Powered by Blogger.

- නිල්මිණි තෙන්නකෝන්
ඒ.ඩී. රන්ජිත් කුමාර
'දූ දරුවෝ” ටෙලි නාට්‍යයේ දීප්ති යනු මෙරට ටෙලි නාට්‍ය  ප්‍රේක්ෂකයන්ට ලෙහෙසියෙන් අමතක නොවන චරිතයකි. නිල්මිණි තෙන්නකෝන් නම් ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළිය වෙත රසික රසිකාවියන්ගේ ආදරය දිනා දෙන්නට සමත් වූ රංගනයන් අතරින් එයද සුවිශේෂී වූවක් බව අමුතුවෙන් කිව යුතු නැත. දියසුළිය, ඉසිදාසි, සුසීමා, කුමාරයාණෙනි, නේත්‍රාංජලී, හිරු දහසක් යට, හැන්දෑව, ගිරිකුළු ආදී නිර්මාණ රැසක අපූරු රංගනයන් හරහා ඇය යළි යළිත් රූපවාහිනි ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනා ගත්තාය.
මොරටුවේ උපත ලද තෙන්නකෝන් පතිරණගේ නිල්මිණි අධ්‍යාපනය ලැබුවේ මොරටුවේ වේල්ස් කුමරි විද්‍යාලයෙනි. ඇගේ පියා වූ පියදාස තෙන්නකෝන් මහනුවරදීද, මව වූ සෝමා ජෙනී බලංගොඩදීද උපත ලබා, විවාහ වීමෙන් පසු මොරටුවට පදිංචියට පැමිණියහ. තාත්තා මොරටුව නගර සභාවේ සේවයේ නියුතුව සිටි අවධියේ සිටම කලාවටත්, දේශපාලනයටත් සම්බන්ධව සිටි අයුරු කුඩා නිල්මිණිට මතකය.
සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරී ප්‍රබලයකු වූ පියා මැද කොළඹ හා මොරටුව යන ආසනවල සංවිධාන කටයුතුවලට මූලික  වී ඇත. මොරටුවේ මෙරිල් ප්‍රනාන්දු, විමලසිරි ද මැල්, ජයසුමන ධර්මබන්දු, ට්‍රික්සි මෙන්ඩිස් ආදීන්ගේ හිතවතකු වූ “පියදාස සහෝදරයා” කලාවට ද ප්‍රිය කළේය. ප්‍රධාන “කානිවල්” සංවිධායකවරයකු වූ හෙතෙම ඒ සඳහා දිවයිනේ ජනප්‍රිය කලාකරුවන් සහභාගි කර ගත්තේය.
“තාත්තා මාවත් මේ කානිවල් බලන්න එක්ක ගියා. පුංචි මට මතකයි රුක්මණි දේවි, ජෝතිපාල, මිල්ටන්, එම්.එස්. ඒවායේ ගීත ගායනා කරනවා. තාත්තාගේ කලාවට ඇති ඇල්ම තමයි  මටත් බලපාන්න ඇත්තේ. තාත්තා මොරටුවේ මගේ වයසේ ළමයි එකතු කරල “එකමුතු ක්‍රීඩා සමාජය” කියල එකක් හදල ඒකෙන් වෙසක් නාට්‍යයක් නිෂ්පාදනය කළා. “රාජ්‍ය ‍ලේ” නම් මේ නාට්‍යයේ රචනය, දෙබස්, සංගීතය,
අධ්‍යක්ෂණය සේරම තාත්තගෙ. අයියයි, මමයි, මගේ යාළුවොයි රඟපෑ මේ නාට්‍යය මොරටුව නගර සභාව ඉදිරිපිට ඇති හිස් ඉඩමේ වේදිකා ගත කළා. වයස අවුරුදු 12 පමණ දැරියකව සිටි මම මේ නාට්‍යයේ රාජකුමාරියගේ කුඩා කා‍ලේ චරිතය රඟපෑවා පමණක් නොවෙයි, ආරම්භක පූජා නැටුමත් ඉදිරිපත් කළා.” නිල්මිණි තම ප්‍රථම රංගනය ගැන මතක් කළේ ඒ අයුරිනි.
සිනමා ලෝලීන්ද වූ ඇගේ දෙමාපියෝ පළමුව චිත්‍රපට නරඹා චිත්‍රපටය හොඳ නම් නිල්මිණිද රැගෙන යාමට පුරුදුව සිටියහ. මොරටුවේ  එමෙස් සිනමාහ‍ලේදී මෙසේ “බැද්දේගම” චිත්‍රපටය නැරඹූ දිනයේ වනාන්තරයේ යක්ෂ රූප අඩංගු දර්ශනයක් දැක බියවී, සිනමාහල දෙවනත් කරමින් හැ¾ඩීම නිසා වූ ඇබැද්දියක් ඇයට තවම මතකය. සබිතා පෙරේරා සහ ජගත් රෝහාන් රඟපෑ “සබිතා” නම් චිත්‍රපටය නැරඹූ දා ඇය එම නළු නිළි යුවලට ආශක්තව අමුතුම ලෝකයකට පිවිස ඇත.
“වේල්ස් කුමරි විද්‍යාලයට යාබදව තිබුණු මොරටුවේ ටවර් සිනමාහ‍ලේ ඉදිරිපස තිබුණු දැවැන්ත දැන්වීම් පුවරුවේ නළු නිළියන් දෙස මම බොහෝ වේලාවක් බලා ඉන්නවා. ඇතැම් විට පාරේ යන මිනිස්සු මගේ ඇඟේ හැප්පෙනවා. ඒත් මට ගාණක් නැහැ. මම ඒ කා‍ලේ සිනමාහලෙන් ඉවත දමා තිබූ සෙලෝලයිඩ් නෙගටිව් පට එකතු කරගෙන ගෙදර ඇවිත් අයියත් එක්ක අඳුරු තැනක ටෝච් එළියෙන් බිත්තියට එල්ල කරලා බලලා ලොකු සතුටක් ලැබුවා.
“මම චිත්‍රපටයක් බැලුවොත් පහුවෙනිදා විවේක කාලයේ පන්තියේ යාළුවෝ එකතු කරගෙන ඒකේ කතාව දෙබස් ආදිය රඟපාල පෙන්වනවා. මෙහිදී මම චිත්‍රපටයේ නොතිබුණ දෙබස් අතින් දාලත් කියනවා. ළමයි පුදුමයෙන්, කුතුහලයෙන් බලන් ඉන්නවා.  මම බලපු චිත්‍රපටයක අවසානය දුකකින් කෙළවර වනවා නම් එය සතුටකින් අවසන් වන ආකාරයටත්, සතුටින් කෙළවර වන කතාවක් නම් දුකකින් අවසාන වන ලෙසත් මම හදලා කියනවා. ඉතින් සමහරුන්ගේ ඇස්වල ක½ඳුළු. ඇතැම් ළමයෙක් දෙතුන් දවසකින් මා ළඟට ඇවිත් මෙහෙම කියනවා. “නිල්මිණි ඔයා කියපු විදිහට ‍නෙවෙයිනේ ඒ චිත්‍රපටයේ කතාව ඉවර වෙන්නේ”
“එහෙනං ඒ ගොල්ලෝ පස්සේ කතාව වෙනස් කරන්න ඇති. මම බලන කොට තිබ්බ විදිහටයි මම කිව්වෙ“ මම එහෙම කියල ඇඟ බේර ගන්නවා.
නිල්මිණි වඩාත්ම ප්‍රිය කළ නළු නිළි යුවළ වූවේ විජය සහ මාලිනීය. පසු කලක ගාමිණී හා ජෝ ගේ විශිෂ්ට රඟපෑම්ද ඇය අගය කළාය. ඇය පාස‍ලේදී ලැජ්ජාශීලී සිසුවියක වූ අතර සබකෝලය නිසා පාසල් වේදිකාවේ රඟපෑවේ නැත. නිල්මිනි ක්‍රීඩාවලටද දක්ෂතා දැක් වූ බව වැඩි දෙනෙකු දන්නේ නැත.  වාර්ෂික මලල ක්‍රීඩා උත්සවවලදී යගුලිය, දුර පැනීම, උස පැනීම ඉසව්වලින් නිතරම ඇය ජයග්‍රහණ හිමි කරගත්තාය.
“මම පුංචි කා‍ලේ ඉඳලම සිහින මැව්වේ නැටුම් ගුරුවරියක් වීමටයි. අපේ පාස‍ලේ නැටුම් ඉගැන්වූයේ වජිරා මහත්මියයි. ඇයගේ නර්තන ලීලාවන් මාව වසඟයට පත් කළා. ඒ අතර පාස‍ලේ තූර්ය වාදක මණ්ඩලයේත් නායිකාව වූ මම ගායනයට හා වයලීන් වාදනයටත් හැකියාවක් තිබූ නිසා සුජාතා අත්තනායක මහත්මියගෙන් සංගීතය ඉගෙන ගත්තා. ඒ අතර රැජිනි චෙල්වනායගම් මහත්මියගෙන් නර්තනයත් ඉගෙන ගත්තා.”
“මේ හැම කාරණයකදීම මගේ අයියා මට සෙවණැල්ල මෙන් මා ළඟම හැමවිට සිටියා. ඔහුගේ නම දිලිප් තෙන්නකෝන්. අයියා මොරටුව නගර සභාවේ, ආණ්ඩු පක්ෂයේ  නාගරික මන්ත්‍රීවරයෙක්. අපි දෙන්නා නාට්‍ය බලන්න කොච්චර ආස ද කිව්වොත් පුංචි කා‍ලේ මොරටුව බෞද්ධ මන්දිරයේ වේදිකා ගතවන සෑම හොඳ නාට්‍යයක්ම හොරෙන් ගිහින් බැලුවා. අපේ තාත්තා වඩාත්ම කැමති ගීතය තමයි වික්ටර් ගැයූ “ හෝ පලු වන පෙත” ගීතය. මේ ගීතයට තාත්තා මට අපූරු නර්තනයක් පුරුදු කළා. තාත්තගෙ යාළුවො ගෙදර ආවාම “පුතේ අර සින්දුවට නටල පෙන්වන්න” කියල කියනවා. ඒ විදිහට නැටුම ඉදිරිපත් කළ හැම වතාවකම මට තාත්තගෙන් රුපියල් පහක් තෑගි ලැබුණා.”
දිනක් නිල්මිණි ඇතුළු පාසල් මිත්‍ර සමාගම පාසල් නිල ඇඳුම පිටින්ම මොරටුවේ සිට රාවතාවත්තට ඇවිදගෙන එන අතර රෝයි- සුමනා යුවළ රවීන්ද්‍ර රන්දෙණිය සමග ඔවුන්ගේ නිවසේ ඉදිරිපිට සිටගෙන කතා කරමින් සිටිනු දක්නට ලැබිණ. ගමන නතර කොට ආපසු හැරී හැකි ඉක්මනින් අසල ‍පොත් සාප්පුවකට ගොස් සමරු ‍පොත් මිලදී ගත් මේ පිරිස නැවත නිවස බලා යන විට එහි විශාල විදුලි බුබුළු දල්වාගෙන චිත්‍රපටයක රූපගත කිරීම් සිදුවෙමින් තිබුණි. එහි ගිය මිත්‍ර සමාගම විවේකී අවස්ථාවක රවීන්ද්‍ර, රෝයි, සුමනාගේ සමරු සටහන් ලබා ගත්හ. දිග කොණ්ඩයක් හිමි නිල්මිණි දෙස සුමනා අවධානයෙන් සිට ඇය අසලට පැමිණියාය.
“ඔයා රඟපාන්න කැමතිද?”
“ඔව්”
“ඩාන්සින් පුළුවන්ද?”
“ටිකක් පුළුවනි”
“අපි බලමුද ඩාන්ස් එකක් කරලා.”
නිල්මිණි ඊට එකඟ වූවාය. සුමනාගේ නිවසේම කොටසක තිබූ සැලෝන්  එකට නිල්මිණිව කැඳවාගෙන ගොස් ඇගේ නැටුම බලා සෑහීමකට පත් වූ සුමනා ඇයව රෝයි වෙත කැඳවාගෙන ගියාය. ප්‍රථම වතාවට චිත්‍රපටයක රැඟපෑමේ අහඹු අවස්ථාව නිල්මිණිට උදා වූයේ මේ ආකාරයටය. මේ අවස්ථාව ලැබිම ගැන නිල්මිණිගේ පියා තුළ ඇති වූයේ ඉමහත් සතුටකි. රෝයි - සුමනා මොරටුවේ ම පදිංචිව හුන් නිසා නිල්මිනිගේ මව්පියෝද ඒ යුවළ කෙරෙහි විශ්වාසය තැබූහ. මුල්ම රංගනය සඳහා අම්මා ත් සමග  ගිය ඇයට ලැබුණේ රෝයි
අධ්‍යක්ෂණය කළ “හිත හොඳ කොල්ලෙක්” චිත්‍රපටයේ ලතා ගයන සමාජ ශාලා ගීතයකට  නැටීමටය. එකල මිස් ශ්‍රී ලංකා ලෙස කිරුළු පැළඳි රූප රැජිනියත්, බන්දු සමරසිංහත්, නිල්මිණිත් මේ දර්ශනයට පෙනී සිටියෝය.
ජාතික රූපවාහිනිය ආරම්භ කිරීම නිමිත්තෙන් ධම්ම ජාගොඩ නිෂ්පාදනය කළ “සසර” නම් මුද්‍රා නාට්‍යයේ නිල්මිණි ඇතුළු නැටුම් පන්තියේ මිතුරියන්ට රඟපෑමට අවස්ථාව ලැබුණේ චිත්‍රා කුමාරි කළුබෝවිල මිතුරිය නිසාය. නිල්මිණි මෙහි හංසයකු ලෙස රඟපෑවාය. මේ මුද්‍රා නාට්‍යය රූපවාහිනියෙන් විකාශනය වී අවසානයේ නිල්මිණි තෙන්නකෝන්ගේ නම නාමාවලියේ තිබෙනු දුටු පියා “මගේ නම ගෙනියන්න කෙල්ලෙක් ඉන්නවායි” සතුටු කඳුළු හෙළුවේය. එහෙත් ඒ වසරේම තම පියා ජීවිතයෙන් සමු ගැනීම නිල්මිණිට දැරිය නොහැකි ශෝකයක් විය.
“මම එක කාලයක් සුදර්ශියේ සේනක ද සිල්වා මහතාගේ බැ‍ලේ නැටුම් පන්තියකට ගියා. දවසක් ටෙලි සිනේ කියන රූපවාහිනි නිශ්පාදන ආයතනයෙන් පිරිසක් අපේ බැ‍ලේ පන්තියට ආවා. ඔවුන්ට වුවමනා වුණේ දිග කොණ්ඩයක් තියෙන තරුණියක් වෙළෙඳ දැන්වීමක් සඳහා තෝරා ගන්න.
එතකොටත් මම ඉස්කෝලෙ යනවා. මාව මේ සඳහා තෝරා ගෙන ටෙලි සිනෙ ආයතනයට එක්ක ගියා. එක්තරා පනා වර්ගයක් සඳහා වෙළෙඳ දැන්වීමකට තමයි එදා මම පෙනී සිටියේ. මේ දැන්වීම කළේ ඩී.බි. සුරනිමල මහතා. ඊට සතියකට පසුව මට ලියුමක් ආවා. ඩී.බි. නිහාල්සිංහ නමින් තමයි එය ලැබුණේ. ටෙලි නාට්‍යයක් සඳහා පරීක්ෂණයකට එන්න කියලා. මමයි අම්මයි ගියා. මට බයකුත් තිබුණා. මම බොරු ලොකු කමක් මවා ගෙන ඇතුළට ගියා. උස මහත මහත්තයෙක් හිටියා. “කවුද නිහාල්සිංහ කියන්නේ? කරුණාකරලා මාව එයා ගාවට එක්ක යන්න”. මම චණ්ඩියා වගේ කිව්වා.
“ඔහොම ‍පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න පුතා. එයා ඇතුළේ වැඩක්. මම පණිවුඩේ කියන්නම්.” ඔහු සිනාසෙමින් කිව්වා.
ටික වේලාවකින් කෙනෙක් ඇවිත් මාව විශාල කාමරයකට එක්ක ගියා. අර මුලින් හිටිය උස මහත තැනැත්තාම තමයි කාමරයේ  වාඩි වෙලා හිටියේ. ‘මට ඕනෑ මිස්ටර් නිහාල්සිංහ හම්බවෙන්න.’ මම ආපහු කිව්වා.
‘අයිසේ මම තමයි නිහාල්සිංහ’
මම අඬන්න පටන් ගත්තා. මම නිහාල්සිංහ මහත්තයා දැකලා තිබුණෙ නෑ. දැන හිටියේත් නෑ. මට කතා කරගන්න බැරි වුණා. නිහාල්සිංහ මහත්තයා මට කරුණාවෙන් කතා කරල මගෙ ඇ¾ඩිල්ල නැවැත්තුවා.
 ‘තමුන්නාන්සේ දිමුතු මුතු දැකල තියෙනවද?’
‘ඔව්. සර්...... ඒක මගේ ප්‍රියතම ටෙලි නාට්‍යය.’
‘අපි දිමුතු මුතු  දෙවැනි කොටස කරනවා. තමුන්නාන්සේ කැමතිද දේවිකා මිහිරාණිගේ මිතුරියක් හැටියට රඟපාන්න?’
‘අ‍පොයි ඔව් සර්.’
“මගේ කලා ජීවිතයේ ඇරඹුම එහෙමයි.” නිල්මිණි අතීත සිද්ධියක් හෙළි කළාය.  “කෙළි මඬල” චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් ඇයට එම වසරේ හොඳම නවක නිළියට හිමි ලක්ස් -සරසවිය සම්මානයද හිමි විය.
කෙසේ වෙතත් ඇය ප්‍රේක්ෂකයින්ගේ නොමද අවධානයට හා ආදරයට පාත්‍ර වූයේ සෝමවීර සේනානායකගේ තිර රචනයක් අනුව නාලන් මෙන්ඩිස් අධ්‍යක්ෂණය කළ ‘දූ දරුවෝ’ ටෙලිනාට්‍යය නිසාය. “දූ දරුවෝ” හි දීප්ති කොතරම් ජනප්‍රිය වුණාද කීවොත් “මට  ඒ දවස්වල කවුරුත් කතා කළේ “දීප්ති” කියලා. මගේ හෙයා ස්ටයිල් එක (“දීප්ති කට්”) පවා තරුණියන් අතර ජනප්‍රිය වුණා. අවාසනාවකට චිත්‍රපට සඳහා මට ලැබුණු චරිත මගේ පෙම්වතා නිසා අත්හරින්න සිදු වුණා. මම එදා මුල් තැන දුන්නේ ආදරයටයි. ඒ වෙනුවෙන් මම සියලු දේ කැප කළා.”
“මම ජීවිතයේ ඉක්මන් තීරණ ගත්ත. හිතුවක්කාර චරිතයක්. අද ඒ ගැන මම පසුතැවිලි වෙනවා. අම්මාට වඩා පෙම්වතා මට ලොකු වුණා. මගේ අම්මා තමයි තාත්තා මියගියාට පස්සෙ අපිව ඇස් දෙක වගේ බලාගත්තේ. මම එදා ගත්තේ වැරදි තීරණ. දැන් මම හිතනවා කිසිම දරුවෙක් දෙමව්පියන්ගේ හිත් රිදවිය යුතු නෑ කියලා. මගේ දුව ලැබුණාමයි අම්මගෙ අගය මට  වඩාත් දැනුණේ. මගේ හදිසි තීරණ නිසා අම්මා මොන තරම් සිතින් දුක් විඳින්න ඇත්ද කියලා මට තේරුම් ගියා.”
“අද මම ජීවිතය දිහා බලන්නේ උපේක්ෂාවෙන්. මම පුංචි කා‍ලේ ඉඳලම හැදුනේ අමුතු විදිහකට. මම අසාධාරණයට විරුද්ධ කෙනෙක්. මම ඒ වෙනුවෙන් හැම විටම පෙනී සිටියා. හොර කම් කිරීම, බොරු කීම, මට
පිළිකුල්. එහෙම ළමයි එක්ක පිරිමි ගැහැනු නොබලා මම ගැටුණා. ගහගත්තා. මේ ගති මගේ හොඳක්ද නරකක්ද දන්නේ නැහැ. මේ වැඩවලින් මම පාඩු විඳලා තියෙනවා. මගේ දෙයක් අනුන් ගත්තොත් මාව වෙව්ලනවා. ඊට පස්සේ කළකිරෙනවා. තාත්තා මගේ මේ  දඩබ්බර ගති ගුණවලට දැඩි ලෙස අවවාද කරලා තියෙනවා.”
නිල්මිනි පවසන්නේ අද වනවිට ඇය ඊට වඩා බෙහෙවින් වෙනස් චරිතයක් බවයි. “අද මම මේ ගති ගුණවලින් හුඟක් දුරට මිදිලා. මගේ වයස මුහුකුරා යත්ම ඒවායේ හරසුන් බව මට වැටහුණා. මම නිළියක් ලෙස ඕනෑ තරම් සල්ලි දේපළ උපයා ගත්තා. නමුත් පසු කාලයේ මට මේ සියලු දේ් අනිත්‍ය බව දැඩිව දැනුණා. අපිට හැම දේම ‍පොකුරු පිටින් බදාගන්න බෑ. එහෙම බදාගෙන තියාගෙනත් වැඩක් නෑ. එහෙම තියා ගත්තත්, අපිට අයිති දේ පමණයි අපට තියා ගන්න පුළුවන්. අපිට අයිති නැති දේ අතාරින්න ඕනෑ. නැත්නම් හැමදාම අපි විඳවනවා. මම ආස විඳින්න මිස විඳවන්න ‍නෙවෙයි.”
මීට වසර කිහිපයකට පෙර ඇය මුහුණ දුන් බිහිසුණු රිය අනතුරද නිල්මිණිට කිසි විටක අමතක නොවන අත්දැකීමකි. “2006 වසරේ මාර්තු 04 වෙනිදා තමයි මේ  රිය අනතුර වුණේ. මට ඒ වෙලාවෙ නින්ද ගිහින් තිබුණේ.  නිදි මරාගෙන ෂූටිං කරල   කුරුණෑගල සිනමා හලක තිරගත වුණු “අංජලිකා” චිත්‍රපටයේ ප්‍රධාන ආරාධිතයා ලෙස යන ගමන්. යක්කල දී අනතුර සිදු වුණේ. මම ඇත්තටම මැරුණා. මගේ මනෝකාය උඩට යනවා වගේ මම දැක්කා. මම බලාගත් ගමන් හිටියා. ආයෙත් පහළට ආවා. මම හොඳ සිහියෙන් බලන් හිටියා. ලොකු කාන්තාරයක් දිගේ මම දුවනවා දැක්කා. මට මගදි  මගේ දුව ගැන කිසියම් චරිතයක් ඇවිත් මතක් කළා. ඒ පාර මම ආපහු විරුද්ධ පැත්තට දිව්වා. එහෙම දුවන කොට කාන්තාරේ ඉඳල මාව බිමට වැටුණා. මට සිහිය ආවා. මට දැනුණ අවුරුදු ගාණක් ඇවිද්දා කියලා. ඒත් මම පසුව දැනගත්තා දවස් හතක් යනකං මම සිහි මූර්ඡාවක  ඉඳලා තියෙන්නේ.

මට සිහිය ආව ගමන් මුලින්ම  මතක් වුණේ කුරුණෑගල කරපු ෂූටිං එකක්. මමයි, පාලිත සිල්වයි, උදේනි චන්ද්‍රසිරියි අතර ගැටුමක් එදා රූගත වුණේ. මම වෛද්‍යවරියක්. පාලිතට ගහන්න උදේනි ‍පොල්පිත්තක් ගත්තා. ‍පොල්පිති පාර වැදුනේ මගේ ඇහැ ගාවට. ඇහැ ගාව පැලිලා ‍ලේ ආවා. අවට කට්ටිය අයිස් තියලා ‍ලේ නැවැත්තුවා. මට රෝහ‍ලේදී සිහිය ආව ගමන් මතක් වුණේ ‍පොල්පිති පාර වැදුණු එක. මම හිතුවේ එම සිද්ධියෙන් රෝහල් ගතවුණා කියලා.”
“මගේ ජීවිතය බේරා ගත්තෙ රාගම රෝහ‍ලේ වෛද්‍ය නිව්ටන් ගුණරත්න. මගේ ජීවිතේ බේරුණේ හාස්කමකින් කියල එතුමා කිව්වා. මනෝකාය සම්බන්ධ සිද්ධිය ගැනත් මම එතුමට කිව්වා. ප්‍රසිද්ධ මනෝ වෛද්‍යවරයකු වූ (අප අතරින් වියෝ වූ) වෛද්‍ය හරිශ්චන්ද්‍ර මා ගැන පර්යේෂණයකුත් කළා.”
නිල්මිණි කියන්නේ තමාට මෙලොව හිමි එකම වස්තුව  දියණිය ස්වේතා බවය. ඇය දැන් දොළොස් හැවිරිදිය. ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන ඇය එම විදුහ‍ලේම දහම් පාසලටද යයි. සිංදු කියන්න, ලියන්න, වාදනය කරන්න ඇය කැමැතිලු.
“මම දෙරණ රූපවාහිනියේ ‘සිත් ගිමන්හල’ වැඩසටහන වසර 6ක් තිස්සේ කරනවා. මේ වැඩසටහනට මටත්, නිෂ්පාදකටත් සුමති සම්මාන ලැබුණා. මේ වැඩසටහන්වලට සම්බන්ධ වෙන, පීඩාවට පත් කතුන්ට මම උදව් කරනවා. ඒවා ප්‍රසිද්ධියට කරන දේවල් ‍නෙවෙයි. මේ සියල්ල අතරේ නුගේගොඩ සැලුන් එකත්  පවත්වා ගෙන යනවා.”
මේ දිනවල විකාශය වන සුදත් රෝහණගේ ‘ගිරිකුළ’ ටෙලි නාට්‍යයේ නිල්මිණි රඟපෑ චරිතයද කාගේත් අවධානයට ලක් වූවකි. එම චරිතය රඟපාද්දි සිදු වූ රසවත් සිද්ධියක් ගැනද නිල්මිණි සිහිපත් කළාය.
 “ගිරිකුළ ටෙලි නාට්‍යයේ මිනීපෙට්ටියක මැරිල ඉන්න දර්ශනයක් කරන්න තිබුණා. ඇත්තම කිව්වොත් මම ඒකෙ හිටියේ කැමැත්තෙන් ‍නෙවෙයි. කතාවේ හැටියට පරණ කා‍ලේ මිනී පෙට්ටියක් ඒක. ඒ මදිවට මගේ නහයට පුළුනුත් ඔබලා. මාව මිනී පෙට්ටියෙ තියන්න ඉස්සර වෙස් ගැන්වීම් ශිල්පී සෑම් පෙරේරා ඇඳුම් ඇන්දුවා. මිනී පෙට්ටියෙ හිටිය දීම  මේක්අප් කළා. ඒ වෙලාවෙ මට දුවව මතක් වෙලා මම අඬන්න පටන් ගත්තා.
‘මේ මොකද? මළමිනිය අඬන්නේ’ කවුදෝ කියනවා ඇහුණා.
‘අනේ සුදත් අයියේ මට මේකේ ඉන්න බෑ’ මම සුදත් රෝහණට කිව්වා.
‘තව ටිකයි. මේ සීන් එක විතරයි.’
දැන් සීන් එක පටන් ගත්තා. නෑයෝ අඬන්න පටන් ගත්තා. එක පාරටම ඒ හඬ නෑසී ගියා. මම ඇස් වහගෙන හිටියේ. ඇස් ඇරල බැලින්නම් පෙට්ටිය වහලා. කරුවලයි. මට ක්ලාන්තය වගේ. නාස් පුඬුවල පුළුන් හිර කරලා. කවුද පිරිසක් පෙට්ටිය උස්සාගෙන යනවා දැනුනා. මම මිනී පෙට්ටියේ පියන ගලව ගෙන එළියට පැන්නා. මේ අවස්ථාව මට කිසිදා අමතක වෙන්නේ නෑ. මට වෙන්නේ මැරෙන වැඩමයි”. නිල්මිණි සිනාසෙමින් කීවාය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය