Powered by Blogger.

කොළඹ යුගයේ කවීන් අවදිකොට ඔවුන් සඳහා පුළුල් වේදිකාවක් සකස්කර දුන් හා රසිකයන්ගේ ආදරය දිනාගත් කාව්‍ය සංග්‍රහයක් කොළඹ කවි යුගයේ මැදභාගයේ දී බිහිවිය. “මීවදය” නම් වූ මෙම  සඟරාවේ සංස්කාරකවරයා වූයේ ගාල්ලේ ජෝන් රාජදාස කවියාය. සඟරාවේ මිල සත විසිපහකි. හැම මාසයකම 31 වැනිදා හෝ ඊළඟ මාසයේ පළමු වැනිදා එය වෙළෙඳ‍පොළට එයි. එය ප්‍රදර්ශනය වුණේ නගරයේ ප්‍රසිද්ධ හෝටලයක හෝ එවැනි Kala1වෙනත් වෙළඳ මධ්‍යස්ථානයකය.
ටිබෙට් ජාතික එස්. මහින්ද මීදෙණියේ විමලානන්ද වතුරේගම විමලඛන්ති, බඹරකොටුවේ සුධර්ම, අගලකුඹුරේ රාහුල නවුත්තුඩුවේ මේධානන්ද යන හිමිවරුන් සහ විමලරත්න කුමාරගම, සාගර පළන්සූරිය මඩවල රත්නායක, ධර්මසිරි හරිශ්චන්ද්‍ර, ඩී.ඒ. කුමාරසිංහ, පී.බි. අල්විස් පෙරේරා, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, මීමන ප්‍රේමතිලක, තිහාරියේ පීටර් පෙරේරා, සෝමවීර චන්ද්‍රසිරි, විල්සන් හෑගොඩ, උපනන්ද බටුගෙදර, නන්දා හපුගොඩ, සෝමා හපුගොඩ, කිරිඳිවැල ශ්‍රීමති සේනාරත්න ආදී කවි කිවිඳියන් ඇතුළු පිරිසක් මීවදයට කවි ලියූහ. ඔවුන්ට අමතරව සිටි පසු පෙළ කවීන් සංඛ්‍යාවද අති විශාලය.
පී.බි. අල්විස් පෙරේරාගේ ‘දේදුන්න’ කපිල ඊ. සෙනෙවිරත්නගේ ‘සුවඳ’ යන කවි සඟරා දෙකද මෙකල ප්‍රකාශයට පත්ව තිබුණත් ඉදිරියෙන්ම සිටි කවි සඟරාව වූයේ මීවදයයි.
“අකුරට යනවයි කියලා
ටිකිරි අයිය බැදිවල මයි
ඉන්නකො මං ගුරුගෙදරට
ගිහින් කියන්නම්
ගිහින් කියල මේ බැද්දෙදි
අල්ල දෙන්නම්”
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් අතින් එදා ලියැවුණු මෙම ප්‍රකට  කාවඩි නිර්මාණය රුප්පාවල ඉඳ නෙළනා දවසේ දැඩි” යන හිසින් ඉස්-ඉස්සෙල්ලාම පළ වුණේ මීවදය කවි සඟරාවේය. ඒ 1950 නොවැම්බර් මාසයේය. එදා දිනමිණ පුවත්පත ‘මීවදය’ හඳුන්වා දුන්නේ මෙසේය.
“ගැමි කවියාටත් ජන කවියාටත් ඉඩ සලසමින් තාත්විකත්වයත් ගැඹුරු චින්තනයත් ඉස්මතු කර දැක්වෙන රචනාවලට මෙහි ඉඩ සලසා ඇත. නූතන ප්‍රසිද්ධ කවීන්ගේ සහයද නොමඳව ලැබෙන බව පෙනෙන මේ සඟරාව මෙපමණ කලක් නොනවත්වා පවත්වාගෙන යෑමට හැකිවීම සම්පාදකයන්ගේ ධෛර්යත් නිපුණත්වයත් පිළිබඳ සාධකයක් වශයෙන්  සැලකිය හැකියි”
(දිනමිණ 18.07.1949)
මේ තවත් එවැන්නකි.
“උසස් කවියකු වන ජෝන් රාජදාස මහතා විසින් පළ කරනු ලබන මීවදය කවි සඟරාව නොකඩවා අපට ලැබේ. දක්ෂ කවීන්ගේ කාන්තිමත් නිබන්ධයන්ගෙන් හොබනා මෙය පාඨකයා තුළ විනෝදය මෙන්ම බුද්ධි ප්‍රබෝධයද ඇති කරන්නේය.
Kala2“සිංහල බලය” ප්‍රධාන කර්තෘ හේමපාල මුනිදාස
(8.5. 1948) ඊළඟ හැඳින්වීම
“මීවදයේ ජූලි කලාපය නිකුත් වී තිබේ .... කේයස්ගේ සිතුවිලි, විමලරත්න කුමාරගමගේ දින‍පොතද සරල සිලිටි බසින් ලියැවුණු නිබන්ධයෝය.
(සිළුමිණ 18.07.1948)
කොළඹ යුගයේ කීර්තිමත් කවියකු ලෙස ප්‍රකට යූ.ඒ.ඇස්. පෙරේරා (සිරි අයියා) ලියූ ගංගා ගීතය යන කාව්‍ය නිර්මාණය නූතනයන් අතර ද භාවිත වෙයි. එය මුලින්ම පළවුණේ 1953 අප්‍රියෙල් මීවදය සඟරාවේය.
මීවදය කවි සඟරාවට වයස අවුරුදු පහ පිරුණු දා මීමන ප්‍රේමතිලක මෙසේ ලීවේය.
ඇරැඹුණු නැකත නම් බැලු බැල්මටමසුබයි
නම කවිකලා රස මුල් පෙත්තෙහිමතබයි
අවුරුදු පහ ද අද කලඹෙන් එයටලබයි
මීවද රැජින මේ ගුණ ඇති අඟනඔබයි
සඟරාව විකුණා මුදල් නොගෙවූ අලෙවි නියෝජිතයන් ගේ නම් ගම් “මීවදය” සඟරාවේම පළකොට ප්‍රසිද්ධ කිරීමට තරම් සංස්කාරකවරයා (ජෝන් රාජදාස) එඩිතර විය.
කොළඹ යුගයේ ප්‍රතාපවත් කවි සෙනෙවියකු ලෙස නමක් දිනූ විමලරත්න කුමාරගම 1949 ඔක්තෝබර් මීවදයට ලියූ “රිදුම” කාව්‍ය නිර්මාණයට ඒ මාසයේ හොඳම රචනයට හිමි වූ රුපියල් දහයේ ත්‍යාගය ලැබුණේය.
එළියක් නැතුව යන අය දැක රෑවැස්සේ
මට යා නොහැක අයදින මුත් ඒඔස්සේ
“නොනැවත දියුණු වන” යාමෙන්ආපස්සේ
ලෝකය බලා සමහර විටකෑගැස්සේ
‍පොඩි දරුවකුගේ වත කුසගින්නෙන් මැරුණු
සිහිකර නැගී එයි සමහර විටඅරුණු
අගුවක් නොමැති බල්ලකු මෙන් බිය පිරුණු
සමහර විටක ඇයි නළවැල් යනකරුණු
බල්ලෙක් සැපූ විට උගෙ ගෙල විකන හිත
තිරිසන් ගතිය ඇති අයහට තවමඇත
උන්හට පවා ඉඩ ඇතිවිට පපුවමත
බල්ලන් සපා කා තවමට පුරුදුනැත
එකෙකා සපා කා පසුවෙන  ලොවක කුඩා
කවියෙන් බණිනු දැක ඇති වෙයි සිතට විඩා
ගල් මුල් තිබියදී සුදු බුදු පිළිමකඩා
සතුරන් තැලුම ඉන් හොඳදැයි අසමි අඬා
පුදසුන මනෝ ජීවත් විය යුතුකවිය
මට ඇතිකරයි සසරේ හසරටසවිය
මගෙ කව නොවේවා  බැණ වැදු මට අවිය
කව කුමකට ද විදුමට ගොනෙකුගෙසිවිය
සුළු වූ නමුත් එළියක් නම්සැනසිලිය
ඇස් නැතියවුන්හට එද සඳහටනිළිය
මුළු ලොව අඳුර දිව ආවත් එකවලිය
නිවනට නොහැක ‍පොඩි මැටි පානක එළිය
දිය බිඳු වැටීමෙන් වැව් විල ‍පොකුණු පිරේ
දිය බැස නැඟෙනු බැරි පණ ඇති අයද මැරේ
සුළු සැකයකින් රෑ දාවල කඳුළුපිරේ
එක මඳහසින් මුළු ලෝකය එළියකෙරේ
ඇණ බැණගැනීමෙන්  බත් පත පිරුණාද
අඹු දරුවන් ගෙ රෝ දුක් මඟ හැරුණාද
පිය තෙපලකින් බැරි වැඩපල කෙරුණා ද
“ජීවත්වන්ට” කොපමණ අය “මැරුණාද”
(1949 ඔක්තෝබර් මීවදය)
වසර ගණනාවක් තිස්සේ මීවදය කවි සඟරාව පවත්වාගෙන යමින් කොළඹ යුගයේ කවීන්ට මහා පහනක්ව සිටි ගාල්ලේ ජෝන් රාජදාස කවියාට උපහාර දක්වනු වස් මෙම කුඩා ලිපිය ලියුවෙමි)

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය