Powered by Blogger.

ශිරාණි කෞශල්‍යා කියන නම අද බොහෝ දෙනකුට අමතකව ගියත් සිංහල සිනමා වංශකතාවේ ඇයගේ නමට ඇත්තේ සුවිශේෂී ස්ථානයකි.
ඇය මලට නොඑන බඹරු සිනමාපටයේ රඟපෑ චරිතය එදා මහත් ආන්දෝලනයට තුඩු දෙන්නක් වුණා. එමෙන්ම මහගෙදර, දඩයම, මංමුළාවැල් ඇය රඟපෑ සුවිශේෂී නිර්මාණයන් වේ.
ෂෙල්ටන් පයාගල හා චන්ද්‍රරත්න මාපිටිගම සම අධ්‍යක්ෂණය කළ මලට නොඑන බඹරු සිනමාපටය සමලිංගික ජීවිතයක් ගත කරන සමාජයේ ඉහළ පෙළේ පුද්ගලයකු වටා ගෙතුණු එකකි. මෙහි විවාහක බිරිඳකගේ චරිතයට පන පෙවූ ශිරාණි ඒ වනවිටත් සිනමාව, රංගනය හෝ විවාහය, ලිංගික ජීවිතය ගැන මෙලෝ දැනුමක් තිබුණේ නැත. එහෙත් ඇය දන්නා තරමින් සිය භූමිකාව මනාව රඟපෑවාය. ඇය වසන්ත ඔබේසේකර, තිස්ස අබේසේකර, ධර්මසේන පතිරාජ වැනි ප්‍රමුඛ පෙළේ අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණයන්ට එකතු වූ අතර, රවීන්ද්‍ර රන්දෙණිය, විජය කුමාරතුංග, ජෝ අබේවික්‍රම, දයා අල්විස්, ධම්ම ජාගොඩ, ස්වර්ණා මල්ලවආරච්චි, ගීතා කුමාරසිංහ වැනි ප්‍රවීණයන් සමග රඟපෑවාය.

“මම දැන් ඉන්නේ කැලිෆෝනියාවේ. මම 1982 තමා කැලිෆෝනියාවට ගියේ. හන්ටින්ටන් බිච් කියන ප්‍රදේශයේ ඉන්නේ. මම රස්සාවකට ගියේ. ඒ ගිහින් විවාහවෙලා දරුවන් හදාගෙන මම අවුරුදු තිස් දෙකක් විදේශයක ඉන්නේ.”

ශිරාණි හා අපි කතාබහට එක්වූයේ එහෙම. ඇය තලාහේන, දික්හේන ස්ටේට් ප්‍රදේශයේ ඇයගේ සොයුරියකගේ නිවසේදී අප හමුවුණේ.
“මම සිනමාවට එක්වෙද්දී වැඩ කරමින් සිටියේ ගුවන් සේවිකාවක් විදිහට. මම ඒකේ වැඩ කරන්න කලින් ප්‍රසන්න පරණවිදානයි, ලාල් පියසේනයි දෙන්නා ඇවිල්ලා සුනිල් ෆොන්සේකාගේ මලට නොඑන බඹරු ෆිල්ම් එකට මාව තෝරාගත්තා.
ඒකේ කාන්ති කියන චරිතය තමා මම කළේ. අජිත් ජිනදාසගේ පෙම්වතිය හැටියට ඉඳලා විවාහ වෙනවා. නමුත් මම දන්නෙත් නැහැ මේ මෑතක් වෙනකම් මොකක්ද මගේ චරිතය කියලා. මම කරලා තියෙන්නේ හෝමෝ සෙක්ෂුවල්වලට ඇබ්බැහි වුණු පිරිමියෙක්ගේ බිරිඳකගේ චරිතයක් කියලා මම දැන ගත්තේ කාලෙකට පස්සේ. එවැනි බිරිඳක් විඳින පීඩාව තමා මේ කාන්ති කියන චරිතය. කිසිම අත්දැකීමක්, දැනුවත් වීමක් නැතුවයි මම ඒ චරිතය කළේ. අද මට ඒක කරන්න තිබුණා නම් ඊට වඩා හොඳට කරන්න පුළුවන්.”

ඔබ මුලින්ම මේ චිත්‍රපටය බලද්දී මොනවද හිතුණේ?
“මේ චිත්‍රපටය මම බැලුවේ 1989 විතර. 1986දී තමා ෆිල්ම් එක රිලීස් කළේ කියලා මම හිතනවා. මම සිනමාව ගැන මොනවත්ව දැනුමක් නැතිව, ජීවිතය කියන දේ ගැන කිසිම දෙයක් දන්නේ නැතිව මම කළේ. අනික මම විවාහවෙලා නැහැ. මම දුවක්, අක්කා කෙනෙක්, දියණියක් හැටියට විතරයි මම දන්නේ. මං දුප්පත්, මගේ අම්මා, තාත්තාවයි, නංගිලා, මල්ලිලායි බලා ගත්ත කෙනෙක්. මට වෙන අත්දැකීම් තිබුණේ නැහැ. මගේ වටේට හිටපු හැම කෙනෙක්ම මට ආදරෙයි. මට කැමරාව ගැන බයක් තිබුණේ නැහැ. මට ‍පොඩි ආඩම්බරයක් තියෙනවා. මම රඟපෑව හැම චිත්‍රපටයක්ම සිනමාවේ ලෙජන්ලා වීරයෝ හදපු චිත්‍රපට. සිනමාවේ නියමුවෝ හදපු ඒවා. ප්‍රවීණ, දක්ෂ කලාකරුවෝ එක්ක මම වැඩ කරලා තියෙන්නේ. මම දැන් රවි අයියා බලලා ආවේ. දඩයම චිත්‍රපටයේ රඟපෑවේ ඔහු සමග. රවි අයියාගේ පෙම්වතියට රඟපෑවේ මම. මම අලුත එන දක්ෂ නිළියක් කියලාවත් මම හිතුවෙත් නැහැ. මම වැඩේ කළා. ගෙදර ආවා. මහගෙදර එකේ ශ්‍රියාණි අමරසේන, විජය අයියා, ගීතා එක්ක රඟපෑවා. මම විජය අයියා එක්ක ෆිල්ම් දෙකක රඟපෑවා. අනික තමා මංමුළා වැල්. ඒ චිත්‍රපටය ආවේ නැහැනේ. හොඳම චිත්‍රපටයක්.”

ඔබ වසන්ත ඔබේසේකර, ධර්මසේන පතිරාජ, තිස්ස අබේසේකර වගේ අය එක්ක වැඩ කරන්න වාසනාව තිබුණු කෙනෙක්. ඇයි ඒ වාසනාවෙන් ප්‍රයෝජන ගත්තේ නැත්තේ?
“ඇත්තටම මම දැන් ආයෙත් රඟපෑමට එනවා. දොරක් ඇරිය ගමන් එළියට පනින්න හොඳ නැහැ. හෙමින් යන්න ඕන. දැන් ඒ කාලය ඇවිල්ලා. පුතාලා ලොකුයි. පුතාලා කියනවා දැන් ආපහු රඟපාන්න යන්න කියලා. මම දන්නේ නැහැ මොනවද මෙයාලා කියන්නේ කියලා.”

ඔබ චිත්‍රපටවලට මුලින්ම යද්දී ඔබගේ අම්මලා එහෙම මොනවද කිව්වේ?
“අපේ අම්මලා මට සැලකුවේ දෙවියෙක් විදිහට. මම දුවෙක් හැටියට මගේ අම්මා, තාත්තාව දෙවියන්ට වගේ සැලකුවා. මම තමයි පවු‍ලේ අට දෙනෙක්ව බැලුවේ. මගේ අම්මා, තාත්තායි, මගේ ආච්චියි, මගේ නංගිලා දෙන්නයි, මල්ලිලා තුන්දෙනයි අපි ඔක්කොම නවදෙනයි. මම උපන්නේ කොළඹ වුණාට අම්මාගේ ගම වෙච්චි මාත‍ලේ තමයි පදිංචිවෙලා හිටියේ. සෙන්ට් ඇග්නස් කොන්වන්ට් එකට තමා මම පාසල් ගියේ. මම පාසල් යන කා‍ලේ ගොඩක් පාසල් වේදිකාවේ රඟපෑවා. සංගීතය කළා. ඒ කා‍ලේ ඔය ඉස්කෝලවලට මැති ඇමැතිවරු එනවා. ගොඩක් වෙලාවට පිළිගැනීමේ ගීතයට ගියේ මම. මගේ හිතේ තිබුණා ආසාවක් කවදා හරි රඟපාන්න.”

ඔබේ සැමියා හමුවන්නේ?
“එයා ඇමෙරිකාවේදී හමුවන්නේ. යෝජනාවකින් එක්වුණේ. මම ප්‍ලේන් එකේ යද්දී හමුවුණු අම්මා කෙනෙක් තමා මේ යෝජනාව ගෙනාවේ. එයා ලංකාවේ කෙනෙක්. ජුලියන් ප්‍රනාන්දු එයාගේ නම.”

ඔබේ සැමියා දැන් කැමැතිද ලංකාවට ඇවිත් රඟපානවාට?
“ම්.. මෙහෙමයි. මං ප්‍රසිද්ධියේ කියන්න කැමැතියි මං ගැන හැමෝම දන්නවා. රහසක් නැහැ මට, දැන් අපි වෙන්වෙලා ඉන්නේ. අපි අවුරුදු 28කට පස්සේ දික්කසාද වුණා. මගේ ලොකු පුතා ඇමෙරිකාවේ ගුවන් හමුදාවේ වැඩ කරන්නේ. එයා ජර්මනියේ ජීවත් වෙන්නේ. එයා ළඟදී විවාහ වුණා. දෙවැනි පුතා බැංකුවක වැඩ කරනවා. දුව කො‍ලේජ් යනවා තාම. අපි හැමෝම යාළුවෝ වගේ ජීවත් වෙනවා.”

දැන් කවදාද සිනමාවට එක්වෙන්නේ?
“මම ආපහු ඇමෙරිකාවට යන්න ඕනේ. ගිහින් ටිකක් කල්පනා කරන්න ඕනේ. මගේ ජීවිතයට දැන් තව කෙනෙක් ඉන්නවා. එයාටත් ගෞරවය දීලා කතා කරන්න ඕනේ රඟපෑම ගැන. එයාගේ අම්මයි, අපේ අම්මයි දෙන්නාටම අසනීප නිසයි අපි දෙන්නාම ලංකාවට ආවේ. එයා බත්තරමුල්‍ලේ එක්කෙනෙක්. එයාට පුතාලත් කැමැතියි. අවුරුදු තිස් දෙකකට පස්සෙනේ ආවේ. ධර්මසිරි අබේගුණසේකර, දයාරත්න රටගෙදර එහෙම හම්බ වුණා.

මම ඉස්සර සින්දු කිව්වා. ඒ ශිරාණි ඩී. සිල්වා නමින් සින්දු කිව්වේ. ඒ කා‍ලේ අර්නස්ට් සොයිසාගේ සුපර්ස්ටාර් බෑන්ඩ් එකේ සින්දු කිව්වා. ඩෙස්මන්ඩ් රුද්‍රිගූ, ප්‍රියන්ත ප්‍රනාන්දු වගේ අය, වික්ටර් රත්නායක, මිල්ටන් මල්ලවආරච්චි එක්ක සින්දු කිව්වා. රුක්මණී කිව්ව පෙම් රජ දහනේ සින්දුව මම පස්සේ කාලෙක රනිල් මල්ලවආරච්චි එක්ක කිව්වා ඇමෙරිකාවෙදි. මම අලුත් සින්දු ටිකක් කියන්න හිතාගෙන ඉන්නවා.”
උපාලි බණ්ඩාර වීරසේකර
ඡායා ප්‍රදීප් දඹරගේ
http://www.rivira.lk/edition/images/2014/05/04/shi3.jpg

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය