Powered by Blogger.

පුරාවිද්‍යා  චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමි
- කොන්දක්  ඇති නායකයෙක් සිටින නිසා කිසිදු බලවේගයකට අපි බිය විය යුතු නැහැ

- අපේ දේශපාලනඥයන්ගේ්  කුළල් කා ගැනීම කොටි හිතවාදීන්ට හුළං ගැසීමක්

- සාමූහිකව ගමනක් යන්න ඇවිත් අතරමගදී හොල්මන් කිරීම් තර්ජන කිරීම් හොඳ නෑ


සාකච්ඡා කළේ - ධර්ම ශ්‍රී තිලකවර්ධන

ස්වාමීන් වහන්ස ලොව දරුණුම ත්‍රස්තවාදය
ලෙස හැඳින්වුණු කොටි සංවිධානය මෙරටින් තුරන් කර පස් වසරක් ගතවෙනවා.
මේ ලෝකයේ මතෛක් බිහිවූ ත්‍රස්තවාදී සංවිධානවලින් දරුණුම සංවිධානය තමයි වේළුපිල්‍ලේ ප්‍රභාකරන්ගේ එල්.ටී.ටී.ඊ. ගරිල්ලා සංවිධානය. එය ජාත්‍යන්තරය පවා පිළිගන්නවා. ඒ කුරිරු ත්‍රස්තවාදය අපේ රටට මොනතරම් හානියක් කළාද? බස් බෝම්බ, කෝච්චි බෝම්බ තබමින් අහිංසක මිනිසුන් ඝාතනය කළා. මහ බැංකුවට බෝම්බ තිබ්බා. ගම්වලට පැන අහිංසක දරුවන් ඇතුළු පවුල් පිටින්ම පෙති ගහලා දැම්මා. භික්ෂුන් වහන්සේලා පෙති ගහලා මැරුවා. මේ ආදී වශයෙන් මිනිසුන් මරා දැම්මාට අමතරව දේපළ කෝටි ගණනින් විනාශ කර දැම්මා.
රටේ රාජ්‍ය නායකයකු ඇතුළු ඉහළ පෙළේ දේශපාලන නායකයන් කීදෙනෙකු නම් මරා දැම්මාද? එපමණක් නොවෙයි ඉන්දියාවේ රාජ්‍ය නායකයා පවා මරා දැම්මා.
කොටි මෙහෙම විනාශයක් කරද්දී අපේ රාජ්‍ය නායකයන් විවිධ සාකච්ඡා කළානේ.ජාත්‍යන්තර මැදිහත් වීම් මත සාකච්ඡා කළා. ඒත් සාකච්ඡා කර ඇවිත් කොටි කළෙත් පරණ දේවල්ම තමයි.
මේ ප්‍රශ්නය හැදෙන්න මුලපිරුනේ කොහොමද හාමුදුරුවනේ?
මේ ජාතිවාදී ක්‍රියාවන්ට සම්පූර්ණයෙන්ම වගකිවයුත්තේ මෙරට පාලනය කළ ඉංග්‍රීසින්. ඔවුන් තමයි සිංහල දෙමළ කියලා වෙනම නිලතල හදලා සිංහල දෙමළ භේදයක් ඇති කළේ. ඉන්පසු චෙල්වනායගම් කාලයේදී 50ට 50 ඉල්ලුවා. මේ රට විනාශ කිරීමේ අරමුණින් ඉංග්‍රීසි මේ භේද ඇති කළා.
ක්‍රමක්‍රමයෙන් අවස්ථාවාදී දේශපාලනඥයින් පවා බිහිවී රටේ බරපතළ සිංහල දෙමළ භේදයක් තිබෙනවා කියා ලෝකයාට පෙන්නුවා.
මේ සියලු සංසිද්ධීන් එකතුවී තමයි එල්.ටී.ටී.ඊ. සංවිධානය නිර්මාණය වුණේ. ජේ.ආර්., ප්‍රේමදාස, චන්ද්‍රිකා, විජේතුංග, මේ හැම නායකයෙක්ම ත්‍රස්තවාදය සමග සාකච්ඡා මට්ටමින් ප්‍රශ්නය විසඳන්න හැදුවනේ. ඒත් ඒ සියල්ලම අසාර්ථක වුණා.
 ඉන් පසු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නායකත්වයට පත්වුණා.
ඔව් එය සිදුවුණේ ජාතියේ වාසනාවකට. එතුමා ජනාධිපති ධුරයට පත්නොවී බටහිරට ඕන විදිහට නටන රූකඩයක් රටේ නායකත්වයට පත්වුණා නම් කොටි මේ රට මේ වන විට යටත් කරගෙන ඉවරයි. කොටි වැඩේ වරද්ද ගත්තේ මාවිල් ආරු සොරොව්ව වහන්න ගිහිල්ලනේ. එය වසා දැමූ අවස්ථාවේදී ජන දිවිය සම්පූර්ණයෙන්ම අඩාලවුණා. ඒ අවස්ථාවේදී ජනාධිපතිතුමා කොටින්ගෙන් ඉල්ලා සිටියා. ඒ අපරාධය කරන්න එපා කියලා. ඒත් ඵලක් වුණේ නැහැ. කොටි කිසිම මනුස්සකමක් නැති තිරිසන් අදහස් ඇති කල්ලියක්නේ.
නමුත් මේ අවස්ථාවේදී ජනාධිපතිතුමා නියම රජෙක් හැටියට එඩිතර තීරණයක් ගත්තා ත්‍රස්තවාදය තුරන්කර දැමීමට. ජනාධිපතිතුමාගේ සෘජු නායකත්වය වගේම ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ‍ලේකම්තුමාගේ යුද සැලැස්ම නිසා මේ දරුණු ත්‍රස්තවාදය තුරන්කර දැමීමට හැකිවුණා.
 මහා සංඝරත්නයත් ඒ සඳහා ශක්තිය ආශිර්වාදය දුන්නා
ඔව් ජාතික සංඝ සම්මේලනය හැටියට අපි එහිදී ජනාධිපතිතුමාට සම්පූර්ණ සහය දුන්නා. මම එවිට ජාතික සංඝ සම්මේලනයේ සභාපති. අපි නන්වැදෑරුම් ලෙස ශක්තිය ආශිර්වාදය දුන්නා. මේ යුද්ධය රටේ මේ දක්වා සිදුවූ සුවිශේෂිම යුද්ධය ලෙස හැඳින්විය හැකියි.
 එය තවදුරටත් පැහැදිලි කළොත් හාමුදුරුවනේ,
මම පැහැදිලිව කියනවා දුටුගැමුණු - එළාර යුද්ධය,  වෙනි විජයබාහු- සොලී යුද්ධය,  විජයබාහු - කාලිංගමාග යුද්ධය කියන සටන්වලට වඩා මේ සටන සුවිශේෂයි. දරුණුයි. එදා රජවරු යුද්ධ කළේ මුහුණට මුහුණ කඩුවෙන් හෙල්ලෙන්. ඒත් මේ යුද්දේ එහෙම නොවේ. කොටි නිතරම සටන් කළේ ගරිල්ලා ක්‍රමයට. හැංගිලා ඉඳලා, ඔවුන් නවීන අවි ආයුධ බෝම්බ භාවිත කළා. එලෙස කරද්දී තමයි ජනාධිපතිතුමා හා ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් අපේ විරෝදාර විරුවන් මේ කුරිරු ත්‍රස්තවාදීන් පරාජය කළේ. ඒ නිසා මම නැවතත් කියනවා රජ සමයේ සිදුවූ හැම යුද්ධයකටම වඩා කොටි සමග කළ යුද්ධය සුවිශේෂයි. දරුණුයි කියලා.
ත්‍රස්තවාදය අවසන් කිරීමේදී විවිධ බලපෑම් එල්ල වුණා නේද හාමුදුරුවෙන්?
ඔව්. මුල ඉඳලම මේ බලපෑම් ආවා. අවසන් සටන යන වේලාවෙත් ජාත්‍යන්තරය තමන් බේරා ගනීවි කියලා ප්‍රභාකරන් විශ්වාස කළා. ජාත්‍යන්තරය කැමතියි අපේ වැනි රටවල් බෙදී තිබෙනවාට. ඒ සඳහා තමයි ඔවුන් කොටින්ට හුළං ගැහැව්වේ. යුද්ධය අවසන් වෙලත් තවමත් ඒ බලපෑම් තිබෙනවනේ. අද එදාටත් වඩා ජාත්‍යන්තර බලපෑම් අපට එල්ල වෙනවා. ඒත් බටහිරට ගැති නැති කොන්දක් ඇති නායකයෙක් අපට සිටින නිසා ඒ බලපෑම් ගැන අපි එතරම් බියවිය යුතු නැහැ.
මෙවර ජිනීවා සමුළුවට ඔබවහන්සේ විශේෂ ග්‍රන්ථයක් ඉදිරිපත් කළා නේද?
ඔව් සාගර විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙක් යැයි හඳුන්වා ගත් අයෙක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට අපේ රට ගැන වැරදි චිත්‍රයක් මවමින් සංදේශයක් යවා තිබුණා. ඔහු කියා තිබුණා 1815දී මේ රට පාලනය කළේ ද්‍රවිඩයන්. ඒ ද්‍රවිඩයන් පාලනය කළ ද්‍රවිඩයන්ගේ රට 1948දී ඉංග්‍රීසීන් විසින් සිංහලයන්ට බාරදුන්නා කියලා. අපේ ඉතිහාසය සම්පූර්ණයෙන්ම විකෘති කළ මේ සංදේශයට ඒ දවස්වල මම එක්සත් ජාතීන්ගේ සම්මේලනයට පිළිතුරක් යැව්වා. පසුව මෙය මම පාර්ලිමේන්තුවේදීත් කතා කළා. දවසක් ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවේදී කිව්වා උතුරු නැගෙනහිර කෝවිල් කඩා පන්සල් ඉදිකර තිබෙනවා කියා. ඒ වෙලාවේ මම හිටියා. මම කිව්වා වහාම කියන්න ඒ කඩපු කෝවිල් මොනවද කියලා. ඔහු එවර නිහඬ වුණා. ඊට පස්සේ මම පැහැදිලි කළා පන්සල් කඩා කෝවිල් හදපු තැන් ගැන. එදා මම පාර්ලිමේන්තුවේ නොසිටියා නම් ඔහුගේ විකෘති අදහස පමණක් හැන්සාඩ් ගත වෙනවා.
කොටි බිහිවෙන්න කලින් ඉඳලා මම උතුරු නැගෙනහිර ගවේෂණ කළා. ඊට පස්සේ කොටි ක්‍රියාත්මක වන කාලයේදීත් යා හැකි ස්ථානවලට ගොස් මම පුරාවිද්‍යා ගවේෂණ කළා. ඒ මම කළ ගවේෂණවලින් සම්පූර්ණයෙන්ම පැහැදිලි වුණා උතුරු නැගෙනහිර දෙමළ නිජබිම් සංකල්පය පට්ටපල් බොරුවක් කියලා. මම ඒ පුරාවිද්‍යා වාර්තා ප්‍රසිද්ධ කළා. සාධක සහිතව මම කොටින්ගේ නිජබිම සංකල්පය බොරුවක් කියලා ඔප්පු කළා. ඒ නිසා කොටින්ගේ මරණ ලැයිස්තුවේ මටත් ඉහළ තැනක් ලැබුණා.
මම කළ ඒ ගවේෂණ අනුව උතුරු නැගෙනහිර සැබෑ තත්ත්වය පැහැදිලි කර. කුඩා ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කරලා මෙවර ජිනීවා සමුළුවට තානාපති කාර්යාල හරහා යැවීමට මම කටයුතු යෙදුවා. මේ ගැන ජනාධිපතිතුමාත් දන්නවා.
නැවතත් කොටි හෙවණැලි ගැන අසන්න ලැබුණා නේද හාමුදුරුවනේ?
ඔව් ජාත්‍යන්තරයට වගේම අපේ රට ඇතු‍ලේ සිටින සමහරුන්ටත් රටේ සාමය වගේම සංවර්ධන ක්‍රියාව ඉවසා ගන්න බැහැ. ඒ නිසා ඔවුන් සැමවිටම උත්සාහ කරනවා යළිත් මේ රටේ යුද ගැටුම් ඇති කිරීමට. ඒවායේ ප්‍රතිඵල ලෙස තමයි කොටි පැටව් වරින්වර මතුවෙන්නේ. ඒත් ඒ කිසිවකුට ජනාධිපතිතුමා ආරක්ෂක ‍ලේකම්තුමා ඉඩ තියන්නේ නැහැ. තව කාරණයක් තිබෙනවා. අපේ රටේ දේශපාලනඥයන් කුලල් කෑ විට හොද්ද බොරවන්නේ රටට එරෙහි බලවේගවල. විශේෂයෙන් අපි සාමූහිකව ගමනක් යන්න සූදානම් වුණා නම් අතරමගදී හොල්මන් කිරීම, තර්ජන කිරීම හොඳ දෙයක් නොවේ. එයින් රටට සිදුවන්නේ අයහපතක්. ප්‍රශ්න තිබෙනවා නම් ඇතු‍ලේ කතා කර විසඳාගත යුතුයි. එසේ නොවී පිටදී මාධ්‍ය සංදර්ශන තබමින් හුදු වීරයන් වීමට යමෙක් යනවා නම් එවැනි ක්‍රියා හුළං ගිය කොටින්ට යළි හුළං ගැසීමක් ලෙස දැක්විය හැකිය.
ඒ නිසා මේ ජාත්‍යන්තර බලවේගවල නොයෙක් උපද්‍රවවලට දේශපාලනඥයන් මෙන්ම ආගමික නායකයන්ද හසු නොවිය යුතුයි. එසේ වීමෙන් සිදුවන්නේ මේ ලබාගත් නිදහස යළි අපට අහිමි වීමයි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය