Powered by Blogger.


දිනපතාම ඔබ පතාම
හදවත හැඬුවා
නිතිපතාම එය සිතාම
හදවත හැඬුවා...!

(පද - ප්‍රේමකීර්ති ද අල්විස්)
“මං මැරිලා අවුරුදු 100 ක් ගියත් මගේ ගීත නැති වෙන එකක් නැහැ කියලා ප්‍රේම් (ප්‍රේමකීර්ති ද අල්විස්) ජීවතුන් අතර සිටිද්දී මා සමඟ පවසා තියෙනවා. එමෙන්ම ප්‍රේම්ගේ මරණයෙන්, දශක දෙකකටත් වඩා ගතවූ පසු අද මේ වනතුරු දවසින් දවස සැඟවී ගිය ඔහු ලියූ ගීත පවා නැවත එළිදකිමින් රසිකයින්ගේ ආදරය දිනා ගන්නවා. එවැනි අවස්ථාවක් තමා මේ ප්‍රේම් පද රචනය කළ ‘දිනපතාම ඔබ පතාම’ ගීතය එළිදැකීමත්. රංජිත් රීටන් ගායනා කර පසුව නැසී ගොස් තිබුණු මේ ගීතය අවුරුදු ගණනාවක්ම සැඟවී තිබී පසුව පුන්සිරි සොයිසා ගායනා කිරීම නිසා මෙලෙස නැවත මතු වී කතාබහකට ලක්වීම ප්‍රේම්ගේ කීම සැබෑ වීමක්. ඒත් ‘දිනපතාම ඔබ පතාම’ ගීතය ගයන්න අපි ඔය කාටවත්ම අවසර දීලත් නැහැ, කවුරුවත්ම අපෙන් අවසර අරගෙනත් නැහැ.”
එලෙස පවසමින් “රංජිත් රීටන් ගැයූ ගී පුන්සිරි සොයිසා අනවසරෙන් ගැයුවේ ද?” සංවාදයට මෙවර ප්‍රවීණ ගී පද රචක, ප්‍රේමකීර්ති ද අල්විස්ගේ බිරිය වන නිර්මලා ද අල්විස් එක්වන්නී ය. පසුගිය මාර්තු 23 දා රංජිත් රීටන් ද, අප්‍රේල් 13 දා පුන්සිරි සොයිසා ද, අප්‍රේල් 27 වැනිදා සංගීතඥ ජිනදාස ප්‍රනාන්දු (පොඩි මල්ලී) ද “රසඳුන” මඟින් සංවාදයේ යෙදෙමින් පළ කළ අදහස් අනුව ප්‍රේමකීර්ති ද අල්විස් විසින් පද රචනය කරන ලද “දිනපතාම ඔබ පතාම” ගීතය මුලින්ම රංජිත් රීටන් ගායනා කර ඇති අතර පසුව පුන්සිරි සොයිසා ද “සමනළ තටු” නමින් එළිදැක් වූ සංයුක්ත තැටියකට ගායනා කර ඇත.
ඒ අනුව රංජිත් පවසන්නේ පුන්සිරි මෙම ගීතය කොල්ල කා ඇති බවය. ඊට පිළිතුරු ලෙස පුන්සිරි පවසන්නේ තමා එසේ නොකළ බවත් මෙම ගීතයේ බුද්ධිමය දේපළ හිමිකරු වන ජිනදාස ප්‍රනාන්දුගේ අවසර ඇතුව “දිනපතාම ඔබ පතාම” ගීතය තමා ගායනා කළ බවත් ය. ජිනදාස (පොඩි මල්ලී) පවසන්නේ රංජිත් අවුරුදු ගණනාවක් පුරා මෙම ගීතය අතහැර දමා තිබීමෙන් ඊට අසාධාරණයක් වූ නිසා මෙය ගායනා කරන්න පුන්සිරිට අවසර දුන් බවයි. කෙසේ වුවත් මෙතැනදී කිසියම් අයුරකින් “දිනපතාම ඔබ පතාම” ගීතයේ පද රචනයේ බුද්ධිමය දේපළ හිමිකරු වන ප්‍රේමකීර්ති ද අල්විස්ගේ අයිතිවාසිකම නොසලකා හරිමින් සදාචාරාත්මක හා නීත්‍යානුකූල නොවන අයුරින් අනවසරයෙන් මෙම ගීතය භාවිත කිරීමෙන් ජිවතුන් අතර නොමැති ප්‍රේමකීර්තිගේ බුද්ධිමය දේපළ කොල්ලයක් සිදු වී ඇතැයි නිර්මලා ද අල්විස් චෝදනා කර සිටී.
“ප්‍රේම්ගේ අභාවයෙන් පසුව ප්‍රේම් ලියූ ගීත රාශියක් මේ විදිහට ගායක ගායිකාවන් විසින් ගී තැටි වලට ගායනා කර ඒවා වෙළෙඳ පොළට නිකුත් කළා. ඒත් ඒ කවුරුවත්ම අපෙන් ඒ ගීත සඳහා අවසර අරගෙන නැහැ. ප්‍රේම් ලියූ එම ගීත ගායනා කළ ගායක ගායිකාවන් හෝ එම ගීතවල තනු නිර්මාණ කළ සංගීත ශිල්පීන් හෝ කිසිවෙකුත් ප්‍රේම්ගේ බුද්ධිමය දේපළ පිළිබඳ තැකීමකින් කටයුතු කරන බවක් නම් පෙනෙන්න නැහැ. ප්‍රේම්ට හිතවත්ම ගායන ශිල්පීන් දෙතුන් දෙනකු හැර වෙන කිසිවකුට මේ ගැන හැඟීමක් වත් නැති ගාණයි. ඒ නිසා මෙලෙස හෝ ප්‍රේම්ගේ ගී නිර්මාණයන්ගේ බුද්ධිමය දේපළ අයිතිය පිළිබඳ කතාබහකට අවස්ථාවක් උදාවීම ගැන සතුටු වෙනවා.”
. “දිනපතාම ඔබ පතාම” ගීතය හා සම්බන්ධයෙන් ප්‍රේමකීර්ති ද අල්විස්ගේ බුද්ධිමය දේපළ කොල්ලකෑම සිදු වී ඇත්තේ කෙසේ ද?
“පැහැදිලිවම කිව යුතුයි - ‘දිනපතාම ඔබ පතාම’ ගීතය ගයන්න පුන්සිරි සොයිසාට හෝ එහි තනුව නිර්මාණය කළ ජිනදාස ප්‍රනාන්දු (පොඩි මල්ලී)ට අපි අවසර දීලත් නැහැ, ඔවුන් අපෙන් අවසර ඉල්ලලත් නැහැ. මේ වනතුරු ඒ කවුරුවත්ම අපිත් එක්ක මේ ගීතය ගැන කතා කරලවත් නැහැ. ප්‍රේමකීර්තිගේ ගී පද රචනයක් ගයන්න නම් ප්‍රේමකීර්ති ද අල්විස්ගේ බුද්ධිමය දේපළ හිමි පාර්ශ්වය වන අපගෙන් අවසර ලබා ගන්න ඕනේ. එහෙම නැතුව වෙන කාටවත් බැහැ ප්‍රේම් ලියූ ගීතයක අයිතිය තව කාටවත් ලබා දෙන්න.
. පුන්සිරි සොයිසා පවසන්නේ මේ ගීතය ගයන්න ගීතයේ තනුව නිර්මාණය කළ ජිනදාස ප්‍රනාන්දුගේ අවසර ලැබුණු බවයි. එසේම ජිනදාස ප්‍රනාන්දුත් පවසනවා මේ ගීතය ගයන්න පුන්සිරිට අවසර දුන්නු බව.
“බුද්ධිමය දේපළ නීතිය හරියාකාරව නොදන්නාකමට කරන ප්‍රකාශ ඕවා. ප්‍රේම්ගේ බුද්ධිමය දේපළ (ගී පද රචනය) භාවිත කිරීමට පුන්සිරිට අවසර දෙන්න ජිනදාසට කොහෙත්ම අයිතියක් නැහැ. එම අයිතිය තියෙන්නේ අපිටයි. ජිනදාසට පුළුවන් ඔහුගේ බුද්ධිමය දේපළ (තනු නිර්මාණය) ගයන්න පුන්සිරිට අවසර දෙන්න පමණයි. කෙසේ හෝ මෙතැනදී නිසි අවසරයකින් තොරව ප්‍රේම්ගේ ‘දිනපතාම ඔබ පතාම’ ගී පද රචනය භාවිත කරමින් කර තිබෙන්නේ බුද්ධිමය දේපළ කොල්ලයක් බව පැහැදිලියි. මෙය සදාචාරාත්මක හෝ නීත්‍යානුකූල ක්‍රියාවක් නොවේ. විශේෂයෙන්ම මෙහිදී සිදු වී ඇත්තේ ජීවතුන් අතර නොමැති කලාකරුවකුගේ බුද්ධිමය දේපළ කොල්ලකෑමක් නිසා මෙය වඩා ලැජ්ජා විය යුතු ක්‍රියාවක් ද වන බවයි මගේ වැටහීම.”
. ප්‍රේමකීර්ති විසින් රචිත තවත් ගීත කොල්ලයකට ලක් වී ඇති බැව් ද ඔබ පවසන්නේ...?
“ඔව්, වර්තමානයේ ක්‍රියාත්මක වන බුද්ධිමය දේපළ නීතියට අනුව ගීතයක එහි හිමිකම් තියෙන්නේ ගී පද රචකයාට සහ තනු (ස්වර) නිර්මාණය කළ සංගීතඥයාටයි. ඔවුන් ජීවත්ව නොසිටී නම් ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් (බිරිය හෝ දරුවන්) ට අදාළ බුද්ධිමය දේපළවල හිමිකම් පැවරෙනවා. එම නිසා ජීවතුන් අතර නොමැති ගී පද රචකයකුගේ හෝ සංගීතඥයකුගේ හෝ ගී නිර්මාණයක් තැටි, පට සඳහා යොදා ගන්නා විටකදී වත් අදාළ හිමිකම් ඇති පාර්ශ්වයන් ගෙන් අවසර ගෙන එම කටයුත්ත කිරීම තමයි කළ යුතු. නැතිනම් එය අපරාධයක්. ඊට එරෙහිව නීතිමය පියවර පවා ගත හැකියි. පැහැදිලිවම ගායන ශිල්පියා හෝ ශිල්පිනියට ඇත්තේ සදාචාරාත්මක අයිතියක් පමණයි. කෙසේ හෝ ප්‍රේම්ගේ ගීත ගායනය කරමින් එම නිර්මාණ වලින් මුදල් උපයා ගන්නා බොහෝ දෙනකුට අද ප්‍රේම්ව අමතක වෙලා. එපමණක් ද නොවේ, ඇතැම් අය මගේ අස්සන හොරට යොදලා ප්‍රේම්ගේ ගී පද රචනා (බුද්ධිමය දේපළ) කොල්ල කාලා තියෙනවා. හරිම අසාධාරණ ලෙස දිගින් දිගටම මෙය සිදු කර ගෙන යනවා.”
. ඊට එරෙහිව ඔබ නීතිමය පියවර නොගන්නේ ඇයි...?
“ඉතා ඉක්මනින්ම අපි මේ ප්‍රේම්ගේ බුද්ධිමය දේපළ කොල්ලකෑමේ අපරාධයට විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ගයකට පිවිසෙන්නට ඕනෑ කරන කටයුතු දැනටමත් සූදානම් කරගෙන යනවා. මේ වන විටත් කොල්ල කෑ ප්‍රේම්ගේ ගීත පිළිබඳ විස්තර රාශියක් ම මා ගොනුකර ගෙන තිබෙනවා.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය