහන්සේ වන්නේ බුදුරජාණන් වහන්සේය. උන්වහන්සේගේ ජීවිතයේ මේ අවස්ථා තුනම සිදුවූයේ තුරු ලතා ඇසුරු කරගෙනය.
ඉතිහාසය විසින් යම් යම් අවශ්‍යතා මත බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය ස්වභාවය අති මානුෂීය දේවත්වයකට නංවා තිබෙනු දක්නට ලැබේ. මහායාන වැනි බෞද්ධ දර්ශනයන් තුළ බුදු රජාණන් වහන්සේ සදාකාලිකව දෙව්ලොව ජීවත්වන වරින් වර ලෝකයට පැමිණෙන උතුමෙකි. එහෙත් නියම තතු පරීක්ෂා කර බලන විට පෙනී යන්නේ බුදු රජාණන් වහන්සේ යනු සාමාන්‍ය ලෙස උපත ලැබූ සාමාන්‍ය මිනිසෙකි. උන්වහන්සේ ලුම්බිනි නම් සල් වනයේ උපත ලැබුවේ සාමාන්‍ය මිනිස් දරුවෙක් ලෙසය. සත් දිනකින් සිය මව මිය ගිය පසු මවගේ නැගණිය වූ ප්‍රජාපතී ගෝතමී දේවියගෙන් කිරි බි වැඩුණු සාමාන්‍ය ළදරුවෙක් මිස අසාමාන්‍ය දෙවිවරයෙක් නොවේ. සූත්‍රාගත කරුණුවල සිය උපත පිළිබඳව බුදුරදුන් කරුණු දක්වා ඇත්තේ ඉතාම අල්ප වශයෙනි. එසේම සාමාන්‍ය මිනිසෙක් ලෙස විවාහ ජීවිතයට ඇතුළත් වන සිදුහත් කුමරුන් ගේ දරුවා වන්නේ රාහුල කුමරුය. පිය රජුන් විසින් ගිහි දිවියේ ඇල්ම ඇති කරනු පිණිස නිර්මාණය කරන ලද මහා මාළිගාවල අතිශය සුඛෝපභෝගි දිවියක් ගත කළ අයුරු පසු කාලීනව බුදු රජාණන් වහන්සේ දේශනා කළහ. වසර විසි නවයක් සිය දිවියේ ගිහි සුව විඳී බුදු රජාණන් වහන්සේට මදින් මද ජීවිතයේ නිස්සාරත්වය වැටහුණු අතර දිවියේ යථාර්ථය වැටහෙත්ම උන්වහන්සේ සත්‍ය සොයා යන්නට තීරණය කළහ.
සිදුහත් තාපසයාණන් ගේ දෙවන උපත ලෙස සැලකිය හැක්කේ උන්වහන්සේ ගේ යථාර්ථාවබෝධයයි. හෙවත් සම්මා සම්බුද්ධත්වයයි. විසිනව වැනි වියේ ගිහි ජීවිතය අත්හැර ගිය උන්වහන්සේ වසර හයක් තිස්සේ නියම මාර්ගය කුමක්දැයි සොයමින් කල් ගත කළහ. ගුරුවරුන් සොයා ගියහ. විවිධ වෘත ක්‍රම අනුගමනය කළහ. තනිවම භාවනා කළහ. ආහාර වර්ජනය කරමින් හුස්ම ගැනීම අරමුණු කරමින් අප්‍රාණක ධ්‍යානය වැඩූහ. මේ කිසිවකින් යථාර්ථය පසක් නොවුණු විට උන්වහන්සේ මැදුම් පිළිවෙත   හරහා භාවනානුයෝගීව සත්‍යාවබෝධයට වෙර දැරූහ. වෙසක් පුර පසළොස්වක දිනයක අලුයම් කාලයේ සියලු කෙලෙසුන් නසා සම්මා සම්බුද්ධත්වය අවබෝධ කරගන්නට ද උන්වහන්සේට හැකිවිය. බුදු බව ලැබිමෙන් පසුව උන්වහන්සේ තමන්ගේ ස්වභාවය කුමක්දැයි හෙළිකරන පැහැදිලි නිදර්ශනයකි ද්‍රෝණ බමුණා හමුවීමේ කතාව.” වරක් ද්‍රෝණ නම් බමුණෙක් මාර්ගයේ ගමන් කරන විට ඔහුට පා සලකුණක් දක්නට ලැබිණි. පා සටහන් ඔස්සේ ගමන් කළ ද්‍රෝණට කිසියම් පුද්ගලයෙක් මුණ ගැසිණි. ඔහුගේ නිවුණු තැන්පත් රූපශ්‍රීයෙන් කිසිවක් සිතාගත නොහුණු ද්‍රෝණ මෙසේ ප්‍රශ්න කළේය.
“ඔබ දෙවියෙක් ද නැත”
එසේ නම් ඔබ බ්‍රහ්මයෙක් ද නැත
නාගයෙක් හෝ යක්ෂයෙක් ද නැත
එසේ නම් ඔබ මිනිසෙක් ද නැත”
ලොව සිටින කිසිදු වර්ගයකට අයත් නොවන මේ පුද්ගලයා මෙසේ පැවැසීය. නෙළුම් මල මඩේ හටගනී. මඩෙන් අපිරිසිදු දියෙන් ‍පෝෂණය වෙයි. ජලයෙන් උඩට මතු වෙයි. ජලයෙන් වඩාත් උඩට මතු වී නැවතත් ජලයේ නොගැටෙන ලෙස පවතී.
ද්‍රෝණ මම ද එසේ වෙමි. දෙවියනට මිනිසුනට තිබෙන රාගාදී ආශාවන් මට නැත. එනිසා මම ඒ කිසිවෙක් නොවෙමි. එසේ් සාමාන්‍ය මානුෂීය හැඟීම් දුරු කළ උත්තරීතර මිනිසෙක් වෙමි.”
බුදුරජාණන් වහන්සේ කිසි දිනක සිය ජන්ම දිනය සැමරුවේ නැත. එය සමරන්නට සිය දහම පිළිපදින්නවුනට කියා නැත. කෙටියෙන් කිවහොත් මුළු වසරේම පව් සමා කරන දිනයක් බවට පත් කරගන්නට බුදුරදුන් අනුදැන වදාරා නැත. තවත් පැහැදිලිි කළහොත් වෙසක් ‍පොහොය යනු බුදුරජාණන් වහන්සේගේ ජන්ම දිනය සැමරීමක් නොවේ. බුද්ධත්වය ලැබිම පිළිබඳව ප්‍රීතිමත් අනුස්මරණයක් නොවේ. එසේම මරණය පිළිබඳව ශෝකවීමක් ද නොවේ. ලෝකයේ සම්මත ක්‍රමය වූ උපන් දිනය සැමරීමේ මරණය වෙනුවෙන් දුක්වීමේ ක්‍රමයට වඩා හාත්පසින්ම වෙනස් වූ පිළිවෙත් මාර්ගයක් හරහා තෙමඟුල් සංකල්පය ඔස්සේ මානව සමාජයට ලබාදෙයි. බුදුරජාණන් වහන්සේගේ අවසන් බුද්ධ වචනය වූයේ. “අප්පමිදං භික්ඛවේ මනුස්සානං ආයු. ගමනීයො සම්පරායො. කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචරියං. නත්ථී ජාතස්ස අමරණං” සිය අවසාන මොහොත තුළ අවසාන වදන් කිහිපය තුළින් පවා උන්වහන්සේ උත්සහ කළේ සත්‍යය පෙන්වාදීමටය. මෙවැනි බොහෝ කරුණු නිසාම බුදුරජාණන් වහන්සේගේ උපත හෝ මරණය සංකේතවත් වනුයේ ද බොදුනුවන් ඒ දෙස බලන්නේ ද සාමිස සතුටකින් හෝ ශෝකයකින් නොවේ.
ලෝකයේ කවරම අයෙකුට වුවද මරණය දුකකි. මිය යන්නාට එය වේදනාවක් වනවා සේම ජීවත් වන්නවුනටද එය එසේමය. එහෙත් බුදුරජාණන් වහන්සේ මේ මරණය අභියස බොදු සැදැහැති ජනයා දුක්වීමක් වේදනාවට පත්වීමක් හෝ උපවාසයකට යටත් වීමක් දක්නට නොමැත. බුදුරජාණන් වහන්සේගේ මරණය පිරිනිවන් පෑම යනුවෙන් අදහස් කරන්නේ හුදු ගෞරවාර්ථයෙන්ම නොවේ. පරිනිර්වාණ යන්නෙහි අර්ථය නිවා දැමීම යනුයි. අවසන් කිරීම හෝ නිවීමට පත්වීම යනුයි. බුදුරජාණන් වහන්සේ අවස්ථා දෙකකදී පිරිනිවෙති. එය හැඳින්වෙන්නේ මෙසේය.
සෝපදිසේස පරිනිර්වාණය
නිරුපදිසේස පරිනිර්වාණය
සත්වයා යනු භෞතික හා අභෞතික දෙකෙහි එකතුවයි. එසේත් නැති නම් ද්‍රව්‍ය හා මනසේ සංකලනයයි. ඇසට පෙනෙන අතට හසුවන දේවල් හා එසේ ඇසට හසු නොවන තත්ත්වයක එකතුවකින් නිර්මාණය වූවකි. හෙවත් නාම රූප සමවායෙන් හටගත්තකි. නාම යනු වේදනා, සංඥා සංඛාර, විඤ්ඤාණ වෙයි. රූප යනු භෞතික වූ ශරීරයයි. මේ ශරීරය හා විඤ්ඤාණය දෙකට තනි තනිව සිටිය නොහැකිය. ලී දෙකක් ගෙන ත්‍රිකෝණාකාරව ‍පොළොව මත එකිනෙකට ගැටී රැඳවිය හැකිය. කවර ලීයක් පළමුව ගත්තත් අනෙක් ලීය වැටෙයි. මේ අයුරින් ශරීරය නිසා සිතත් සිත නිසා ශරීරයත් පවතියි. සත්වයාගේ මරණයේදී මේ සාමාන්‍ය ශරීරය විනාශ වන නමුදු නාම ධර්ම උපාදානය ඇසුරු කරමින් පරිනාමීය වශයෙන් හා අනාත්මීය වශයෙන් නැවත ප්‍රතිසන්ධිය ලබයි. එනිසා යළි යළිත් ශරීරයන් පහළ වෙයි. බුදුරජාණන් වහන්සේ බුදු බව ලබා පහළ කළ උදාන වාක්‍යයේ මෙකී කරුණ සඳහන් කරති. “ගහකාරක දිට්ඨෝසි පුනගේහං න කාහසි“ ශරීරය යනු ගෙයකි. විනාශ නොකළ තෘෂ්ණාව නමැති වඩුවා මේ ශරීරය නමැති නිවස යළි යළිත් සාදයි. මේ නිසා නාම ධර්ම විනාශ නොකර මිය යන සියලුදෙනාගේම මරණය උඩින් දළු දමන තාල වර්ගයට අයත් නොවන අඹ වැනිය. ගසක් උඩින්  කපා දමා විනාශ කරන්නට උත්සහ කරන්නාක් මෙනි. එය කෙතරම් උඩින් කැපුවත් යටින් දළු දමයි. එනිසා කෙලෙස් නමින් හඳුන් වන මේ මූලික මානසික ධර්මයන් සංසිඳ වූ විට යළි උපදින්නට මූලධර්මයක් නැත. සෝපදිසේස පරිනිර්වාණය යනු බුදු රජාණන් වහන්සේගේ කෙලෙස් පරිනිර්වාණයයි. ශරීරය පවතින විටම සිත තුළ නාම කෙලෙස් ධර්මයන් අවසන් කිරීමය. රූප ධර්ම පවතින විටම නාම ධර්ම පහළ වීමට හේතුවන ‍පෝෂක ධර්මයන් විනාශ කිරීමය. මෙය වනාහී සෝපදිසේස පරිනිර්වාණයයි. වෙසක් පුර පසළොස්වක් දිනයේ බුදුරජාණන් වහන්සේගේ සකලක්‍ලේශයන් නිවීම සෝපදිසේස පරිනිර්වාණයයි.
නිරුපදිසේස පරිනිර්වාණ තත්ත්වයට එන විට නාම රූප දෙකෙහි පැවැත්මට හෙවත් සිත කය පහළ කළ එය ‍පෝෂණය කළ සියළු කෙලෙස් පිරිනිවී අවසන් වන අතර ශරීරයද ඇතුළුව ඉතිරිව තිබූ සියලු නාමරූප ධර්මයන් නිවීමට පත්වෙයි. නිවී අවසන් වෙයි. පහන් දැල්ල මෙනි. තෙල් ද වැටියද අවසන් වූ පසු පහන් දැල්ලට පවතින්නට නොහැකිය.
සංසාර පැවැත්ම අවසන් කිරීම යනු බුදු දහමේ උත්කෘෂ්ට වූ අවේදයිත සුවයයි. බුදු රජාණන් වහන්සේ සිය අසූ වැනි වියෙහිදී සියලු දුක්ඛ වේදනාවන් අවසන් කළහ. සසර අපමණ ආත්මභාවයන් වල ඉපදෙමින් සෙවූ පරම විමුක්තිය සාක්ෂාත් කර සියලු දුක් වේදනාවන් අවසන් කිරීම වාසනාවක් මිස කෙසේ නම් අවමංගල්‍යයක් වන්නේ ද, එනිසා බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම සාමාන්‍ය අර්ථයෙන් ලෝකය තුළ කතා කෙරෙන අවමංගල්‍යයක් නොවේ. එනිසාම එය උපතත් බුදු වීමත් යන උභය පක්ෂය සේම මංගල්‍යයක් ම වෙයි. සැබැවින්ම වෙසක් ‍පොහොය යනු ලෝකයට මංගල්‍යයක්මය. අන් දිනවල අකුසල් කරන මිනිසුන් පවා දහමට එක් දිනක් හෝ නැඹුරු වන්නේ වෙසක් ‍පොහොය දින පිළිබඳව ඇති ගෞරවය නිසාය.
වර්තමානය වන විට බුදු දහම විවිධ පුද පූජාවන් ගෙන් වැසී ඇත. බුදු දහමේ ප්‍රධාන මූලික හරයන් පවා නොපෙනෙන තරමට මෙකී ආමිස වත් පිළිවෙත් බහුල වී ඇත. මෙහිදී මේ සඳහන් කරනු ලබන්නේ එකී වත්පිළිවෙත් නරක බව හෝ ඒවා නොකළ යුතුය යන්න නොවේ. ඒවා තිබිය යුතුය. එහෙත් බෞද්ධ සංස්කෘතිය අනෙකකි. බුදු දහම අනෙකකි. සංස්කෘතිකාංග සුරකින අතර මූලික ධර්මය යටපත් වන්නට ඉඩ නොදිය යුතුය. “ඉමාය ධම්මානු ධම්ම පටිපත්තියා බුද්ධං පූජේමි” යන්නට අනුව බුදුරජාණන් වහන්සේට කරන හොඳම පූජාව වන්නේ ආමිස පූජාවලට වඩා ප්‍රතිපත්ති පූජාවය. පිරිනිවන් මංචකයේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේගේ සිරුරට අකාලයේ පිපුණ සල් මල් පුදන්නට දෙව්වරු කටයුතු කළහ. මේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන්ට සඳහන් කරන්නේ මේ ආමිස පූජාව තමන්ට කරන මහත් පූජාවක් නොවන බවයි. යමෙක් තමන් දේශනා කරන ලද මාර්ගයේ ගමන් කරන්නේ නම් එය තමන්ට කරන විශාලම පූජාව එය බව උන්වහන්සේ සඳහන් කළහ. බොහෝ බෞද්ධයෝ වෙසක් ‍පොහොය යනු විනෝද වන්නට අවස්ථාවක් බව සිතාගෙන සිටිති. දන්සල් තොරණ වෙසක් පහන් ආදිය වරදක් නොවන එහෙත් බුදුරදුන් එතරම් අගය නොකළ ආමිසයන්ය. ආමිසය පමණක් තිබෙන්නේ නම් එහි කිසිදු හරයක්  නැත. අතීතයේ දන්සල් ආදිය ආරම්භ වූයේ වන්දනාවේ යන පින්වතුනගේ පහසුව සඳහාය. එහෙත් වර්තමානය වන විට දන්සල විනෝදාංගයක් බවට පත් වී තිබේ. වෙසක් ‍පොහොය විනෝද ගමන් යන දිනයක් බවට පත් වී ඇත. බොහෝ මිනිසුන් යන්නේ වන්දනාවේ නොවේ. දන්සල් අරමුණු කරගනිමින් කා බි විනෝද වී වෙසක් සැරසිලි ද බලා එන සංස්කෘතියක් නිර්මාණය වී තිබේ. තරුණයන් දරුවන් නොව වැඩිහිටි පිරිස් ද මේ තත්ත්වයට පත් වී තිබේ. බොහෝ තරුණයන් හා දරුවන් අතර මත් පැන් දුම්වැටි ආදියද දුලබ නොවේ. එයට හේතුව වන්නේ ඔවුන් යන්නේ විනෝද ගමනක් මිස සැදැහැසිතින් වන්දනාවේ නොවන නිසාය. එවිට සිදු වී තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ ගේ තෙමඟුල සැදැහැ සිතින්
සිහිකිරීම වෙනුවට විනෝදවීම හා දුසිරිතට යොමු වීමය.
එහෙත් අනෙක් පැත්තෙන් බොහෝ සැදැහැති පිරිස් විහාරස්ථාන ඇසුරු කරගනිමින් බොහෝ පිළිවෙත් පුරණ අයුරුද දක්නට ලැබේ. ශීල සමාදානයත් භාවනා කිරීම සදහම් ශ්‍රවණය වැනි උතුම් වූ කටයුතු නිසා සාධු නාදයෙන් සිරිලක පිරී යන දිනයක් ද බවට පත්ව තිබේ. වෙසක් ‍පොහෝ දිනය බුදු රජාණන් වහන්සේ පින්බරව සිහි කිරීමක් වන්නේ එවැනි ප්‍රතිපත්ති මාර්ගයට යොමු වීම තුළින් පමණි. ප්‍රතිපත්ති මාර්ගය තුළ රැඳී සිටින බුද්ධිමත් බෞද්ධයා සසර පැවැත්මට පින් රැස් කරගන්නා අතරම සසර නැවැත්ම සඳහා කුසල් ද වර්ධනය කර ගනී. ඔහු වෙසක් දිනය එයට වඩාත් සුදුසු තවත් එක් පින්බර දවසක් බවට පත් කරගන්නවා විනා එය විනෝදයක් කර නොගනී. ඒ තුළින් බුදුරජාණන් වහන්සේ ගේ පිළිමයක් අබියස දණ නමන අතරම බුදුරජාණන් වහන්සේ යනු කවරෙක් දැයි පැහැදිලිි ලෙසම අවබෝධ කරගන්නට උත්සහ දරයි. බුදුරදුන් යනු කවරෙක්දැයි නිවැරදිව හඳුනාගැනීමට ආමිස පූජාවෙන් නොහැකිය. එයට කළ හැක්කේ ධර්මය අවබෝධ කරගැනීම තුළිනි. “යො ධම්මං පස්සති. සො මං පස්සති.” යමෙක් ධර්මය දකීද හේ මා දකී.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය