Powered by Blogger.

අන්දරේ Vs පුඤ්ඤසෝම
මේ දිනවල තිරගත වන සුපිරි අන්දරේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟන සුපිරි නළු ටෙනිසන් කුරේ ආන්දෝලනාත්මක කොස්තාපල් පුඤ්ඤසෝම චිත්‍රපටයේ පුඤ්ඤසෝම ලෙස රඟපානුයේ මහේන්ද්‍ර පෙරේරා යන මේ දෙදෙනා අහම්බෙන් හමු වුණි.
හලෝ ටෙනියා?
අම්මට සිරි මහේන්ද්‍රයා? මොකෝ මේ පැත්තේ?
උඹ එනවා කියලා ආරංචි වුණා. ඒකයි මමත් ආවෙ.
ඉතිං මචං කොහොමද? උඹේ අලුත් ෆිල්ම් එක රිලීස් වුණා නේද? අපේ උදයකාන්තනෙ ඩිරෙක්ට් කළේ?
ඔව්. ඔව්. කොස්තාපල් පුඤ්ඤසෝම. නම අහපුවාමත් හිනා යනවා කියලා ගොඩක් අය කියනවා.
ඇත්තමයි මචං මටත් හිනා ගියා ඒ නම කියවලා. කොස්තාපල්ගේ චරිතයට හොඳ හොඳ ප්‍රතිචාර එනවා ඇති?
මොකෝ නැත්තේ. ඇත්තට ඒක වෙනස්ම අත්දැකීමක්. වැඩියෙන්ම සුබ පතන්නේ පොලීසියේ අය. කාලෙකට පස්සෙනෙ මමත් කොමඩි චරිතයක් කළේ. ජොලියෙමයි රඟපෑවේත්.
උඹේ චිත්‍රපටයේ තත්ත්වෙ කොහොමද? සුපිරි අන්දරේ? මගේ මතකෙ හැටියට උඹ ෆස්ට් ටයිම් ඩබල් ඇක්ටිං කළේ ඒකේ?
නැහැ මචං. මං මීට කලින් චිත්‍රපට දෙක තුනක ඩබල් ඇක්ටිං කළා. නමුත් මේක විශේෂයි. මොකද අලුත් තාත්ෂණය යටතේ ඩබල් ඇක්ටිං කරපු පළමු අවස්ථාවයි මේ. චිත්‍රපටයේ ටෙනීලා දෙන්නා බදා ගන්න දර්ශනයක් තියෙනවා. නරඹපු අය පුදුමයෙන් ඒ ගැන කතා කළේ. ඒතරම්ම තාත්ත්වික විදිහට මගේ චරිතය දෙකට කඩලා තියෙනවා.
නවත්ත ගනිං උඹේ පංපෝරිය.
මට දැන් ඇති වෙලා උඹේ ඔය ජෝක් චිත්‍රපට බලලා. හොඳ සීරියස් චරිතයකුත් කරපංකො . . .
උඹට ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙ. මහේන්ද්‍ර විකට චරිතයක් කරන්න කොච්චර අමාරුයි ද කියලා. උඹත් ඒ වගේ චරිත කරලා තියෙනවනෙ. මේ හැකියාව මට දෙවියන් දුන් තෑග්ගක්. ටෙනිසන් කුරේව අධ්‍යක්ෂවරුන් නිර්මාණයට ගන්නේ මිනිස්සු පිනවන්න පුලුවන් නිසා. නිකමට හිතලා බලන්න චාලි චැප්ලින් ගැන. ඔහු ලෝක පූජිත වුණේ හාස්‍යෝත්පාදක රංගනයෙන්. අනික මහේන්ද්‍ර විකට නළුවෝ සීරියස් චරිත කරලා සාර්ථක වෙච්ච අවස්ථා අනන්තයි. නමුත් සීරියස් චරිත කරපු අය විකට රංගනයට ඇවිත් සාර්ථක වෙච්ච අවස්ථා නම් මං දැකලා නැහැ.
එහෙම කියන්න එපා ටෙනියෝ. මං ඔය මතයට විරුද්ධයි.
ඒ මොකෝ?
ඒ මොකෝ කියන්නේ, මට සීරියස් චරිතත් එකයි. විකට චරිතත් එකයි. මට මොන චරිතයක් ලැබුණත් එකම ශක්තියක් වැය කරමිනුයි මං රඟපාන්නේ. අධ්‍යක්ෂවරුන් චරිතයක සියුම් තැන් ඉස්මතු කරන්න කියපුවාමත් විකට චරිතයක් කරද්දීත් උපරිමයෙන් මං රඟපානවා.
උඹට ඉතින් කවුරුත් දැන් සීරියස් චරිත දෙන්නේ නැහැනේ. ඒකයි ඔහොම කතා කියන්නේ.
ඕකනෙ මචං කියන්නේ. උඹත් එක්ක කතා කරන්න බැහැ කියලා. කොක්කටමනෙ එන්නේ.
මේ අහපංකො මං කියන එක. මං මේක කාලෙක ඉඳලා උඹෙන් අහන්නමයි හිටියේ. මට හිතෙනවා බං උඹේ රැවුල අල්ලලා කපල දාන්න. රැවුල නැතුව ටෙනිසන් කුරේ කොහොම ඉඳියි ද කියලා දකින්න ආසයි.
පිස්සු කතා කරන්න එපා. වෙඩිං එක දවසෙවත් මං මගේ රැවුල කැපුවේ නැහැ. රැවුල නැතුව මාව කිසිම කෙනෙක් හඳුනගන්න එකකුත් නැහැ. උඹට ඊරිසියයිද මගේ රැවුලට? ඔව් ඉතින් මගේ වගේ ලස්සනට උඹේ මූණේ රැවුල වැවෙන්නේ නැහැනේ.
වැඩේමයි ඔය රැවුලට ඉරිසියා කරන්න. රැවුල නැති වුණත් මං මගේ හැමදාමත් මූණ ලස්සනට තියාගෙන ඉන්නවා.
එක නම් ඇත්ත මහේන්ද්‍ර. මාත් ඒක පිළිගනන්වා. මං දැකපු දවසේ ඉඳලා ඔය මූණ ඔය වගේමයි.
මං දවස ගානෙම ව්‍යායාම් කරනවානේ. නිවැරැදිව හුස්ම ගැනීමේ අභ්‍යාසයේ යෙදෙනවා. අනික මේ ලෝකේ හෙයා ඩයි කියලා ජාතියකුත් තියෙනවනේ.
දැනගත්තුª එක හොඳයි. මටත් දෙන්නකෝ පාවිච්චි කරන ඩයි බෝතලයක් දෙකක්.
දෙන්නම්, දෙන්නම්. එන්නකො අපේ ගෙවල් පැත්තේ. ඒක නෙවේ මට මේ දැනුයි මතක් වුණේ ටෙනියෝ. උඹ රඟපෑව නේද රිදී පෝරු කියලා නාට්‍යයක මරු සීරියස් චරිතයක්. මං හිතන්නේ ඒක උඹේ රංගන ජීවිතයේ ටර්නිං පොයින්ට් එකක්?
මහේන්ද්‍රයෝ උඹ ඒ නාට්‍ය ගැන මතක් කරපු එක මං අගය කරනවා. මට ඒ නාට්‍යයට ආරාධනා කළේ අධ්‍යක්ෂ රත්නසිරි පරනවිතාන මහත්තයා. ඩබ්ලිව්. ජයසිරියි මමයි එහි යාළුවෝ හැටියටයි රඟපෑවේ. නිෂ්පාදක ඒ චරිතයට මාව ගන්න බැහැ කියලා රත්නසිරිට කිව්වලු. රත්නසිරි එයාගෙන් ඉල්ලීමක් කරලා බලමු දවසක් විතරක් ටෙනීට අවස්ථාව දීලා බලමු, ටෙනී අසාර්ථක වුණොත් ඉවත් කරමු කියලා. මං ඒ චරිතෙ කරනවා දැකලා එදින හැන්දෑවේ ප්‍රොඩියුසර්මයි පෙරැත්ත කළේ ඒ චරිතය මට දිගටම කරන්න. ගාමිණී වේරගම මහතාත් මාව අගය කළා ඒ චරිතය දැකලා.
ඒ වගේ දක්ෂතාවල් තියෙන කෙනෙක්නේ මේ විකට චරිතවලටම කොටු වෙලා ඉන්නේ.
අන්න අන්න අන්න . . . උඹ ආයෙත් මාව අවුස්සවා ගන්නයි ඔය හදන්නේ.
ඇයි ටෙනියෝ උඹට කේන්ති ගියාද? මං මේ දැක්කමයි ටෙනිසන් කුරේට කේන්ති යනවා. උඹට සාමාන්‍යයෙන් කෙන්ති ගියාම මොකද කරන්නේ? කෑකෝ ගහනවද?
අනේ නැහැ. අපිට කේන්ති ගියාමත් ඒ කේන්තිය විහිළුවකින්ම මඟහැර ගන්නවා.
හරි ෂෝක්නේ ඒ ක්‍රමය මටත් උගන්නන්න බැරිද ඒ සිස්ටම් එක?
උඹ කොහොමත් ගුරුවරයක්නේ. ගුරුවරයෙක් නොවන මං කොහොමද ඔයාට උගන්වන්නේ.
ගුරුවරයෙක්? ඇයි එහෙම කිව්වේ ටෙනියෝ?
මට ආරංචිය උඹේ රංගන පාසල ආයෙත් කිරිබත්ගොඩ දිහාවේ ආරම්භ කළා කියලා. උඹනෙ ඒකෙ හෙඩ්. මං උඹව ගුරුවරයෙක් විදිහට හැඳින්නුවේ ඒකයි. අපට නියම රංගන පාසලක් නැහැ. එහෙව් එකේ උඹ ඔය කරන්නේ උතුම් මෙහෙයක්. දිගටම කරගෙන යන්න. අලුත් පරපුරේ අයට නිසි මාවත කියලා දෙන්න ඕනෑ උඹ වගේ අය.
ටෙනියෝ, අපේ අලුත් කොල්ලෝ කෙල්ලෝ සෙට් එක යන පාරවල් ගැන මට තඹ දොයිතුවක විශ්වාසයක් නැහැ. එක පාරක විතරක් නෙවෙයි, එක සැරේ පාරවල් හත අටක යන්න ට්‍රයි කරනවා. එහෙම ගිහින් නොදැනුවත්වම අමාරුවේ වැටෙනවා.
උඹට කියන්න මහේන්ද්‍ර අපි ආපු කාලේ චිත්‍රපටයක රඟපාන්න යන්නේ හරිම ගෞරවාන්විත සිතකින්. නැද්ද මං අහන්නේ?
මොකෝ නැත්තේ. අද මේ දේවල් හෑල්ලුවට පත්වෙලා. උඹ වගේම මමත් සහජ දක්ෂතාවයෙන් මේ තැනට ආවේ. උඹයි මමයි දෙන්නම ලස්සනත් නැහැ. සුදුත් නැහැ. ඇත්ත ඒකනේ. ඒත් මේ වෙන කොට දක්ෂතාවය පාවිච්චි කරලා අපි දෙන්නම ලංකාවේ පිළිගත් රංගන ශිල්පීන් දෙපොළක් බවට රසික රසිකාවන් අප පත් කරලා තියෙනවා. අලුත් අයට ඒ කට්ට කන්න බැහැ වගෙයි. මං මේ කියන්නේ හැමෝම ගැනම නෙවෙයි. දක්ෂතා තියෙන අයත් සෑහෙන්න ඉන්නවා.
මහේන්ද්‍රගේ අදහස්වලට මාත් එකඟයි. නව පරපුරේ සමහරුන්ට රංගනයට එන එක ස්වීප් එකක් ඇදුනා හා සමානයි. පෙනුමෙනුයි තැන හදාගන්න හදන්නේ. ගිරව් වගේ දෙබස් කියනවා. අනික බලන්න එපායැ උන්ගේ ආඩම්බර. හිනා වුණත් හිනා වෙන්නේ නැහැ.
අනේ කාලේ වනේ වාසේ කිව්වලු. මේ දිහා උපේක්ෂාවෙන් බලා ඉමු.
හ්ම්ම් . . .
මේ ටෙනී . . .
ඇයි මචං?
කතා කළා ඇති කියපංකෝ සිංදුවක්?
මට සිංදු කියන්න බැහැ මචං.
බොරු කියන්න එපා. මං දැක්කා උඹ සිවම්මා ධනපාල නාට්‍යයට සිංදු දෙක තුනක් උඹේ හඬින් රෙකෝඩ් කරනවා?
ආ . . . එහෙම කළේ විශේෂ ඉල්ලීමක් පිට. එදායින් පස්සේ මං සිංදු කියන එක නැවැත්තුවා. මං ගෙදරදි නම් සිංදු කියනවා. ඒක නිසා ගෙදර උදවිය නම් හොඳට දන්නවා මට සිංදු කියන්න බැහැ කියලා. උඹ කියපං සිංදුවක් මං අත්පොඩි ගහන්නම්.
මං දැන් බොන්නෙ නැහැනෙ ටෙනියෝ. ඒ හින්දා සිංදු කියන්නෙත් නැහැ.
මට තේරුණේ නැහැ කියපු එක?
අඩියක් දෙකක් ගහලා ටිකක් පදම වැඩි වුණාමයි මං සිංදු කියන්න පටන් ගන්නේ. එතකොට මං නොන්ස්ටොප් ගායකයා.
උඹ දැන් බොන්නෙ නැත්තේ නෝනට බයේ නේද? ෂුවර් එකට බීලා ආවෙත් ගෙට වැද්ද ගන්නේ නැහැ කියන්න ඇති?
මොන පිස්සුද. එයා එහෙම කියන්නේ නැහැ. මං හිතලමයි එහෙම තීරණයක් ගත්තේ.
නෝන හරියට මහේන්ද්‍රට ආදරෙයි වගේ?
ආයෙත් අහලා. එයා එදා ඉඳලා මට ශක්තියක් වෙලා හෙවනැල්ල වගේ ඉන්නවා. අපි පැය අටේ ජොබ් එක කරන අය නෙවෙයිනේ. කොයි වෙලාවෙත් ගෙදර නැහැ. සමහර දවස්වල නිශාචරයෝ වගේ රෑටයි එළියට බහින්නේ. මේ වගේ දේවල් ඇය දරාගෙන ඉන්න අයුරු වෙලාවකට මටත් පුදුමයක්. මං හිතන්නේ ටෙනීගේ නෝනත් එහෙමයි.
ඔව්. මහේන්ද්‍ර ඔයා කියපු දේවල් සහතික ඇත්ත.
ටෙනීගේ දුව එහෙම දැන් කොහොමද? එයා තවම අර ඉස්කෝලේ උගන්වනවද
එයාටත් දැන් දුවෙකුත් ඉන්නවා. මං දැන් සීයා කෙනෙක් එහෙම බලද්දී.
නෑ . . . මං පොඩි රහසක් අහන්නද ටෙනීගෙන්?
හා, අහන්නකෝ?
උඹට දැන් වයස කීයද?
උඹ හදන්නේ මගේ වයස අහලා මට ඉදිරියේදී ලැබෙන්න තියෙන කොල්ලගේ චරිත ටික නැති කරන්නද?
මෙන්න වැඩක්. තවමත් කොල්ලගෙ චරිතයමයි රඟපාන්න හදන්නේ. මට දැනුයි තේරුණේ කොල්ලගෙ චරිතය කරද්දී ගෑනු ළමයින්ව තුරුළු කරගෙන ඉන්න පුළුවන්නේ? අනේ අනේ ටෙනියෝ . . .
මේ මේ මට මඩ විතරක් ගහන්න එපා. ඉන්දියාවේ රැජිනි කාන්ත්, කමලා හසන් අපට වඩා වයසයි. රඟපාන්නේ දහ අටේ විස්සේ කෙල්ලොත් එක්ක. ඒකට තමයි වාසනාව කියලා කියන්නේ. උඹත් දිගටම විකට චරිත කරපංකෝ. එතකොට මට වගේ උඹටත් චාන්ස් එක ලැබෙයි.
එකම චරිතයට කොටු වෙන්න මං ආස නැහැ ටෙනියෝ. එක එකට වෙනස් චරිත කරන පිපාසයකුයි මට තියෙන්නේ. අනික මං දිගිටම විකට චරිත කළොත් උඹේ තැන තමයි නැති වෙන්නේ.
එහෙනම් ඔයා විවිධ චරිතම කර කර ඉන්නකෝ. මං දිගටම පුරුදු රංගනයේ යෙදෙන්නම්.
ඒක නෙවෙයි ටෙනියේ, තැන්ක්‍යු බර්ටි එකෙන් පස්සේ උඹ ආයේ විත‍්‍රපටයක් කළේ නැත්තේ ඇයි?
මට සිනමාව එපා කෙරෙව්වේ ඒ චිත්‍රපටයෙන්. මගේ සමීපතමයන්ව අරගෙනයි ඒකෙ වැඩ කටයුතු කළේ. ඔවුන්මයි ඔළුව අත ගාලා මටම ටොක්ක ඇන්නේ.
මගේ අප්පේ. හරි හරි අපි දැන් ඔය කතාව නවත්වමු. මට දැන් වැඩ කිහිපයකටම එළියට යන්න තියෙනවා. මං එහෙනම් ගිහින් එන්නම් මචං.
සුබ ගමන් මහේන්ද්‍රයෝ. නැවත හමු වෙමු, ආයුබෝවන්.
ටෙනීගේ සහ මහේන්ද්‍රගේ කතාවට
සවන් දී සටහන් කළේ ප්‍රසාද් සමරතුංග
සේයාරූ - මාලන් කරුණාරත්න

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය