Powered by Blogger.

මාග්‍රට් දුටුවන් සිත් වසඟ කරන මනා රූසපුවකින් යුත් රූබර යොවුන් තරුණියකි. ලන්ඩන් නගරය ආසන්නයේ විසල් නිවසක වාසය කරන ඇගේ පියා සුප්‍රකට පුරා විද්‍යාඥයෙකු වන මහාචාර්ය ජූලියන් ෆච් නම් වෙයි. කලකට ඉහතදී ඔහු තම සගයින් පිරිසක් සමඟ ඊජිප්තුවේදී සිදු කරන ලද පුරා විද්‍යා සමීක්ෂණයකින් ඔවුනට ඉතා දුර්ලභ ගනයේ කෞතුක වස්තුවක් වන ‘මමියක්’ සොයා ගැනීමට හැකි විය. මමිය බහා තිබූ පාෂාණමය දෙන සහ එයට අදාල කෞතුක භාණ්ඩ බොහොමයක් ලන්ඩනයට රැගෙන ආ ඔහු තම නිවසේ භූගත බංකරයක තනා ඇති කුඩා කෞතුකාගාරයක ඒ සියල්ල තැන්පත් කර වැඩිදුර පර්යේෂණ ආරම්භ කරයි.
මමියෙහි අඩංගු සිරුර මීට වසර දහස් ගණනකට පෙර මිසරයේ ජීවත් වූ ගුප්ත මායාකාරියක වූ ‘තාරා’ නම් රැජිනකට අයත් එකක් බව ඔහු විසින් සොයා ගනී. එහෙත් එම මළ සිරුර මෙතුවක් කල් නරක් නොවී ප්‍රකෘති තත්වයෙන්ම ආරක්ෂා වී තිබීම ඔහු මවිතයට පත් කරන කරුණක් වෙයි.මාග්‍රට් ගේ උපන් දිනය දා මහාචාර්ය ජුලියන් ඇයට දෙන්නේ අපූරු තෑග්ගකි. ඒ තාරා දේවිය අත පැළඳි ඉතා දුර්ලභ ගනයේ රතු මැණිකක් ඔබ්බ වන ලද අගනා මුදුවකි. දිනක් ආචාර්ය ජුලියන් මළ සිරුර බහාලු දෙන අබියස සිට නිදා සිටින දෙවඟනක් බඳු වූ මිසර රැජිනගේ රූබර දේහය දෙස ඇසිපිය නොහෙලා බලා සිටින විට ඇය අතිශයින්ම තම දියණියට සමාන බව පෙනී යයි. රෑ නින්දේදී භයානක සිහින දකින මාග්‍රට් බිය වී කෑ ගමින් අවදි වෙද්දී තමාගේ පියාගේ ළතෝනි හඬ බිම් මහල දෙසින් ඇසෙයි.
පහළට යන ඇයට හමු වන්නේ දරුණු ලෙස ගෙල ප්‍රදේශය පහුරු ගාන ලද මුහුණ පුරා ලේ වැකුණු තම පියාගේ සිහිසුන් සිරුරයි. වහා ප්‍රතිකාර ලබා දුන්න ද ඔහු අංශභාග රෝගියෙකු බවට පත් වෙයි. ඇගේ සහායට පැමිණෙන්නේ ඇගේ පෙම්වතා වන ටොඩ් නමැති තරුණයෙකි. අත පැළැඳි මුදුව නිසා ඇයට ගුප්ත බලයක් අරූඪ වන බවක් ඇයට දැනෙන්නට වෙයි. එදා රාත්‍රියේ කළු දුහුල් ඇඳුමකින් සැරැසෙන ඇය, සිහිනෙන් මෙන් තාරා දේවියගේ මමිය තබා ඇති බිම් මහල වෙත යද්දී යාබද නිිවසේ සිට ඔවුන් ගැන විමසිල්ලෙන් සිටින කෝබෙක් නැමැත්තෙක් ඇය පසුපස එයි. ඔවුන් අතර බහින්බස් වීමක් සිදුවන අතර ඇගේ පෙම්වතා ටොඩ් පැමිණ ඇය රැගෙන යාමට තැත් කරයි. ඒ මොහොතේ ඇයට තාරා දේවියගේ ගුප්ත බලය ආරූඪ වන අතර පලා යන ටොඩ් ගමන් ගත් රථය අනතුරකට ලක්ව ඔහු මිය යයි.
තම පියා සමඟ එක්ව තාරා දේවියගේ මමිය රැගෙන ආ ඔහුගේ සගයින් ද එකිනෙකා අද්භූත අන්දමින් මරණයට පත් වන්නේ තාරා දේවියගේ ශාපය වැදීමෙනි. සුරූපී මාග්‍රට් සහ කෝබෙක් අතර ගැටුමෙහි අවසානය විදහා දැක්වෙන්නේ ‘බ්ලඩ් ෆෙ‍්‍රාම් ද මමීස් ටොම්බ්’ චිත්‍රපටයෙනි.
ඩ්‍රැකියුලා චිත්‍රපට නිපදවීමේදී පැන නැඟුණු නොයෙක් මත ගැටුම් හේතුවෙන් ‘හැමර්’ චිත්‍රපට සමාගමට වෙනත් විකල්ප සොයා යාමට සිදුවීමේ ප්‍රතිඵලයක් ලෙස 1971 දී ‘බ්ලඩ් ෆෙ‍්‍රාම් ද මමීස් ටොම්බ්’ නමැති චිත්‍රපටය නිර්මාණය විය. එය අධ්‍යක්ෂණය කළේ සෙත් හෝල්ට් විසිනි. හැමර් චිත්‍රපට වෙනුවෙන් හොවාර්ඩ් බ්‍රැන්ඩි නිෂ්පාදනය සිදු කළ අතර ඩ්‍රැකියුලා චරිතයේ නිර්මාතෘ බ්‍රෑම් ස්ටෝකර් විසින් ලියන ලද නවකතාවක් ඇසුරෙන් තිර රචනය කළේ ක්‍රිස්ටෝපර් වීකිං විසිනි. ට්‍රිස්ටම් කේරි, චිත්‍රපටය සංගීතවත් කළ අතර කැමරාකරණය ආතර් ග්‍රාන්ට් ගෙනි. සංස්කරණය වීටර් වෙදර්ලි විසිනි.
ප්‍රධාන චරිතය වන මාග්‍රට් සහ තාරා දේවියගේ ද්විත්ව චරිතය රඟපෑවේ එවකට අතිශය ජනප්‍රිය සහ රුවින් අගතැන් නිළියක් වූ වැලරි ලියොන් විසිනි. මන්දගාමී චිත්‍රපටයක් වූ නමුදු ඇගේ අඩ නිරුවත් දර්ශනවලින් චිත්‍රපටයට නොමඳ ආලෝකයක් ලබා දීමට අධ්‍යක්ෂවරයා උත්සාහ දරා ඇත. මහාචාර්ය ජූලියන් ලෙස ඇන්ඩෲ කයර් ද කෝබෙක් ලෙස ජේම්ස් විලියර්ස් ද සෙසු චරිත හියු බර්ඩන්, රොසලි ක්‍රච්ලි, හෙලන් ඩිකාර්සන් සහ ඔබ්‍රි මොරිස් විසින් ද නිරූපණය කෙරිණ. මාග්‍රට්ගේ පෙම්වතා ලෙස රඟපෑවේ නවක නළුවෙකු වන මාක් එඩ්වඩ් විසිනි.
1971 ඔක්තෝබර් 14 දා චිත්‍රපටයේ තිරගත කිරීම් ආරම්භ විය. බෙදා හැරීමේ කටයුතු සිදු කළේ ඇමරිකාවේ එම්. ජී. එම්. සහ ඇන්ග්ලෝ ඊ. එම්. අයි. චිත්‍රපට සමාගම් විසිනි. චිත්‍රපටයේ නිෂ්පාදන පිරිවැය වූයේ ස්ටර්ලින් පවුම් 200,000 ක මුදලකි.
සුරූපී වැලරි ලියොන්ගේ ආකර්ශනීයත්වය හැරුණු කොට චිත්‍රපටය සම්බන්ධයෙන් කතාබහට ලක් වූ සුවිශේෂ කාරණා කිහිපයක් විය. මහාචාර්ය ජූලියන්ගේ චරිතයට තෝරා ගත් ප්‍රවීණ නළු පීටර් කුෂින් හට රඟපෑමට ලැබුණේ එක් ජවනිකාවක් පමණි. ‘එම්පිසිමා’ නම් බරපතල රෝගයකට ඔහුගේ බිරිඳ ගොදුරු වූ බවට හදිසි පණිවුඩයක් ලැබීමෙන් ඔහුට රඟපෑමෙන් ඉවත්ව යෑමට සිදු විය. එම පුරප්පාඩුව සම්පූර්ණ කළේ ඇන්ඩෲ කෙයර් විසිනි.
මූලික රූගත කිරීම් සති 6 කට සැලසුම් කර තිබූ අතර සති 5 ක රූගත කිරීම් හමාර වනවාත් සමඟම අධ්‍යක්ෂක සෙත් හෝල්ට් දර්ශන තලයේදී හදිසි හෘදයාබාධයක් වැළඳීමෙන් අවසන් හුස්ම හෙළුවේ නළු ඔබ්‍රි මොරිස්ගේ අත මතදීය. චිත්‍රපටයේ ඉතිරි කොටස අධ්‍යක්ෂණය කළේ මයිකල් කැරේරාස් විසිනි. කිසි විටෙකත් බලාපොරොත්තු නොවූ අවිනිශ්චිත සිදුවීම්වලට හේතුව තාරා දේවියගේ ශාපය නිසාදැයි තවමත් නොවිසඳුනු අභිරහසකි. පැරැණි චිත්‍රපට රසිකයින් වෙනුවෙන් ඇන්කර් බේ සමාගම විසින් නව ඩී. වී. ඩී. තැටියක් මෑතකදී වෙළෙඳ පොළට නිකුත් කර ඇත.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය