Powered by Blogger.

කලා ලොවේ විවිධ ඉසව්වන් සොයා යන පුදුම හතෙන් කලාවට හිතැති වූ චරිත කතා කරන්නේ තම සිතගත් දේ පිළිබඳවයි. අද එහි තවත් එක් පිටුවක් දිග හැරෙන්නට නියමිතයි.
පුදුම හත සමඟින් අද ඔබ හමුවට පැමිණෙන්නේ ප්‍රවීණ සංගීතඥ ආචාර්ය රෝහණ වීරසිංහ. ඔහු අද ඔබට කියන්නේ කලා ලොවේ තම සිත් ගත් සුවිශේෂ කලාකරුවන් හත් දෙනෙකු පිළිබඳවයි.

ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව
පණ්ඩිත් අමරදේවයන් අපේ රටේ පිනට පහළ වූ පඬිරුවනක් ලෙස මා දකිනවා. එතුමා සංගීත ඥානය, සාහිත්‍ය ඥානය වගේම භාෂා ඥානය ආදී සියලුම දේ සමඟින් අන් අය අබිබවා සිටින චරිතයක්.
ගායනයෙහි ගැඹුර වටහා ගනිමින් ගායනය යනු කුමක් දැයි වටහා දෙමින් එහි දක්ෂතා පෙන් වූ වෙනත් කිසිවෙක් ගායන ක්ෂේත්‍රයේ මා දකින්නේ නැහැ.
එතුමා සතුව තිබෙන කටහඬ හැසිරවීමේ හැකියාව විවිධ ශෛලීන් ඔස්සේ විවිධාකාර සංගීත නිර්මාණ සඳහා අනුගත වීමේ හැකියාව මා ඉහළින් අගය කර සිටිනවා. ලාංකේය ගායන ක්ෂේත්‍රයේ සුපිරිතම ගායන තරුව පණ්ඩිත් අමරදේවයන් බවයි මගේ විශ්වාසය.
ඒ වගේම එතුමා සතු වූ නිහතමානිකම සහ ආශිර්වාදාත්මක බවත් විශේෂයි. ඉදිරි පරපුරට ආදර්ශයක් වෙමින් ඔවුන්ගේ හැකියාවන් ඇගැයීමත් බොහෝ කලාකරුවන් තුළ නොවූ එතුමා සතු වූ උතුම් ගුණාංගයක්.
පණ්ඩිත් අමරදේවයන්ගේ ගීත අතුරින් ‘නුඹේ නමින් සෑය බඳිමි’, ‘මේ මහ කන්ද’, ‘රත්නදීප’, ‘සරස්වතී අභිනන්දන’ ගීත මගේ හිත ගත් සුවිශේෂ ගීත අතරට එක් වෙනවා.
ආචාර්ය වික්ටර් රත්නායක
කලා ලොවේ මා සිත්ගත් චරිත අතරට එක්වෙන තවත් චරිතයක් වෙන්නේ ආචාර්ය වික්ටර් රත්නායකයන්ය.
එයට වඩාත්ම රුකුලක් වූයේ ඔහුගේ විශේෂිත තනු නිර්මාණ කෞෂල්‍යයයි. හැත්තෑව දශකයේ ඇසෙමින් තිබූ ගීත රටාව සම්පූර්ණයෙන්ම වෙනස් කළ සංගීතඥයා ලෙසින් මා ඔහුව දකිනවා.
ඒ වගේම ඔහුගේ ඒක පුද්ගල ප්‍රසංගයත් සමාජයේ සියලුම පංති මට්ටම්වල අසන්නන් රස විඳී ප්‍රසංගයක්.
ඒ වගේමයි සිනමා සංගීතය ගතහොත් ‘සිරිබෝ අයියා’, ‘හුලවාලි’ වැනි චිත්‍රපට මා සිත තුල අමරණීය ලෙසින් සටහන්ව තිබෙනවා. එම නිර්මාණ සදාකාලිකව මෙනෙහි කරමින් රස විඳින්න හැකි නිර්මාණ ලෙසත් මා දකිනවා.
ගායනය වගේම තනු රචනයෙන් ද වික්ටර් රත්නායකයන් ලාංකේය ගීත ක්ෂේත්‍රයට ඉමහත් සුවිශේෂ වන චරිතයක්.
මගේ සංගීත දිවියේත් තනු රචකයෙක් ලෙසින් මාගේ පූර්වාදර්ශීය තනු රචකයා වුණෙත් ආචාර්ය වික්ටර් රත්නයකයන්.
ආචාර්ය ඩී. බී. නිහාල්සිංහ
ඩී. බී. නිහාල්සිංහයන් මම දකින විශිෂ්ටතම සිනමාකරුවෙක්. හොඳ තාක්ෂණවේදියෙක්. නිරන්තරයෙන් යාවත්කාලීනව හිතන සුවිශේෂ චරිතයක් ලෙසින් මා ඔහුව දකිනවා.
ඒ වගේම අපේ ටෙලි නාට්‍ය කලාවේ ආරම්භක පුරෝගාමියා වෙන්නේත් ඔහුයි.
චිත්‍රපට ක්ෂේත්‍රයට නිර්මාණ රාශියක් දායාද නොකළත් ඔහුගේ ’වැලිකතර’ වැනි නිර්මාණ සදාතනික ලෙසින් සිනමා ක්ෂේත්‍රයේ රැඳී පවතිනවා.
ඒ කාලයේ සිනමා කැමරාකරණය පවා හිතා ගන්නවත් නොහැකි අන්දමෙන් නව තාක්ෂණික ක්‍රම හඳුන්වා දෙමින් කළ නිර්මාණ ක්ෂේත්‍රයේ අගය තව තවත් ඉහළ නැංවූවා කිව්වොත් නිවැරැදියි.
ආචාර්ය ඩී. බී. නිහාල්සිංහ චිත්‍රපට සංස්ථාව පිහිටුවමින් බටහිර බලවේග සමඟ ගැටෙමින් සිනමාවේ දියුණුවට අවංකව සැබෑ මෙහෙවරක් කළ ඒ වෙනුවෙන් කැප වූ සුවිශේෂ චරිතයක්.
ඒ වගේම රංගන ක්ෂේත්‍රයේ ප්‍රතිභාවන් සොයා ගෙන ගොස් ක්ෂේත්‍රයට දායක කර ගැනීමේ හැකියාව අතිනුත් නිහාල්සිංහයන් ඉතාම පොහොසත්.
මේ හේතූන් ඔහු මගේ හිත ගන්නට හේතු වුණා.
මහාචාර්ය සුනිල් ආරියරත්න
අද අපේ රටේ සිටින විශිෂ්ටතම සාහිත්‍යධරයෙක් ලෙසින් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් හඳුන්වන්න පුළුවන්.
ඒ වගේම ඔහු සමාජය ගැන පුළුල් අවබෝධයක් තිබෙන අපේ රටේ සිටින විශිෂ්ට ගීත රචකයෙක්. ඔහුගේ ගීත රචනා ගැන නම් විවාදයක් නැහැ. ඔහු සතු වූ සාහිත්‍ය, භාෂා ඥානය අපේ හිත් තුළ ඇති කරන්නේ ගෞරවයක්.
සාහිත්‍ය හදාරන්නන් හට ඔහු පොත පතින් කළ සේවය අප්‍රමාණයි. හැත්තෑව, අසූව දශක වලදී සිනමා ක්ෂේත්‍රය වෙනුවෙන් කළ නිර්මාණත් ඒ වගේම සුවිශේෂ වෙනවා.
සිරුරෙන් කුඩා පුද්ගලයෙකු වුණත් නායකත්වය පිළිබඳ මනා පෞරුෂයකින් හෙබි දැවැන්ත චරිතයක් ලෙස මා සුනිල් ආරියරත්නයක් දකිනවා. ඒ වගේම ඔහු දැඩි ආත්ම ශක්තියකින් මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයට අගනා මෙහෙවරක් කරන්නා වූ සොඳුරු කලාකරුවෙක්.
විශාරද නන්දා මාලිනී
හැටේ දශකයේ මැද භාගය දක්වා සිංහල ගායන ක්ෂේත්‍රයේ තිබූ ශෛලිය සම්පූර්ණයෙන් උඩු යටිකුරු කර අලුත්ම ශෛලියක් හඳුන්වා දීම නන්දා මාලිනිය තුළින් මා දකින විශේෂත්වයයි.
ඒ වගේම ළමා පිටියෙන් ළමා ගී නිර්මාණය කරමින් ළමා පරපුරට ඇය කරන ලද මෙහෙවරත් මා ඉහළින්ම අගය කරනවා. ඉන්දීය ගායන ශෛලිය අනුකරණයෙන් වැළකී තමාටම ආවේණික ගායන ශෛලියකින් මුලින්ම ගීත ඉදිරිපත් කළේ ද ඇයයි.
පැහැදිලි භාෂා උච්චාරණය, නිර්මාණ අසන්නාට ග්‍රහණය වන අයුරින් ගායනා කිරීමත් එහි වූ සුවිශේෂ වටිනාකමයි. ඒ වගේම සමාජයේ විවිධ අසාධාරණකම්වලට එරෙහිව තම ගීතවත් කටහඬ පාවිච්චි කළ කලාකාරිණියක් ලෙසින් මා නන්දා මාලිනිය දකිනවා.
කලාකරුවා සමාජයට යම් මෙහෙවරක් ඉටු කළ යුතුයි යන මතයේ සිටිමින් එය ප්‍රායෝගිකව ඉදිරියට ගෙන ගිය ගායන ශිල්පිනියක් ලෙසට ඇය සිය සමාජ මෙහෙවරෙහි නිරතව සිටිනවා. එමෙන්ම ඇය අපේ අලුත් පරම්පරාවට පූර්වාදර්ශයක්.
ආචාර්ය සෝමරත්න දිසානායක
කලා ක්ෂේත්‍රයේ මා දකිනා තවත් සුවිශේෂ චරිතයක් වන්නේ අචාර්ය සෝමරත්න දිසානායක. ඔහු තුළින් මා දකින විශේෂත්වය වන්නේ ඔහුගේ සෑම නිර්මාණයක්ම ළමා පරපුර ඉලක්ක කරගෙන සිදු කිරීමයි.
විවිධ දේ හේතුවෙන් වර්තමාන සමාජයේ ආචාර ධර්ම, සංස්කෘතිය වැනි දේ පිරිහීමට ලක්වන අයුරු අපට දකින්නට ලැබෙනවා.
එය ඉදිරියේදී හෝ යහමගට ගත හැකි වෙන්නේ අපේ ළමා පරපුර මඟින්.
සෝමරත්න දිසානායක එය වටහා ගනිමින් තම නිර්මාණකරණය යොදා ගන්නේ මේ කාර්යභාරය වෙනුවෙන්.
ඔහු නිර්මාණය කළ සරෝජා, පුංචි සුරංගනාවි, සමනල තටු, සිරි රජ සිරි, සිරි පැරකුම්, සූරිය අරණ වැනි සෑම චිත්‍රපටයක්ම ගෙන ආවේ ආදර්ශයක්. මේ චිත්‍රපට තුළින් ළමුන්ට ගත හැකි උපදෙස් බොහෝමයි.
එවිට මේ ළමුන් සමාජගත වීමේදී සිදුවන යහපත අති විශාලයි. මේ අයුරින් සිනමා නිර්මාණකරණය හරහා සෝමරත්න දිසානායක කරන්නා වූ මෙහෙවර මා අගය කර සිටිනවා.
ආචාර්ය ජයලත් මනෝරත්න
දේශීය නාට්‍ය ක්ෂේත්‍රයේ ජයලත් මනෝරත්නගේ භූමිකාව මා අගය කරන්නේ ඔහුගේ නිර්මාණයන් සියල්ලක්ම ස්වතන්ත්‍ර නිර්මාණයන් වීම පාදක කරගනිමිනුයි. ඔහු සෑම විටම මෙරට ඓතිහාසික, සමාජ, ආර්ථික පසුබිම වැනි දේ කේන්ද්‍ර කර ගනිමින් කළ ඒ නිර්මාණ මම ඉහළින්ම අගය කරන්න කැමැතියි.
ගුªරු තරුව, ලෝකය තනි යායක්, තලමල පිපිලා, අන්දරේලා වැනි නාට්‍ය නරඹන විටදී අපි ගැන අපේ දේ ගැන කතා කරන බව දැනෙනවා.
ඒ වගේම සාහිත්‍ය ඥානය, තිර රචනා වගේම භාෂාව හැසිරවීමේ දක්ෂතාවයක් ඔහු තුළ අපූරුවට පිහිටීම මා දකිනා විශේෂත්වයක්.
එලෙසම රංගන කෞෂල්‍ය අතිනුත් මනෝ සිටින්නේ ඉහළ තැනක.
විවිධ චරිත සමඟින් චරිතාංග රංගන ශිල්පියෙක් ලෙසටත් ඉහළින්ම කැපී පෙනෙන්න ඔහු වාසනාවන්තයි.
ඇත්තෙන්ම ඔහු රඟපාන බව මා කිසි දිනෙක දැක නොමැති දෙයක්. ඒ තරමටම ඔහුගේ රංගනය තුළ සජීවි බවක් මා දකිනවා.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය