Powered by Blogger.

කෙටි කාලයකින් රංගන ක්ෂේත්‍රයේ හිනිපෙත්තටම ළඟාවන අපේ ‘මලී’ නැත්නම් සමාධි අරුණ චායා පෙම්වතියක් බව අපේ පාඨකයන්ට කියා සිටියා. අද ඇය විවාහ දිවියේ අභිමුව සිටිනවා.
ඇයගේ අතිනත ගන්නා කුමරු අපි හොඳින් හඳුනන ටෙලි නාට්‍ය නළුවෙක් සහ නිෂ්පාදකවරයෙකි. නමින් සංජය මොරගල්ලයි. ඒ දෙදෙනාගේ ප්‍රේම වෘත්තාන්තය සැබෑවක් වී විවාහ දිවියට සූදානම් වන අයුරු ඇගේ සිතැඟි අදහස් මෙසේ පවසයි.

මේ දිනවල ඔබ සෑහෙන්න කාර්යබහුලයි නේද?
ඇත්තටම ඔව්. ගොඩක් කාර්යබහුලයි. වෙඩින් එකට තව චූටි කාලයක් තියෙන්නේ. ඉතින් ඒ හින්දා සෑහෙන්න කාර්යබහුල වෙලයි ඉන්නේ.

කොහොමද මේ අත්දැකීම?
ජීවිතයේ අලුත්ම පටන් ගැනීමක් පුංචි කා‍ලේ ඉඳලා ගත්තාම ජීවිතයේ ලොකු පෙරළියක් කියලා හිතෙනවා.

විවාහය අබියස සිටින ඔයාට මොන වගේ හැඟීමක්ද එන්නේ?
අම්මෝ.. ගොඩක් සතුටුයි. ආසාවයි, බයයි, ලජ්ජයි මේ ඔක්කොම එකට තිබෙනවා. ඇත්තටම ඒ හැඟීම විස්තර කරන්න අමාරුයි.

විවාහ කටයුතුවලට සංජයගේ සහයෝගය කොහොමද?
උපරිමයි. අපි දෙන්නා පවු‍ලේ කට්ටියත් එක්ක එකතුවෙලා සැලසුමක් ඇතිව හොඳින් වැඩකටයුතු කරගෙන යනවා. ඇත්තටම කියන්න ඕන සංජය මේ විවාහ කටයුතුවලට පමණක් නොව මගේ හැම වැඩකටම උදව් කරනවා.

සිහින කුමරු ලැබුණා කියලා හිතනවාද?
හිතාගෙන හිටිය සිහින කුමාරයටත් වඩා හොඳ කෙනෙක් සංජය අයියා. ඒ වගේම තමයි ඒ අයගේ පවු‍ලේ අයත්.

මංගල දින උත්සවය සමරන්නේ හෝටලයේද? නිවසේද?
වෙඩින් එක ගන්නේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ. හෝම් කමින් එක සංජය අයියලාගේ ගෙදර තමයි ගන්නේ.

විවාහ දිනයට සැරසෙන්නේ මොන ඇඳුමෙන්ද?
අපි පළමුවැනි දවසට සාම්ප්‍රදායික මුල් ඇඳුමෙන් සැරසෙනවා. ‘උඩරට ඇඳුමින්’ අයියලා කුරුණෑගල ඒ හින්දා තාත්තා හරියට උඩරට චාරිත්‍ර වාරිත්‍ර ගැන ගොඩක් අවධානය යොමු කරනවා. දෙවැනි දවසට අඳින්න බලා‍පොරොත්තු වෙන්නේ ඉන්දියානු ක්‍රමයට.

හැඩගැන්වීම් සිදුවන්නේ කා අතින්ද?
සියලුම හැඩගැන්වීම් චම්පි සිරිවර්ධන මහත්මිය අතින් තමයි සිදුවන්නේ.

අනිත් වෙඩින්වල වගේ මල් කුමරියන්, යහළු යෙහෙළියන් යොදා ගන්නවාද?
ඇයි නැත්තේ? මල් කුමාරියෝ නම් දෙතුන් දෙනෙක් යොදා ගන්නයි බලා‍පොරොත්තු වෙන්නේ. යෙහෙළියන් පස් හයදෙනෙක් ඉන්නවා. ඒ අයත් කලා ක්ෂේත්‍රයට සම්බන්ධ අය.

ඔබ දෙපළගේ මංගල දිනය ‘සහශ්‍රයේ මංගල්‍යය’ කියලා නම් කළේ ඇයි?
ඒක වුණේ මෙහෙමයි. අපි තෝරගත්ත තේමාවයි, සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍රයි අලුත් අදහසුයි එකට එකතු කරලා මංගල්‍යයේ සැබෑ වෙනසක් කරන්න බලා‍පොරොත්තුවෙනුයි මේ නම යොදාගත්තේ.

වෙඩින් එක වෙනුවෙන් මේ දවස්වල කරන අලුත්ම දෙය මොනවාද?
මේ දවස්වල මංගල දිනයේ තේමා ගීතය පුරුදු පුහුණු වෙනවා.

ගායන ක්ෂේත්‍රයට එන්න බලා‍පොරොත්තුවක් තියෙනවාද?
එහෙම නම් නැහැ. හැබැයි මං ගායනයට ආසයි. ඒ වගේම මට උපතින් ආපු හැකියාවක් තියෙනවා.

ඔයාගේ රංගන කලාවට විවාහය බාධාවක් වෙයිද?
අනේ නැහැ. වෙනදා වගේම හොඳ නිර්මාණයක් ආවොත් මට සාධාරණයක් නිර්මාණයට ඉෂ්ට කරන්න පුළුවන් යැයි හිතුණොත් මම අනිවාර්යයෙන්ම කරනවා.

රඟපෑමෙන් ඈත්වෙලා වෙනත් ක්ෂේත්‍රයකට යන්න බලා‍පොරොත්තුවක් තියෙනවද විවාහයෙන් පසුව?
රඟපෑමෙන් අයින් වෙන්න නම් බලා‍පොරොත්තුවක් නෑ. එහෙම වෙනත් ක්ෂේත්‍රයක් පිළිබඳව හිතලත් නැහැ.

විවාහයෙන් පසුව ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වීමට බලාගෙනද ඉන්නේ?
ඔව්. සංජය සමග එකතුවෙලා සංජය දැනට කරගෙන යන චිත්‍රපට නිෂ්පාදන ආයතනය හා ව්‍යාපාර කටයුතු ඉදිරියට දියුණු කරගෙන ව්‍යාපාරවලට උදව් කරන්න ආසාවෙන් බලාගෙන ඉන්නේ.

සංජය කැමැතිද ව්‍යාපාර කටයුතුවලට සමාධි සම්බන්ධ කරගන්න?
ඔව්. එයා කැමැතියි මාත් කැමැතියි. එතකොට අපි දෙන්නට එකට වැඩකටයුතු කරගෙන යන්න පුළුවන් නිසා ගොඩක් කැමැතියි.

බිරිඳක් විහිදට දැන් හීන ගොඩ ගැහිලා ඇති නේද?
සංජය අයියාට හොඳ බිරිඳක් වෙන්නත්, මව්පියන්ට හොඳ දුවෙක් වෙන්නත්, සංජයගේ සහෝදරයාට සහෝදරියක් වෙන්නත්, අනාගතේ මගේ දරුවන්ට හොඳ අම්මා කෙනෙක් වෙන්නත් හීන දකිනවා. මේ හැමදේම වෙන්නේ මට මගේ ජීවිතයේ ආදර්ශමත් විදිහට ජීවත් වෙන්න ඕන නිසා.

විවාහ මංගල උත්සවය පැවැත්වෙන්නේ කවදාද?
මැයි මාසේ මැද හරියේ පැවැත්වෙනවා.

මැයි මාසේ තෝරාගන්න හේතුවක් තිබුණාද?
එහෙම විශේෂ හේතුවක් නැහැ. ඒ වුණාට මං කැමැතියි මැයි මාසෙට. අපි දෙන්නාගේ ‍පොරොන්දම් බැලුවාම ගැළපුණෙත් මැයි මාසෙමයි. ඇත්තටම එය වාසනාවක්. මම බුදු දහමට ගොඩක් ලැදි කෙනෙක්. වෙසක් මාසේ නිසා සිල් සුවඳ ගුණ සුවඳ පැතිරෙනවා. ඒ වගේම සොබාදහමේ අන් කවරදාවත් නොවන සුන්දර සෞභාග්‍යවන්ත මාසයක් මැයි මාසේ. ඒ නිසා මං හිතනවා මේ මාසේ මංගල දිනය යොදා ගැනීමට ලැබිම අපිට ආශිර්වාදයක් කියලා.

අවසන් වශයෙන් ඔයාට මොනවාද කියන්න තියෙන්නේ?
ඕනෑම ගෑනු ළමයෙක් කටින් නොකිව්වාට විවාහය ගැන සිහින ගොඩක් ‍පොදි බැඳගෙන ඉන්නවා. මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වුණා වගේ ලංකාවාසී, ලෝකවාසී සෑම සියලු ගෑනු ළමයකුගේම සිහිනය, ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්න කියලා මම එක සිතින් ප්‍රාර්ථනා කරනවා.
ඉන්දීවරී පෙරේරා
http://www.rivira.lk/edition/images/2014/05/04/samadhi%20arunachaya%20(2).jpg
http://www.rivira.lk/edition/images/2014/05/04/samadhi%20arunachaya%20(3).jpg

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය