Powered by Blogger.

පුංචි තිරයේදී වගේම රිදී තිරයේදී රඟන රංගනයන් හරහා සෑම ප්‍රේක්ෂක මුවගකටම සිනහවක් තබනා පිං‍පොංට වයස් භේදයකින් තොරව ප්‍රතිචාර ලැබෙනවා.
ඔහුට උප්පැන්නයෙන් ලැබුණු නම හිරාන් චාමිකර වුණත් ඔහුට ලැබෙන ඒ ප්‍රතිචාර නිසාම ඔහුගේ ප්‍රේක්ෂකයන් පිං‍පොං යන නම සමාජය තුළ ලියාපදිංචි කර තිබෙනවා. කවුරුත් හඳුනන පිං‍පොං හා ඔහුගේ පුංචි කැදැල්‍ලේ තොරතුරු මෙවර රිවිසරසි පාඨකයන්ට ගෙන එන්න හිතුවේ ඒ නිසයි. මේ හිරාන් හා ඔහුගේ ආදරණීය ප්‍රියම්බිකාව ඇන්ඩ්‍රියා ජෙනිෆර් ජෝන්ස් ඔවුනොවුන් ගැන කතා කළ සාකච්ඡාවයි.

හිරාන්ව පුංචි තිරයේදී නිතරම දකින්න ලැබෙනවා. රංගන කටයුතු එක්ක කාර්යබහුල වෙලා ඇති නේද?
මේ දිනවල ටෙලි නාට්‍ය හතරක් විකාශය වෙනවා. චායා, පරවි කිරිල්ලි, සබඳ පබානිස් හා සුන්දර චන්දරේ. ඒ නිසා ටිකක් ‍නෙවෙයි හුඟක් කාර්යබහුලයි. ඊට අමතරව ස්නේහා ටෙලි නාට්‍යයට ආරාධනා ලැබුණා. ඒ නාට්‍යයේ රූගත කිරීම් ළඟදීම පටන් ගන්නවා.

බොඳ මීදුම් ටෙලි නාට්‍යයේ ඔබ රඟපෑ කුමාර්ගේ චරිතයට වගේම මේ දිනවල පුංචි තිරයේ විකාශය වෙන චායා නාට්‍යයේ ගයාන්ටත් ප්‍රතිචාර වැඩිපුර ලැබෙනවා ඇති?
බොඳ මීදුම් ටෙලි නාට්‍යයෙන් පස්සේ මට හුඟක්ම ප්‍රතිචාර ලැබුණේ චායා ටෙලි නාට්‍යයේ ගයාන්ගේ චරිතයට. ගයාන් කතා කරන විදිහට හා ඒ දෙබස් අල්ලලා ගියා. ඇත්තටම හුඟක් ප්‍රතිචාර ලැබෙනවා. ඒ ගැන සතුටුයි. මොකද මම කලාවෙන් හම්බ කරන්නේ මුදල් ‍නෙවෙයි මිනිස්සු. ඒ නිසා ඒ හැම ප්‍රතිචාරයක්ම ආශිර්වාදයක්ම මට වටිනාව.

ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි ගායකයෙක් බවට පත්වෙලා කියලත් ආරංචියි?
පසුගිය කා‍ලේ වැඩිපුර ප්‍රසංග වේදිකාවල ගීත ගායනා කරන්න අවස්ථාව ලැබුණා. ඩුබායි, ලෙබනන්, කොරියා වගේ රටවලටත් ගියා. සංගීත ප්‍රසංගවලට සම්බන්ධ වෙලා සමහර දවස්වලට ගෙදර එනකොට උදේ හත, අට වෙනවා. ඒකත් කාර්යබහුල වෙන්න හේතුවක්. ප්‍රසංග වේදිකාවල ගීත ගායනා කරන්න මට ආරාධනා ලැබෙන්නේ අවුරුදු දෙකක විතර ඉඳලා. මාව ගායකයෙක් කළේ කොෆී චැට් වැඩසටහන කරන රංගන සිල්වා. ඒ වැඩසටහනට වගේම මෙගා ස්ටාර් වගේ වැඩසටහන්වල සින්දු කියලාම ගීත ගායනා කිරීමේ බය නැති කරගත්තා. ඒ වැඩසටහන්වල ගීත ගායනා කරනවා දැකලා තමයි මට ප්‍රසංග වේදිකාවට ඇරයුම් ලැබුණේ. දැන් හිතෙනවා මම රඟපානවාට වඩා ගායකයෙක් විදිහට දක්ෂයි කියලා. දැන් ජෝතිපාල මහත්මයාගේ ගීත ගායනා කරනවා. ඒ ලැබෙන විනාඩි පහළොවේදී උපරිමයෙන් මම මගේ රසිකයන්ව ගීතයෙන් පිනවනවා. ඉදිරි කාලයේදී මගේම ගීතයක් දෙකක් කරන්නත් බලා‍පොරොත්තු වෙනවා.

ඔබ අධ්‍යක්ෂණය කරන අලුත් චිත්‍රපටය ගැනත් මතක් කරමු?
චිත්‍රපටයේ පිටපත, අධ්‍යක්ෂණය මගේ. රූගත කිරීම් ජූලි මාසේ පටන් ගන්නවා. ඒ චිත්‍රපටයේ මම චරිත දොළහක් රඟපානවා. චිත්‍රපටයට නමක් දැම්මා. ඒත් දැන්ම කියන්න බැහැ. මොකද ඒ නම් හොරකම් කරලා අනුන්ගේ පහනෙන් එළිය බලන මිනිස්සු ඉන්න නිසා. මීට කලින් මම කරපු චිත්‍රපටයේ නම ඒ විදිහට හොරකම් කළා. ප්‍රසිද්ධ සංගීත අධ්‍යක්ෂවරයකුගේ පුතෙක්. මම ප්‍රචාරණ කටයුතු කළාට පස්සේ ඒ නම හොරකම් කරලා එයා චිත්‍රපටයක් හැදුවා. ඒ නිසා චිත්‍රපටය අවසන් කළාට පස්සේ තමයි ඒ ගැන විස්තර කියන්න හිතුවේ.

කාලයක් රංගනයෙන් ඉවත්වෙලා හිටියා නේද?
2004 අවුරුද්දේ ඉඳලා 2007 වසර වෙනකල් මම රඟපෑවේ නැහැ. ඒ කාලසීමාව තුළ නාට්‍ය කලාව වැටුණා. ඒත් එක්කම මමත් අතුරුදන් වුණා. ආයෙමත් මාව දකින්නේ බොඳ මීදුම් නාට්‍යයෙන්. ඊට පස්සේ මං ගැන ආයෙමත් කවුරුත් කතා කරන්න පටන් ගත්තා.

විකට චරිත හැරුණු කොට සංකීර්ණ චරිත හිරාන්ට ලැබෙන්නේ නැති තරම්. ඒ රාමුවට කොටුවෙන්න හේතුව සංකීර්ණ චරිත රඟපෑමේ නොහැකියාවද?
ඕනෑම චරිතයක් රඟපාන්න මට පුළුවන්. ඒ අභියෝගය භාරගන්නත් මම සූදානම්. ලක්ෂ්මන් පුෂ්පකුමාර මහතා අධ්‍යක්ෂණය කළ සුදු හාමිනේ ටෙලි නාට්‍යයේ අහිංසක චරිතයක් මම රඟපාලා තියෙනවා. ඒ වගේම ‍පෝදා ටෙලි නාට්‍යවල විවිධ චරිත රඟපාලා තියෙනවා. ඒත් මොන හේතුවකටද මන්දා ඒ කිසිම චරිතයක් ප්‍රේක්ෂකයන් අතරට ගියේ නැහැ. මම රංගනයට පිවිසිලා දැනට වසර පහළොවක් වෙනවා. ඒ කාලය තුළ මම ටෙලි නාට්‍ය 80ක්, චිත්‍රපට 50ක්, වේදිකා නාට්‍ය 03ක් රඟපාලා තියෙනවා. ඒ සියලු නිර්මාණවලින් බහුතරයක මම රඟපාලා තියෙන්නේ විකට චරිත. නිරන්තරයෙන් දකින්නේ ඒ වගේ චරිත නිසා ආරාධනා ලැබෙන්නේ ඒවාම වෙන්න පුළුවන්. ඒත් මම අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයේ චරිත හරහා සමහර විට මගේ උපරිම දක්ෂතා දැකගන්න පුළුවන්.

ටෙනිසන් කුරේ නිර්මාණය කළ තොත්ත බබාලා වේදිකා නාට්‍යය 97 වර්ෂයේ වේදිකාගත වුණ දිනයක ඔබ බැල්කනියේ එල්ලිලා නාට්‍යය නැරඹුවා. ඊට වසර දහයකට පසුව එහි ටෙනිසන් රඟපෑ ප්‍රධාන භූමිකාව ඔබ රඟදක්වනවා. ඒ අතීත කතාවත් මතක් කරමුද?
නාට්‍ය බලන්න තිබුණ කැමැත්ත නිසාම මම තොත්ත බබාලා වේදිකා නාට්‍යය බලන්න ගියා. එදා මම නාට්‍යය බැලුවේ බැල්කනියේ එල්ලිලා. ඊට හරියටම අවුරුදු දහයකට පස්සේ 2007 වර්ෂයේ 500 වැනි දර්ශනය රඟපාන්න මට පුළුවන් වුණා. ඒ සිදුවීම ඒ විදිහට වෙයි කියලා කවදාවත් මම හිතුවේ නැහැ. එදා නාට්‍යය බලන්න ප්‍රේක්ෂකාගාරයේ ටෙනිසන් කුරේ මහතා ඇවිත් හිටියා. නාට්‍යය බලලා මගේ ළඟට ඇවිත් කිව්වා මල්ලී මගේ රඟපෑම මම කළා වගේම ඔයත් කළා. දෙබස් කෑලි ටිකත් ඒ විදිහටම කියලා දැම්මා. මගේ රංගන ෙශෙලිය මම ඔයාගෙන් දැක්කා. ඒ නිසා මට ඔයාගේ රඟපෑම දැනුණා. ඒත් ඔයිට වඩා මට දැනෙයි ඔයාගේ රංගන ෙශෙලිය මතුවුණා නම් කියලා කිව්වා. ඒ සිදුවීම ඇත්තටම හරි පුදුමයි.

කලාකරුවන්ගේ හොඳම විවේචකයා ඉන්නේ ඒ අයගේ ගෘහයේ කියනවානේ. රජිත ජනප්‍රිය චරිතයක් නිසා ඔබේ දරුවා ඔබ වීරයෙක් හැටියට දකිනවා ඇති නේද?
අපේ දුව ඇමැන්ඩා රියානා ප්‍රනාන්දු. එයාගේ වයස අවුරුදු පහයි. මගේ චරිත දිහා බලලා එයා මම වීරයෙක් විදිහට නම් දකින්නේ නැහැ. මෝඩ තාත්තා කෙනෙක් කියලා හිතන්නේ. ඇත්තටම පට්ට මෝඩයෙක් වගේනේ මම කැමරාව ඉස්සරහා රඟපාන්නේ. ගුටි කන, බැණුම් අහන, කෑගහන චරිත දැකලා දරුවා හිතනවා ඇති එයාට ඉන්නේ මෝඩ තාත්තා කෙනෙක් කියලා. ඒ තත්ත්වය ඇත්තටම එයා ටික ටික ලොකු වෙනකොට දකින්න පුළුවන්. ඒ නිසා එයා මම රඟපාන ඒවා බලනවාට නම් කැමැති නැහැ. මම කැමැති එයා මම වීරයෙක් හැටියට දකිනවාටයි. බිරිඳ නම් පුළුවන් විදිහට මගේ ටෙලි නාට්‍ය බලනවා. එයා මට වඩා හරිම කාර්යබහුලයි. හුඟක් වෙලාවට අපි දෙන්නා එකට මුණ නොගැහෙන තරම්. ඒත් මගේ නිර්මාණ එයා හුඟක් අගය කරනවා.

හුඟදෙනෙක් රජිතට කතා කරන්නේ පිං‍පොං කියලා. ලස්සන නමක් තියෙද්දී පිං‍පොං කියලා කතා කරද්දී දුකක් දැනෙන්නේ නැද්ද?
සමහර අය මගෙන් අහනවා පිං‍පොං කියන නමට වඩා තමන්ගේ නම ගොඩනගා ගන්න මොනවා හරි කරන්න කියලා. ඒත් එහෙම වුවමනාවක් මට නැහැ. හැමෝම මට පිං‍පොං කියලා කතා කරනවාට කැමැතියි. ඒ නම මට නම් හුරතල්. අනික පාතාල නමක් ‍නෙවෙයිනේ. ඒ නිසා දුකක් නැහැ.

රජිත අපිත් එක්ක කතා කළ හැම වචනයක්ම මුවග සිනහවක් උපැද්දුවා. හරියට පුංචි තිරයේ, රිදී තිරයේ තොර තෝංචියක් නැතුව කියවන රජිතගේ විවිධ චරිතවලින් ප්‍රේක්ෂකයන්ගේ මුවගට සිනහවක් මතුවෙනවා වගෙයි. එනිසා ඔහුගේ ආදරණීය බිරිඳගෙන් පළමුවෙන්ම අහන්න හිතුවේ තිරයේ දකින රජිතද, සැබෑ ජීවිතයේදිත් දකින්නේ කියලයි. ඇය උත්තර දුන්නේ මෙහෙමයි.
තිරයේ ඉන්න පුද්ගලයා ‍නෙවෙයි තිරයේ පිටුපස ඉන්නේ. හාත්පසින්ම වෙනස්. ඔය තරම් විහිළු කරලා කෑකෝ ගහන්නේ නැහැ. හරිම සංකීර්ණ චරිතයක්. හරියට කේන්ති යනවා. එයා මහන්සිවෙලා ගෙදර එනකොට බබා කරදර කළොත් මම හිමිහිට බබාව එයාගෙන් අයින් කරලා තියනවා. රජිතට නිදහස දෙන්න ඕන නිසා. බබත් තාත්තාට බයයි. ඒත් කොච්චර කේන්ති ගියත් තාත්තාගේ වගකීම, ස්වාමියාගේ වගකීම්වලින් බැහැර වෙන කෙනෙක් ‍නෙවෙයි. පවුල් ජීවිතේ හරිම සතුටින්, වගකීමෙන් ගෙනයන කෙනෙක්. තිරයේදී දකින සෙල්ලක්කාර, සැහැල්ලු චරිතය එයාගේ සැබෑ ජීවිතයේ දකින්නේ හරි අඩුවෙන් තමයි.

රජිත වගේම ඔබත් කාර්යබහුලයි. කුටුම්භය රැකගන්න ඔබ වගේම රජිත වෙහෙස ගන්නේ කොහොමද?
දෙන්නාම හරිම කාර්යබහුලයි. මම දුව ඉපදිලා අවුරුද්දක් විතර ගෙදර හිටියා. මගේ අම්මයි, තාත්තයි කිව්වා දරුවාගේ වැඩ ටික ඒ දෙන්නා කරන්නම් මට වැඩ කරගන්න කියලා. ඉගෙන ගත්ත දෙයින් ප්‍රයෝජනයක් ගන්න ඕන. ඒ නිසා තව ටික කාලයක් මම රස්සාව කරනවා. ඒකට රජිතත් විරුද්ධ නැහැ. අපේ අම්මයි, තාත්තයි මාවයි, රජිතවයි සම්පූර්ණයෙන්ම ගෙදර වැඩවලින් නිදහස් කරලා තියෙන්නේ. දරුවාගේ වැඩ හැම එකක්ම කරන්නෙත් ඒ දෙන්නා. ඉතින් රජිතයි, මමයි ගෙදර ඉන්න දවසට අපි ගෙදර විශේෂ කෑමබිම හදනවා. එහෙම නැති නම් කොහේ හරි ගිහින් නිදහසේ කාලය ගත කරනවා. ඒ නිසා පවු‍ලේ වැඩ බරක් විදිහට දැනෙන්නේ නැහැ. එකට ඉන්න ලැබෙන කාලය විතරයි අඩු.

රජිත ජනප්‍රිය කෙනෙක් කියලා දියණිය දන්නවාද? ඒ ගැන ඇන්ඩ්‍රියා එක්ක කතා කරන්නේ නැද්ද?
එයා දන්නවා තාත්තා ජනප්‍රිය කෙනෙක්, නළුවෙක් කියලා. රජිතට පුංචි ළමයින්ගෙන් හුඟක් ප්‍රතිචාර ලැබෙනවා. පාරේ යනකොට ‍පොඩි ළමයෙක් එහෙම හුරතල් කළාම දුවට ඊර්ෂ්‍යයි. එයා මාත් එක්ක කියනවා තාත්තා මාව තමයි වඩා ගන්නේ නැත්තේ කියලා. ඒ වගේම රජිත රඟපානවා වගේ රඟපාලා පෙන්වනවා. එයා සින්දු කියන විදිහ කියලා පියානෝ ප්‍ලේ කරලා මයික් එක අතට අරගෙන සින්දු කියලා පෙන්නනවා. සමහර දවස්වලට පයිලට් කෙනෙක් වගේ ඇඳගෙන රඟපානවා. මටත් හිතාගන්න බෑ එයා රජිත වගේ රඟපායිද එහෙම නැතිනම් මම වගේ ගුවන් සේවා වෘත්තියක් කරයිද කියලා.
හර්ෂණී වීරරත්න
ඡායාරූප-ප්‍රදීප් දාබරේ
http://www.rivira.lk/edition/images/2014/05/18/saranga%20pathirana%20(5).jpg
http://www.rivira.lk/edition/images/2014/05/18/saranga%20pathirana%20(6).jpg
http://www.rivira.lk/edition/images/2014/05/18/saranga%20pathirana%20(7).jpg
http://www.rivira.lk/edition/images/2014/05/18/saranga%20pathirana%20(8).jpg
http://www.rivira.lk/edition/images/2014/05/18/saranga%20pathirana.jpg

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය