Powered by Blogger.

සරසවිය ගෙන එන අලුත්ම සිනමා කතාව සුදේශ් වසන්ත පීරිස්ගේ තිර රචනය ඇසුරෙනි
නගරය කලබලකාරීය. එහාටත් මෙහාටත් විදුලි වේගයෙන් දුවන මිනිසුන් නවතින මොහොතක් නැතැයි රන්ජාට මොහොතකට සිතුණි. අහස සිඹින ගොඩනැඟිලි ද අලංකාරවත් මහ පාරවල් දෙස රන්ජා බලා සිටියේ පුදුමයෙනි. ඔහු මේ ගමන පැමිණියේ තනිවම නොවේ. මේ ගමන එන්නට වැඩිපුර උවමනාව තිබුණේ විහඟිටය. විහඟි තනියට අත්තම්මා ද කැටුව ආවාය.
රන්ජාට කොළඹ පිළිබඳ හුරුවක් තිබුණි. ඔහු ඇමතිතුමා හඳුනන්නේ කලක පටන්ය. ඔහු පසුගිය කාලයේ ඇමතිතුමාට මහන්සි වී වැඩ කළේය. ඇමතිතුමා හමුවන්නට කිහිප වතාවක් එන්නට සිටිය ද එය මොකක් හෝ හේතුවක් නිසා කල් දමන්නට රන්ජාට සිදු විය. මෙවර නම් මේ අවශ්‍යතාව ගමේ අවශ්‍යතාවයකි.
‘අපි කොහෙද නතර වෙන්නේ’
‘මේ කිට්ටුව මගේ යාළුවෙක් ඉන්නවා. අපිට එහෙ නතර වෙන්න පුළුවන්’
ත්‍රීවිලර් රියැදුරකු රන්ජා දැක නතර කළේය.
‘සර්’
විහඟි ඉදිරියේ සර් යැයි ඇමතීම ගැන රන්ජාට ආඩම්බරයක් ඇති විය. ඔහු ගණන් අසන්නට ද ගියේ නැත.
‘මරදාන’
ඔහු රථයට ගොඩ වෙන ගමන් කීවේය. ත්‍රීවිලරය මහ පාරෙන් හැරී රන්ජා පැවසූ ඉඟිය අනුව ඉදිරියට ගමන් කළේය. එය ප්‍රධාන පාරෙන් හැරී අතුරු පාරකට හැරිණි. අනතුරුව එය කුඩා නිවසක් ඉදිරිපිට නතර විය. ඔහු හුරුපුරුදු මිනිසකුª සේ ගේ දොරට තට්ටු කළේය. ටික වේලාවකින් ගේ ඇතුළේ සිටියකු දොර ඇරියේය. දොර ඇරැණේ ’බරාස්’ හඬ නංවමිනි. ‘දොර පහත් වෙලා’ යැයි විහඟිට සිතිණි.
‘අඩෝ රන්ජා’
දොර ඇරගෙන ආ තැනැත්තා රන්ජා දැක කෑගැසුවේය. එහෙත් ඔහු තවත් යමක් කියන්නට සැරැසීි නොකියා ගිල ගත්තේය. රන්ජා ගේ ඇතුළට ගියේ සෙස්සන්ට ද ඇතුළට එන්න යැයි අතෙන් සන් කරමිනි. විහඟි සහ අත්තම්මා ගේ ඇතුළට යද්දී නිවෙස් හිමියා රන්ජාගේ අතින් අල්ලා හිස පාත්කර ගත්තේය.
‘මචං අර අපේ පන්තියේ හිටිය කෙල්ල විහඟි නේද? උඹ ඒකිට ලව් ද? ඒකිත් එක්ක පැනලා ආවද?’
‘පැන පැන යන්න මම රිලවෙක් ද බං’
රන්ජා පැවසුවේ සිය හිතවතාගේ ප්‍රශ්නයට විහිළුවක් කරමිනි. අත්තම්මා ගේ හිමියා දෙස හොඳින් බැලුවේ එවිටය.
‘ඒයි උඹ ජොනියා නේද?’
‘නෑ ඒ මං නෙවෙයි’
‘පිස්සුද මේ ජොනී තමයි?’
විහඟි කෑගෑවාය.
‘උඹේ සීය මැරුණ දවසේ අතේ තිබුණ ඔරලෝසුව ගලවගෙන ගිහිල්ලා වික්කේ. එදාට පස්සේ අදයි මම උඹව දැක්කේ’
ජොනී යටහත් පහත් බව පෙන්නන්ට අත්තම්මා ඉදිරියේ දෙකට තුනට නැමුණේය. ජොනී කොහොමත් උස මිනිසකු නොවීය.
‘ඒවා ගැන ප්‍රසිද්ධියේ කතා කරන්න එපා. එදා මට පොඩි මුදල් හදිසික් තිබුණා අත්තම්මේ’
ජොනී ගණනකට නැතිව පැවසුවේය. ඇඳුම් බෑගය ජොනී ළඟ තැබූ රන්ජා, මඟ විස්තර අසාගෙන යළිත් මඟට බටුයේය. විහඟි අත්තම්මාත් සමඟ ඔහු පසු පසෙන් වැටුණේය. ඔවුහු ගමන් කළේ තාප්පවලින් පිරි මහා මන්දිර සහිත පාරක් දිගේය. ජොනී සිටි පළාත කලබලකාරී වුණත් මේ පළාත නම් පුදුම නිස්කලංක යැයි විහඟිට සිතිණි. උස් වූ තාප්පවලින් එපිට මිනිස්සු ජීවත්වන ආකාරය දැක ගන්න විහඟිට ආසාවක් ඇතිවිණි. ‘පිං කරපු ඇත්තෝ’ යැයි ඇයට නිකමට සිතිණි. මව්පියන් අහිමිවීමෙන් පසු විහඟිට කොයි නෑදෑයටත් හිටියේ අත්තම්මා පමණි. ඇය තාප්පයේ කෙළවර වසා ඇති ගේට්ටුව අතරෙන් ඇති ඉඩකඩෙන් හෝ නිවෙස ඇතුළේ සිදු වන්නේ කුමක්දැයි දැක ගැනීමට ආසා කළාය. එහෙත් එයට ඉඩක් නොලැබුණේ රන්ජා පය ඉක්මන් කළ බැවිනි. අත්තම්මා පැමිණියේ හෙමිහිටය. ඇය අඩි කිහිපයක් ගමන්කොට හති අරින්නට පටන් ගනියි. විහඟිට අත්තම්මා ගැන දුක හිතුණි. වයස්ගත වුවත් ඇය තවමත් දිරිමත් ගැහැනියකි.
රන්ජා සුවිසල් නිවසක් ඉදිරිපිට වූ ගේට්ටුවක් ළඟ නතර වූයේය. එහි ඉදිරිපිට රැකවලකු රාජකාරියෙහි නිරතව සිටියේය. ඔහු අතෙහි තිබුණේ ගිනි අවියකි.
‘මං ආවේ ඇමැතිතුමා හම්බ වෙන්න ගමේ ඉඳලා’
එහෙත් එයට කන් දෙන්නට තරම් උවමනාවක් රැකවලාට නොවිණ. ඔහු වහා හුනස්නෙන් නැඟී සිටියේය. රන්ජා සිතුවේ ඔහු තමා ඇසූ ප්‍රශ්නයට නැඟී සිටියා කියායි. එහෙත් තමා වැරැදි බව ඔහුට දැනුණේ රැකවලා ආචාරයක් කරමින් ඉදිරියට ගිය බැවිනි. පිටුපසින් පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයක් දොරටුව ළඟ නතර විණි. රැකවලා ආචාර කොට තිබුණේ එයටය. මෝටර් රථයේ පසුපස අසුනේ වීදුරුව පහතට ගලා ආවේ තාලයකටය. සුන්දර මිනිසකුගේ සිනහබර මුහුණ එයින් මතු විය.
‘මොකද මේ පැත්තේ?’
ඔහු රන්ජාගෙන් ඇසුවේ දිගු කලෙකින් නුදුටු මිතුරකු හමු වූ විලාසයෙනි.
‘ආයුබෝවන් ඇමතිතුමා අපි මෙච්චර කාලයක් බොන්නයි අනෙක් වැඩවලටයි පාවිච්චි කරේ ඇළේ වතුර. දැන් අපට බොන්නවත් වතුර ටිකක් නෑ’
‘අර පැක්ටරි එකේ ප්‍රශ්නේ නේද?’
රන්ජාට සතුටක් දැනිණ.
‘මම අද හවස රට යනවා. ආපහු එන්නේ දවස් තුන හතරකින්. මම ආවම මේ ප්‍රශ්නේ ගැන සාකච්ඡා කරලා විසඳුමක් දෙන්න බලන්නම්. එතකම් ඔය විස්තර ටික මගේ ලේකම්ට දෙන්න’
විහඟි ඉදිරියට ගියේ අතැති ලිපි ගොනුව ඇමතිතුමා විසින් පෙන් වූ ලේකම්වරයා යැයි සිතිය හැකි පුද්ගලයාට දෙන්නටය. ඔහු සිටියේ රථයට පිටුපසෙන් වූ ජීප් රථයේ ඉදිරි අසුනේය.
‘මං ගිහින් එන්නම්’
ඇමතිතුමා පැවසුයේය.
රන්ජා ආපසු ගෙදර යයිද?

ලබන සතියේ

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය