Powered by Blogger.

- ඇල්ෆ‍්‍රඩ් පෙරේරා
කලක් ඔහු පුංචි තිරයෙක් එක් රැයකදී ප්‍රේක්ෂක හදවත් වැළඳ ගත්තේ මේන් තින්ග් ඉස් නොට් ටු වොරි කියාය. විටෙක රංගනයෙන් රටම හිනස්සන්නටත් තවත් විටෙක විහිළු තහළුවෙන් ශ්‍රාවකයා පිනවන්නටත්, තවත් අවස්ථාවකදී නිවේදකයකු ලෙස ජන හදවත් වැළඳ ගන්නටත් සමත් වූ මේ ප්‍රවීණතම රංග ශිල්පියා, නිවේදකයා අන් කවරකු නොවේ, ජන හදවත්වල නොමැකෙන කලා ශිල්පියෙකු වූ ඇල්ෆ‍්‍රඩ් පෙරේරාය.
සහජ හැකියා බොහොමයකින් පොහොසත් ඇල්ෆ‍්‍රඩ් පෙරේරා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවීණ නිවේදකයකුª ලෙසත්, පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්ථකයකුª ලෙසත් සිය වෘත්තීය ජීවිතයේ නියැලියේය. ඔහුගේ කලා ජීවිතයට දැන් අඩසිය වසර ඉක්මවා ඇත. ඇල්ෆ‍්‍රඩ් පෙරේරාගේ කලා ජීවිතයේ රසමුසු තොරතුරු සොයා ඔහු සමඟ කතාබහට එක් වෙමු.
* කොහොමද ඇල්ෆ‍්‍රඩ් අයියා සැප සනීප?
අසනීප තත්ත්වයෙන් සතුටින් ඉන්නවා. දණහිස්වල අමාරුවක් නිසා මම දැන් ටිකක් ගෙදරටම කොටු වෙලා. හැරමිටියක ආධාරයෙන් තමයි ටිකක් එහෙ මෙහෙ ඇවිදින්නේ. දැන් මට වයස අවුරුදු අසූ පහක්නේ.
* ඒ කියන්නේ ඔබ කලා ජීවිතයෙන් සමු අරගෙනද?
අපෝ නෑ මල්ලි. මම ඇවිදින්න බැරි වුණත් කලා ජීවිතයෙන් සමු ගන්නේ නැහැ. මැරෙනකම්ම කලා ජීවිතයේ ඉන්න කෙනෙක් මේ ඇල්ෆ‍්‍රඩ්. ඒත් මල්ලි දැන් මට තියෙන ශරීර දුබලතා නිසා රංගන කටයුතුවලින් මම සමුගත්තා.
* සිනමාවට වගේම පුංචි තිරයටත් ඔබගේ රංගනය එක් වූ අවස්ථාත් බොහොමයක් තිබුණනේ?
මොනව කියනවද මල්ලි චිත්‍රපට විස්සක විතර රඟපෑවා. ඒ වගේම ටෙලි නාට්‍ය විස්සක් තිහක් රඟපෑවා. ‘සඳ නැග එද්දී’ චිත්‍රපටයෙන් තමයි මම මුලින්ම සිනමාවට පැමිණියේ. කුමාරිහාමි ටෙලි නාට්‍යයේ රඟමින් තමයි පුංචි තිරයට මම එක් වුණේ. ඉන්ද්‍රඛීලය, අබුද්දස්ස කාලේ, ලක්ෂෙට කොඩිය, මරුවා සමඟ වාසේ, සඳමඬල, ජැක් ඇන්ඩ් ජිල් ආදී චිත්‍රපට බොහොමයක මම රඟපෑවා. කන්දෙ ගෙදර, අසල් වැසියෝ, චරිත තුනක්, උතුරු සුළඟ, සපත්තුව, බෝනික්කෝ, සත්පුර වැසියෝ, හිරු කුමාරි, සමාවෙන්න සර්, සොරි මැඩම්, ඇන්ඩ් කොම්පැනි, ජීවිතය ලස්සනයි, ඉතිං ඊට පස්සේ ආදී බොහොමයක් ටෙලි නාට්‍ය සඳහාත් මම රංගනයෙන් එක් වුණා.
* ඔබ රඟපෑ චිත්‍රපටයක් තිරගත වෙන්නත් තියෙනවා?
සනත් ගුණතිලක අධ්‍යක්ෂණය කළ සිනහව අතරින් චිත්‍රපටය තිරගත වෙන්න තියෙනවා. මම මේ චිත්‍රපටයේ බංගලාවක මුරකාරයකුට රඟපානවා.
* ඇල්ෆ‍්‍රඩ් අයියා විහිලුවට බර පුද්ගලයෙක් නේද?
මම විකට චරිත රඟපෑවට විකට ශිල්පියෙක් නෙමෙයි. මාව විකටයෙක් කියලා හඳුන්වනවාට මම කැමැති නැහැ.
* ඔබ කලාවට යොමු වුණේ කොහොමද?
අධ්‍යාපනය හදාරන වකවානුවේ මම ගීත ගායනයට රඟපෑමට පමණක් නොව නිවේදන කටයුතුවලටත් සම්බන්ධ වුණා. වැඩිදුර අධ්‍යාපනය සඳහා කැලණිය විද්‍යාලංකාරයට ඇතුළත් වීමට අවස්ථාව ලැබුණා. එහිදී මට ඇනස්ලි ඩයස්, බර්ටි ගුණතිලක, සැමුවෙල් රුද්‍රිගූ හමු වුණා. ඒ අය මගේ හොඳම යහළුවන් බවට පත් වුණා. විද්‍යාලංකාරයේ ඉගෙන ගන්න කාලයේ අපේ පන්තියේ නායකයා වුණේ එච්. ඩී. විජේදාස. පසු කාලෙක ගුවන් විදුලියේ විහිළු තහළු වැඩ සටහන ආරම්භ කළෙත් ඔහු. විද්‍යාලංකාරයේ සිසුවෙක්ව ඉන්න කොටම මට ඒ වැඩ සටහනට සම්බන්ධ වෙන්නත් ලැබුණා.
* හාපුරා කියලා ඔබට ගුවන් විදුලියට පිය මනින්න හම්බ වුණේ කොහොමද?
කුඩා කාලයේ මගේ හොඳම විනෝදාංශය වුණේ ගුවන් විදුලි ශිල්පින් අනුගමනය කිරීම. මගේ මේ ක්‍රියාව දැක්ක අසල්වැසියෙක් වූ ඒ. ඩී. ඊ. පෙරේරා මහත්මයා මාව ගුවන් විදුලියට එක්ක ගියා. ඒ වෙන කොට මට වයස අවුරුදු දාසයයි. ඒ මහත්මයාගේ සහාය ගායනයට මාව එක්කර ගත්තා. තිර නැති දිවියකි මේ ලෝකේ ගීතය සජීවීව ගායනා කරමින් මම ගුවන්විදුලි ගීත ක්ෂේත්‍රයට එක් වුණා. එතැන පටන් ගුවන් විදුලිය මගේ මහ ගෙදර වුණා.
* ගුවන් විදුලියෙන් විකාශය වූ විනෝද සමය ඔබේ නිෂ්පාදනයක් බවට පත් වුණේ කොහොමද?
විනෝද සමය ජනතාවගේ හද බැඳ ගත් වැඩ සටහනක්. මම 1955 ජනවාරියේ සිට 1975 දෙසැම්බර් දක්වා මේ වැඩසටහන නිෂ්පාදනය කරන්න ලැබුණා. එච්. ඩී. විජේදාස ආරම්භ කළ විහිළු තහළු වැඩ සටහන අවුරුදු හතරක් පමණ විකාශයවීමත් සමඟ අතරමඟ නැවතුණා. ඒ වැඩ සටහන තුළින් ලැබුව අත්දැකීම් එක්ක මම විනෝද සමය නිර්මාණය කළා. කොටස් දෙසිය හතලිහක් මම විනෝද සමය නිර්මාණය කළා.
* ‘විනෝද සමය’ සමඟ එක් වූ ඔබේ අනෙක් සාමාජිකයන් වුණේ කවුද?
ඇනස්ලි ඩයස්, බර්ටි ගුණතිලක, සැමුවෙල් රුද්‍රිගූ, ධර්ම ශ්‍රී මුණසිංහ එදා විමෝද සමයේ චරිත වුණේ. අමාරිස් අයියා, සේතං, ඇල්බෑර්තු, බුරම්පි, හාමු මහත්තයා මම ඒ කාලේ මේ චරිත අතරින් ඇල්බෑර්තු නමින් තමයි ප්‍රසිද්ධ වුණේ.
* ගුවන් විදුලියේ ස්ථිර සේවයට එක් වෙන්නේ කොහොමද?
අවුරුදු ගණනක් ගුවන් විදුලියේ වැඩ සටහන්වලට සහභාගි වුණාට පස්සේ ලබා ගත්ත අත්දැකීම් එක්ක මම ඉල්ලුම් පත්‍රයක් දැම්මා. පරීක්ෂණ හතරකට මුහුණ දුන්නාට පස්සේ 1952 මාර්තු 18 වැනිදා මට ගුවන් විදුලියේ ස්ථිර සිංහල නිවේදකයකු ලෙස පත්වීමක් ලැබුණා.
එදා මගේ මුල්ම වැටුප වුණේ රුපියල් දෙසිය විසි පහයි. එතකොට ගුවන් විදුලියේ අධ්‍යක්ෂවරයා වුණේ සුදු ජාතික ලැම්ප්සන් මහතා. අතිරේක අධ්‍යක්ෂ ජනරාල් වුණේ එම්. ජේ. පෙරේරා. සිංහල අංශය භාරව සිටියේ තේවිස් ගුරුගේ, ඩී. එම්. කොළඹගේ මහත්වරු. එච්. එම්. ගුණසේකර, කරුණාරත්න අබේසේකර, ප්‍රභා රණතුංග, නන්දා ජයමාන්න, සරත් විමලවීර තමයි එදා ගුවන් විදුලියේ නිවේදකයන් අතර දැවැන්තයන් වී සිටියේ. ඒ අතරින් එච්. එම්. ගුණසේකර මගේ නිවේදන ජීවිතයේ ගුරුවරයා වුණා.
* ඒ කාලේ අයියල තුන් දෙනෙක් ගුවන් විදුලියේ හිටියලු?
හිටිය නේන්නම් මල්ලි. ඒ අයියල තුන් දෙනා සරත් අයියා (සරත් විමලවීර), කරු අයියා (කරුණාරත්න අබේසේකර), ඇල්ෆ‍්‍රඩ් අයියා (ඇල්ෆ‍්‍රඩ් පෙරේරා) මේ මම. අපි කාටත් කවුරුත් කිව්වේ අයිය කියල. මට එහෙ ඉන්න විට කිව්වෙත් කවුරුත් අයිය කියල.
* ගුවන් විදුලි ජීවිතයේ ඔබට අමතක නොවන සිදුවීම් එහෙම තියෙනවද?
ඔව්. 1969 නීල් ආම්ස්ට්‍රෝං හඳ මතට පා තැබුව අවස්ථාව මම සඳ ගමන වැඩ සටහන ඉදිරිපත් කළේ අමෙරිකානු හඬ ගුවන්විදුලියට සවන් දෙමින්. එදා ඉංග්‍රීසි නිවැරැදිව ශබ්ද කිරීම ගැන මම පාඨමාලාවක් හදාරා තිබුණ නිසා සඳ ගමන විස්තරය සජීවීව ශ්‍රාවකයන්ට සිංහලෙන් මට ඉදිරිපත් කරන්න ලැබුණා.
1953 එංගලන්තයේ දෙවැනි එලිසබෙත් මහ රැජන ශ්‍රීී ලංකාවට පැමිණියා. එදා කොළඹ රජ ගෙදර හා මහනුවර ක්වීන්ස් හෝටලයේ සිට කරුණාරත්න අබේසේකර සමඟ විස්තර ප්‍රචාරයට මා ගුවනින් සම්බන්ධ වුණා.
හය වැනි පවුලු පාප් වහන්සේ අපේ රටට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපළේ සිට සිරිල් රාජපක්ෂ සමඟ මම විස්තර ප්‍රචාරයට ගුවනින් එක් වුණ. මේ ඓතිහාසික වැඩ සටහන් තුන මගේ ගුවන් විදුලි ජීවිතයේ සදා අනුස්මරණීය මතක සටහනක්.
* ගුවන් විදුලියෙන් ස්ථිර නිවේදකයෙක් ලෙස පත්වීම් ලබා මුලින්ම රටට ඇහෙන්න කතා කළ දවස සදා අනුස්මරණීයයි නේද?
ඒ දවස ගැන අදත් මතක් වෙන කොට ඇහැට කඳුළක් උනනවා. එදා මම නිවසෙන් පිටත්වෙන කොට අම්මාට (සමරතුංග ගුණවර්ධන කෝරලලාගේ දෝන මාගරට්) කියලා ආවා අම්මේ මම අද ගුවනින් කතා කරනවා, අහගෙන ඉන්න කියලා. ඒ නිසා මම දැනගෙන හිටියා අම්මා ගුවන් විදුලියට සවන් දෙනවා කියලා. මම ඉතිං මුලින්ම දවසේ වැඩ සටහන් විස්තරය කියලා අවසන් කළා. ඊට පස්සේ දවසේ සිතුවිල්ල ඉදිරිපත් කළා. ධම්ම චින්තා එහෙම අවසන් කළා. ඒ සියල්ල අවසානයේ මම චිත්‍රා පෙරේරා (පසුව චිත්‍රා සෝමපාල) ගායනා කළ පෙම්බර මාතා මා වැඩු මාතා වඳිමි ඔබේ මව් ගුණ සමරා ගීතය මම එදා වාදනය කළා.
ඉතිං දවසේ වැඩ කටයුතු ඉවර වෙලා මම නිවසට ආවට පස්සේ අම්මා මට මෙහෙම කිව්වා. පුතේ, පුතාගේ කටහඬ ඇසුන වෙලාවේ මම ගොඩක් සතුටු වුණා. ඒ සතුට වැඩිකමට මගේ ඇස්වලින් ගොඩක් වෙලා සතුටු කඳුළු හෙලුණා කියලා. අම්ම එහෙම කිව්වහම ඒ සතුට මගෙත් ඇහැට කඳුළු ඉනුවා.
* විනෝද සමය හැරුනු කොට ඔබ ගුවන් විදුලියේ මොන වගේ කාර්යභාරයක් ද සිදු කළේ?
කරුණාරත්න අබේසේකර ළමා පිටිය ඉදිරිපත් කළා. මම ළමා රඟමඬල, සංගීත සන්ධ්‍යාව, ප්‍රවෘත්ති නිවේදනය ඉදිරිපත් කළා. මාසික රැඟුම සඳහා අපි කොළඹින් පිට ගොස් විනෝද සමය ඉදිරිපත් කළා.
* ගුවන් විදුලියෙන් සමුගෙන ඔබ පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්ථකයෙක් ලෙස නික්ම ගියේ?
හැත්තෑව දශකයේ සිංහලෙන් ඉංග්‍රීසියට හරවන භාෂා පරිවර්ථකයන් තුන් දෙනෙක් පාර්ලිමේන්තුවේ හිටියා. සී. ඩබ්ලිව්. පන්නිල, සෝමා අහංගම සහ මම. විශ්‍රාම වැටුපක හිමිකම් ලැබීමටත්, වැඩි වැටුපක් සඳහාත් මම භාෂා පරිවර්ථකයෙක් ලෙස ගියත් ගුවන් විදුලියේ බාහිර ප්‍රචාරණයන්ට මම දායක වීම සිද්ධ කළා.
* ඔබ වෙරිටාස් ගුවන් විදුලියට සම්බන්ධ වුණේ?
පිලිපීනයේ මැනිලා නුවර වෙරිටාස් ගුවන් විදුලියේ මම අවුරුදු හතක් සේවය කළා. එහි සිංහල වැඩ සටහන් නිෂ්පාදනය කොට මුලින්ම ඉදිරිපත් කළේ මම. භාෂා විසි තුනකින් අපි ලොව වටා ඒ විකාශය සිද්ධ කළා.
* ඔබ බොහෝ තනතුරු තානාන්තරවලට හිමිකම් කියූ කලාකාරයෙක්?
මම එක වෘත්තියකට පමණක් කොටු වූ කෙනෙක් නොවේ. මගේ හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගත් කෙනෙක්. ගුවන් විදුලියේ නිවේදකයකු, පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්ථකයකු, රූපවාහිනි සංස්ථාවේ ප්‍රවෘත්ති සංස්කාරක, සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ හා සමෘද්ධි අමාත්‍යාංශයේ භාෂා පරිවර්ථකයකු, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ආදී බොහෝ තානාන්තර මම දැරුවා.
* ප්‍රවීන නිවේදකයකු හැටියට අද නිවේදන පරපුුර ගැන මොකද හිතෙන්නේ?
එදා නිවේදන කලාවේ මව් භාෂාව ආරක්ෂා කළේ ගුවන් විදුලිය. අද එදා ආරක්ෂා කළ බස කාබාසිනියා කරනවා. අද නිවේදක නිවේදිකාවෝ ඉංග්‍රීසි සිංහල පටලවගෙන. අච්චාරු භාෂාකින් ශ්‍රාවකයන්ට කතා කරනවා. එදා අපි අතින් බස නැසුනා නම් ප්‍රධානියාගෙන් කිසි සමාවක් නැහැ. අද ඒකට ප්‍රධානියත් එකයි, ආධුනිකයත් එකයි.
* ඔබේ පවුලේ තොරතුරු කිව්වොත්?
මගේ බිරිය ස්වර්ණා. ඇය මට හමු වුණේ ප්‍රිය සම්භාෂණයකදී. ඒ හඳුනා ගැනීම අවසානයේ විවාහයෙන් කෙළවර වුණා. මගේ දුව ඈන්. පුතාලා හතර දෙනෙක් ඉන්නවා. ජූඩ්, අරුන්, නවීන්, රජීව්. ඒ අයගේ දරුවන් බලන්නත් මම අද වාසනාවන්ත වෙලා තියෙන සීයා කෙනෙක්. මට අවුරුදු අසූ පහක්. කලා ජීවිතයට අවුරුදු හැට දෙකක්. මගෙන් රටට ඉටු වුණු සේවය ගැන මම තෘප්තිමත්. ඒත් තව මගෙන් ඉටු වෙන්න තියෙන සේවය කර ගන්න බැරි වීම මට දුකක්.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය