Powered by Blogger.


භික්‌ෂුව සහ සමාජය

පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි
අස්‌ගිරි මහා විහාරීය කාරක සංඝ සභික
සමස්‌ත ලංකා ශාසනාරක්‍ෂක මණ්‌ඩලයේ අනුශාසක.

ලක්‌දිව බුදුන්ගේ මය යනුවෙන් පූජාවලියේ සඳහන් වෙයි. ලංකාව කිහිපවරක්‌ ම බුදු සසුනට පුදා ඇති බැවිනි. ලක්‌දිව රජවරු හා සැදැහැවත්හු වෙහෙර විහාර සහ සඟරුවනේ පැවැත්මට කෙත්වතු පිදූහ. ඒවා විහාර සන්තක දේපළ, ලෙස සැලකෙයි. විහාර හා දේවාල සන්තක ගොඩ මඩ ඉඩම්, මුත්තෙට්‌ටු, පරවේණි නිලපංගු, 3 මාරුවෙන පංගු වශයෙන් වර්ග කෙරේ. මුත්තෙට්‌ටු ඉඩම්වල සම්පූර්ණ ආදායම හෝ අඳ කොටස අදාළ සිද්ධස්‌ථානයට හිමි වෙයි. පරවේණි ඉඩම් යනු පූජනීය ස්‌ථානයට කිසියම් සේවාවක්‌ සැපයීමේ නියමයට යටත්ව පුද්ගලයන් පාරම්පරිකව භුක්‌ති විඳින ඉඩකඩම් ය. ගම්මාන වශයෙන් පවතින පරවේණි ද ඇත. ඒවා විහාරගම් හෝ දේවාලගම් ය. එහි වෙසෙන ජනයා ඉඩකඩම් භුක්‌ති විඳිමින් පන්සලේ හෝ දේවාලයේ තමන්ට පැවරුණ රාජකාරි කළ යුතුයි. මාරුවෙන පංගුව යනු කිසියම් සේවාවක්‌ සඳහා කෙටි කාලීනව කෙනකුට පැවරෙන විහාර හෝ දේවාල ඉඩම් ය. සිද්ධස්‌ථානයේ තීරණය පරිදි මාරුවෙන පංගු ඉඩම්ලාභියා වෙනස්‌ කළ හැකිය.

පන්සලට සේවාවන් සැපයීම නීතියෙන් බැඳුන වගකීමකි. නමුත් එය ශාසනය වෙනුවෙන් සිදුකරන පූජාවක්‌ යන හැඟීම සේවා සපයන්නන් තළ පැවැති නිසා ඔවුන් ක්‍රියා කළේ සැදැහැ සිතිනි. භික්‍ෂුන් ද ගමේ දායකයන් වූ පරවේණිකරුවන් කෙරෙහි දැක්‌වූයේ කාරුණික ස්‌වරූපයකි. ශාසනික දේපළ අනිසි ලෙස භුක්‌ති වීමෙන් බලු කපුටන් වන බව සමාජ පිළිගැනීSම විය. අද ඇතැම් සේවා පන්සලට අවශ්‍ය නොවූවත් පන්සලට කිසිදු දීමනාවක්‌ නොදී පන්සල් ඉඩම් භුක්‌ති විඳින විශාල පිරිසක්‌ සිටිති. විහාරාධිපති හිමියන්ගේ හා ඉඩම් භුක්‌ති විඳි පරපුරේ මූලිකයන්ගේ අභාවයෙන් පසු තොරතුරු නොදන්නාකමින් පන්සල් ඉඩම් අහිමි වන අවස්‌ථා දක්‌නට ලැබේ.

භික්‍ෂුන් හා බෞද්ධයන් අතර බැඳීම සිඳ බිඳ දැමීමටත්, භික්‍ෂුන්ගේ යෑපීම් මාර්ග ඇහිරීමටත් සිතූ ඉංග්‍රීසී ආණ්‌ඩුව 1819 සහ 1822 වසරවලදී පන්සල් සතු ඉඩම් ලියාපදිංචි කරන්නැයි විහාරාධිපති භික්‍ෂුන්ට දැන්වීය. සීමා මායිම් හඳුනා ගැනීමට අපහසු වීම හා අක්‍රමිකතා නිසා විහාර ඉඩම්වල අයිතිය පන්සලට අහිමි වුණි. පුද්ගලයකු මියගිය පසු ඔහු සතු ඉඩම් උරුම වන අයගෙන් රජයට මරාළ බද්දක්‌ ගැනීම නීතියකි. එහෙත් පන්සල පුද්ගලයකු නොවන නිසා මරණය සිදු නොවේ. එනිසා පන්සල් ඉඩම්වලින් මරාළ බද්දක්‌ අයකර ගැනීමට නොහැකිය. ආණ්‌ඩුකාර ස්‌ටුවට්‌ මැකන්සි 1840 අංක 2 දරන පනත ප්‍රකාශයට පත් කරමින් පන්සල්වලට ඉඩම් පැවරීම වළක්‌වන මෝට්‌මේන් නමැති නීතිය ක්‍රියාත්මක කළේය. ඒ අනුව එකල ඉඩමක්‌ පිදීමට රජයෙන් අවසර ගත යුතු විය. එය වර්තමානයේ ක්‍රියාත්මක නොවේ. එසේම 1840 අංක 12 දරන පනත මගින් පන්සල් සතු කුඹුරුවල ජල පෝෂක කැලෑ ප්‍රදේශ නිසරු ඉඩම් වශයෙන් නම් කොට ආණ්‌ඩුවට පවරා ගෙන ඇත.

පන්සල් හා දේවාල සන්තක ඉඩම් සියල්ල ලේඛනගත කිරීම සිදුවුණේ 1856 අංක 10 දරන විහාර හා දේවාල ඉඩම් ලියාපදිංචි කිරීමේ ආඥා පනත මගිනි. ඉඩමක අයිතිය තහවුරු කෙරෙන මායිම් අපැහැදැලි වීම, ලිපි ලේඛන දිරාපත් වීම හෝ වෙනත් හේතු නිසා එකල ඉඩම් රැසක්‌ අහිමි වුණි. 1856 වසරේÊදී ලියාපදිංචි පන්සල් හා දේවාල ඉඩම් ප්‍රමාණය අක්‌කර 3,17,667 කි. අක්‌කර 8,00000 ක්‌ පමණ අහිමි වුණි.

1870 සේවා භුක්‌ති ආඥා පනත පන්සල් ඉඩම්වල අයිතිය අහිමි කෙරුණ පනතකි. පරවේණි හා මාරුවෙන පංගු ඉඩම් භුක්‌ති විඳින පුද්ගලයන් පන්සලේ හෝ දේවාලයේ සේවාවන් ඉටු කිරීමට රාජකාරි වශයෙන් බැඳී සිටියහ. එම සේවාවෙන් මිදී ඒ වෙනුවට මුදල් ගෙවීමට 1870 සේවා භුක්‌ති ආඥ පනතින් ඉඩ ලබා දුනි. වසර දහයක්‌ පන්සලට මුදල් නොගෙවා සිටියොත් එම ඉඩම ප්‍රවේණිකරුගේ භුක්‌තියට සවි වන ආකාරයට එම පනතින් විධි විධාන සලසා ඇත. 1870 සේවා භුක්‌ති ආඥා පනතින් පන්සලේ ප්‍රවේණි ඉඩම්වල සිටි අයට සින්නක්‌කර අයිතිය ලැබුණි. ඒ නිසා ඔවුහු පන්සල් ඉඩම් විජාතිකයන්ට විකුණූහ. දැනුදු පරවේණි ඉඩම්වලට එම ඉරණම අත්වෙයි. කෙනකු සතු ඉඩමක්‌ අවුරුදු දහයකට වැඩි කාලයක්‌ නිදහසේ භුක්‌ති විඳීම හේතුවෙන් 1871 කාලාවරෝධය ආඥ පනත මගින් ද ඉඩමේ අයිතිය භුක්‌ති විඳින්නාට ලැබෙයි. නමුත් දැනට භාවිත නීතිය අනුව පන්සලේ සාංඝික ඉඩමක්‌ කෙනකු විසින් කොපමණ කලක්‌ භුක්‌ති විඳිනු ලැබූවත් පන්සලේ අයිතිය අහෝසි නොවේ. එහෙත් කිසියම් භික්‍ෂුවකගේ පෞද්ගලික ඉඩමක්‌ කාලාවරෝධ නීතියට යටත් වෙයි. නමුත් සිල්වා එදිරිව පොන්සෙකා නඩුව තීන්දුව අනුව (නව නීති වාර්තා 15, 239) පන්සලක්‌ මගින් අත්කර ගෙන ප්‍රයෝජනයට ගත් ඉඩමක්‌ කාලාවරෝධ නීතියට අනුව පන්සලේ භුක්‌තියට සවිවෙයි. පන්සල් ඉඩම් සම්බන්ධයෙන් විශාල බලපෑමක්‌ සිදුවුණේ 1889 අංක 3 දරන විහාර දේවාලගම් පනත මගිනි. බුද්ධ ශාසනයට පූජා කළ ඉඩම් භික්‍ෂූන්ට පමණක්‌ නොව සියලු බෞද්ධයන්ට පොදුවේ අයිති වේ යන වැරදි මතයක්‌ එයට ඇතුළත් වූ බැවිනි.

වර්තමානයේ පන්සල් හා දේවාල සතු ඉඩම් ප්‍රධාන වශයෙන් පාලනය වන්නේ 1931 අංක 19 විහාර දේවාලගම් ආඥ පනතෙනි. පන්සල් දේපළ සම්බන්ධයෙන් පෙර පැවැති ආඥා පනත්වල විධි විධාන එමගින් අහෝසි වී ඇත. මෙම ආඥා පනතේ විධි විධානයෝ ද්වීපයේ තිබෙන සියලුම සිද්ධස්‌ථානවලට අදාළ වෙති යනුවෙන් එම පනතෙහි සඳහන් වෙයි. එසේ වුවත් ඇතැම් නියමයන්ගෙන් නිදහස්‌ වන සිද්ධස්‌ථාන ද තිබෙන බව පනතේ ප්‍රාරම්භ කොටසින් පැහැදිලි කොට ඇත. එම පනතේ නියමය පරිදි පූජනීය ස්‌ථානවල ඉඩම් බදුදීම් හා පැවරීම් බෞද්ධ කටයුතු කොමසාරිස්‌ගේ අවසරය මත කළ යුතුයි. එම පනත මගින් භික්‍ෂුවගේ බලය අභිබවා පන්සලේ පාලනය රජය යටතට ගැනීමක්‌ සිදු වී ඇතැ යි චෝදනා නැඟෙයි. අනික්‌ අතට පූජනීය ස්‌ථාන භාරකරුවන්ගේ හිතුවක්‌කාර පාලනය වැළකී, යම් තරමකට හෝ පන්සල් ඉඩම් සුරැකී තිබෙන්නේ මෙම පනතෙන් බවට පිළිගැනීමක්‌ ඇත.

1958 අංක 1 දරන කුඹුරු පනත සම්මත කෙරුණේ අඳ ගොවි අයිතිය සුරැකීමේ අරමුණෙනි. එමගින් කුඹුරු සම්බන්ධයෙන් පන්සල සතු පරම අයිතිය ලිහිල් වී අඳ ගොවියාට ද අයිතියක්‌ ලැබෙයි. 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනත මගින් ද අඳ ගොවි අයිතිය තහවුරු කර තිබේ. ඒ නිසා ඉඩම්වලින් නිසි ආදායම් පන්සලට නොලැබේ. 1972 සහ 1975 ඉඩම් පවරා ගැනීමේ නීතිය ද පන්සල් ඉඩකඩම්වලට අයහපත් වූවකි. පන්සලෙන් බද්දට ලබාගෙන වතු සමාගම් විසින් භුක්‌ති විඳින ලද ඉඩම් ආණ්‌ඩුවට පවරා ගැනීමෙන් පන්සලේ අයිතිය ගිලිහුණි. විහාර දේවාලගම් පනතට අනුව සිද්ධස්‌ථානයක්‌ සන්තක ඉඩමක්‌ බෞද්ධ ප්‍රතිපත්ති ධර්මවලට විරුද්ධ කිසි කටයුත්තකට යෙදිය නොහැකිය. පන්සල් ඉඩම් අබෞද්ධයන්ට ලබා දීමට බාධාවක්‌ නොමැත. 2011 සංශෝධිත එහෙත් තවමත් සම්මත නොවූ පනතට අනුව අබෞද්ධ පුද්ගලයන්ට හෝ බෞද්ධ විරෝධී කටයුතු සඳහා පන්සල් දේපොළ බදු දීම තහනම් වෙයි.

ඉඩම් පවරා ගැනීමේ ආඥ පනත යටතේ පොදු කාර්යයකට පන්සල් ඉඩමක්‌ රජයට පවරා ගන්නට පුළුවන. එයට අදාළ වන්දි මුදල් 1944 පන්සල් ඉඩම් වන්දි ආඥා පනතට අනුව වර්තමානයේ බෞද්ධ කටයුතු කොමසාරිස්‌ ජනරාල් හා පන්සලේ විහාරාධිපති නමින් ගිණුමක තැන්පත් කළ යුතුය. පන්සලේ සංවර්ධනය සඳහා ඉඩමක්‌ මිලට ගැනීම, ගොඩනැඟිලි ඉදිකිරීම, භික්‍ෂුන්ගේ ප්‍රයෝජනය හා උපදේශක සභාව අනුමත කරන වෙනත් කාර්යයක්‌ සඳහා එම මුදල් ලබා ගත හැක.

1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත සම්මත කෙරුණේ ඉඩම් අයිතිය හා සීමා නිරවුල් කිරීමේ අදහසිනි. ඒ අනුව එම කාර්යය සිදුකිරීමට බිම්සවිය නමින් ව්‍යාපෘතියක්‌ රජය මගින් ක්‍රියාත්මක කොට ඇත. ඒ අනුව පන්සල් හා දේවාල ඉඩම් මැනීමේදී හා හිමිකරුවන් සඳහා බලපත්‍ර ලබා දීමේදී සිද්ධස්‌ථාන සතු ඉඩම් අයිතිය අහෝසි වීමක්‌ සිදුවෙයි. ඉඩම් නිරවුල් නොවීම, භුක්‌ති විඳින අය තොරතුරු සැඟවීම හා අනවසර පදිංචිය එයට බලපායි. කිසියම් ඉඩමක අයිතිය පැහැදිලි නොමැති නම්, ඉඩම භුක්‌ති විඳින්නාට හිමිකම් කියන්නා යන සහතිකය ලැබෙයි. ඔහු දෙවැනි අයිතිකරුවෙකි. අනවසර පදිංචිකරුවකුට ද නීත්‍යනුකූල බවක්‌ එයින් ලැබෙයි. එවැනි ඉඩමක පරම අයිතිය සඳහා වසර දහයක්‌ තුළ කිසිවකු ඉදිරිපත් නොවූවොත්, හිමිකම් කියන්නා අයිතිකරුවා බවට පත්වෙයි. මෙය සෘජුව ම පන්සල් හා දේවාල ඉඩම් අයිතියට බලපාන්නකි. බිම්සවිය වැඩසටහන මගින් පන්සල් ඉඩම්වලට උදාවන්නේ 1870 සේවා භුක්‌ති ආඥ පනතෙන් අත් වූ ඉරණමයි. එමගින් පන්සල් ඉඩම් රැසක්‌ අහිමි වනු ඇත. එම නිසා පන්සල් හා දේවාල ඉඩම් බිම්සවිය ව්‍යාපෘතියෙන් නිදහස්‌ කරන ලෙස මහ නාහිමිවරුන් රජයෙන් ඉල්ලීමක්‌ කර ඇත.
 

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය