Powered by Blogger.


කොල්ලෙක්‌ වගේ විරහ ගී ගැයුවට දැන් වයසයි නේද...?
- සෝමසිරි

ඔව්... එදාට වඩා දැන් ටිකක්‌ වයසයි
- චන්ද්‍රසේන


විරහ වේදනාව හැඟවෙන ගී කියන්නේ ඔවුන්ගෙ ජීවිතේ කොටසක්‌ වගේ. ඔහු මල් මල් විලේ රොන් සොයා යද්දී ඔහුගේ මිතුරා ඉස්‌සර බැඳි පෙම තිබෙන සිත් සොයා ගියා. ඔහු හිරු සඳු ආයෙත් පායන්නේ නැති ලෝකයක තනිවෙද්දී මේ මිතුරා සඳයි තරුයි නිසංසලේ හිsඳින මොහොතක්‌ ගැන ගී ගැයුවා. මේ දෙන්නම අසූව දශකයේ බිහිවුන ආදරණීය ගායකයන් දෙපළක්‌. ඔහු චන්ද්‍රසේන හෙට්‌ටිආරච්චි. ඔහුගේ මිත්‍රයා සෝමසිරි මැදගෙදර. අද හිතමිතුරු සුළඟින් හමුවෙන්නේ මේ අපූරු මිතුරන් දෙපළ.


ඉස්‌සර වගේ නෙවෙයි. ලෝකය වෙනස්‌ වෙන වේගයෙන්ම දැන් මියුසික්‌ පවා වෙනස්‌වෙලා. මේ වෙනස්‌වීමත් එක්‌ක ඉදිරියට එන නවක පරපුර ඔබට අභියෝගයක්‌ද?

තනි වචනයෙන් කිව්වොත්.... කොහෙත්ම නෑ. ඇයි ඔබට අභියෝගයක්‌ වගේ දැනෙනවද?

නෑ මම ඇහුවෙ ඔබෙන්?

නව පරපුර මට කොයි අතින්වත් අභියෝගයක්‌ නොවෙයි.

නමුත් ඒ නිසාම ඔබ ඔබේ අනන්‍යතාවය වෙනස්‌ කළා නේද?

මගේ අනන්‍යතාවය වෙනස්‌ කළා කියන්න බෑ. නමුත් මට හිතෙනවා මම කාලෝචිතව වෙනස්‌වුණ මනුස්‌සයෙක්‌ කියල.

ඒ වෙනස්‌වීම ඔයාට පාඩුවක්‌ වෙයි කියල හිතෙන්නැද්ද?

නෑ එහෙම වෙන එකක්‌ නෑ. දැනට ලැබෙන ප්‍රතිචාරත් එක්‌ක ඒ ගැන විශ්වාසය තියාගන්න පුළුවන්.

ඒක නෙවෙයි අර බෙල්හුඩ්වල ඉන්න දවස්‌වල ළඟ තියාගෙන හිටිය චීත්ත රෙද්ද තාමත් එහෙ මෙහෙ යනකොට අරන් යනවද?

දැන් නම් නෑ. ඒත් මම හැමදාම කොහේ යන්න වාහනේකට නැග්ගත් අම්මව සිහිකරල තමයි වාහනයට නගින්නෙ. බෙල්වුඩ්වල ඉඳිද්දි මම තියාගෙන හිටිය චීත්ත රෙද්ද අම්මගෙ. ඒ දවස්‌වල අම්මගෙන් ඒ විදියට හරි ඈත්වෙලා ඉන්න එක මහ දුකක්‌. ඒ පාළුව තනිකම මැකෙන්න තමයි අම්මා පොරවන චීත්ත රෙද්ද අම්මගෙ සුවඳ එක්‌ක මම ළඟ තියාගත්තෙ.

අම්මා ගැන මතක්‌ කළොත් ඔබට ක්‍ෂණිකව මතක්‌ වෙන්නෙ මොන වගේ සිදුවීමක්‌ද?

අපේ අම්මා අපිව හදාගන්න දුක්‌ විඳපු හැටි.

බිරිඳ මංගලිකා හමුවෙන්න කලින් ගෑනු ළමයි කීදෙනෙක්‌ ඉදිරියේ ඔයා පෙම්වතා වෙලා තියෙනවද?

වැඩිය නෑ....

ඔව්. වැඩිය නැත්නම් කීයද?

දෙන්නෙක්‌ තුන්දෙනෙක්‌ විතර.

තුන්දෙනෙක්‌ "විතර" කියල කිව්වෙ හරියට ෂුවර් නෑ වගේ?

ඔව් ඉතිං ඒකනෙ ෂුවර් කෙනාව විවාහ කරගත්තෙ.

කතාවක්‌ තියෙනව නේද නංගිලා ඉන්න ගෙවල්වලට අයියලා තමන්ගෙ මිත්‍රයින්ව ගෙන්ව ගන්න එක එච්චර සුභ නෑ කියල?

කව්ද කියන්නෙ... සුභ නොවෙන්නෙ ගෙන්න නොගත්තොත්නෙ. ගෙන්න ගත්තොත් ඉතිං සුභම තමා. මේ පේන්නැද්ද?

ඇත්තටම මංගලිකාගෙ හමුවීම සිද්ධවෙන්නෙ එහෙමද?

ඒ දවස්‌වල මම බෙල්වුඩ්වල ඉන්නකොට එයාවත් එක්‌ක මාළිගාවත්තෙ එයාලගෙ ගෙදර එනවා. මංගලිකා කියන්නෙ ඒ යාළුවගෙ නංගි. මට එයාව ගැළපෙනව කියල හිතුණ නිසා මම එයාගෙන් ඇහුවා.

එයා ආදරේ කළේ ඔයා දන්න විදියට ඔයාගේ කට හඬටද?

නෑ. මම හිතන්නෙ එයා ගොඩක්‌ ආදරේ කළේ මගෙ ගතිගුණවලට.

ඇඳුම් මාරු කරනව වගේ වාහන මාරු කරන්න ආසයි නේද?

ඇඳුම් මාරු කරනව වගේ වාහන මාරු කරන්න බෑනෙ. හැබැයි ටික කාලයක්‌ යනකොට පරණ වාහනේ වෙනුවට අලුත් වාහනයක්‌ පාවිච්චි කරන්න ආසයි.

ටික කාලයක්‌ යද්දි එපා වෙලා අලුත් දේකට හිත යනව කියන්නෙ එහෙම අයගේ හිත ඉක්‌මනටම වෙනස්‌වෙනව කියල නේද?

හිත නම් වෙනස්‌ වෙන්නෙ නෑ. එදා වගේම තමයි අදත්. ඒ කාලේ යාළු මිත්‍රයන් සමග තිබුණ බැඳීම් පවා තාමත් එහෙමම තියෙනවා.

කොල්ලෙක්‌ වගේ විරහව ගැන ආදරේ ගැන ප්‍රේමාන්විත ගීත ගැයුවට දැන් ටිකක්‌ වයසයි නේද?

ඔව් ඉතිං... එදාට වඩා ඊයේට වඩා අද මම වයසයි.

දැන් වයස කීයක්‌ විතර වෙනවද?

ඔයාට කීයද?

නෑ මමනෙ ප්‍රශ්න අහන්නෙ... ඔයාට තියෙන්නේ පිළිතුරු දෙන්න. ඇයි කියන්න අකැමැතිද?

ඔව්... ඔව්... වයස නම් කියන්නෙ නෑ. ඕන නම් උපන්දිනේ කියන්නම්. සැප්තැම්බර් 07 වෙනිදා.

ඔය කටහඬ වයසට යද්දි වෙනස්‌ වුණොත්?

එතකොට ඒ කටහඬට ගැළපෙන විදියට ගීත ගායනා කරනවා.

මල් මල් විලේ ගීතය ඔබට බොහොම සමීපයි නේද?

ඔව්... ඒ ගීතය මම ගායනා කළේ මගේ නංගි කෙනෙක්‌ වෙනුවෙන් ගායනා කරනවා වගේ හැඟීමෙන්. හැබැයි ඔය ගීතය ස්‌ටැන්ලි අයිය මෙලඩි එක දැම්මට පස්‌සෙ තමයි හල්පිට අයියා අතින් ලියෑවුණේ. නැතිව කලින් හිතල ලිව්ව ගීතයක්‌ නෙවෙයි ඒ ගීතය.

ජීවිතය ආයෙත් මුල ඉඳල පටන්ගන්න ලැබුණොත් මොනවගේ කෙනෙක්‌ වෙන්නද කැමති?

කලාකරුවෙක්‌ම තමා.

මම අහන්නෙ කලාකරුවෙක්‌ කියන චරිතය අතහැරල?

එහෙනම් ඉතිං මුදලාලි කෙනෙක්‌ වෙයි.

ඇයි ඒ?

පුංචි කාලේ අපේ තාත්තට පොඩි පලතුරු කඩයක්‌ තිබුණා. මම ඒ කඩයට බුලත්විට හදල තියෙනවා. ඒ දවස්‌වල මට හිතුණෙ මුදලාලි කෙනෙක්‌ වෙන්න. ඒත් ගුවන් විදුලියෙ එක ගීතයක්‌ හරි කියන්න ඕන කියල තිබුණ ආසාව මාව කලාකරුවෙක්‌ කළා.

මෙතෙක්‌ ජීවිතයෙදි අතපසු වූ දේවල් තියෙනවද?

ඔව්.... ඒ තමයි ගොඩාක්‌ තැන්වලදි මිනිස්‌සු කව්ද කියල හරියට අඳුනගන්න බැරිවීම.

දේශපාලනයට එන්න කැමැත්තක්‌ තියෙනවද?

මගේ එහෙම අදහසක්‌ නෑ.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය