Powered by Blogger.

සැමීගේ කතාව චිත්‍රපටය මේ දිනවල ප්‍රේක්ෂක අවධානය දිනාගත් චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ අපූර්ව රංගනයක යෙදෙන වතික රවිනාත් සමග මෙවර අපි කතාබහ කළා.
“සැමීගේ කතාව” චිත්‍රපටය නිසා මේ දවස්වල ලැබෙන ප්‍රතිචාර ගැන කියලම කතාව පටන්ගමු
ඔව්... සැමීගේ කතාව චිත්‍රපටය නිසා නොහිතපු ප්‍රතිචාර මට ලැබුණා. මම චිත්‍රපටයට සම්බන්ධ වුණ කා‍ලේ ආධුනික තත්ත්වයේ හිටියේ. කොහොම වුණත් මට මේ ලැබෙන ප්‍රතිචාර මම නොහිතපු තරම්.

මේ චිත්‍රපටයට සම්බන්ධ වුණ හැටිත් කියමු.
මේ චිත්‍රපටය නිර්මාණය වුණේ මීට වසර 06 කට පෙරයි. ඉතිං ඒ කා‍ලේ මම මේ ක්‍ෂේත්‍රයට අලුත්.  මාත‍ලේ වගේ දුර බැහැර ප්‍රදේශයක ඉපදිලා නගරයට ඇවිත් මේ වගේ චිත්‍රපටයකට සම්බන්ධ වීමට ලැබිම මට ලැබුණු විශේෂ අවස්ථාවක් විදිහටයි, මම දකින්නේ. ප්‍රියන්කර විතානආරච්චි තමයි මේ චිත්‍රපටයට මාව තෝරා ගත්තේ. මේ වගේ දැවැන්ත චිත්‍රපටයක රඟපෑමට මට ලැබුණු අවස්ථාවම අගය කොට සලකනවා.

 මේ චිත්‍රපටයට සහභාගි වූ නළු නිළියන්ගෙන් ලැබුණු සහයෝගය ගැනත් කිව්වොත්?
“සැමීගේ කතාව“ චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙන්නේ ඉතා දැවැන්ත දක්ෂතාවලින් යුතු රංගන ශිල්පීන්. ඔවුන් සමග රංගනයෙන් දායක වීමට  ලැබුණු අවස්ථාව ලොකු භාග්‍යයක් ලෙස සලකනවා. මොකද සනත් ගුණතිලක, ජගත් චමිල, මැණික් කුරුකුලසූරිය, වගේ දක්ෂ සහ ප්‍රවීණ රංගන ශිල්පීන් සමග වැඩ කිරීම මගේ රංගන ජීවිතේ නව මගකට යොමු කළා කියලත් කියන්න පුළුවන්. ජගත් චමිල වගේ රංගන ශිල්පියකු තමන්ගේ රංගන කටයුතු සඳහා සිදු කරනු ලබන කැපවීමත් විශේෂයි. චිත්‍රපටය රූගත කරන කාල සීමාවේදීම මම ඒ කැප කිරීම දැක්කා.

මේ චිත්‍රපටයට සහභාගි වූ ප්‍රවීණ රංගන ශිල්පීන්ගෙන් ඔබට අවශ්‍ය සහය ලැබුණද?
ඇත්තටම ඔව් ඒ ලැබුණ දායකත්වය සහ සහයෝගය අති විශේෂයි. මොකද මේ චිත්‍රපටයේ මම රඟපෑමට එද්දී ආධුනික මට්ටමේ හිටියේ. අදටත් මම ආධුනිකයි. නමුත් එදා මම ක්‍ෂේත්‍රය ගැන හරිහැටියට දැනගෙනවත් හිටියේ නැහැ. එහෙම කාලයක මේ චිත්‍රපටයේ සිටි රංගන ශිල්පීන් මට ලබා දුන් දායකත්වය ඉමහත්.

ඒ කියන්නේ නවකයෙක් විදිහට ඔයා ප්‍රවීණයන් සිදුකරනවා යැයි කියන කැපිලි කෙටිලි වලට අසු වුණේ නැහැ.
නැහැ. අද වෙනකන් මම දායක වුණ නිර්මාණවලදී මුණ ගැසුණු ප්‍රවීණ රංගන ශිල්පීන් කිසිම කැපිල්ලක් දාලා නැහැ. මගේ රංගන කටයුතුවලට අවශ්‍ය සහාය පමණයි මට දීලා තියෙන්නේ.

මේ චරිතය නිරූපණය කිරීමට පෙර ඔබ චිත්‍රපටයට අදාළ නවකතාව අධ්‍යයනය කළාද?
ඔව්. මම චිත්‍රපටය රඟපෑමට පෙර කතාව අධ්‍යයනය කළා. ඒ වගේම චරිතය හසුරුවන ඉංග්‍රීසි වචන මිශ්‍ර සිංහල භාෂාව පවා මම අධ්‍යයනය කළා.

ඔබ වෘත්තියෙන් රංගන ශිල්පියෙක්ද?
මම කවදාවත් විනෝදාංශයට රංගනය වෘත්තීය කර ගන්නේ නැහැ. මම කැපවීමෙන් සහ මගේ උපරිමයෙන් තමයි මේ වෘත්තිය කරන්නේ. රංගන ශිල්පීය කරන ගමන්ම මම මගේම කියලා ව්‍යාපාරයක් කරනවා.

මේ දවස්වල ක්‍ෂේත්‍රයේ කරන අලුත් වැඩ ගැනත් කියමු
ටෙලි නාට්‍ය කිහිපයක වැඩ කටයුතු කරනවා. දුෂ්කර ප්‍රදේශයක රූගත කිරීම් කරනවා “හඳපානගල” කියලා නාට්‍යයක. චාමර පීරිස් මහතාගේ චිත්‍රපටයකටත් සහභාගි වෙලා ඉන්නවා.
ඉමල්කා ගුණවර්ධන
ඡායාරූප චමිල කරුණාරත්න
http://www.rivira.lk/edition/images/2014/05/11/wathika%20ravinath%20(2).jpg

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය