Powered by Blogger.



අතීතයේ සිටම භික්‌ෂූන් වහන්සේලා සමාජයේ යහපත උදෙසා ගරු සේවාවක යෙදුනහ. ලෝකෝත්තර වශයෙන් පමණක්‌ නොව ලෞකික ජීවිතයේ අවශ්‍යතා සඳහා භික්‌ෂුවගෙන් උපදෙස්‌ ගැනීම බෞද්ධ සමාජයේ අපේක්‍ෂාව වුණි. ජනතාවගේ නායකත්වය හා විශ්වාසය රැඳී තිබුණේ භික්‌ෂූන් කෙරෙහිය. ඒ නිසා වෙදහෙදකම්, නැකැත් බැලීම්, අකුරු කියාදීම, පොතපත ලිවීම වැනි දේවලට යොමුවන්නට ද භික්‌ෂූන්ට සිදුවුණි. එය ශ්‍රී ලාංකික සංස්‌කෘතික හා බැඳුනකි. විශේෂයෙන් අපේ රටේ අධ්‍යාපනය පැවතුණේ පන්සල මුල් කරගෙනය. විදේශීය බලපෑම් හේතුවෙන් දේශීය අධ්‍යාපනය භික්‌ෂුන්ගෙන් ගිලිහුණි. ඒ නිසා පිරිවෙන් ආයතන බෞද්ධ විද්‍යාල හා දහම් පාසල් ඇතිකොට අධ්‍යාපන ක්‍ෂේත්‍රයෙහි අයිතිය තහවුරු කරගැනීමට භික්‌ෂූහු පියවර ගත්හ. විෙද්‍යාaදය හා විද්‍යාලංකාර පිරිවෙන් රජයේ පාලනයට යටත් සරසවි බවට පත්වීමෙන් පසු අධ්‍යාපන ක්‍ෂේත්‍රයෙහි වෘත්තීය පදනමෙන් සේවය කරන භික්‌ෂු පිරිසක්‌ බිහිවූහ. එසේම ප්‍රාචීන පණ්‌ඩිත උපාධි ලැබූ භික්‌ෂුන්ට පාසල් ගුරුවරුන් ලෙස සේවය කරන්නටත් අවස්‌ථාව උදාවුණි. භික්‌aෂුවට අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ පැවැති උරුමය හා බලපෑම යම් තරමකින් හෝ සුරැකුණි.

භික්‌ෂුන් අධ්‍යාපන හා ආගමික ක්‍ෂේත්‍රවල වැටුප් ලබන වෘත්තිකයන් වශයෙන් කටයුතු කිරීම ගැන දැන් සමාජ විරෝධයක්‌ නොමැත. එහෙත් බුද්ධ ශ්‍රාවක විශ්වවිද්‍යාලය ආරම්භ කළ දිනයේ එවකට අධ්‍යාපන අමාත්‍යවරයා භික්‌ෂුන් වැටුප් ලබාගෙන ගුරු සේවයේ යෙදීම හෙළා දුටුවේය. වැටුපක්‌ නොමැතිව ගුරු සේවයෙහි යෙදීම භික්‌ෂුවකට ප්‍රායෝගිකව කළ නොහැකි දෙයකි. සෙල්ලිපිවල සඳහන් වන පරිදි අනුරපුර යුගයේ ගුරු සේවයේ නිරත භික්‌ෂුන්ට වැටුප් ගෙවීම සඳහා බැංකු ක්‍රමයක්‌ පැවතුණි.

දැනට බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරීන් වශයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි ආගමික සේවයේ නිරත උපාධිධර භික්‌ෂු පිරිසක්‌ වෙති. එම සේවය ඇති කළේ සමස්‌ත ලංකා ශාසනාරක්‍ෂක මණ්‌ඩලයේ උපදෙස්‌ අනුව යි. ඇතැම් විට පෞද්ගලික හේතු නිසා මතු වූ ගැටලු තිබුණත්, සමස්‌තයක්‌ වශයෙන් බෞද්ධ සමායෝජක භික්‌ෂූන්ගෙන් ඉමහත් ශාසනික සේවාවක්‌ සිදු වෙයි. නමුත් බොහෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ භික්‌ෂුවට ගැළපෙන පරිසරයක්‌ නොමැත. ඇතැම් නිලධාරීන් ඉදිරියෙහි සාමාන්‍ය වෘත්තිකයකුගේ මට්‌ටමෙන් හැසිරෙන්නට සිදුව ඇත.

මෑතකදී උපාධිධාරී භික්‌ෂූන් පිරිසක්‌ සංවර්ධන කටයුතු සඳහා රජයේ ආයතනවලට බඳවා ගනු ලැබුණි. භිකෂූන් කාර්යාල සේවකයන් ලෙස බඳවාගැනීම ගැන දැඩි විරෝධය පළකළ මහානාහිමිවරු ඒ සියලු දෙනාම ගුරු සේවයෙහි පිහිටුවන්නැයි රජයට දැනුම් දුන්හ. පොදු වෘත්තීය සේවාවන් සඳහා භික්‌ෂූන් යොමුවීම සුදුසු ද යන්න අධිකරණයෙහි සාකච්ඡා වූ කරුණකි. ඇතැම් භික්‌ෂූන් තමන් බැඳී සිටින විනය නීති අභිභවමින් රටේ පවතින පොදු නීතියේ රැකවරණය මත කටයුතු කරන්නට යාම නිසා ඇතැම් විට අර්බුද මතුවෙයි. වරාපිටියේ රාහුල හිමි එදිරිව විභාග කොමසාරිස්‌ නඩුව එයට නිදසුනකි. උන්වහන්සේ 1989 වසරේ සිට දෙවන ශ්‍රේණියේ සමාජ සේවා නිලධාරියකු ලෙස රජයේ කාර්යාලයක සේවය කොට ඇත. උන්වහන්සේ සමාජ සේවා නිලධාරී තනතුරේ උසස්‌ වීමක්‌ සඳහා වූ විභාගයට ඉදිරිපත් කළ ඉල්ලුම් පත භික්‌ෂුවක්‌ වීම හේතුවෙන් විභාග කොමසාරිස්‌වරයා ප්‍රතික්‍ෂේප කළේය. උන්වහන්සේ ශ්‍රේෂ්ඨාධිකරණයෙහි පිහිට පැතූහ. නඩු විභාගයේ දී අවධානය යොමු වුණේ පැවිදි කෙනකුට එම විභාගයට ඉදිරිපත් වන්නට නොහැකි බවක්‌ ගැසට්‌ පත්‍රයේ සඳහන්ව තිබුණේ ද යන්න පිළිබඳවයි. එසේ සඳහන්ව නොතිබුණි. උන්වහන්සේ ඒ වන විටත් රාජ්‍ය සේවයේ යෙදෙන කෙනෙකි. පැවිද්දකු සාමාන්‍ය රාජ්‍ය වෘත්තියක යෙදීමේ නුසුදුසු බව විනිසුරුවරු සඳහන් කළහ. නමුත් ගැසට්‌ පත්‍රය අනුව සලකන විට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 12 (1) වගන්තියේ සඳහන් මූලික අයිතිවාසිකම් කඩ වී ඇති නිසා පැමිණිලිකාර හිමියන්ට වන්දි මුදලක්‌ ගෙවන ලෙසට නඩු තීන්දුව ලබාදුන්හ.

භික්‌ෂුවක්‌ නීතිඥ වෘත්තියෙහි යෙදීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය 1978 ජූලි 12 දින ලබාදුන් තීන්දුව භික්‌ෂූන් වහන්සේලාට ඉතා වැදගත් වූවකි. (2005, 3 ශ්‍රී ලංකා නීති වාර්තාව 365) නීතිමය හා ශාසනික වශයෙන් භික්‌ෂුවක සතු අයිතිවාසිකම් හා බැඳීම් එයින් නිර්වචනය වෙයි. නීතිවේදී උපාධිය සමත් හිමි නමක්‌ නීතිඥයකු වශයෙන් සේවය කිරීමේ අදහසින් 1978 පෙබරවාරි 23 දින ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර ඉල්ලුවේය. " යහපත් චරිතයක්‌ ඇති, මනා දැනුමක්‌ සහ හැකියාවක්‌ ඇති පුද්ගලයන් නීතිඥයන් වශයෙන් අධිකරණයට ඇතුළත් කරගැනීම සහ සේවයෙහි යෙදවීම සිදුකරනු ඇත." යනුවෙන් 1973 අංක 44 දරන අධිකරණ නීතියේ සඳහන් සුදුසුකම් තමන්ට තිබෙන බව උන්වහන්සේ සඳහන් කොට තිබුණි. භික්‌ෂුවක්‌ නීතිඥ සේවයෙහි යෙදීම භික්‌ෂු විනයට පටහැනි නොවන බව කියෑවෙන අමරපුර නිකායේ මහනාහිමිවරුන් දෙනමකගේ ප්‍රකාශන ද ඉදිරිපත් කොට තිබුණි. ඒ අතර, භික්‌ෂු විනය අනුව නීතිඥ සේවයෙහි යෙදීම පටහැනි නිසා එයට අවසර නොදෙන ලෙස බෞද්ධ සංවිධාන කීපයක්‌ අධිකරණයට කරුණු දැක්‌වීය. අප ආයාචනා කරන්නේ හා වැළපෙන්නේ සමස්‌ත බෞද්ධ ජනතාව වෙනුවෙනි. භිකෂුවක්‌ නීතිඥ සේවයෙහි යෙදීමෙන් බුදුසසුන පරිහානියට පත්වෙයි. බෞද්ධ අපගේ හදවත් කම්පනයට පත්කරයි. යනුවෙන් සමස්‌ත ලංකා බෞද්ධ සම්මේලනය හා තරුණ බෞද්ධ සංගමය උසාවියෙහි කියා සිටියේය.

රාජා වනසුන්දර විනිසුරු තුමා පිටු 35 කින් යුත් දීර්ඝ ප්‍රකාශනයකින් කරුණු ඉදිරිපත් කරමින් භික්‌ෂුවක්‌ නීතිඥ සේවයෙහි යෙදීම පිළිබඳ නීතිමය තත්ත්වය හා ශාසනික මතය පංච පුද්ගල විනිසුරු කමිටුවට පැහැදිලි කළේය.

1974 අධිකරණ පාලන නීතියේ අංක 15 (1) ඊ වගන්තියෙහි භික්‌ෂූන්ට නීතිඥ වෘත්තියට ඇතුළත් වීම සඳහා බාධාවක්‌ නොමැති බවට ඉල්ලුම් කරන පාර්ශ්වය කරුණු ඉදිරිපත් කරයි. නීතිඥ වෘත්තියට ඇතුළත් වීම සඳහා භික්‌ෂුවකට අවසර ලබාදීම බුද්ධාගම ආරක්‍ෂා කොට පෝෂණය කිරීම පිළිබඳ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ වගන්තියට පටහැනි ක්‍රියාවකි. ධර්ම විනය ඇතුළත් බුද්ධශාසනය සුරක්‍ෂිත කිරීම සඳහා රජය බැඳී සිටින බැවිණි. භික්‌ෂුවකගේ කටයුතු වන්නේ බණදහම් ඉගෙනීම, ධර්මදේශනා කිරීම, වත්පිළිවෙත්වල යෙදීම ආදියයි. වෘත්තීය නීතිඥයකු වීම නිසා භික්‌ෂුවක්‌ වශයෙන් පැවරී ඇති එම කටයුතුවලට බාධාවක්‌ සිදුවෙයි. පැවිදි උපසම්පදා ලබන්නේ ලෞකික ජීවිතයෙන් ඈත්වන බවට පොරොන්දු දෙමිනි. භික්‌ෂුවක්‌ පොදු වෘත්තීය සේවයක යෙදීම විනය විරෝධී ක්‍රියාවකි. මේ රටේ බහුතර ජනතාව බෞද්ධයෝ ය. නීතිඥයකු ලෙස ක්‍රියාකිරීමට අවසර ලබාදීම තුළින් භික්‌ෂුන් කෙරෙහි ඔවුන්ගේ ගෞරවය නැතිවෙයි. පන්සලේ දී සිවුරත්, උසාවියේ දී නීතිඥ ලෝගුවත් පොරවාගෙන භික්‌ෂුව හැසිරෙන විට සූත්‍ර විනයෙහි දැක්‌වෙන කරුණු කෙරෙහි ප්‍රශ්නකාරී තත්ත්වයක්‌ බෞද්ධයන් තුළ ඇතිවෙයි. එය බුද්ධ ශාසනයට හානියකි. අපේ අධිකරණය සමාජ සම්මත චාරිත්‍ර ධර්මයන්ට බාධා පමුණුවන්නේ නැත.

මෙහි ඉදිරිපත් කොට තිබෙන්නේ අමරපුර නිකායේ මහනාහිමිවරුන් දෙනමකගේ නිර්දේශයන්ය. ශ්‍රී ලංකාවේ පිළිගත් ප්‍රධාන නිකාය තුනක්‌ තිබේ. අනෙක්‌ නිකායවල බලධාරී මහනාහිමිවරුන්ගේ අදහස්‌ ලබා නොගෙන එක්‌ නිකායක මතයට අනුව සමස්‌ත භික්‌ෂුන් අපහසුතාවයට පත්වන පොදු තීරණ ලබාදීම අධිකරණයට කළ නොහැකි දෙයකි. අයෑදුම්කරු කියා සිටින්නේ නීතිඥයකු ලෙස ක්‍රියා කිරීම සඳහා මූලික අයිතිවාසිකම් යටතේ තමන්ට අවස්‌ථාව ලැබිය යුතු බවයි. අධිකරණය ඒ ගැන තීරණයක්‌ ගත යුත්තේ භික්‌ෂුන්ගේ නීතිමය රාමුව කෙරෙහි ද අවධානය යොමු කරමිනි. විනයට පටහැනි දේවල් සඳහා භික්‌ෂුන් යොමු කිරීමේ බලය අධිකරණයට පැවරීම නිවැරදි දැයි විමසිය යුතුය.

අගවිනිසුරු නෙවිල් සමරකෝන් මහතා ඒ ගැන අදහස්‌ දක්‌වමින් මෙසේ කීය. චීවරය දරාගෙන අධිකරණ අසුනේ වාඩිවන්නට අවසර නොමැත. විවිධ විලාසිතාවලින් සැරසෙන කාන්තා නීතිඥවරියන්ට බෙල් බොටම් හෝ කොට ගවුම්වලින් සැරසී උසාවියට පැමිණීමට අවසර දිය යුතු යෑයි ඔබ සිතනවාද? නීතිඥයකු ලෙස දිවුරුම් දීම හා උසාවියේ පෙනී සිටීම සඳහා නියමිත ඇඳුම 1975 ජනවාරි 23 දින ගැසට්‌ පත්‍රයේ සඳහන් කොට ඇත. එයින් තොරව පැමිණියොත් ඔහු නෙරපන්නට සිදුවෙයි. අධිකරණ සම්ප්‍රදාය අනුව නීතිඥයා විනිසුරුට ගෞරව දැක්‌විය යුතුයි. භික්‌ෂුවක්‌ එලෙස අප වෙත ගරුබුහුමන් දැක්‌වීම අප අපහසුතාවයට පත්කිරීමකි. නමුත් භික්‌ෂුවක්‌ හාස්‍යයට හෝ හෙලා දැකීමට හෝ අපට වුවමනාවක්‌ නැත. නීතියෙන් බැහැරව කටයුතු කිරීමටද අපට නොහැකිය. අධිකරණ නීති ක්‍රියාත්මක කිරීමේදී අපට තෘප්තිමත් බවක්‌ තිබිය යුතුය. ඉදිරිපත් වූ කරුණු අනුව අයෑදුම්කාර භික්‌ෂූන් වහන්සේ නීතිඥ සේවයට ඇතුළත් කළ නොහැකි ය.

ගිහියන්ට පමණක්‌ සුවිශේෂ වූ ද, සිවුරක්‌ දරාගෙන කළ නොහැකි වූ ද, විනයට පටහැනි කවර අන්දමේ පොදු සිවිල් රැකියාවක නිරත වීම භික්‌ෂුවකට නොගැළපෙන බව මෙම කරුණු සමාලෝචනය කරන විට පැහැදිලි වෙයි.

පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි
අස්‌ගිරි මහා විහාරීය කාරක සංඝ සභික,
අනුශාසක,
සමස්‌ත ලංකා ශාසනාරක්‍ෂක මණ්‌ඩලය

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය