Powered by Blogger.

‘සිහින සක්මන’ අධ්‍යක්ෂ දිල්ෂාන් වෙල්ලාලගේ
දිල්ශාන් වෙල්ලාලගේ ජාතික රූපවාහිනියේ සෑම සතියේ දිනකම රාත්‍රී 7.27 ට විකාශය වන සිහින සක්මන ටෙලි නාට්‍යයෙහි අධ්‍යක්ෂවරයාය. සහාය අධ්‍යක්ෂවරයකු මෙන්ම කලා අධ්‍යක්ෂවරයකු ලෙස වසර කිහිපයක අත්දැකීම් ඇති ඔහුගේ පළමු අධ්‍යක්ෂණය වන්නේ සිහින සක්මනයි.
* දිල්ෂාන්, සිහින සක්මනහි අඩිතාලම වැටුණේ කොහොමද?
මේක වලව්කාරයින් අතර සිදුවන ගැටුමක්. බලය අනිසි අයුරින් ප්‍රයෝජනයට ගෙන ඔවුනොවුන් පොඩි මිනිහාට බලපුළුවන්කාරකම් පෙන්වන්න උත්සාහ කරනවා. මේ කතාව මා විසින් රචනා කරන ලද්දක්. මං ආස නැහැ අපේ ලොකු ලොකු උදවිය පොඩ්ඩන්ව පාගා දමනවාට. මං මෙමඟින් කතා කරන්නට උත්සාහ කරන්නේ සමාජයේ වෙසෙන අසාධාරණයන් ගැන. මේ කරුණු කාරණා ගැන මං වසර ගණනාවක් අධ්‍යයනය කළා. එහි ප්‍රතිඵලයයි සිිහින සක්මන.
* සහින සක්මන හි පිටපත ලියාගෙන කොච්චර කල් හිටියද එය රූපයට නඟන්න?
සෑහෙන කාලයක් මේ පිිටපත මා ළඟ තියෙන්න ඇති. හොඳ දෙයක් එන්න කල් ගත වෙනවනේ. මට මේ සඳහා තිබුණේ වාණිජමය අභියෝගයක්.
* ඊළඟට මං අහන්නේ සිහින සක්මන රූගත කරලා කොච්චර කල් ළඟ තබාගෙන හිටියද කියන ප්‍රශ්නය?
අන්න ඔතන ලොකු ගැටලුවක් තියෙනවා. වර්තමානයේදී මුදල් කියන ප්‍රවාහය තියෙනවා නම් ඕනෑම කෙනෙකුට නාට්‍ය හදන්නත් පුළුවන්, ඒවා විකාශය කර ගන්නත් පුළුවන්. මං කලින් කිව්ව විදිහට මුදල් කියන දේ නැතුව මං හරියට දුක් වින්ඳා. මං මේක රූපවාහිනියේ විකාශය කළේ සම්මත ක්‍රමයට පෝලිමේ තියලා. මාස හයක් ඒකේ නාට්‍ය තිබුණා. ජාතික රූපවාහිනියට තුති පුදනවා මගේ නිර්මාණ ගමන මෙතැනින් නතර නොකොට සිහින සක්මන විකාශය කළාට.
* දිල්ෂාන් කොහොමද ක්ෂේත්‍රයට එන්නේ?
මගේ ගම මොනරාගල. නිර්මාණකරණය පිළිබඳ කැමැත්තකින් පසුවෙද්දී මට ටෙලිවිව් ආයතනයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. මම එහි පාඨමාලාවක් හැදෑරීමෙන් අනතුරුව මට ටෙලිවිව් ආයතනයේම කලා අධ්‍යක්ෂවරයකු විදිහට වැඩ කරන්න හැකියාව ලැබුණා. ඒ අතරතුර සිටුගෙදර, සුන්දර චන්දරේ ආදී ටෙලිවිව් හි ඉදිරිපත් කිරීම්වල සහාය අධ්‍යක්ෂණයෙන් ද දායක වුණා. ඉන් මා උකහාගත් ප්‍රායෝගික දැනුම අපමණයි. සිහින සක්මන පටන් ගන්නේ ඒ පරිචයත් එක්ක.
* ඒත් සමහරෙක් ඔබව ක්ෂේත්‍රයට අහසින් වැටුණු පැරෂුට් කාරයෙක් ලෙස ද හඳුන්වනවා?
මං ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු වුණේ දැනුමක් ඇතුව. මටත් වඩා අල්ප දැනුමක් ඇති අය අද අධ්‍යක්ෂවරුන් වෙලා. අද ටී බෝයි හෙට අධ්‍යක්ෂවරයකු වන තත්ත්වයට අප ක්ෂේත්‍රය ගිහින්. මට බොහෝ දෙනා කියලා තියෙනවා සිහින සක්මන නරඹන කොට එය කෙනෙකුගේ පළමු අධ්‍යක්ෂණය කියලා හිතෙන්නේ නැති තරම්ලු. එහෙව් එකේ අපේම අය පතුරවන පැරෂුුට් කතාව ගැන මටම කනගාටුයි.
* සිහින සක්මන සඳහා නළු නිළියන්ගෙන් මොන වගේ සහායක් ද ලැබුණේ?
පොදුවේ ඔවුන් මගේ පළමු අධ්‍යක්ෂණයට සෑහෙන්න උදව් කළා. ඒත් එක් කෙනෙක් දෙන්නෙක් මං අකැමැතිම දෙයක් කළා. ඒ මට දීපු කාලය වෙනත් වැඩකටත් දීලා තිබුණු එක. සිහින සක්මන නාට්‍යයට ආර්ටිස්ලාගෙන් දින අරගෙන තිබුණේ රූගත කරන්නට ටික කාලයකට පෙරයි. ඉතින් මට දීපු දිනයේම ඇතැමෙක් තවත් වැඩක් භාර අරගෙන. මං ඒ අයගෙන් ඉල්ලීමක් කරනවා ඒ වගේ වැඩ කරන්න එපා කියලා.
* සිහින සක්මන හි රූගත කිරීම් අතරතුරදී අනතුරකට මුහුණ පෑවා කියන්නේ ඇත්තද?
ඔය සිදුවීම වුණේ පෝරුවදණ්ඩ වැවේදී. අපි ඔරුවක නැගලා රූගත කිරීමක් කර කර හිටියේ. ඔරුව නොසිතූ වෙලාවක පෙරලුණා. ඒ මොහොතේම කැමරාමන් කැමරාව විසික් කළා ළඟ තිබුනු ඔරුවට. අපි කට්ටිය දන්න ශිල්ප ඔක්කොම දාලා පීනලා ජීවිත බේර ගත්තා.
* සිහින සක්මන හි නළු නිළි කණ්ඩායම සහ නිෂ්පාදන පිරිවර ගැන මතක් කළොත්?
ජනක කුඹුකගේ, ඩබ්ලිව්. ජයසිරි, රෙක්ස් කොඩිප්පිලි, ප්‍රියා රණසිංහ, සරත් චන්ද්‍රසිරි, නන්ද වික්‍රම, නිරෝෂන් විජේසිංහ, දයා වයමන්, උදේනි නදීකා, ආරියසේන ගමගේ, සම්පත් කුමාරතුංග, අකිල සඳකැළුම්, කුමාර රණපුර, කවීශා අයේශානි, ගයාත්‍රි රාජපක්ෂ, රෝහිත මාන්නගේ, සුගත් ජානක, චාමික හත්ලහවත්ත, ඩේමියන් ජයලත්, අනුර ශ්‍රීනාත්, ඇන්ටන් කුරේ, රාජසිංහ ලෝලුවාගොඩ, සංජුල දිවාරත්න, ශාන්ත ප්‍රියදර්ශන, අංජලීී ලියනගේ, නිපුනිකා හේවාගමගේ, රෝහිත ඩයස්, කුමාර සේනාරත්න, අනෝමා වික්‍රමආරච්චි, සම්පත් වීරරත්න තමයි නළු නිළියන්.
නිෂ්පාදනය ඩෙලන් බෙවන් පෙරේරා, නාලක ලසන්ත ගමගේ සහ ඉන්ද්‍රාණි නවරත්න, රේඛීය නිෂ්පාදනය සනත් රෝහණ, නිෂ්පාදන විධායක චන්න සෙනෙවිරත්න, සංස්කරණය මහේෂ් නානායක්කාර, කැමරාකරණය සහ ආලෝකකරණය මහේෂ් කරුණාරත්න, සංගිත අධ්‍යක්ෂණය ජිතේන්ද්‍ර විද්‍යාපති, ගායනය සේනානායක වේරලියද්ද, තේමා ගීතය දිල්ෂාන් වෙල්ලාලගේ, අංග රචනය රසික තෙන්නකෝන්.
* අධ්‍යක්ෂවරයකු විදිහට මොකක්ද ඔබේ අරමුණ?
මගේ එකම අරමුණ නිර්මාණ හරහා ප්‍රේක්ෂකයන්ට අලුත් යමක් දෙන්න. අද නැත්තෙත් එකයි.
* එතකොට ඊළඟ නිර්මාණය?
මාතෘත්වය පිළිබඳ කියවෙන ටෙලි නාට්‍යයක්. ඒ ගැන හිතමිනුයි මේ දවස්වල කාලය ගත කරන්නේ.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය