Powered by Blogger.

අප මහා ලොවුතුරු අමා මෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අති උතුම් වු ඉපදීම, බුදුවීම, පිරිනිවන් පෑම යන තෙමඟුල සිදු වු අසිරිමත් වෙසක් පුන් පොහෝ දිනය අත ළඟටම ඇවිත්.

සතා සිවුපාවුන්ගේ ද සිත් සතන් ඒ මහා කරුණා මහිමයෙන් පිරී ඉතිරී යන කාලයයි මේ. ගහ කොළවලද මල් පිපි පලතුරු අතු නමා වැටී සොබාදහම ද මේ කියාපාන්නේ මුණිදානන්ගේ අපරිමිත වු අනන්ත වු මහා බුදු ගුණයයි.

ආදරණීය දුවේ... පුතේ... අම්මේ... තාත්තේ... දහසක් හදවත් නිවී සැනසෙන මේ පිංබර වකවානුවේ මට හිතුණා එක පවුලක් තුළ ජීවත්වෙන ඔබේ හදවතට උතුම් වු බණ පදයක් දේශනා කරන්න. මොකද වත්මන් සමාජය තුළ මේ බණ දේශනා සෑම අතින්ම ඇසෙන කාලයක්. ඉතාම සාවධානයෙන් ඇහුම්කම් දුන්නොත් අපට හිතාගන්න පුළුවන් මේ බණ දේශනා කරන්නේ සමහරු මනුෂ්‍ය වර්ගයාගේ යහපතටම ද කියලා. පුතේ අපට අවැසි වන්නේ පවුල කියන සංස්ථාව තුළින් ධර්මාවබෝධය ඉහළට ගොඩ නගාගෙන සමාජය තුළට එය මුදවා හැරීමයි. නිවැරැදි ධර්ම මාර්ගය ගොඩ නැඟෙන්නේ එවිටයි.
වත්මනේ පවුල් සංස්ථාව තුළ අම්මා කියන චරිතය බොහෝම බැතිබර ලෙස ධර්මයට නැඹුරු වී තිබෙනවා. මේ අම්මා ධර්ම මාර්ගයට යොමු වීම අගය කළ යුතු වටිනාම කරුණක්. අම්මා ධර්මයට නැඹුරු වෙද්දී දුව ගේ සිතත් ඒ වෙත ඇදෙන්නේ ඉබේටම... අම්මා නිරතුරු පිං දහම් වැඩවල නියැළෙද්දී පන්සලට යද්දි හතර පෝයටම සිල් සමාදන් වෙද්දී ධර්මයේ වටිනාකම දැනගෙන ජීවත් වෙද්දි පවු පිංවල ප්‍රතිඵල අවබෝධ කරගෙන ඉද්දී මේ දකින දුව ධර්මය හරි ගෞරවයෙන් වැළද ගන්නවා. ඔන්න දැන් අම්මයි... දුවයි දෙන්නාම යන්නේ ධර්ම මාර්ගයේ... පන්සලට එනවා... සිල් සමාදන් වෙනවා. නිවන ගැන මනා වැටහීමක් ලබා ගෙන ඒ අනුවම කටයුතු කරනවා.
මට කියන්න අවශ්‍ය වෙන්නේ මේකයි... මේ අම්මයි... දුවයි... දෙන්නා බුදුන් ගැන මහා කරුණාවෙන් මේ මඟ යද්දී ගෙදර ඉන්න තාත්තයි... පුතයි අපායේ දොරඟුලු හැරගෙන යන්නට හදනවා. දැනුම් තේරුම් ඇතුව අපි මුදවාගත යුත්තේ සතර අපායෙන් මෙන්න මේ තාත්තාවයි පුතාවයි. මොකද රැකියා කරනවා... කනවා... බොනවා... සියලු සැප විඳිනවා හැර මේ තාත්තයි... පුතයි ජීවිතය ධර්මය තුළින් අවබෝධ කරගෙන නෑ. මේ අය හිතන්නේ කියන්නේ... “ඒ අය සිල් අරගත්තදෙන් ගැහැනුනේ... අනේ දැන්මම අපිට සිල් රෙදි පොරවන් පන්සල් යන්න බෑ. මිනිස්සු හිනා වෙයි... මොකද අපි පිරිමිනේ...” කියලා පුතේ මෙන්න මෙතැනයි වැරැද්ද. අනවබෝධය තුළින් එහෙම හිතලා කියලා වචනයෙනුත් පවු පුරවා ගන්නවා මේ තාත්තයි පුතයි දෙන්නාම. අම්මයි, දුවයි නිවන් මාර්ගය අවබෝධ කරගනිද්දී තාත්තයි පුතයි පලකට නැති මිතුරු සමාගම්වල කනවා... බොනවා... ඒ අය ජීවිතය කියලා දකින්නේ මේ ටිකනේ... ඉතිං උතුම් වු අවබෝධයෙන් තොරව අපේ පිරිමි ඇත්තෝ අපායට ගිහින් යම පල්ලන් හමුවන්නට කර්මය රැස් කරනවා.
පුතේ ඒ නිසයි අප්‍රමාදව ඔබ පිංකම් කළ යුත්තේ. මේ ඇත්ත පවුලක සියලුම සාමාජීකයන් තුළ ඇති කළ යුත්තේ... මේ බණ කියවන කාන්තාවන් වු ඔබ හැකි තරම් ඉක්මනින් ඔබේ ස්වාමියා පුතාව ධර්මයට යොමු කරවන්න දැඩි ලෙස හිතට ගන්න. එය කළ හැක්කේ ඔබටමයි. මනස හොඳින් ක්‍රියා කරන කාලේ ධර්මාවබෝධය ලබාගෙන ඒ මාර්ගයේ ගමන් කළොත් මිස මනස මතක ශක්තියෙන් දුර්වල වෙන මහලු කාලේ ධර්මාවබෝධය ලබාගන්න උත්සාහ කිරීම තුළ නිවැරැදි දහම තේරුම් ගන්න බෑ. පුතේ අපේ පිරිමි අය හුඟාක් හිතන්නේ මේ ධර්මය තිබෙන්නේ මහලු වුණහම ජීවිතයට ළං කරගන්න කියලා... මේ මතය සම්පුර්ණයෙන් දුරුකර දාන්න ඕනා. මම හරි ආදරයෙන් මේ උතුම් බුදු තෙමඟුලේ ඔබට කියන්නේ පවුලක් හැටියට හැමෝම එකතු වී එන්න පන්සලට. උතුම් වු ධර්ම ඥානයෙන් අපි හැමෝම මේ සංසාර ගමනෙන් එතෙර වන්නට පාරමී පුරමු.
පුතේ පවුලක් ධර්ම මාර්ගයේ ගමන් ගත්තොත් පියවරෙන්... පියවර එකින් එක පවුල් ඒ වෙත යොමු වෙනවා. එවිට මේ සමාජය සුවඳවත් වෙන්නේ ඉබේටමයි. මම හරි ආදරයෙන් කියන්නේ අම්මා... තාත්තා යන දෙන්නා ධර්ම මාර්ගයට මුලින්ම පා තබන්න. එවිට දුව, පුතා ඒ පසුපස එන්නේ ඉබේටමයි. බලන්න මේ උතුම් වෙසක් උත්සවය අරගන්න. වැඩිපුරම පිං කරගන්නේ කාන්තාවන්... වැඩිපුරම පවු කරගන්නේ පිරිමි අය... ඒ ඇයි ඔබ මගෙන් අසාවි. පුතේ වෙසක් සඳ නැඟ ආ දා පටන් කාන්තාවන්ගේ සිතේ ඇති වන්නේ පිං සිතුවිලිමයි. පන්සල් යන්න... සිල් ගන්න ආදියෙන්, පිරිමි සිතේ ඇති වන්නේ දන්සැල් කරමු... ඒ අස්සේ හොරෙන් අඩියක් ගහමු කියන සිතුවිලියි. දන්සල් දීම මහා පුණ්‍ය කර්මයක් අත් වෙන දෙයක් වුවත් ඒ දන්සල් දීම තුළින් නොදැනුවත්වම ඔබ මහා පවකුත් රැස් කරගන්නවා. ඒ පිංකම් කරමින් පවුකම් කිරීමයි.
හොරෙන් මත්වතුර පාවිච්චි කරමින් පට්ටපල් බොරු ඇද බාමින් කාමයේත් වරදවා හැසිරීමෙන් පිරිමි ඔබ රැස් කරගන්නා පාපය මෙතෙකැයි කියා කියන්න බෑ. ඒ නිසායි කියන්නේ හැඟීම්වලින් නොව මනසින් හිතලා ධර්මය ජීවිතයට ළං කරගන්න කියලා.
මේ තෙරක් නොපෙනෙන සංසාර ගමන හරිම භයානකයි පුතේ. පෙර ආත්මේ පිංකම් කරපු නිසා වටිනා මනුෂ්‍ය ජීවිතය ලැබුණත් මේ පවුකම් කිරීම නිසා සතර අපායට වැටීම වළක්වන්න නම් බෑ. ඉතිං හිතන්න මේ වෙසක් සඳ නැඟ ආ දා අවබෝධයෙන් ඥානයෙන් ජීවිතයට ධර්මය ළඟා කරගන්නවා කියලා.
උතුම් බුදු පියාණන් දෙසු මඟ නිවැරැදිව තේරුම්ගෙන යන්නකුට කවදාවත් දුකක් අත්පත් වෙන්නේ නෑ. දිව්‍යලෝකවල ඉඳන් දෙවිවරුන් මල් ඉහිනවා පිං සිත්වලට. ආදරණීය අම්මේ... තාත්තේ... දුවේ... පුතේ... බැඳීම්වල හිරවෙලා බැඳීම් අතහැර යන්න බැරිව ඒවාට ලොල්ව පවු පුරවා ගන්න එපා. අප මහා බුදු පියාණන් මේ උතුම් වු ධර්මාවබෝධය අපට ලබා දෙන්න අප්‍රමාණ රජ සැප මවු පියන්, බිරිය, දරුවා මේ සියල්ල අතහැරලා ගියා. දුක කියන දේ උපරීමව විඳ නිවැරැදි සත්‍ය අවබෝධ කරගත්තා. අවසානයේ බුදු බවට පත්ව මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් මහා සේවයක්කර පිරිනිවන් පෑවා. ආදර්ශයට ගන්න මේ බුද්ධ පුත්‍රයාණන්ව. ඒ මඟ යන්නට අදිටන් කරගන්න. පුතේ පිංකම් කරමින් නම් පවුකම් කරන්නෙපා. ගෘහ ජීවිතයේ සැප විහරණය පතා නොව නිවනෙන් නිවී සැනසෙන්නට ගෙදරක හැමෝම මේ උතුම් පෝදා දැඩි ලෙස හිතට ගන්න. පුතේ නිවන් මඟ දෙසට මිස වෙන සැප පතා ඔබ දුවන මඟ තේරුමක් නම් නෑ...
පුජ්‍ය පාද කැටවල හේමාලෝක හිමිපාණන් දෙසූ උතුම් දහම් පණිවුඩයකි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය