Powered by Blogger.

Bickබැංකු කොල්ලකරුවන් කොටු කරගත් මෙහෙයුම
මුහුණු මුළුමනින්ම ආවරණය වන පරිදි ‘ෆුල් ෆේස්’ හෙල්මට් පැළඳ බැංකු කොල්ලකන කොල්ල කණ්ඩායම් මේ වන විට ‍පොලීසියට මහත් හිසරදයක් වී හමාරය. ෆුල් ෆේස් හෙල්මට් පැළඳි කිසිවෙකුත් බැංකු තුළට ඇතුළු කර නොගන්නා ලෙසටත්, බැංකු අවට ආරක්ෂක කැමරා ස්ථාපිත කළ යුතු ස්ථාන ගැනත් මේ දිනවල නිරන්තරයෙන් බැංකු කාර්ය මණ්ඩල දැනුවත් කරමින් බැංකු අවට සිවිල් ‍පොලිස් නිලධාරීන් යොදවා ඇත්තේද එබැවිනි.
ෆුල් ෆේස් හෙල්මට්කරුවන්ගෙන් තම බැංකු ආරක්ෂා කර ගැනීමට ඇතැම් බැංකු මේ වන විට දුරස්ථ පාලක මගින් අගුල් ඇරෙන සහ අගුල් තදවන දොරවල් සවිකිරීමටද පියවර ගනිමින් සිටියි. ඒ ෆුල් ෆේස් හෙල්මට් පැළඳ යම් පුද්ගලයෙකු බැංකුව තුළට ඇතුළු වීමට උත්සාහ දැරුවොත් දුරස්ථ පාලකය හරහා  දොරවල් වසා දැමීම ආදී ආරක්ෂක පියවර ක්‍රියාත්මක කරන්නටය.
දුරස්ථ පාලක මගින් ක්‍රියාත්මක වන, දොරගුලු ඇරෙන වැහෙන තාක්ෂණයක් බැංකු ආරක්ෂාවට යොදවන්නට බැංකු  කළමනාකරුවන් තීරණය කරනුයේ කිරුළපන පිහිටි බැංකු ශාඛාවක් කොල්ලකෑමට ගත් උත්සාහයත් සමගිනි. ෆුල් ෆේස් හෙල්මට් පැළඳ බැංකුවට ඇතුළු වන්නට පැමිණි කොල්ලකරුවන්ට බැංකුව තුළට ඇතුළු වීමට ඉඩ නොදී බැංකු ආරක්ෂකයෙකු දොර වසා තදකරගෙන සිටියත් කොල්ලකරුවන් දොර සමග ඔහුවද තල්ලුකරගෙන බැංකුවට කඩා වැදුණේය. ඒ ක්ෂණිකව දොරගුළු වැටෙන ක්‍රමවේදයක් නොතිබුණු බැවිනි. 
Police1එසේ ඉකුත් 24 වෙනිදා බැංකුවට කොල්ලකරුවන් කඩා වැදුණද ඔවුන්ට බැංකුවේ තිබුණු මුදල් පැහැරගන්නට ඉඩක් නොවීය. ඒ බැංකු ආරක්ෂකයන් ක්‍රියාත්මක වී වෙඩි තබා ඔවුන් පලවා හැරි බැවිණි. එහෙත් ඊට සුළු වේලාවකට පෙර එම කොල්ලකරුවන් දෙදෙනා මොරටුව ඉඩම ප්‍රදේශයේ පිහිටි බැංකුවකට ශුද්ධයක් දී තිබිණි. ඒ රුපියල් හත් ලක්ෂ හැත්තෑ දහසකි. කිරුළපන බැංකුවට කඩා වැදී ඇත්තේ ඒ කොල්ලකෑ මුදල ඔවුන්ට කිසිසේත්ම ප්‍රමාණවත් නොවූ නිසා විය හැකිය.
එම බැංකු කොල්ලයන් දෙකම සිදුකොට ඇත්තේ එකම කණ්ඩායමක් බව අනාවරණය වන්නේ කොහුවල  ‍පොලීසියේ ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක චමින්ද එදිරිසූරිය ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් විසින් දීර්ඝ ලෙස කළ විමර්ශනයක ප්‍රතිඵලයක් වශයෙන් අල්ලාගත් කොල්ලකරුවන් දෙදෙනෙකු එකී බැංකු  කොල්ලකෑම් දෙකම තමන් විසින් කළ බව පා‍පොච්චාරණය කිරීමත් සමගිනි. ඊට අනුව ඔවුන් කොල්ලකා ඇත්තේ මොරටුව ඉඩමේ පිහිටි බැංකුව සහ කිරුළපන පිහිටි බැංකුව පමණක් නොවේ. මාළබේ සහ කොහුවල පිහිටි බැංකු දෙකක්ද කොල්ලකා තිබුණේ ඔවුන් විසිනි. මාලබේ  බැංකු කොල්ලය සිදුවන්නේ දෙසැම්බරයේ දීය. එහිදී ඔවුන් කොල්ලකන්නේ රුපියල් ලක්ෂ පහළොවක මුදලකි. කොහුවල බැංකුව කොල්ලකන්නේ පෙබරවාරියේදීය. කොල්ලකෑ මුදල රුපියල් ලක්ෂ දොළහකට අධිකය. ඊට අමතරව ඔවුන් සුපිරි වෙළෙඳ සල්, විද්‍යුත් උපකරණ අලෙවිසල් ආදී කොල්ලයන් පහළොවකට අධික ප්‍රමාණයක් කර තිබුණේ රුපියල් ලක්ෂ පනහකට අධික මුදල් තමන් සතු කර ගනිමිනි.
‍පොලීසියට කිසි දිනක තමන්ව හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට නොහැකි වන ලෙස ෆුල් ෆේස් හෙල්මට් පැළඳ මාස හතර  පහක කාලයක් තුළ රට පුරා මෙතරම් මුදල් කොල්ලකෑ මේ කොල්ල කල්ලියට  වැඩ වරදින්නේ ඉකුත් පෙබරවාරි 24 වෙනිදා  ඔවුන් කොහුවල  පිහිටි නේෂන් ට්‍රස්ට්  බැංකුව කොල්ලකෑමත් සමගිනි.
Police2ගිනිඅවියක් සහ උල් පිහියක් රැගෙන ෆුල් ෆේස් හෙල්මට් පැළඳ බැංකුවට ඇතුළු වී රුපියල් දොළොස් ලක්ෂයක මුදලක්ද කොල්ලකා පලාගිය ඔවුන් හඳුනාගැනීමට ‍පොලීසිය පියවර ගන්නේ දුරකථන ජාල පරීක්ෂාවක් මගිනි. ඒ ගල්කිස්ස කොට්ඨාසය භාර  ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී රවින්ද්‍ර කරවිට සහ සහකාර ‍පොලිස් අධිකාරී ඩබ්ලිව්.වී. ගීගනගේ යන මහත්වරුන්ගේ උපදෙසිනි.
ඉතා වෙහෙසකාරී විමර්ශනයක් වූ දුරකථන ජාල පරීක්ෂාවකින් අනතුරුව කොහුවල නේෂන් ට්‍රස්ට් බැංකු කොල්ලයේ  සැකකරුවෙකු ලෙස ‍පොලීසිය විසින් හඳුනාගනු ලබන්නේ පිළියන්දල ගෝන‍පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ජගත් ලසන්ත පෙරේරා  නොහොත් ජගාය. තිස්අට වියැති ඔහු විවාහකයෙකි. ‘වෘත්තියෙන්ම’ ඔහු මංකොල්ලකරුවෙකි. ජගාගේ මව අවන්හල් හිමිකාරිනියකි. එම අවන්හල ඇත්තේ පිළියන්දලය. ඔහුත් බිරිඳත් සේවය කළේ මවගේ ඒ අවන්හ‍ලේය. අවන්හලට නිතර ආගිය පුද්ගලයෙකු හරහා මත්කුඩු භාවිතයට ඇබ්බැහිවීමත් සමග ඊට මුදල් සොයන්න ජගා මංකොල්ලකන්නට පටන් ගත්තේය. ඒ මත්කුඩුවලට දිනකට ඔහුට රුපියල් විසිදහසක්වත් උවමනා වූ බැවින් යැයි පැවසේ.
මේ තොරතුරු සොයාගත් කොහුවල ‍පොලිස් ස්ථානාධිපති චමින්ද එදිරිසූරියත් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති වයි.ඕ එම්. සුමතිපාලත් තම සගයන් සමග ජගාව කොටුකර ගැනීමට ගෝන‍පොලට ගියද කාලයක් තිස්සේ ඔහු නිවසට පැමිණ නැති බව හෙළි වන්නේ එහිදීය. ඔහු ඉන්නා තැනක්වත් බිරිඳ හෝ මව දැන සිටියේද නැත.
ඒ අනුව ජගාව කොටුකර ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවන බව  දැනගත් ‍පොලිස් කණ්ඩායම ඔහුව කොටුකර ගැනීමට වෙනත් මගක් සෙව්වේය. ජගා  වැඩිපුරම ඇමතුම්ගෙන ඇති දුරකථන අංකයක් දුරකථන ජාල පරීක්ෂාවට හසුවන්නේ එවිටය. එය ජංගම දුරකථන අංකයකි. එහි හිමිකරු මහනුවර පැත්තේ අයෙකි. දුරකථනය ක්‍රියාත්මක වන්නේ ද මහනුවර පැත්තේමය.
දුරකථන සිම් කාඩ්පතේ ලියාපදිංචි තොරතුරුවලට අනුව ලිපිනය සොයා  ගෙන අදාළ දුරකථනයේ ලියාපදිංචි හිමිකරුගේ නිවස වැටලීමට ‍පොලිස් කණ්ඩායමට කොතෙකුත් හැකියාවක් තිබුණද සැකකරු නිවසේ නොසිටිය හොත් හෝ එම දුරකථන සිම්කාඩ් පත වෙනත් පුද්ගල නමකට ලබාගත් එකක් නම් එය අසාර්ථක මෙහෙයුමක් බවට පත්වන බව දැනගත් ‍පොලිස් කණ්ඩායම ඊට  අපූරු උපක්‍රමයක් යෙදුවේය. ඒ කාන්තා  ‍පොලිස් නිලධාරිනියක් යොදා එම දුරකථන අංකය හරහා, අහඹු ඇමතුමක් ලෙස ඔහුට කතාකොට හිතවත්කමක් ගොඩනගා ගැනීමට කටයුතු කිරීමය.
එය ඉතා සාර්ථක මෙහෙයුමක් බවට පත්වන්නට එතරම් කාලයක් ගත නොවීය. සතියක් වන විට දෙදෙනා දුරකථන පෙම්වතුන් බවට පත්ව සිටියෝය. දෙදෙනා එකිනෙකා මුණගැසීමට තීරණය කරනුයේ 28 වෙනිදා උදෑසන මහනුවර නගරයේදීය.
කතිකා කරගත් පරිදි ‍පොලිස් නිලධාරිනිය ඔහු මුණගැසීමට එදා උදේම මහනුවරට ගියාය. ඒ ‍පොලිස් කණ්ඩායමක්ද  සමගිනි.  මහනුවර යම් තැනක ඇය රැඳී සිටියාය. ඒ ඔහු කියූ  පැහැති ඇඳුමකින් සැරසීගෙනය. ඒ ඇඳුමේ පැහැයෙන් ඇයව හඳුනාගත් ඔහු ඇය අසලට ආවේ යතුරු පැදියකිනි. ඒ ඇයව රැගෙන යාමට හෙල්මට් එකක්ද රැගෙනය.
එහෙත් එහිදී ඔහුට සිදුවන්නේ ඇයව රැගෙන යන්නට නොව ඇය සමග ‍පොලීසියට යන්නටය. ඒ සිවිල්  ඇඳුමින් අවට රැඳී සිටි ‍පොලිස් නිලධාරීන් ඔහුව කොටුකර ගත් බැවිනි.
බැලින්නම් ඔහු සිවිල් ආරක්ෂක බළකායේ සෙබළෙකි. මහනුවර මැණික්හින්නේ පදිංචිකරුවෙකු වන එම සෙබළාගෙන් ‍පොලිස් කණ්ඩායම දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නට වූයේ ජගා ගැනය.  බැංකු කොල්ලකෑම් ගැනය.
“මම දන්න බැංකු කොල්ලකෑමක් නැහැ. ජගා තවත් යාළුවෙක් එක්ක අපේ ගෙදර ඉන්නවා“ ඔහු එහිදී හෙළි කළේය.
ඒ අනුව ‍පොලිස් කණ්ඩායම මැණික්හින්නට ගියේය. ජගාවත් ඔහු සමග එහි රැඳී සිටි මිතුරාවත් අත්අඩංගුවට ගත්තේය. ඒ  පිස්තෝලයක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමගිනි. ඊට අමතරව  උල් පිහියක්ද එක් අයෙකු සතුව තිබි සොයාගත්තේය.
කොහුවල නේෂන් ට්‍රස්ට් බැංකුව පමණක් නොව, මාළබේ නේෂන් ට්‍රස්ට් බැංකුවද, මොරටුව ඉඩමේ පිහිටි සී.ඩී.බි. බැංකුවද, කිරුළපන සෙලාන් බැංකුවද කොල්ලකෑවේ ජගා බව අනාවරණය වන්නේ එවිටය. ජගා සමග මැණික්හින්න නිවසේ සිටියදී අල්ලා ගන්නා ඔහුගේ මිතුරා එම බැංකු කොල්ලකෑම්වලට ජගා සමග යතුරු පැදියේ ගිය සගයා බව හෙළි විය. ඔහු ගල්ගමුව  විහාර මාවතේ වැසියෙකි. තිස් පස් වියැති ඔහුද විවාහකයෙකි.
ගල්ගමුවේ සිට පිළියන්දල පැමිණ ඇඟලුම් කම්හලක සේවය කර ඇති ඔහු පසුව සිල්ලර වෙළෙඳසලක් ද කරගෙන ගිය අයෙකි. ජගා සමග එක්ව  මංකොල්ලකෑම්වල නිරත වන්නේ සිල්ලර වෙළෙඳසල බංකොළොත් වීමෙන් පසුවය.
රුපියල් ලක්ෂ පනහකට අධික මුදලක් ගත වූ මාස පහක කාලය තුළ, කොල්ලකෑම් විස්සකින් මේ අය සොයා ගෙන ඇතත් වැඩි මුදල් ප්‍රමාණයක් වියදම් කර ඇතැයි අනාවරණය වන්නේ මත්කුඩු උරන්නටය. ඉතිරි මුදලින් මිලදී ගත් මෝටර් රථයක් සහ යතුරුපැදියක් සොයාගෙන ඇති ‍පොලීසිය දැන් වෙහෙසෙන්නේ මෙම කල්ලියට සමගාමීව මීගමුව  පැත්තේ කැරකැවෙමින් සීදුවේ පිහිටි කොමර්ෂල් බැංකුවෙන් රුපියල් හැත්තෑ ලක්ෂයකට අධික මුදලක් සහ මීගමුවේ පුෂ්පා ජුවලරියෙන් රුපියල් කෝටියකට අධික මුදලක් කොල්ලකෑ ෆුල් ෆේස් හෙල්මට් කොල්ලකරුවන් කොටුකර ගන්නටය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය