Powered by Blogger.

“සෙංකඩගල රාජසිංහ” සිනමාපටය නිර්මාණය වන්නේ කෙබඳු කතා තේමාවක් පාදක කොටගෙනද?
මෙරට අවසන් රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ චරිතාපදානයයි මෙම සිනමා පටයට තේමා වන්නේ. ක්‍රි.ව. 1797 දී රජකමට පත් වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු, 1815 වසර වනතෙක් රජකම් කළ ඔහු  ගැන මෙන්ම එකල සිදු වූ  අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ගැන මෙන්ම, පිළිමතලාවේ මහාධිකාරම්, මද්දුම බණ්ඩාර, කැප්පෙටි‍පොළ නිළමේ, වාරිය‍පොළ සුමංගල හිමි ආදී බොහෝ චරිත ගැනත් මෙම චිත්‍රපටයෙන් කතාබහ කෙරෙනවා.
 එම කතා තේමාව වර්තමානයට වැදගත්වන්නේ කුමන ආකාරයටද?
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු වඩුග රජෙක්. ඔහුගේ  පාලන සමයේ දී අධිරාජ්‍යවාදී මෙරට රදළ පාලකයන්ගේ දුර්වලකම් තේරුම්ගෙන රට තුළ අස්ථාවරත්වයක් ඇති කළා. එදා වගේම වර්තමානයේත් විදේශ පාලකයන්ගේ විවිධ බලපෑම් අපේ රටට එල්ල වෙනවා. අද පමණක් නොවෙයි, මීට වසර 200 කට පෙරත් ශ්‍රී ලංකාවට විදේශ බලපෑම් එල්ල වූ බවට ජාත්‍යන්තරයට කියාපෑමට මෙය හොඳ අවස්ථාවක් කරගත හැකියි. එබැවින් මේ චිත්‍රපටය ශ්‍රී ලංකාවේ පමණක් නොව අන්තර්ජාතිකවත් ප්‍රදර්ශනය කිරීමටයි මා සූදානමින් සිටින්නේ.
මෙකී ඉතිහාස කතා පුවත සිනමාවට නැගීම සඳහා ඔබ මූලාශ්‍ර සපයාගත්තේ කෙසේද?
මුළුමනින්ම සත්‍ය මූලාශ්‍ර ඇසුරෙනුයි මෙම චිත්‍රපටය නිර්මාණ කෙරෙන්නේ. ඒ ඇතැම් මූලාශ්‍ර ලබාගෙන තිබෙන්නේ ‍පොතපතින්. තිස්ස අබේසේකරයන් විසිනුයි මෙහි පිටපත රචනාකොට තිබෙන්නේ. එය ඔහු 1979 වසරේදී  ලියන ලද්දක්, කෙසේ වෙතත් ඒ කාලය වන විට මෙකී ඉතිහාසය පිළිබඳ නොදැන සිටි ඇතැම් කාරණා පිළිබඳවත් දැනුවත් බවක් අද අප තුළ තිබෙනවා.
ඔබේ නවතම චිත්‍රපටය සඳහා ඉතිහාස කතා පුවතක්ම තෝරා ගැනීමට ඔබ පෙළැඹුණේ ඇයි?
මා ඉතිහාසයත් සමග නිතර ගනුදෙනු කරන නිර්මාණකරුවෙක්. මෑත කාලයේ දී මා විසින් නිර්මාණය කළ “උතුවන්කන්දේ සරදියෙල්”, “කරුවල ගෙදර”, “කටු ඉඹුල”, “ස්වයංජාත” සහ “ගිරි කුළ” යන ටෙලි නාට්‍ය පවා ඉතිහාසය හා සම්බන්ධ කතා පුවත් රැගත් නිර්මාණයි. ඒ වගේම නවකතාවක් ඇසුරෙන් නිර්මාණය කළ මගේ ප්‍රථම චිත්‍රපටය වූ “සුදු කළුවර” චිත්‍රපටයෙනුත් නිරූපණය කෙරුණේ අධිරාජ්‍යවාදීන්ගේ ග්‍රහණයට හසුව අප අපේම ඉඩකඩම්වල සිරකරුවන් වන ආකාරයයි. එම නිර්මාණ හරහා ලත් අත්දැකීම් නිසා මා විශ්වාස කරනවා ඉතිහාසය හා සම්බන්ධ කතා පුවත් රැගත් නිර්මාණ බිහි කිරීම සඳහා ප්‍රාමාණික දැනුමක්  මා තුළ ඇති බවට.
සිංහල සිනමාවට ඉතිහාස කතා රැල්ලක් වී ඇති බවට චෝදනාවක් වර්තමානයේ නිරන්තරයෙන් නැගෙනවා. ඔබේ මෙම ජනමාධ්‍යයෙනුත් සිදුවන්නේ එකී ඉතිහාස කතා රැල්ල ‍පෝෂණය කිරීමක් නේද?
මෙරට ඉතිහාසය පිළිබඳ අප දැනගත යුතුයි. මන්ද , එම ඉතිහාසය සම්පූර්ණයෙන් වළදැමීමට හැකියාවක් නැහැ. නමුත් ඉතිහාසය ඇසුරෙන් නිර්මාණ බිහි කිරීමේ දී ඉතිහාසය විකෘති කිරීමේ අයිතියක් නිර්මාණකරුවාට නැහැ.  පසුගිය කාලයේ දී ඉතිහාස පුවත් ඇසුරෙන් බොහෝ සිනමා නිර්මාණ බිහි වුණා. ඒ ඇතැම් නිර්මාණවලදී ඉතිහාසය ඉතා භයානක ලෙස විකෘති  කර තිබූ බවක් පෙනෙන්නට තිබුණා. ඒ වගේම ඒ සිනමාපටවලදී බොහෝ කාරණා මතුපිටින් පමණක් කතාබහට ලක්කොට තිබූ බවකුත් පෙනෙන්නට තිබුණා. එය හරියට තොරණක එක් එක් රූපරාමු ඒ අයුරින්ම විස්තර කරනවා හා සමානවයි මට දැනෙන්නේ. එකී ඉතිහාසය කතා රැල්ල ‍පෝෂණය කිරීමත් මෙම චිත්‍රපටයෙන් සිදුවන්නේ නැහැ. මන්ද “සෙංකඩගල රාජසිංහ” චිත්‍රපටයෙන් මා ප්‍රේක්ෂකයෝ දන්නා කතාන්දරයෙන් ඔබ්බට ගිය සැඟවුණු යටිපෙළකුත් විදහා දැක්වීමට මා උත්සාහ කරනවා. ඇත්තටම අප ඉතිහාස කතා නිර්මාණයේ දී  එම කතා පුවත්  නිවැරදිව සහ නිරවුල් ලෙස සමාජයේ
යහපැවැත්මට දායක වන පරිදි නිර්මාණශීලී ලෙස එළිදැක්වීමකි කළ යුත්තේ , ටෙලි නාට්‍ය නිර්මාණ කරණයේ දී  වුවත් මා පවත්නා රැල්ලට නොව පරීක්ෂණවල යෙදී නිවැරදි පසුතල නිර්මාණ සහිතව නිර්මාණයට සාධාරණයක් වන ආකාරයටයි නිර්මාණ කටයුතුවල යෙදුණේ.
 මීට වසර 200 කට පමණ පෙර ඉතිහාසයක් නැවත ප්‍රතිනිර්මාණය කිරීමේ අභියෝගයට ඔබ මුහුණ දෙන්නේ කෙසේද?
මෙම චිත්‍රපටය රූගත කිරීමේ දී පසුතල සැකසීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. උදාහරණයක් ලෙස සඳහන් කළොත් 1797 වසරේදී පැවති දළදා මාලිගාව සහ රජමාලිගාව මේ වන විට වෙනස් වී තිබෙනවා. එබැවින් නිර්මාණයට සාධාරණයක් වන පරිදි එම පසුතල නැවත ගොඩනැගීමට සිදුවෙනවා. ලබන ජූලි මස වන විට එම පසුතල සැකසීම් කටයුතු  අවසන් කිරීමට බලා‍පොරොත්තු වෙනවා. ඒ වගේම එකල භාවිතා කෙරුණු ඇඳුම්
පැළඳුම් ආභරණ ආදිය නිර්මාණය කිරීමේදීත් ඒ පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ඇති  ශිල්පීන්ගේ සහ සංඝරත්නය මහාචාර්යවරු හා ආචාර්යවරු ආදී විද්වතුන්ගේ සහයෝගයක් ලබා ගන්නවා.
 “සෙංකඩගල රාජසිංහ” සිනමාපටයට දායක වන ප්‍රධාන නළු නිළියන් කවුරුන්ද?
ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ චරිතය සඳහා බිමල් ජයකොඩිත්, පිළිමතලාවේ මහාධිකාරම්ගේ චරිතය සඳහා සනත් ගුණතිලකත්  මේ වන විට තෝරාගෙන තිබෙනවා. අනෙකුත් චරිත  නිරූපණය කරන්නේ කවුරුන්ද යන්න ගැන තවමත් අවසන් තීරණයකට පැමිණ නැහැ.
ද මෙම සිනමාපටය ප්‍රේක්ෂකයන්ට දැක ගැනීමට ලැබෙන්නේ කුමන කාලයේ දීද?
1815 වසරේ මාර්තු මාසයේදීයි උඩරට ගිවිසුමට අත්සන් තැබුණේ. ඒ අනුව 2015 වසරේ මාර්තු  මස වන විට එම ගිවිසුමට වසර 200 ක් සම්පූර්ණ වෙනවා. එබැවින් “සෙංකඩගල රාජසිංහ සිනමාපටය 2015 වසරේ මාර්තු  මාසයේ දී එළිදැක්වීමටයි සැලසුම් කර තිබෙන්නේ.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය