Powered by Blogger.


මාර්ග ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි ‍පොලිස් නිලධාරීන් දෙදෙනෙක් පැහැරගෙන ගොස් නිරුවත් කර ඒ එක් නිලධාරියෙක්ට වෙඩි තබා මරා දමා අනෙක් නිලධාරියාව
ඝාතනය කරන්නට උත්සහ දැරූ අපරාධකරුවන් සිව් දෙනා අතර යුද හමුදාවේ සිටි සෙබළු දෙදෙනෙක්ද සිටින බව අනාවරණය වී තිබේ. මේ පුද්ගලයන් සිව් දෙනා එකිනෙකා හඳුනාගෙන ඇතැයි පැවසෙන්නේ බන්ධනාගාරයේදීය. ඒ ඔවුන් මංකොල්ලකෑම් ඇතුළු විවිධ අපරාධවලට විටින් විට සැකකරුවන් වී බන්ධනාගාරගතව ඇති  බැවිනි.
ඒ එක් අයෙක් පදිංචිව සිටින්නේ මාතර පැත්තේය. නමින් සංජීව නමැත්තෙකි. ‍පොලිස් නිලධාරීන් දෙදෙනා පැහැර ගත් සුදු වෑන් රථය පදවා ඇතැයි  සැකකරන්නේ ඔහුය.
අනෙකා නමින් තෙන්නකෝන් නමැත්තෙකි. ඔහු අනුරාධපුරයේ අයෙකු බවට සැකකරයි. කුරුණෑගල පැත්තේ වැඩි වශයෙන් කරක් ගසන අයෙක් බවද සඳහන්ය. පැහැර ගත් ‍පොලිස් නිලධාරීන්ට ටී 56 අවියකින් වෙඩි තබා එක් නිලධාරියෙක් මරා දමා ඇත්තේ ඔහු වන්නට ඇති බවට සැකකරයි.
‍පොලිස් නිලධාරීන් දෙදෙනා පැහැර ගන්නා ලද සුදු වෑන් රථය කුලී පදනම මත  වෙන්නප්පුව ප්‍රදේශයේ පිහිටි වාහන කුළි ආයතනයකින් ලබා ගත්තක් බවට  තොරතුරු ද අනාවරණය වී තිබේ. එම වෑන් රථය ගෙනැවිත් ඇත්තේද වෙන්නප්පුව පැත්තේ පදිංචිකරුවෙකි. චාරුක නමැති ඔහුද ‍පොලිස් නිලධාරීන් පැහැර ගන්නා විට වෑන් රථයේ සිට ඇති බවට තොරතුරු විමර්ශන වලින් අනාවරණය වී තිබේ.
අනෙක් පුද්ගලයා දඹුල්ල පැත්තේ පදිංචිකරුවෙක් වන අතර  ඉකුත් 05 වැනිදා සිව් දෙනාගේ මෙම කල්ලිය එකට එක්ව 05 වැනිදා රාත්‍රියේ නාරම්මල නගරයේ පිහිටි ඉන්ධන පිරවුම් හල මංකොල්ල කා ඇති බව මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ විශ්වාසයයි. වෑන් රථයේ ඉන්ධන ටැංකිය පිරෙන්නට එහිදී ඉන්ධන පුරවාගත් මෙම කල්ලිය තවත් කොල්ලයකට සූදානමින් කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් සිටියදී ‍පොලිස් නිලධාරීන් දෙදෙනා මෝටර් රථයක් නතර කර කාන්තාවක් සමග කථා කරමින් සිටිනු දැක එහි සිදුවන්නේ කුමක්දැයි වාහනය මග නතර කර බලා සිට අනතුරුව ‍පොලිස් නිලධාරීන් දෙදෙනාව තනිවූ පසු පැහැර ගන්නට ඇති බව  ‍පොලිස් විමර්ශකයෝ සැකකරති.
 කප්පම් ගැනීම් ඇතුළු මංකොල්ලකෑම් වලට සම්බන්ධ මෙම සිව් දෙනා විටෙන් විට ‍පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බැවින් ‍පොලිස් නිලධාරීන් ගැන තරමක්  වෛරයකින් සිට ඇති බැවින් ඔවුන් දෙදෙනා පැහැරගෙනගොස් මරා දමන්නට සිතක් පහළ වන්නට ඇති බව ‍පොලිස් විමර්ශකයන්ගේ විශ්වාසයයි. එසේ නොමැතිව එම නිලධාරීන් දෙදෙනා සමග පෞද්ගලික හිත් අමනාපයක් හෝ ආරවුලක් මෙම සිව් දෙනාට තිබි ඇති බවක් මතෛක් කර ඇති විමර්ශන වලින් අනාවරණය වී නැත.
මේ දේවල් ඔවුන් කරන්නට ඇත්තේ මත්පැන් පානය කර  ඉන් අනතුරුව විය හැකි බවද සැකකරයි.
‍පොලිස් නිලධාරීන් දෙදෙනා පැහැරගෙන ගොස් එක් අයකු මරා දමා අනෙක් නිලධාරියා මරා දැමීමට තැත් කර එය අසාර්ථක වීමෙන් පසු  කුරුණෑගලින් පලාගිය සිව් දෙනාගේ මෙම කල්ලිය කොළඹ - නුවර පාරේ  පැමිණ  වේවැල්දෙණියේ පිහිටි ඉන්ධන පිරවුම් හලද මංකොල්ල කා ඇති බව ‍පොලිස් විමර්ශකයෝ  විශ්වාස කරති.
රට පුරා පසුගිය කාලයේ සිදු කළ කොල්ලකෑම් රැසකට මෙම කල්ලිය සම්බන්ධ බවට ඒ අනුව සැකකරන ‍පොලිස් විමර්ශකයන් විශ්වාස කරනුයේ ඔවුන්  අත්අඩංගුවට ගැනීමෙන් පසු එම අපරාධයන්ද හෙළි කර ගැනීමට හැකි වෙතැයි කියාය. මේ වන විට ඔවුන් අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක වන අතර ඉදිරි පැය කිහිපය තුළ ඔවුන් සිව් දෙනාම හෝ ඒ අයගෙන් කිහිප දෙනෙක් හෝ අත් අඩංගුවට ගැනීමට හැකි වෙතැයි  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාස කරයි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය