Powered by Blogger.

කසුන් චාමර

මේ දිනවල විකාශය වන ටෙලිනාට්‍ය කීපයකින් අපේ ආලින්දයට එන ජනප්‍රිය තරුවක් වන චාමර “රෑන” ටෙලිනාට්‍යයේ ‘නෙතුම්’ ලෙස අද කා අතරත් කතාබහට ලක්වෙලා. කාලෙකට පස්සේ “රෑන” ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවට එන කසුන් චාමර ඔහුගේ කලා දිවිය ගැන අපිත් එක්ක කතා බහ කළේ මේ විදිහට.
* ඔයාට ‘නෙතුම්’ කියල කතා කරන්න ද? නැත්නම් කසුන් කියන්නද?
“මේ දවස්වල කසුන්ට වඩා ජනප්‍රිය නෙතුම්. ඒත් මගේ සැබෑ ජීවිතේ නම කසුන් නේ. ඒ හින්ද කසුන් ම කියන්න.”
“මේ දවස්වල කසුන් ගේ වැඩකටයුතු මොන වගේ ද?
“මම NIBM ආයතනයේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක් හදාරනවා. මේ දවස්වල එහි විභාගයට සූදානම් වෙනවා. ඊට අමතරව “රෑන” ඇතුළු ටෙලිනාට්‍ය කීපයකට ම දායක වෙනවා.”
* ‘රෑන’ ටෙලි නාට්‍යයේ ‘නෙතුම්’ චරිතය තරුණ තරුණියන් අතර ජනප්‍රියයි. මේ චරිතය ගැන ඔබේ විග්‍රහය මොන වගේ ද?
“මට හිතෙන්නේ නෙතුම් කියන චරිතය හරහා පෙන්වන්නේ අද බහුතර තරුණ පිරිසකගේ ජීවන රටාව. ඔවුන් ගත කරන පාවෙන ජීවිතය ගැන. ජීවිතේ හැම පැතිකඩක් ගැනම විශ්වාසයක් නොමැති කම. නෙතුම් ගේ හැඟීම් ගැන නෙතුම් ට හරි වැටහීමක් ෂුවර් එකක් නැහැ. ආදරෙත් එහෙමයි. ආදරේ විතරක් නෙමෙයි අනෙක් වැඩකටයුතු පවා එහෙමයි.”
* කසුන්ගේ සැබෑ ජීවිතෙත් මේ වගේ ද?
“අපෝ නැහැ. මම පාවෙන ජීවිතයක් නෙමෙයි. මම පාවෙන්න හැදුවත් අම්මයි තාත්තයි පාවෙන්න ඉඩ දෙන්නෙ නැහැ. ඔවුන් මං ගැන හොඳට හො‍යනවා. මගේ හැම දෙයකදීම මගේ පිටුපසින් ඉන්නවා. අම්ම හැමවෙලාවෙම කියන්නේ හයියෙන් දිව්වට කමක් නැහැ. අවශ්‍ය ට්‍රැක් එකේ යන්න ඕන කියලයි. පුංචි කාලෙ ඉඳලම මම අධ්‍යාපනය වගේ ම අනෙක් සියලුම බාහිර වැඩත් කළා. වටේ පිටේ මොනදේ කළත් ඉගෙනීමත් නිවැරැදිව කළා.”
* මේ දවස්වල ඔබට ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළින්ම ලැබෙනවා ඇති?
“'රෑන’ ටෙලිනාට්‍යය නිසා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. හැමෝම මං ගැන කතාබහ කරන බවක් පෙනෙනවා. හුඟක් අය පොඩි කාලෙ ‘හපන් පැදුර’ වගේ වැඩසටහන්වලින් මාව දැක්කට පස්සේ දැන් තමයි නැවතත් ප්‍රේක්ෂකයන්ට මාව දකින්නට අවස්ථාව ලැබෙන්නේ. අනේ මේ අරයා නේද? හුඟාක් වෙනස් වෙලා නේද? කියලා ඒ අය අහනවා.”
* තවමත් රූගත කිරීම්වලට යන්නේ ආච්චි අම්මා එක්කද?
“අනේ නැහැ. පුංචි කාලෙ ඉඳලම මගේ ළඟින්ම හිටියේ මගේ ආච්චි අම්මා. (අම්මාගේ අම්මා) ආච්චි අම්ම තමයි හැමතැනකම මාව එක්කන් ගියේ. ඇගෙන් ලැබුණු ආදරය රැකවරණය තවමත් මට ලැබෙනවා. දැනෙනවා. ඒ අතීතය හරිම සුන්දරයි.”
* ඇත්තද? මේ කෑම කන්න තියෙන උනන්දුව මදියි කියන්නේ?
“ඒක නම් ඇත්ත. මගේ කෑමට වැඩි උනන්දුවක් නැහැ කියලා මටත් දැනෙනවා. ඒකනේ ‍මම මේ තරම් කෙට්ටු. ඒත් ඉක්මනටම මේ තත්වයෙන් මිදෙන්න මට අවශ්‍යයි. මේ දවස්වල තියෙන ‘එග්්සෑම්’ ඉවර වුණු ගමන් ම සුපුරුදු විදිහට ව්‍යායාම් කටයුතුයි ආහාරපානය සමබලව ලබා ගන්න තමයි හිතාගෙන ඉන්නේ.”
* රංගනය කරන්නේ විනෝදාංශයක් විදිහට ද?
“ඇත්තට ම නැහැ. මට විනෝදෙට රංගනය කරන්න අවශ්‍ය නැහැ. එහෙම රංගනය විනෝදයට කිසිම කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හොඳ ටෙලිනාට්‍ය නිර්මාණයකට චිත්‍රපටයකට සම්බන්ධ වුණොත් හොඳ රංගනයක් ඉදිරිපත් කරන්න පුළුවන්. එයට පුහුණුව වගේම හැදෑරීමත් අවශ්‍යයි. මම අධ්‍යාපනය පැත්තෙන් ඉදිරියට යන්න කැමතියි.”
* දැන් ඔබ කඩවසම් තරුණයෙක්. ආදරේ ගැන ‍මොකද හිතෙන්නේ?
“ඔය හැමෝම කියන්නේ ආදරේ සුන්දරයි කියලා. මටත් ඒ වගේ තමයි (කසුන් සිනාසෙයි.)
* ඒ කියන්නේ මේ දවස්වල කසුන් ආදරේ සුන්දරත්වය අත් විඳිනවා කියල ද?
“ඔව්”
* ඒ කියන්නේ සමීප කෙනෙක් ඉන්නවා?
“ජීවිතේට හුඟාක් සමීප කෙනෙක් ඉන්නවා. තවම අපි දෙන්නම ඉගෙන ගන්නවා. අම්මලා තාත්තලා ඒ ගැන දන්නවා. හොඳට ඉගෙන ගෙන ජීවිතේ ඉදිරිය සැලසුම් කරන්නයි අපි දෙන්නගෙම අරමුණ.”
* ඇය ඔබ රඟපානවාට කැමැති ද?
“පොඩ්ඩක්වත් කැමැති නැහැ. හැමතිස්සෙම කියන්නේ රඟපාන්නෙ නැතිව ඉගෙන ගන්න කියලයි.”
* ටෙලිනාට්‍ය රූගත කිරීම් කරන විට අනෙකුත් යෙහෙළියන්ගෙන් ලැබෙන සහයෝගය මොනවගේ ද?
“අපි හැමෝම හොඳ යාළුවෝ. මාර ෆිට් එකකින් තමයි වැඩ කරන්නේ. හැමෝම විහිළු තහළු කර ගනිමින් හුඟාක් සතුටින් තමයි කාලය ගත කරන්නේ.”
* කසුන්ට හොඳට ගීත ගයන්න පුළුවන් නේද?
“ගායන හැකියා‍ෙවන් ප්‍රයෝජනයක් ගන්න ඕන කියලා මටත් හිතෙනවා. මේ දවස්වල ටෙලිනාට්‍යයත් එක්ක හිර වෙලා ඉන්නේ. ඉක්මනට ම සින්දුවක් කරනවා.”
* ‘ඩාන්සින් ස්ටාර්’ වැනි නර්තන රියැලිටි වලට ඔබට ආරාධනා ලැබුණේ නැත් ද?
“මට නටන්න පුළුවන්. ඒත් සමහර නර්තනාංග මට අපහසුයි. ඒ නිසා මම නර්තන වැඩසටහන්වලට ඉදිරිපත් වුණේ නැහැ. ආරාධනා නම් ලැබුණා.”
* වේදිකාවෙන් ප්‍රයෝජනයක් නොගන්නේ ඇයි?
“වේදිකාව මට නුහුරු තැනක් නෙවෙයි. ‘හිට්ලර්’, ‘දූවිලි’ වැනි වේදිකා නාට්‍ය කිහිපයකම මම රඟපෑවා. ඒත් අද හුඟක් වේලාවට ‘ස්ටේජ් ඩ්‍රාමා’ හැදෙන්නේ ෆේමස් සීනියර් ආර්ටිස්ට්ලා යොදාගෙන. ඒ හින්දා අපි වගේ තරුණ පරම්පරාවට ඒ අය එක්ක වේදිකාවේ රඟපාන්න ලැබෙන අවස්ථා අඩුයි.”
* ඔබ ඔබේ පෙම්වතියගෙන් බලාපොරොත්තු වෙන ගුණාංග මොනවා ද?
“පළමුවැනි දේ තමයි හොඳ ගතිගුණ. හැමවෙලේ ම නොනවත්වා කතා කරන පෙම්වතියකට මම කැමැති නැහැ. මං වැරැදි වුණත් මාත් එක්ක ආගියු නොකර කලබල නොවී ඉවසීම කියන දේ හොඳින් ම ඇයගෙන් මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ම විශ්වාසය කියන දේ උපරිමයෙන් ම තිබිය යුතු වෙනවා. මම අම්ම ගාව තිබෙන ගති ගුණත් ඇගෙන් මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ම හොඳ රහට කෑම උයන්නත් ඇයට හැකි වෙන්න ඕන.”
* අනාගත බලාපොරොත්තු ගැනත් කතා කරමු?
“ඩිග්රි තුන හතරක් දාගෙන මගේ ම රැකියා ආයතනයක් පටන් ගන්න තමයි බලාපොරොත්තුව. ඒ වගේ ම කලා ක්ෂේත්‍රයේ හැකි හැම දෙයට ම දායක වෙන්නත් බලාපොරොත්තුවක් තිබෙනවා.”

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය