Powered by Blogger.

ටෙනිසන් සමග කතාබහක්
 මේ දවස්වල අලුත් තොරතුරු මොනවාද?
‘සුපිරි අන්දරේ’ තිරගත වෙනවා. මම ඒකේ ඩබල් ඇක්ටිං. එකම ජවනිකාවේ චරිත දෙකම විදියට පෙනී සිටින ජවනිකා සඳහා යොදාගෙන තියෙන්නේ නවීනතම තාක්ෂණය. ඒ හින්දා ඒ ජවනිකා හරිම තාත්වික විදියට රූගත කෙරිලා තියෙනවා. ගොඩක් නළු නිළියෝ තමන්ගේ රඟපෑම් ඉවර කරල පැත්තකට වුණාට මම එහෙම නැහැ. මම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතුවලටත් දායක වෙනවා. මීට අමතරව “සිවම්මා ධනපාල” එක්ක රටවටා යනවා.
 සිවම්මා ධනපාල දැන් ටෙනීගේ අධ්‍යක්ෂණයක්?
‘සිවම්මා ධනපාල 1911දී චාල්ස් ඩයස් සූරීන් විසින් කළ නිර්මාණයක්. එය එදා මෙදා තුර වරින් වර වේදිකාගත වුණා. පසු කාලයේ “රුක්මණී දේවි” “මාලනී ෆොන්සේකා” “ශ්‍රියානි අමරසේන” වැනි අයත් කාලෙන් කාලෙට මේ නාට්‍යයේ “සිවම්මා ගෙ” චරිතය රඟපෑවා. කාලයත් සමග මෙහි අයිතිය එතුමාගේ මුණුපුරා වන ලක්ෂ්මන් ජයකොඩි ඇමැතිතුමාට හිමිවුණා. එතුමාගෙන් මෙය වික්ටර් වික්‍රමගේට හිමිවුණා. “සිවම්මා ධනපාල” වර්තමානයට ගෙන යාමට සුදුසුම මා බව කියමින් වික්ටර් වික්‍රමගේ මෙය මට භාර දුන්නා. එතුමාගේ ඉල්ලීම නිසයි මම “සිවම්මා ධනපාල” කරන්නට හිතුවේ.
ඔබ “සිවම්මා ධනපාල” විකෘති කළ බවට ඇතැම් අය චෝදනා කරනවා.
චාල්ස් ඩයස් සූරීන් නිර්මාණය කළ “සිවම්මා ධනපාල” පැය 6 1/2 ක නාට්‍යයක්. එහි ගීත 66ක් තිබුණා. එදා මිනිස්සු මේ නාට්‍යය බලන්න ආවේ බත්මුල් බැඳගෙන. අද ඒකපුද්ගල ප්‍රසංගයකවත් ගීත 66ක් නැහැ. ඒ නිසා එදා නාට්‍යය එදා විදියටම කරන්න බැහැ. මම මෙම නාට්‍යයේ ගීත ප්‍රමාණය 6කට සීමා කළා. නාට්‍යයේ ධාවන කාලය පැය 2කට සීමා කළා. නමුත් මුල් නිර්මාණයේ අන්තර්ගතයට කිසිම හානියක් කළේ නැහැ. දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනගාගත් නිර්මාණකරුවෙකු අද “සිවම්මා ධනපාල” කළත් ඔය දේ කරනවා. හැබැයි මට දොස් නගන විචාරකයෝ එහෙම කළාම ඒ අයට දොස් නගන එකක් නැහැ. ඔය සම්මාන විනිසුරු මඩුලුවල ඉන්න මෙලෝ රහක් නැති අයයි. විචාරකයෝ කියන ඒවා මම ගණන් ගන්නෙ නැහැ.
 සම්මාන හා විචාරක ප්‍රසාදය නොලබන නිසා ටෙනී තුළ කනගාටුවක් තියෙනවද?
මම කවමදාකවත් ළමා නිර්මාණයකට දායක වෙලා නැහැ. ඒ වුණත් මම තැනකට ගියාම පුංචි ළමයි වට කරගන්නේ මාව. මම ජනප්‍රිය නළුවා වෙලා නැහැ. ඒත් නළු නිළියන් සහභාගි වන තැන්වලදී මට තියෙන
ප්‍රේක්ෂක ආකර්ෂණය මටත් පුදුමයි. මට වැදගත් වෙන්නේ අන්න ඒ ජනතාව. ඒ හින්දා සම්මාන හා විචාරක ප්‍රතිචාර ගැන මම හිතන්නෙ නැහැ. මම නිර්මාණ කරද්දිත්  ඒ වගේ දේ ගැන හිතන්නෙ නැහැ.
 ඒ කියන්නේ ටෙනී නිර්මාණ කරද්දී  තමන්ට ඕන දේ කරනවා කියන එකද?
මම වේදිකා නාට්‍ය නිර්මාණයට එද්දී
බ්‍ර‍ෂේට් සම්ප්‍රදායන්, ජපානයේ කබුකි නාට්‍ය, ඇතුළු ලෝකයේ විවිධාකාර නාට්‍ය රිතීන්් ගැන හැදෑරීමක් කළේ නැහැ. මම වේදිකාවට ආවේ මගේම සම්ප්‍රදායකින්. හාස්‍යය තුළින් සමාජයට යම් පණිවුඩයක් දීම තමයි ඒ සම්ප්‍රදාය. මිනිස්සු ඒක පිළිගත්තා. විචාරකයෝ බැන්නා. කවුරුන් මොනවා කිවුවත් මම නම් කියන්නේ ලෝකයේ රංගනයන් අතුරින් අමාරුම දේ හාස්‍ය රංගනය. විකට නළුවාට ඕනෑම චරිතයක් කළ හැකියි. ඒත් හැම නළුවාටම විකට චරිත බැහැ.
ඔබ විකට නළුවෙක් ඔබටත් ඕනෑම චරිතයක් කළ හැකිද?
පාරේ යන හිඟන මනුස්සයෙක් අරගෙන ඒ මනුස්සයට කියනවා දවස් දෙක තුනක් නොකා ඉන්න කියලා. ඊට පස්සෙ කැමරාව ළඟට ගෙනැත් හාමතේ වැටිලා ඉන්න චරිතයක් රඟපාන්න කියනවා. ඊට පස්සේ ඒ චරිතයට විචාරක ඇගයුම් සම්මාන දෙනවා. ඕකද රඟපෑම. මම දන්නවා මට ඕනෑම චරිතයක් කරන්න පුළුවන්. ඒත් මම විකට රංගනයෙන් ඈත්වෙන්නෙ නැහැ.
 ඔබ අධ්‍යක්ෂවරයෙක්. ඉතින් තමාගේම නිර්මාණයක සංකීර්ණ චරිතයක් රඟපාලා ඔබේ හැකියාව ඔප්පු කරන්න පුළුවන්නේ?
මම විකට චරිත තුළින් මිනිස්සු හිනස්සවනවා. ඒකයි මගෙ හැකියාව. චාලි චැප්ලින් ලෝක පූජිත වුණේ විකට රංගනයෙන්.
ජෝ අබේවික්‍රම කියන්නේ මම ප්‍රිය කරනම නළුවෙක්. ඔහු රඟපෑ “අල්ලපු ගෙදර” මම 18 වතාවක් නැරඹුවා. පස්සෙ කාලෙක ජෝ මහතා ‘වැලිකතර’ චිත්‍රපටයේ චරිතාංග රංගනයක් ඉදිරිපත් කරලා ඉහළම
ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුවා. ඒත් ‘වැලිකතර’ බැලුවාම මට ඇත්තටම හිතුන දේ මොකක්ද දන්නවද? ‘අනේ මේ නළුවා මීට පස්සේ දිගටම මේ වගෙ රඟපෑම් කරයිද? විකට චරිත රඟපාන්නෙ නැති වෙයිද? කියලා තමයි මට හිතුනේ. ජීවිතේ දාහක් ප්‍රශ්න මැද හෙම්බත් වෙලා ඉන්න අයව හිනස්සන එක ලොකු පිනක්. බහුශ්‍රැත පුද්ගලයෝ මට බැන්නට ‍පොදු ජනතාව මගෙ විහිළුවලට කැමතියි. ඒ හින්දා මම හැමදාම විකට රංගනයේ යෙදෙනවා.
ආරියවංශ කුලතිලක

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය