Powered by Blogger.


කොළඹ දිස්‌ත්‍රික්‌කයේ කැස්‌බෑව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් පිළියන්දල මකුළුදූව විහාරස්‌ථානය වූ කලී ප්‍රාදේශීය විහාරස්‌ථාන අතර අතීතයේ පටන් ජන ප්‍රසාදය හා ප්‍රසිද්ධියට පත් හා ඉපැරැණි විහාරස්‌ථානයකි. මෙම පුණ්‍ය භූමිය වසර 200 කට අධික අතීතයකට උරුමකම් කියන විහාරයක්‌ සහිතවීම විශේෂ කාරණයකි.

විටෙක දේවාලවත්ත නමින් හැඳින්වුවද භූමිය පසු කලෙක 'කුරුඳුකොටුව පන්සල' යනුවෙන්ද, එසේම 'බුලත්සිංහල ලොකු හාමුදුරුවන්ගෙ පන්සල' නමින්ද ඉන් පසුව නන්දාරාම හිමියන්ගේ පන්සල ලෙසින්ද ව්‍යවහාරයට පත් විය. කාලයක්‌ දේවාල වත්ත නමින් හැඳින්වූයේ අතීතයේ පටන් පුංචි දේවාලයන්ගෙන් යුතු භූමියක්‌ සහ යම් අද්භූත ආශිර්වාදාත්මක ශක්‌තියත් මේ භූමියේ තිබූ බැවිනි. 'කුරුඳු' නම් වූ ශාක විශේෂය තිබීම හා වගා කිරීමේ හේතුවෙන් කුරුඳුකොටුව වූ අතර ඒ ඒ ස්‌වාමීන්ද්‍රයන් වහන්සේලාගේ සුවිශේෂී හැකියාවන් හා ශාසනික හා සමාජයීය කැපකිරීම් මතින් එසේ නාමයන් ලබා ඇත.

මෙය දේවාලවත්ත නමින් ව්‍යවහාර වූ කාලයෙහිදී හාස්‌කම් සහිත පුංචි දේවාලයක්‌ සහ පුංචි බුදු කුටියක්‌ පැවැති බව පැරැන්නෝ අදත් පවසති. මෙය විහාරස්‌ථානයක්‌ බවට පත් කිරීමේ ආදීකතෘවරයාණන් වහන්සේගේ කාලය ලෙස පිළිගැනෙන්නේ බුලත්සිංහල දේවානන්ද නම් වූ සංඝ පීතෘන් වහන්සේගේ කාලයයි. උන්වහන්සේ මෙම ප්‍රදේශයට වැඩමවීම සිදුවන්නේ මාවිත්තර දූවේවත්ත පුරාණ විහාරාධිපති මාවිත්තර ගුණරතනනායන ස්‌වාමීන්ද්‍රයන් වහන්සේගේ මග පෙන්වීම යටතේ 1957 වසරේදීය.

දේවානන්ද හිමිපාණන් වහන්සේ මෙහි වැඩම කරන විට ස්‌ථිර වූ ගොඩනැඟිල්ලක්‌ ලෙසින් කුඩා විහාර මන්දිරයක්‌ක්‌ද පොල්අතු සෙවිලි කළ පුංචි දේවාලයක්‌ද තිබී ඇත. තම ලැගුම්ගෙය වශයෙන් පොල් අතු සෙවිලි කළ කුටියක්‌ තනවා ගත් උන්වහන්සේ සෙනසුන ලෙසින් එය භාවිත කළහ. එතැන් සිට ගම සහ විහාරස්‌ථානය දියුණු කිරීමට කටයුතු ඇරැඹූහ. භෞතික මෙන්ම අධ්‍යාත්මික සංවර්ධනය කෙරෙහි බලපෑ සමිති සමාගම් රැසක්‌ ඇරැඹූ අතර එහි අනුශාසක ධුරයට පත්වූහ.

කුඩා දරුවන්ගේ ධර්ම ඥනය, යහගුණ දම් සහ ආකල්ප දියුණු කරනු වස්‌ දහම් පාසලක්‌ 1960 වන විට ඇරැඹූ අතර වත්මන වනවිට ඒ තුළින් සමාජගත වූ යහපත් මිනිසුන් ලෙසත් උසස්‌ ජීවිත ගත කරන්නෝ බොහෝ වෙති. එසේ යහපත් සිසු පිරිසකගෙන් ඇරැඹූ පුරාණ විහාරස්‌ථ තරුණ සමිතිය, ධර්මෝදය ශිෂ්‍ය සමිතිය, එක්‌සත් ක්‍රීඩා සමාජය ආදිය ගමත්, පන්සලත් අතර සම්බන්ධය ශක්‌තිමත් කළ එවක අකාලයේ අවාසනාවන්ත ලෙස නොමඟට යොමු කෙරෙමින් තිබූ තරුණ ජීවිත සුමගට යොමු කිරීමේ තෝතැන්නක්‌ම විය.

වර්තමානයේ මකුළුදූව මනුෂ්‍යත්වයේ නාමයෙන් සදාචාරතමත් බව අගයන ශ්‍රේෂ්ඨ ගුණධර්මයන්ගෙන් හදවත සරසාගත් පිරිසක්‌ සහිත භූමියක්‌ බවට පත්වීම හා ඒ තුළින් ලැබූ ආර්ථිකමය ශක්‌තිමත්බවේද පදනම ගමේ පන්සලෙන් ඉටුවූ කාර්යභාරය බව කීම නිවැරැදිය. දැනට ගමේ පැරැණි සාමාජිකයන් ලෙසින් ජීවත්වන පැරැන්නන් ඒ අතීත අඳුරු යටගියාවේ සහ වත්මන් සුවිශේෂී විපර්යාසය පිළිබඳව වූ ආවර්ජනාත්මක සිහි කැඳවුම් කරන්නේ මහත් අභිමානයකිනි.

බුලත්සිංහල ලොකු හාමුදුරුවන් වහන්සේ වසර 73 ක්‌ පමණ ආයු වැළ» අතර 1990 වසරේදී අපවත්වූහ. උන්වහන්සේ තම ශිෂ්‍යවරයන් වහන්සේ ලෙස මකුළුදූව ග්‍රමයේම එකී අතීත සංවර්ධනාත්මක අවධියේ උපන් කුල දරුවකු සසුන් ගත කළ අතර එතැන් සිට මකුළුදූවේ නන්දාරාම හිමි නමින් අතීතයේ ග්‍රාමයට තිබූ අඳුරු මතක සටහන් පුන් සඳින් දුරුවන්නා සේ කරවීමෙහි සමත්වූහ.

අනාගත ශාසනික චිරස්‌ථිතියද, මකුළුදූව ග්‍රමයේ නාමය බොදු දනන්ගේ හදවතේ ජීවමාන කළහැකි තවත් ක්‍රියාවක්‌ වන්නේ ශාසනික අවශ්‍යතාවක්‌ සම්පූර්ණ කරමින් පැවැති පැරැණි සංඝාවාසය වෙනුවට සේනාසන පහසුකම් සහිත අලංකාර සංඝාවාසයක්‌ ගොඩනගමිනි. මේ උතුම් ශාසනින දායාදය 'ශ්‍රී දේවානන්ද අනුස්‌මරණ සංඝාවාසය' නමින් නම් කළ අතර ඒ තම ගුරු දේවයන්වහන්සේ සිහි කැඳවමිනි.

අධ්‍යාපනික වශයෙන් ගත් කල කැස්‌බෑව ප්‍රාදේශීය ශාසනාරක්‌ෂක බල මණ්‌ඩලයේ දීප්තිමත් දහම් අධ්‍යාපන ආයතයක්‌ ලෙස ශ්‍රී ධර්මෝදය දහම් පාසල පවත්වාගෙන යාම විහාරස්‌ථානය කේන්ද්‍ර කර ගනිමින් සිදුවේ.

මේ හේතුවෙන් ප්‍රදේශයේ පෞරාණික විහාරස්‌ථානය වශයෙන් පමණක්‌ නොව තම ආචාර්ය පරම්පරාවට අනුව යමින් අංග සම්පූර්ණ විහාරස්‌ථානයක්‌ ලෙසින් පුරාණ විහාරය සම්පූර්ණ වී තිබේ. ඒ පැරැණි විහාර මන්දිරය කාලානුරූපව ප්‍රතිසංස්‌කරණය කරමින්ද, අටවිසි බුදුකුටි සහිත බෝ මැදුරු නිර්මාණය කිරීම, දේවාල මණ්‌ඩපය, ඝණ්‌ඨාගාරය, පුෂ්පාගාරය, ධර්ම ශාලා මණ්‌ඩපය, දහම් පාසල් හා සමිති ශාලාවක්‌ නිර්මාණය කිරීම, ප්‍රදීපස්‌ථම්බ සහිත අංග සම්පූර්ණ විහාරස්‌ථානයක්‌ වෙනුවෙන් කාලීන අවශ්‍යතාවත් අනුවම සැකසූ සංඝාවාසයක්‌ද සමගිනි.

මෙසේ ශාසනික, සමාජ අපේක්‌ෂාවන් හා අවශ්‍යතාවන් සම්පූර්ණ කිරීම සඳහා ශිෂ්‍ය පරම්පරාවක්‌ද නිර්මාණය කරමින් ශිෂ්‍ය භික්‌ෂුන් වහන්සේ ලෙසින් කිතුල්ගල විමලසාර, ඇඹිලිපිටියේ චන්දානන්ද, බෞද්ධාර්ථගම මූර්ති යන ශිෂ්‍ය භික්‌ෂුන් වහන්සේලාද නිසි මගට යොමු කරමින් මකුළුදූව පුරාණ විහාරස්‌ථානය ප්‍රාදේශීය බෞද්ධ ජනයා වෙනුවෙන් ප්‍රශස්‌ථ, මාහැඟි සේවයක්‌ ඉටු කරන ප්‍රාදේශීය සුවිශේෂී ජන ආකර්ෂණයක්‌ හා ප්‍රසාදය ගත් විහාරස්‌ථානයක්‌ බවට පත්වී තිබේ.

මකුළුදූව පුරාණ විහාරවාසී, ගෞරව ශාස්‌ත්‍රවේදී කිතුල්ගල විමලසාර හිමි
 

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය