Powered by Blogger.

පසුගිය ඉරිදා දිනයක අලුයම් කාලයේ දී මුම්බායි නුවර පොලිස් ස්ථානයට නිර්නාමික දුර ඇමතුමක් ලැබුණා. 'අපේ ගේ ළඟ තියෙන 'මීරා' මාවතේ කාර් එකක් නවත්තලා තියෙනවා. ඒකෙ ඇතුළෙ කවුදෝ ජෝඩුවක් අසෝභන විදිහට හැසිරෙනවා. කරුණා කරල ඇවිත් බලන්න...' පොලිසිය වහාම ක්‍රියාත්මක වුණා. සැක කටයුතු මෝටර් රථය අසලට පැමිණි පොලිස් නිලධාරීන්, එහි සිටි තරුණියක සහ තරුණයකු අත්අඩංගුවට ගෙන පොලීසියට රැගෙන ගියා.
ප්‍රශ්න කිරීම්වලදී හෙළි වුණේ තරුණිය යොවුන් නිළි පූනම් පාණ්ඩේ බවයි. තමන් සමඟ සිටින්නේ සහෝදරයකු යැයි ද ඇය පැවසුවා. තමන් දෙදෙනා මෝටර් රථය තුළට වී ගීතයක් අසමින් සිටි බවත් ඇය පැවසුවා. ඒත්, පොලීසිය ඇගේ කතාව පිළිගත්තේ නැහැ. පූනම් සහ තරුණයාව පොලිස් ස්ථානයෙහි පැය කිහිපයක්ම රඳවා ගැනුණා. ඉන් පසුව දෙදෙනාම මුදා හැරියේ පොලිස් නිලධාරීන් විසින් අවවාද කරනු ලැබීමෙන් පසුවයි.
තවමත් 23 වැනි වියෙසි පසුවන පූනම් ඉන්දියානුවන් බොහෝ දෙනකු ගේ දෝෂ දර්ශනයට ලක්වී සිටින නිළියක්. එයට හේතුව, සීමාව ඉක්මවා යමින් ඇය නිරූපණය කරන අඩ නිරුවත් රංගනයන් මිස වෙනත් දෙයක් නොවෙයි. පූනම්ව පොලිස් අත්අඩංගුවට පත්වූ දා ඉන්දීය ජනමාධ්‍ය ඒ පුවත කැපී පෙනෙන අයුරින් පළ කර තිබුණා. ඉන් පසුව පූනම්ට තව තවත් දොස් ඇසීමට සිදුවුණා. ඒත් ඇය තවමත් මතු කරන්නට මහන්සි ගන්නේ තමන්ගේ නිර්දෝෂීභාවයයි.
"මාව පොලීසියෙන් අත්අඩංගුවට ගත්තෙ නැහැ. මගෙන් ප්‍රශ්න කළා විතරයි. මම ජනප්‍රිය නිළියක් බව පොලිස් නිලධාරීන් දැනගත්තා. ඒ වෙලාවෙ මාත් එක්ක හිටියෙ මගේම අයියා ආදිත්‍යයි. අපි දෙන්නා සින්දුවක් අහමිනුයි හිටියෙ. ඒක වැරැදි වැඩක් ද?" පූනම් ඇගේ නිවැරැදි බව එලෙස ප්‍රකාශ කළා.
කොහොම වෙතත්, පොලිසිය පවසන්නේ මෙවැන්නක්. "ඔය කාර් එක නවත්තල තිබුණු තැන ගෙදරකින් තමයි කෝල් එක ලැබුණේ. අපිට තියෙන බලතල අනුව අපි රාජකාරිය කළා. කාර් එකේ හිටියෙ ප්‍රසිද්ධ නිළියක් ද වෙන කෙනෙක් ද කියන කාරණය අපිට වැදගත් නැහැ."
පූනම් තව දුරටත් කියන්නෙ මේ සිද්ධිය, පොලිසිය විසින් නිර්මාණය කරන ලද නාටකයක් බවයි. ඒත්, ඊට එරෙහිව නීතිය ඉදිරියට යන්නට නම් ඇයට අවශ්‍යතාවක් නැතිලු.

ශර්මිලා තාගෝර් නිවාස අඩස්සියක

රාජකීය පවුලක කිරුළ දරන්නට තරම් වාසනාවන්තියක වූ ශර්මිලා තාගෝර්ට තමන් විසූ මාළිගාවෙහි ම පැය කිහිපයක සිරකාරියක බවට පත්වෙන්න සිදුවුණා. ජනකාන්ත නිළියක වූ ඇයට මේ අමිහිරි අත්දැකීම ලැබුණේ බෝපාල් ප්‍රදේශයේ පිහිටි, ඇගේ සැමියා සතු වූ 'ෆ්ලැග්ස්ටාෆ් හවුස්' නම් වූ පාරම්පරික මන්දිරයට ගිය අවස්ථාවේදීයි. එහි තැන්පත් කර තිබෙන වටිනා කෞතුක වස්තු කිහිපයක් රැගෙන යන්නට ඇය උත්සාහ කළා.
ඒ මොහොතේ දී එතැනට කඩා වැදුණු විශාල පිරිසක් 'ෆ්ලැග්ස්ටාෆ් මාළිගය වටලා කලබල කරන්නට පටන් ගත්තා. ඇය එහි කොටුවුණා. නැසීගිය මන්සූර් අලි ඛාන් පතාඋඩි කුමරුන්ගේ පාරම්පරික කෞතුක භාණ්ඩ රැගෙන යන්නට ඔහුගේ බිරිය, ශර්මිලාට ඉඩ නොදෙන්නැයි කලහකාරී පිරිස් කෑ ගසන්නට පටන් ගත්තා.
මඳ වේලාවකින් තව තවත් පිරිස් එතැනට එක්රොක් වීම නිසා ශර්මිලාට 'ෆ්ලැග්ස්ටාෆ්' මාළිගයෙන් පිටතට පැමිණෙන්නට හැකිවුණේ නැහැ. ඒ නිසා මේ බව පොලීසියට දැනුම් දීමට ඇයට සිදුවුණා. විනාඩි කිහිපයක් ඇතුළත පොලිසිය පැමිණ ආරක්ෂාව සැලසීමෙන් පසුවයි, ඇයට නිරුපද්‍රිතව එතැනින් පිටවීමට හැකිවුණේ.
'ෆ්ලැග්ස්ටාෆ්' මාළිගය ශර්මිලාගේ සැමියා වූ මන්සූර් අලි ඛාන් පතාඋඩි කුමරුන්ගේ රාජකීය පරපුරට අයත් 'මහ ගෙදර'යි. මේ මාලිගාවෙහි උරුමක්කාරයා වූයේ මන්සූර් අලි ඛාන්. ශර්මිලා එහි ගියේ තම සැමියාගේ නිත්‍යනුකූල උරුමය අනුවයි. එහි තිබූ කලාත්මක කෞතුක භාණ්ඩ තමන්ට සහ පවුලේ ඥාතීන් හට ලබා දෙන්නටයි ඇය උත්සාහ කළේ. ඇතැමුන් පවසන්නේ 'ෆ්ලැග්ස්ටාෆ්' මාළිගය විකුණා දමන්නටත් ශර්මිලා වෑයම් කරන බවයි. එයට ඉඩ දිය නොහැකි යැයි බෝපාල් ප්‍රදේශ වාසීන් පවසනවා. ඔවුන්ගේ මේ විරෝධය කුළුගැන්වුණේ ඒ සඳහා ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධානයක් ද ඊට සහයෝගය ලබා දුන් නිසයි. එහි මූලිකත්වයෙන් ශර්මිලා ගේ වෑයමට එරෙහිව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙහි නඩුවක් ද ගොනු වී තිබෙනවා.

තහනම් කරයි

ඉතාලියේ දී අතිනත ගත් ආදිත්‍ය චොප්රා සහ රාණි මුඛර්ජි යුවළ ගම රට බලා පැමිණියා. ඉන් පසුව තම යහළු යෙහෙළියන් වෙනුවෙන් විශේෂ සාදයක් පවත්වන්නට මේ දෙදෙනා යුහුසුලු වුණා. මංගල සාදය පැවැත්වුණේ ආදිත්‍ය ගේ නිෙවස හෙවත් යාෂ් රාජ් බංගලාවේදීයි. ඉරිදා රාත්‍රියේ දී පැවැත්වුණු මේ සාදයට බොලිවුඩ් පුරයේ කිහිප දෙනෙකුට ඇරයුම් කර තිබුණා. ඒ අතරින් චිත්‍රපට අධ්‍යක්ෂ කරන් ජොහාර්, ජනප්‍රිය නළු අනුපම් ඛෙයර්, ඔහුගේ බිරිය කිරොන් ඛෙයර් සහ චිත්‍රපට නැටුම් අධ්‍යක්ෂ වයිභාව් මර්චන්ට් කැපී පෙනුණා.
යාෂ් රාජ් බංගලාවේ ප්‍රධාන දොරටුව අබියස විශේෂ ආරක්ෂාවක් යොදා තිබුණා. සාදයට ඇරයුම් ලැබූ අමුත්තන්ට හැර ඡායාරූප ශිල්පීන් හෝ වෙනත් කිසිවෙකුට එහි ඇතුළුවීමට අවසර ලැබුණේ නැහැ. සාදය පැවැත්වෙද්දී කිසිඳු ඡායාරූපයකට පෙනී නොසිටින්න නව යුවළ වග බලා ගත්තා. මුද්‍රිත මාධ්‍යයක හෝ අන්තර්ජාලයේ තමන්ගේ ඡායාරූපය පළවීම වළක්වා ගැනීමේ අරමුණින් යුතුවයි, ඔවුන් දෙදෙනා කැමරා ශිල්පීන්ව 'වර්ජනය' කළේ. මුළු ලොවම දන්නා මේ විවාහයේ ඡායාරූප මාධ්‍යවල පළවීම වැළැක්වීමෙහි තේරුම කුමක්දැයි පැහැදිලි නැහැ.
මෙලෙස කෙතරම් වාරණ යොදා තිබුණත්, ඉතාලියේ සිට ඉන්දියාවට පැමිණි ආදිත්‍ය සහ රාණිගේ ඡායාරූපයක් මුම්බායි ගුවන් තොටුපළේදී නාඳුනන අයෙකු කැමරාවට හසුකරගෙන තිබෙන බවයි ආරංචි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය