Powered by Blogger.

Ranasinghe-Premadasaවිදුලි සෝපානයෙන් යන ගමනත් පිය ගැට පෙළින් යන ගමනත් එකය. එහෙත් පියගැට පෙළින් යන ගමන විදුලි සෝපානයෙන් ගමන මෙන් පහසු නැත. එය විඩාබරය මහන්සිය තෙහෙට්ටුය. සමහරුන් දේශපාලනයට පිවිසියේ ද විදුලි සෝපනයෙන් යන ගමන මෙන් ඉතාමත් පහසුවෙනි. ඒ අතර මහන්සි වෙමින් හති අරිමින් පිය ගැටෙන්පිය ගැටේ ඉදිරියට ඇදෙමින් ආ දේශපාලනඥයින් ද ඒ අතර වෙති. ඒ ආ ගමන අමිහිරි කටුක ගමනක් වුවද අත්දැකීම් බහුලය. දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස  මහතාද ගමන් කළේ එවැනි කටුකොහොලින් බර වූ අත්දැකීම් බහුල දේශපාලන ගමනකි. එතුමා කියන පරිදි ගෙන්දගම් ‍පොළවත් සමග හැදී වැඩී  ඔහු දේශපාලනයෙන් හොඳට තෙම්පරාදු වී ඇති බවය.
එතුමාගේ දේශපාලන ගමන් මග අහුරමින් ඊට බාධා පමුණුවමින් විවිධ බාධක කම්කටොලුවලට මුහුණ දෙමින් ආ ගමනකි.  එවැනි දුෂ්කර ගමනක් ආ තවත් දේශපාලකයෙක් ශ්‍රී ලංකා  ඉතිහාසයේ නැත. දශක හතරකට ආසන්න කාලයක් රණසිංහ ප්‍රේමදාස  මහතා දේශපාලනයෙහි නියැලුනේය.
දේශපාලනයේ ‘අ’ යන්න ලෙස සැලකෙන  පළාත් පාලනයෙන් දේශපාලනයට පිවිස විධායක ජනාධිපති ධුරය දක්වා අති දුෂ්කර  ගමනක යෙදුණු  ඔහු වරක් ජන හමුවකදී කියා සිටියේ ‘මට කවුරු හරි කිව්වොත් ජීවිතයේ මුල ඉඳන් ආපසු එන්න කියලා - මම කියන්නේ බෑ කියලා’ එම වදන් තුළ ගැබ් වී තිබුණේ තමන් ආ දේශපාලන ගමන් මග විල්ලුද පලස් හෝ බුමුතුරුණු මත ආ සුව පහසු ගමනක් නොවන බවයි. අපගේ පාර්ලිමේන්තු ඉතිහාසයේ  බොහෝ දෙනෙක් දේශපාලනයට පිවිසියේ පිය පාර්ශ්වයෙන් හෝ මව් පාර්ශ්වයට හෝ දෙපාර්ශ්වයටම ඇති දේශපාලන බැඳීම මතය. ඔවුනට දේශපාලන තිඹිරිගෙයක් තිබිණ. එය ජන්මයෙන් උරුම කර දේශපාලන කරළියේ ‍පොල්මංකරුවන් විය. එහෙත් රණසිංහ ප්‍රේමදාස  මහතාට එවැනි  අත්වාරු නොතිබූ බැවින් ස්වඋත්සාහයෙන්ම නැගිට දේශපාලන හිණිමගේ ඉහළටම යාමට සිදුවිය.
ප්‍රේමදාස මහතා සෑම දවසක්ම දෙකට වෙන් කොට බෙදා ගනිති.  උදේ 5.00 සිට දහවල්  වනතුරු කාලය කොළඹ රාජකාරි  කටයුතුවලත් සවස 3.00 සිට රාත්‍රී 8.00 වනතෙක් කොහේ  ගමක කටයුත්තක  නිරතවීමත් නැවත රාත්‍රී 11.00 වන තෙක් කොළඹ  රාජකාරි  ලිපි ගොනුවල  කටයුතුවල යෙදීමත් පුරුද්දක් කරගෙන තිබුණි. ඊටම සරිලන ‍ලේකම්වරු  හා නිලධාරීන්  පිරිසක් සිටීමද එතුමාගේ කටයුතුවලට මහත් පහසුවක් විය.
රටේ බොහෝ  දෙනෙක් අවදිවන්නට පළමු මොහු අවදිවෙයි. පළමුව  දිනපතා පළවන සෑම පුවත්පතක්ම කියවීමට අමතක නොකරයි. එයද උඩින් පල්ලෙන් කියවා බැහැර නොකරයි. පුවත් පත් මගින්  පෙන්වා දෙන කරුණු කෙරෙහි අවධානය යොමු කර ඊට කඩිනමින් පිළියම්  යෙදීමට අවශ්‍ය නිලධාරීන්ට එම පුවත් පත් වාර්තා ලැබිමට සලස්වයි. එය ලැබිමට පළමු  දුරකථනයෙන් අදාළ නිලධාරීන්ට ඇමතීමටද  පුරුද්දක් කරගෙන තිබිණ.  සමහරවිට  දුරකථනයට පැමිණෙන එම නිලධාරියා  පැමිණෙන්නේ ද නිදි බර දෑසින්ය. ඒ වන විට රාජ්‍ය නායකයා අවදි වෙලාය. සමහර විට ජල ප්‍රශ්නයක් විය හැකිය. නැතිනම් ජල නළයක් පුපුරා  ගොස් ඇති බවක් පුවත් පත මගින්  හෙළිදරව් කොට ඇත. එසේ නැතිනම් නිවාස සංකීර්ණයක අඩුපාඩුවක් හෝ මැසිවිල්ලක් පුවත් පත් මගින් පෙන්වා දී ඇත. ඊට වහා පිළියම්  යොදන ලෙස රාජ්‍ය නායක ප්‍රේමදාස  මහතා ගෙන් උපදේශයකි.
මොහු ලොක්කෙකුට වඩා නායකයෙකි. ලොක්කා තම පිරිස් දක්කන අතර සැබෑ නායකයා  තම පිරිස් දිරිගන්වති. ලොක්කා තම බලය පතුර වන අතර නායකයා හොඳ හිත පතුරවයි.  ලොක්කාගේ කතාව නිතරම ‘මම’ ගැනය. නායකයාගේ කථාව නිතරම ‘අපි‘ ගැනය. ලොක්කා සොයන්නේ වැරදිකරු කවුද කියායි. එහෙත් නායකයා  සොයන්නේ වරද කොතැනද  කියායි. ලොක්කා තම පිරිස් අන් අය ඉදිරියේ ගැරහුමට ලක්කරනවා. නායකයා තම පිරිස්  නිසි ලෙස කාර්යෙහි යොදවනවා. ලොක්කා  ගෞරවය බලෙන් ලබා ගන්නවා. නායකයා ගෞරවය ඉබේ ලබා ගන්නවා. ලොක්කා රාජකාරිය  හිසරදයක්  කරගන්නවා. එහෙත් සැබෑ  නායකයා රාජකාරිය  ආශ්වාදයක් කරගන්නවා. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස  මහතා ද රාජකාරිය ආශ්වාදයක් කර ගනිමින්  නායක ගුණාංගවලින් පිරිපුන්  පරිණත වූ  නායකයෙකි.
Ranasinghe-Premadasa1රණසිංහ ප්‍රේමදාස  මහතා රෙද්ද බැනියම ඇන්ද දේශීය සංස්කෘතියට අනුකූලව කටයුතු කළ බෞද්ධයෙකි.  දහම් පාසල ඔහුගේ කථීකත්වයට මංපෙත් විවර කළේය. විශේෂයෙන් සාගර පලන්සූරිය  ගුරුතුමා පිළිබඳව එතුමා  නිතරම සිහිපත් කරයි.  රෙද්ද බැනියම ඇන්ද අයෙකු  නිසා යම් යම්  අපහසුතාවලට  මුහුණ පෑමට  සිදුවූ අවස්ථාවන්ද ඇත. කොළඹ මහ නගර   සභාවේ නාගරික  මන්ත්‍රීවරයෙකු  සිටි අවධියේ  එහි ඇති  විදුලි සෝපානයේ ඔහුට ගමන්  කිරීමට ඇති අවස්ථාද අහිමි කොට ඇත. ඒ අන් කරුණක්  නිසා නොව  ටයි කෝට් හැට්වලට සමාජය  පිළිගත් රාමුවක්  එකල පැවැති බැවිනි. එහෙත් එම පහසුකම් ලබා ගැනීමට තම චාම්  සංස්කෘතියට  ගැළපෙන ඇඳුම් වෙනුවට  බටහිර  ඇඳුම ලා ගත්තෙ නැත.
අන්‍ය ආගම්වලට ගරු කරන හොද බෞද්ධයෙකි. බුද්ධ ශාසන අමාත්‍යංශයක් ආරම්භ කළේ ද එතුමාය. සෑම උදාගමකම බෞද්ධයින්ට වන්දනාමාන කිරීමට හැකි බුදු කුටියක්ද ඉදිකළේය. වර්තමානයේ බෞද්ධ නාලිකාව  විසුරුවා හරින සම්බෝධි විහාරස්ථානය අති පූජ්‍ය පියදස්සි නාහිමියන්ට ලබා දීමට මුල් වූයේද දිවංගත රණසිංහ ප්‍රේමදාස  මහතාය. එදා එය ලබා නුදුන්නා නම්  අද මෙවැනි  නාලිකාවක් පිළිබඳව අපට අසන්නට නොලැබේ. එහෙත් එම  විහාරස්ථානය පවත්වා ගෙන යාමට හා ඊට යම් යම්  බාධා ඇති වේ යන සැකය මත එතුමාගේ  නම අකා මකා දමා ඇත. එහෙත් බුදුන් වහන්සේ සත් සතියක්  ගත කරමින් ලොවට දුන් මුල්ම පණිවුඩය වූයේ කෘත ගුණ සැලකීමය. එහෙත් අද ඔවුන්ගෙන්  එය ගිලිහී ගොස් තිබිම කනගාටුදායකය.
කොතෙක් දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස  මහතාගේ නම අකා මකා දැමීමට සූදානම් වුවද ජනතා සිත් සතන් තුළින් එය ඈත් කිරීම එතරම් පහසු කරුණක් නොවීය . එතුමා අප අතරින් වෙන් වී විසි එක්  වසරක් ගත වුවද  අනේ ප්‍රේමදාස මහතා  සිටියා නම් කියන පිරිසද අපමණය. මේ නිසා එක්සත් ජාතික පාක්ෂික අපේක්ෂකයින් ද තම ඡන්ද ව්‍යාපාරවලදී තවමත් එතුමාගේ ඡායාරූප සම්බන්ධ කර ගනිමින්  තම ඡන්ද ගොඩ ලොකු කර ගැනීමට කළ උත්සාහයන්ද අප පසුගිය මැතිවරණවලදී දැක ඇත්තෙමු. දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා දේශපාලනය ද සරුංගලයක් බව මනා ලෙස අවබෝධ කර ගෙන තිබිණ. සරුංගලය ඉහළට ඇදෙමින්  අහස් කුස හඹා යද්දී ආඩම්බරව  තව තවත්  ඉහළට යාමට  උත්සාහ දරයි. එහෙත් බොහෝ  දේශපාලනඥයින්  සරුංගලයකි.  ඉහළට ඇදෙමින්  අහස් කුස හඹා යන්නේ පෙනෙන නොපෙනෙන සිහින් නූලකින්  බව අමතක කරති. යම් විටෙක  නූල කැඩුනහොත්  ඉහළට ඇදී ගිය වේගයට වඩා වේගයෙන්  පහතට ඇද වැටීම  නවතාලීමට නොහැකිය. ඒ බව දත් රණසිංහ ප්‍රේමදාස යන දේශපාලනඥයා තමන් ඉහළට එසවූ නූල නැමති ජනතාව  කිසි විටෙකත් අමතක කළේ නැත.
මෙතුමාම කියන පරිදි තමා රට භාර ගන්නා  විට දෙකොණ ඇවිලුණු  විලක්කුවක් මෙන් උතුරෙත් දකුණෙත් පැවැතියේ භීෂණකාරී තත්ත්වයකි. එවැනි පරිසරයක වුවද තම ආරක්ෂාව පිළිබඳව කිසිදු  සැලකිල්ලක්  නොදැක්වූ මෙම රාජ්‍ය නායකයා ජනතාව අතරම ජීවත් වූ රාජ්‍ය නායකයෙකි. පාරවල් වසා දමා  මන්දිරවලට කොටු වී ජනතාවගෙන් ඈත්වූයේ නැත. ජනතා වේදිකාවලද වැට කඩොලු  ඉවත් කර ජනතාවට සමීපයට පැමිණීමට අවස්ථාව ලබා දී  තිබුණි. ගම්උදා  භූමිවලදී ද ජනතාව අතරම  සැරිසරන්නට  විය. ඔවුන් සමග අල්ලාප  සල්ලාපයේ යෙදුනේය. එම රාජ්‍ය නායකයා ලෙඩ ඇඳේ මිය  ගියේ නැත. කම්කරු දිනයේ වැඩ කරන ජනතාව අතරම මියැදුනේය. එතුමා සිහි කරමින්  අනුස්මරණය කරමින් කෘතගුණ දත් ජනතාව අද දිනයේ පින් දහම් කරති. එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.
අමල් වික්‍රමතුංග නියෝජ්‍ය භාණ්ඩාගාරික ශ්‍රී සුචරිත ව්‍යාපාරය
(දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 21 වන ගුණ සමරුව නිමිත්තෙන්  පළ වන ලිපියකි.)

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය