Powered by Blogger.

දුක්බරිනි මිරිකී යාදෝ
සත්‍ය ‍ලෝකයෙ වැනසී යාදෝ
නිර්මල පිවිතුරු චරිතෙ ඔබේ
පවිටන් බොරුවෙන් කෙලෙසාදෝ
අගති අයුක්තී මාරුතයේ
ප්‍රාණේ ඔබේ දෙදරා යාදෝ
එමවිට පවසනු මුවින් ඔබේ
බුද්ධං සරණං ගච්ඡාමී...!
 

(පද - කරුණාරත්න අබේසේකර)

සිය පියාණන් වූ ගායන ශිල්පි අල්හාජ් මොහිදින් බෙග් ගායනා කළ බොදු බැති සිත් ගත් “බුද්ධං සරණං ගච්ඡාමී” ගීතයේ ඉහත පද කිහිපය මුමුනමින්, සෑම වසරකම වෙසක් සමයේදී අප සමඟ කරන සුපුරුදු කතාබහට මෙවර ද ගායන ශිල්පි ඉෂාක් බෙග් එක් වූවේ ය. බක්, වෙසක්, පොසොන් මාස වලදී රටේ ප්‍රසංග වේදිකාවේ කාර්යබහුලම ගායන ශිල්පියා ලෙස සැලකිය හැකි ඉෂාක්ගේ හිත හැමදාමත් වගේම අදත් සංවේදීය. එමෙන්ම ඒ සිත දුක්බරය. පවිටන් විසින් බොරුවෙන් ඔහුගේ හිත දුක්බරින් මිරිකා දමා ප්‍රාණය දෙදරවන ලැබ ඇති සේය. එහෙත් ඒ සියල්ල විඳ දරාගෙන සිය සිතේ සිතුවිලි ඉෂාක් විවෘතවම අප සමඟ වදන් කරන්නට වූවේ මෙසේ ය.
“මම ගීත ගයන්න ඉන්න ප්‍රසංග වේදිකාවක මගේ තාත්තා (අල්හාජ් මොහිදින් බෙග්) ගායනා කළ ‘බුද්ධං සරණං ගච්ඡාමී’ ගීතය මට පෙර වෙන කෙනෙක් ගායනා කරනවා නම් ඒක විහිළුවක් වෙනවා වගේම ලොකු අසාධාරණයක්. එහෙම වෙලාවට ඇතැම් ගායකයින් මගේ මුහුණ දිහා බලලා හිනාවෙනවා. සමහරු ඉඳහිට ‘ඉෂාක්, කවුද මේ... තාත්තාගේ වෙන කෙනෙක්ගේ පුතෙක්ද?’ වගේ ප්‍රශ්න අහලා සමච්චල් කරනවා. බෙග් මාස්ටර් පෞරුෂත්වයේ ප්‍රතිරූපයක්. එය බිඳ දමන්න කාටවත්ම බැහැ. ඒත් අනුන්ගේ ගීත ගායනා කරන අයයි, සමහර විට band වල අයයි ‘බුද්ධං සරණං ගච්ඡාමී’ ගීතය ‍ගයද්දී බෙග් මාස්ටර්ගේ ජාන (ඉෂාක්) ඒ වේදිකා ළඟ පහළට වෙලා දුක්බරින් මිරිකිලා ඉන්නවා. එතකොට ‘මම මේ මගේ තාත්තාට අගෞරවයක් නේද කරන්නේ’ කියලාත් මට හිතිලා මං මගේ හිතේ දුක තනියමම දරාගෙන ඉඳලත් තියෙනවා.”
“කනගාටුවෙන් වුණත් මේ අසාධාරණකම් ගැන මේ අවස්ථාවේ මගේ තාත්තාගෙයි, මගෙයි ගීත රසිකයින්ට කියන්න ඕනේ. ඒකට මට ඉඩදෙන්න. නැත්නම් අපේ ගීත රසිකයින්ට අපි ගැන වැරදි වැටහීම් ඇති කරන්න වෑයම් කරන සමහර පුද්ගලයින්ගේ බොරු කතා වලින් රසිකයින් මුලා වේවි. මොකද මම මගේ තාත්තා බෙග් මාස්ටර් මේ රටේ ගීත රසික රසිකාවන් වෙනුවෙන් ගීත ගායනයෙන් කරන්න ඇරඹූ සේවය දිගටම කරගෙන යන නිසා කවදාවත් අපේ රසික රසිකාවන්ට පිටුපාලා යන කෙනෙක් නෙමේ. වේදිකාවකට නැග්ගම රජෙක් වගේ සින්දු 100 ක් හරි කියන්න පුළුවන්කම දෙවියන් වහන්සේ මට දීලා තියෙනවා. ඒත් අපේ රසිකයින්ට බොරු කියලා සමහරු අපිව රසිකයින්ගෙන් ඈත් කරවන විදිහේ අසාධාරණ ක්‍රියා හරියට කරනවා.”
* එම අසාධාරණ ක්‍රියා මොනවාද කියා හෙළිදරව් කරන්න ඔබ කැමැතිද...?
“ඔව්. බෙග් මාස්ටර්ගේ ගීත වලට ආදරය කරන මේ රටේ රසික ජනතාවට මම මේ හැමදේම කියන්න කැමැතියි. බෙග් මාස්ටර් යද්දී අපිව (එතුමාගේ දරුවන්ව) බාර දීලා ගියේ මේ රටේ ගීත රසික ජනතාවටයි. ඒ නිසා අපිට අසාධාරණයක් වුණාම අපි කියන්න ඕනේ අපේ රසික ජනතාවටයි. එහෙම නැතුව වෙන කාට කියන්නද? කිව්වත් වැඩක් වෙන්නේ නැහැනේ. බෙග් මාස්ටර් ජීවත් වෙලා ඉද්දි එතුමාගේ කොයි දේ වුණත් කිව්වේ එතුමාගේ රසික ජනතාවටයි, අද එතුමාගේ පුතා ලෙසින් මමත් මේවා අපේ රසික ජනතාවටයි කියන්නේ.”
* ඉතින්, එම අසාධාරණ ක්‍රියා මොනවාද කියා පවසමුද?
“පළමුවෙන්ම කියන්න සිදුවෙන අසාධාරණය තමයි මම ප්‍රසංග වේදිකාවේ ගී ගයන්න ඉන්නා බව දැන දැනම මා ගයන්න ඉන්න ගීත වෙනත් අය ගායනා කිරීම. අනුන්ගේ සින්දු කියන සුපර් ස්ටාර්ලා තමයි වැඩිපුර මේ අසාධාරණය කරන්නේ. ඒ අය කියන්නෙම අනුන්ගේම සින්දු. ඔවුන් තමන්ගේ කියලා සින්දු හදා ගන්නෙත් නැහැ. මගේම ඉදිරියේ මගේ තාත්තාගේ සින්දු කියලා ඒ අය වීරයෝ වගේ වේදිකා වලින් බැහැලා ගියාම මම නැග්ගම කියනවා - ‘අපි ඒ සින්දු කියලා ඉවරයිනේ ඉෂාක්’ කියලා. සමහර සංගීත කණ්ඩායම් වල අයත් මේ අසාධාරණය කරනවා. එතකොට ඉතින් මම අහන්නේ - ‘ඒ සින්දු කාගෙද. ඔය අයගේ තාත්තලාගේ ද නැත්නම් මගේ තාත්තාගේද’ කියන එක විතරයි. ඒත් වැඩක් වෙන්නේ නැහැ. අපේ රසික ජනතාව මේවා දන්නේ නැහැ. ඔවුන් හිතන්නේ - ‘ඉෂාක් බෙග් ඇවිල්ලත් සින්දු කිව්වේ නැහැ. අරගොල්ලෝ නම් ඒ සින්දු කිව්වා. ඉෂාක්ට දැන් ඒ සින්දු කියන්න බැරුව ඇති. නැත්නම් වචන දන්නේ නැතුව වෙන්න ඇති’ වැනි විවිධ දේවල්. ඇත්තටම ජනතාව දන්නවා නම් මෙහෙම අසාධාරණයක් සිද්ධ වෙන බව. ඔවුන් වරදවා හිතන්නේ නැහැනේ. ඒකයි, මම මේ ඇත්ත එළිදරව් කරන්නේ.”
* ඔබ හැමදාමත් ප්‍රසංග වේදිකාවේ ගයන්නේ එකම ගීත වීම නිසා රසික ජනතාවට ඔබගෙනුත් අසාධාරණයක් වෙනවා නේද...?
“බලන්න, දැන් ඔය ‍චෝදනාවෙන්ම තේරෙනවානේ අපිට මොනතරම් අසාධාරණ වෙනවාද කියන එක. ඕකේ ඇත්ත තත්වය මේකයි. අවුරුදු ගණනාවක් තිස්සේ හුඟාක් වෙලාවට වාදක මණ්ඩල මට play කරන්නේ එකම ගීත set එකක්. මගේ තාත්තාගේ දහස් ගණනක් සින්දු තිබුණාට එකක් දෙකක් වත් වෙනස් කරලා play කරලා දෙන්නේ නැහැ. ‘අලුතින් සින්දු අල්ලන්න (පුහුණු වෙන්න) වෙලාව නැහැ’ කියන එක තමයි වාදක මණ්ඩල වල අය නම් කියන්නේ.
මගේ තාත්තා හිටියා නම් මේ කාලේ එතුමාටත් මේ ඉන්න ළමයි එක්ක මේවාට මුහුණ දෙන්න වෙයි. නැත්නම් මේවා මෙහෙම කියන්න ගිහිල්ලා එතුමාවත් කපලා දායි. ඉතින් ඔන්න ඔහොම තත්වයකයි අපි අද ජීවත් වෙන්නේ. බෙග් මාස්ටර්ගේ ඕනෑම ගීතයක් ගයන්න මේ ඉෂාක් පුතා එතුමා වෙනුවෙන් ඕනෑම වෙලාවක සූදානම්. ඒත් ඉතින් කවුද අපිට එහෙම ඕනෑ ගීත ගයන්න පුළුවන් විදිහට play කරන්නේ? අද රසික ජනතාව බුද්ධිමත් ලෙස මේ සැබෑ තත්වය තේරුම් ගනීවි කියා මං හිතනවා. මම කවදාවත්ම අපේ රසිකයින්ට අසාධාරණයක් කරන්නේ නැහැ. පවතින තත්වය යටතේ මට සිදු වී තියෙනවා එකම ගීත ටිකක් හැමදාම ගායනා කරන්න. ඒකට මං මොනවා කරන්නද? මෙය ගායන ශිල්පියෙකු වශයෙන් ප්‍රසංග වේදිකාවේ දී මා මුහුණ දෙන අසාධාරණයක් ‍ෙවනවා වගේම බෙග් මාස්ටර් ‍ගීත රසික රසිකාවන්ට එතුමාගේ අනිකුත් ගීත රසවිඳින්න නොලැබීම යාම නිසාත් වෙන්නේ අසාධාරණයක්.”
* සංගීත ප්‍රසංග සඳහා සහභාගි වෙන බව පවසා ප්‍රසංග සංවිධායකයින්ව සහ ගීත රසිකයින්ව රවටන බවට චෝදනාවකුත් ඔබට එරෙහිව තිබෙන බව දන්නවා ද...?
“මට සිද්ධ වෙන ලොකුම අසාධාරණයක් තමයි ඔය. කවදාවත් මම බාරගත්ත ප්‍රසංගයකට නෑවිත් ඉඳලා නැහැ. මගේ තාත්තා මුල්වෙලා අපි හදා ගත්ත අපේ රැකියාව මේ. මම මේක උරුමයක් කියලා ගත්ත දෙයක්. මෙය ජනතාවට කරන සේවයක්. මම සින්දුවක් කිව්වාම එක් අයෙකු හරි සන්තෝෂ වෙනවා කියන එක ලොකු භාග්‍යක් කියලා මං සලකනවා. සංගීතයෙන් සුව කරන්න බැරි ලෙඩ පවා සුව වෙනවා. මගේ තාත්තා‍ගේ සින්දු වලින් මම එය විශේෂයෙන් අත්දැකලා තියෙනවා.
රසිකයෝ ඇවිල්ලා මට කියලා තියෙනවා - ‘ඉෂාක් මහත්මයා සින්දු කියලා සල්ලි අරන් ගිහිල්ලා කාලා බීලා ඉන්න එකට වඩා වැඩි ගුණයක් හා ටිනාකමක් අපි ඔය සින්දු අහලා ලබනවා. මානසිකව අපි වැටිලා ඉඳිද්දී තාත්තාගේ සින්දුවක් ඔයා කියන කොට අපිට ලොකු සහනයක් සුවයක් දැනෙනවා’ කියලා. එහෙම අපිට ආදරය කරන රසික ජනතාව රැවටීමක් නම් මං කවදාවත් කරලා නැහැ. මෙතැනදී සමහර සංගීත ප්‍රසංග සංවිධායකවරු කරන ප්‍රෝඩා හින්දායි නිකරුණේ මට ඔය චෝදනාව එල්ල වී තියෙන්නේ. මෙහෙම වුණාම හරියට එපා වෙනවා. මේ අසාධාරණය හින්දාම ‘මොකටද මං මේ සින්දු කියන‍්නේ’ කියා හිතුණු වාර ගණන අනන්තයි.”
* ඔබට අසාධාරණයක් සිදුවන ආකාරයෙන් සංගීත ප්‍රසංග සංවිධායකයින් විසින් කරනු ලබන ප්‍රෝඩා මොනවාද...?
“ඒ ප්‍රෝඩා මොනවාද කියා තේරුම් ගන්න මං මට සිදුවන අසාධාරණ ගැන කියන්නම්. හැමෝම නෙමේ, සමහර සංගීත ප්‍රසංග සංවිධායකවරුන් තමයි ඔය එක එක විදිහේ ප්‍රෝඩා කරලා රසික ජනතාව රවටලා - ‘එනවා කියලා ඉෂාක් ආවේ නැහැ. ඉෂාක් ආවේ පරක්කු වෙලා. ඉෂාක් සින්දු කියන්න බැහැ කියලා ගියා’ වගේ දේවල් කියා ඒ අයගේ වැරදි මගේ පිටින් යවලා අසාධාරණකම් කරන්නේ. අපි එන බව ප්‍රචාරය කළාට සමහර ප්‍රසංග වලට අපට ආරාධනා කරලවත් නැහැ. මට ප්‍රසංග කිහිපයක ගීත ගයන්න තියෙන දවසට තමයි ප්‍රසංගය පැවැත්වෙන අතරතුර මං එන්නේ. එහෙම නැතිදාට මං ප්‍රසංගය ආරම්භ කරන්නත් ප්‍රථමයෙන් ඇවිල්ලා ඉන්නවා. ඒ කොහොම ආවත් මට අසාධාරණකම් කරනවා.
ප්‍රසංගය පැවැත්වෙන අතරතුර ආවාම බොහෝ වෙලාවට සමහර සංවිධායකයෝ ප්‍රසංග නිම කරනවා. ‘මම ඇවිල්ලනේ ඉන්නේ. ඇයි මට ගීත ගයන්න නොදී show එක නවත්තන්නේ? කියා ඇහැව්වාම - ‘පොලීසියෙන් නවත්තන්න කියනවා’ වගේ මොනවා හරි දෙයක් කියනවා. එදාට ඉතින් වෙන පාඩුවත් මමම දරාගන්න වෙනවා. ප්‍රසංගය ආරම්භ කිරීමට ප්‍රථම ආවාම, සමහර විට මුලින්ම ඉදිරිපත් කරන්න සංවිධායකයින් පොරොන්දු වී ආවමත් පස්වැනියාට හෝ හයවැනියාට හෝ තමයි මට අවස්ථාව දෙන්නේ. ප්‍රසංග වේදිකා ළඟ අපිව පැය ගණන් තියාගෙන රස්තියාදු කරනවා. බොහෝ විට අපි රස්තියාදු වෙවී ඉන්නා බව පෙනි පෙනී වාදක කණ්ඩායම් පැය 2 ක් හෝ 3 ක් හෝ ඔවුන්ගේ ගීතත් අනුන්ගේ ගීතත් ගායනා කරමින් කරන ලොකු අසාධාරණයකටත් මම වගේම අනිකුත් ගායක ගායිකාවනුත් මුහුණ දෙනවා. ඉතින් අපි එදාට බාරගත්ත අනිකුත් ප්‍රසංග වලට යන්නේ කොහොමද?
* එලෙසින් “බුද්ධං සරණං ගච්ඡාමී” ගීතයට අගෞරවයක් වේ යැයි ඔබ සිතන්නේ කෙසේ ද...?
“මට කලින් බයිලා ගීත ගායනා කරලා මිනිස්සු නටවලා නන්නත්තාර කරවලා තියෙද්දී මම කොහොමද ඒ වගේ තැනක ‘බුද්ධං සරණං ගච්ඡාමී’ ගීතය ගයන්නේ. මං දන්නවා මේ ගීතයෙන් මගේ තාත්තා මේ රටේ පුරවැසිභාවය ලැබුවා. බෙග් මාස්ටර් මේ රටේ සම්මානනීය පුරවැසියෙක් වුණේ මේ ගීතය ගායනා කරලා. එතුමා හැමතිස්සේම ඒ ගැන ආඩම්බරයෙන් සිහිපත් කළා ජීවත්ව සිටිද්දී. ඒ වගේම මේ රටේ බෞද්ධ ජනතාවගේ විශිෂ්ටතම ගීතය මේ ගීතයයි. එහෙම සුවිශේෂ ගීතයක් ගායනා කරන්න ඕනේ ප්‍රසංගයක් ආරම්භ කරද්දී නේද? එවිටයි මේ ගීතයට ගෞරවයක් ලැබෙන්නේ. එහෙම නැතුව බයිලා අහලා නටලා නන්නත්තාර වෙලා ඉන්න මිනිස්සුන්ට ගෞරවයක්, අගයක් දැනෙනවද මං ‘බුද්ධං සරණං ගච්ඡාමී’ ගීතය ගැයුවා කියලා. සමහරු මේ ගීතය නැති වී යයි කියලා හිතාගෙන කටයුතු කරනවා. ඒත් තව අවුරුදු 1000 ක් මේ ලෝකය පවතිනවා නම් එතෙක් මේ ගීතයත් නැති වෙන්නේ නැහැ. නැති කරන්නත් බැහැ. ඒක ස්ථිරයි.”
* බුද්ධ සරණං ගච්ඡාමී” ගීතය විනාශ කර දමන්න කාට හෝ අවශ්‍ය වී ඇතැයි කියා ඔබ අනුමාන කරනවා ද..?
“සමහර විද්‍යුත් මාධ්‍ය වල කවදාවත් මේ ගීතය ප්‍රචාරය කරන්නේ නැහැ. ගීත දර්ශක වල මේ ගීතය නැහැ. එහෙම වේනනේ කොහොමද. ඒ අයට සහ මේ ගීතය නිකම්ම ගීතයක් විදිහට අරගෙන ගායනා කරන අයට උවමනා වී තියෙනවා මේ ගීතය නැති වී යනවා දකින්න. කාලය වෙනස් වුණා කියලා ගීතය වෙනස් වෙන්න බැහැ.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය