Powered by Blogger.

මීට වසර 12 කට පෙර තිරගත වූ ‘වීර් සාරා’ චිත්‍රපටය රසික පිරිස් ආදරයෙන් වැලඳ ගත්තේ ඒ සිනමා නිර්මාණය ඔවුන්ගේ හදවත් සසල කරන්නට සමත් වූ නිසයි. මේ චිත්‍රපටයේ මුසුවී තිබුණු ආදර කතාව එයට හේතුවක් වූ බවට සැකයක් නැහැ. ඒ ආදර කතාව රූ ගත වෙද්දී කැමරාවට පසුපසින් තවත් ආදරයක් දලුලා වැඩුණා. ඒ, ‘වීර් සාරා’ හි රඟපෑ රාණි මුඛර්ජි සහ එහි නිෂ්පාදක ආදිත්‍ය චොප්රා අතර.
මේ සබඳකම බොහෝ දෙනෙකු අනුමත කළේ නැහැ. එයට හේතුව, ආදිත්‍ය විවාහකයෙකු වීමයි. ඔහු ගේ බිරිය වූයේ පායල්. යාෂ් චොප්රා සහ පැමලා චොප්රා යුවළ (ආදිත්‍ය ගේ දෙමව්පියන්) ගේ නොමද ආදරය ඇයට හිමි වුණා. ආදිත්‍ය ඇයව අමතක කර රාණි මුඛර්ජි ට ළං වීම මේ දෙන්නා දෙමහල්ලන් කොහෙත්ම අනුමත කළේ නැහැ. කොයිතරම් විරෝධතා මතු වුණත් ආදිත්‍ය - රාණි නිතර නිතර ම හමුවුණා.
‘වීර් සාරා’ රූගත කරන ඇතැම් දිනවලදී ඒ දර්ශන තලයට තමන් පිසූ ආහාර ආදිත්‍යට රැගෙන එන්නටත් රාණි පුරුදු වුණා. දිගින් දිගටම ඇදී ගිය මේ අසම්මත ප්‍රේමය හමුවේ පායල් පරාජය වූවා. ආදිත්‍ය ඇගෙන් නිත්‍යනුකූලව වෙන් වුණා. එතැන් පටන් ආදිත්‍ය සහ රාණි පෙම් කතන්දරය දිග හැරුණේ ලොවට හොරෙන්. මේ අයුරින් කාලය ගතවුණා. පසුගියදාක ඉන්දියාවෙන් අහන්න ලැබුණේ අලුත්ම ආරංචියක්. ආදිත්‍ය සහ රාණි විවාහ වී ඇතැයි එයින් කියැවුණා. පසුගිය 21 දා මේ දෙදෙනා විවාහ වී ඇත්තේ ඉතාලියේ නිසංසල පෙදෙසකදී, විවාහයට ආදිත්‍ය ගේත් රාණිගේත් මව්පියන්ගේ ආශිර්වාදය ලැබී තිබෙනවා.
විවාහ මංගල්‍යයට අවශ්‍ය කටයුතු සූදානම් කරන්න රාණිගේ සො‍හොයුරාත් දෙමව්පියන් සහ සමීප ඥාතීන් කිහිප දෙනෙකු 19 දා ඉතාලිය බලා පිටත්ව ගියා. මේ ගමනට පූජකවරයෙකු ද එක්වූ බවයි ආරංචි. සමීප ඥාතීන් කිහිප දෙනෙකු පමණක් සහභාගී වූ ආදිත්‍ය - රාණි මංගල්‍යය බෙංගාලි චාරිත්‍ර අනුව සිදු කෙරුණු බවයි දෙදෙනාගේ ම ඥාතීන් පැවසුවේ. විවාහයෙන් පසුව මනාල යුවළ මධුසමය ගත කරන්නට ස්විට්සර්ලන්තයට පිටත්ව ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.
විවාහ මංගල්‍යයෙන් පසුව තම ට්විටර් වෙබ් පිටුවෙහි සටහනක් තබන්නට රාණි අමතක කළේ නැහැ. ඇය එහි මෙලෙස සටහන් කළා...... “මගේ ජීවිතයේ වඩාත් ම සතුටු වූ දවස ගැන ආරංචිය මේ විදිහට මගේ රසික පිරිසට දන්වනවා. මගේ හිතේ සතුට මම හැමෝම එක්ක බෙදා ගන්නවා. ලෝකයේ හැම තැනකම සිටින රසික රසිකාවියන්ගෙන් ලැබුණු ආදරය, ආශිර්වාදය මගේ ජීවිතයේ කොටසක් වුණා. අපේ විවාහ මංගල්‍යයට එක් කෙනෙකු හැර ළඟම හිතවත් අය ආවා. ආවෙ නැත්තෙ යාෂ් අන්කල් විතරයි. (යාෂ් චොප්රා) මම දන්නවා, එයා අපි දෙන්නට ආශිර්වාද කරන බව...”

දීපිකා - කරීනා සීතල යුද්ධයක

2006 දී ‘ඓශ්චර්යා’ නම් වූ කන්නඩ චිත්‍රපටයෙන් ඇරඹුණු තමන්ගේ සිනමා ජීවිතය මේ තරම් ජනප්‍රිය තලයකට පැමිණෙනු ඇතැයි ඇයවත් නොසිතන්නට ඇත. ඒත් මේ රූබරිය බොලිවුඩ්පුරයේ වඩාත් ම ජනප්‍රිය තාරකාව බවට පත්වෙලා. ඇය තමයි, දීපිකා පදුකෝන්. තවමත් 28 වැනි වියෙහි පසුවන මේ යොවුන් නිළියට කිට්ටු කරන්නට බොලිවුඩයේ සෙසු ජනප්‍රිය තරුවලට නොහැකි වී තිබෙනවා. මේ නිසා දීපිකා ගේ සිනමා චාරිකාව දෙස ඔවුන් අතරින් සමහරු බලා සිටින්නේ තරමක නොසතුටකින්.
එයින් එක්කෙනෙකු තමයි කරීනා කපූර්. මෙතෙක් කාලයක් ජනප්‍රියත්වයෙන් බැබළෙමින් සිටි කරීනා, දීපිකාගේ ප්‍රභාව ඉදිරියේ මලානික වී ගිහින්. ඇයට ප්‍රධාන චරිත නිරූපණය කරන්නට තිබුණු චිත්‍රපට කිහිපයක්ම දීපිකාට ලැබුණා. ඒ, ‘චෙන්නායි එක්ස්ප්‍රස්’, ‘රාම් ලීලා’ සහ ‘බජිරාඕ මස්තානි’ වැනි චිත්‍රපට. මේ චිත්‍රපටවල දීපිකා ඉතාම දක්ෂ ලෙස රඟපෑ නිසා ඒවා ප්‍රේක්ෂකයන්ගේ ප්‍රසාදය දිනා ගත්තා. ඒත් එක්කම දීපිකාගේ වටිනාකමත් ඉහළ ගියා. මේ අතර ඇතැම් ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරු තම තමන්ගේ මීළඟ නිර්මාණයන්ට දීපිකාව තෝරා ගන්නටයි මාන බලමින් සිටින්නේ. ඇතැම් චිත්‍රපට අධ්‍යක්ෂවරු තමන්ගේ මීළඟ චිත්‍රපටවලට ප්‍රධාන නිළිය හැටියට දීපිකා හෝ කරීනා අතරින් කෙනෙකු තෝරා ගන්නටත් සූදානම්. ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ මධූර් භන්දර් කාර් එවැන්නෙක්. ඔහුගේ මීළඟ චිත්‍රපටයට කරීනාව තෝරා ගන්නවාද, නැතිනම් දීපිකාව තෝරා ගන්නවාද යන දෙගිඩියාවට මැදිවී සිටිනවා.
මෙවැනි වාතාවරණයක් මතුවීම නිසා කරීනා මේ දිනවල පසුවන්නේ දැඩි කනස්සල්ලකින්. මේ හේතුවෙන් කරීනා සහ දීපිකා අතර ‘සීතල යුද තත්වයක්’ හට ගෙන තිබෙනවා. එක්තරා රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී කරීනා කියා සිටියේ ලැබෙන චරිත අනුන්ට ලබාදීමට තරම් කැමැත්තක් දක්වන එකම නිළිය තමන් බවයි. අ‍ැගේ ඒ ‘කැමැත්ත’ කෙසේ වෙතත් ඇගෙන් ගිලිහී ගිය ‘රාම් ලීලා හි ප්‍රධාන නිළියගේ රංගනය දීපිකා ට ලැබෙද්දී ඇය දැඩි නොසතුටට පත්වුණා. ඒ ‘කහට’ හිතේ තිබුණු නිසයි, ‘රාම් ලීලා’ චිත්‍රපටයේ රංගනයට දීපිකාට කවුරුත් සුබ පතද්දී කරීනා පමණක් නිහඬව සිටියේ.

ආර්යන් ට හාදු වැස්සක්


කොයිතරම් කාර්යබහුල වුණත් සුපිරි නළු ශාරුක් ඛාන්, තම දරුවන්ගේ වැඩ කටයුතු ගැන නිතර ම සොයා බලනවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට ඕනැ කරන දේවල් ගෙනත් දෙන්න, එයාලගෙ අත්‍යවශ්‍ය ගමන් බිමන් වලට හවුල් වෙන්න ඔහු අමතක කරන්නෙ නැහැ.
ශාරුක් ගේ වැඩිමලා ආර්යන්. ඔහු දැන් නව යොවුන් තරුණයෙක්. ආර්යන්, සමහර වෙලාවට තාත්තාගෙ සපත්තු පවා පැලඳගෙන යනවාලු. ශාරුක් නම් කියන්නෙ සපත්තු විතරක් නොවෙයි, තමන්ගෙ ජැකට් පවා හදිසියට ඔහු ඇඳගෙන යනවා කියලයි. “මම සමහර වෙලාවට මගේ ජැකට් එහෙම හංගලා තියෙනවා.” ශාරුක් මහ හඬින් සිනාසෙන අතරේ කියා සිටියා.
ශාරුක්ට සිනමා රසිකාවියන්ගෙන් උණුසුම් ප්‍රතිචාර තවමත් ලැබෙන බව කවුරුත් දන්නා කාරණයක්. මේ ප්‍රතිචාරය දැන් ආර්යන්ටත් ලැබෙන බවයි ආරංචි. ආර්යන් කොහේ හරි ගියොත් තරුණියන් ඔහුව වටකර ගන්නවාලු. මේ ළඟකදී ඔහුව වට කර ගත් තරුණියන් දෙදෙනෙකු ඔහුට හාදු දීලා. ඒ අවස්ථාව කවුදෝ ඡායාරූපයකටත් අරගෙන. මේ ඡායාරූපය අන්තර්ජාලයටත් මුදා හැරලා.


විවාහ වුණු දවස්වල මගේ වැඩ
ගැන එයාට ප්‍රශ්න තිබුණා

විශ්ව කොඩිකාර
පුංචි තිරයේ ආකර්ෂණීයම පෙම්වතා ලෙස මේ දිනවල කාගේත් කතා බහට ලක්වෙන විශ්ව කොඩිකාර ‘චායා’, ‘කෝරලේ මහත්තයා’ ඇතුළු ටෙලිනාට්‍ය රැසක් හරහා ප්‍රේක්ෂකයන් හමුවට පැමිණෙයි. දක්ෂතාවයත් සුන්දරත්වයත් කැටිකොට ගෙන සිය රංග කුසලතා එළිදක්වන විශ්ව පසුගිය දිනෙක විවාහ දිවියට ඇතුළත් වුණා. විශ්වගේ අත ගත්තේ එරන්දියි. විශ්වගේත් එරන්දිගේත් යුග දිවියේ නවතම තොරතුරු දැන ගන්නට අපි විශ්වට කතා කළා.
ඔබේ අලුත් ජීවිතය කොහොමද?
“අලුත් ජීවිතය ගොඩාක් හොඳයි. පහුගිය අවුරුදු සමයේ පවුලේ හැමදෙනාම එක්ක මමත් එරන්දිත් අවුරුදු සැමරුවා. ඒ වගේ ම අපේ පවුලේ හැමදෙනාම එකතුවෙලා ත්‍රිකුණාමලය පැත්තේ පුංචි සවාරියකුත් ගියා. හරිම විනෝදෙන් කාලය ගත වුණා.”
මේ දවස්වල කලා කටයුතු කොහොමද?
“මේ දවස්වල රන්මිහිතැන්නේ ‘කෝරලේ මහත්තයා - 3’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වල නියැළෙනවා. මගේ බිරියත් මගේ පියාත් හැම දෙනාම වගේ මේ දවස්වල රන්මිහිතැන්නේ තමයි ඉන්නේ.”
අලුත ගෙනා මනමාලිව හැමතැනම අරගෙන යනවා වගේ?
“නෑ. නෑ. එහෙම නැහැ. මම යන හැම තැනම එරන්දිව එක්කගෙන යන්නෙ නැහැ. විශේෂයෙන් ම ඇය රන්මිහිතැන්නට ඇවිත් ඉන්නේ ‘කෝරලේ මහත්තයා - 3’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වලට මගේ පියාට සහාය වෙන්නයි. ටෙලිනාට්‍යයේ ෂෙඩුල්ස් වලට එරන්දිගෙන් ලැබෙන සහාය විශාලයි.”
ඒ ඇරෙන්න වෙනත් කලා කටයුතු එහෙම කොහොමද?
“පොලොන්නරුව ප්‍රදේශයේ රූගත කිරීමට නියමිත අලුත් ම ටෙලිනාට්‍යයකට දායක වෙන්නට නියමිතයි. එහි නම ‘කාල'. කලා වැවේ ගොඩනැඟීම ආශ්‍රිතව කියවෙන සුන්දර කතාවක් එය. ඒ වගේ ම මම දායක වූ ජනතාව අතර ජනප්‍රියතම ටෙලිනාට්‍යයක් වන ‘චායා’ රූගත කිරීම් නිම කළා. කොහොම නමුත් ලබන ජුනි මාසය මැද විතර වෙනකම්ම ටෙලි නාට්‍ය නිර්මාණත් එක්ක මම කාර්ය බහුලයි.”
ඔ‍ෙබ මේ කාර්ය බහුලත්වය එරන්දිට ප්‍රශ්නයක් වෙලා නැද්ද?
“කිසිම කරදරයක් නැහැ. මගේ කලා ජීවිතය එරන්දි හොඳින්ම තේරුම් අරගෙනයි ඉන්නේ. ඇත්තටම ‍මේ දවස්වල මම ඇයව ටෙලිනාට්‍ය දර්ශනතලවලට එක්ක ගෙන ඇවිත්ම මගේ කාර්යබහුලත්වය ගැන ඇය හොඳින්ම තේරුම් අරගෙන ඉන්නේ. ඒ නිසා කාර්ය බහුලත්වය කියන දේ අපේ ජීවිතවලට කරදරයක් වෙලා නැහැ තවම.”
යොවුන් නිළියන් සමඟ ඔබ රඟපානව දකින විට එරන්දිට තරහ යන්නෙ නැද්ද?
“ඇයගෙන් තමයි මට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙන්නේ. ම‍ෙග් ඇක්ටින් ගැන හොඳ නරක දෙකම ඇය පවසනවා. සහෝදර නිළියන් සමඟ රංගනයේ යෙදෙන විට ඇයට තරහක් එන්නේ නැහැ. මොකද එය රංගනයක් පමණයි කියන දේ ඇය හොඳින් ම දන්නවා.”
ඔබේ ජීවිතයට සුදුසුම සහකාරිය ලැබුණ කියල හිතෙනවද?
“මම හිතනවා මට අවංකවම සුදුසුම සහකාරිය ලැබුණා කියල. ඇය හැමවිටම මං ගැන හුඟාක් උනන්දු වෙනවා. විශේෂයෙන් ම මගේ රංගන ජීවිතය පිළිබඳව. එයා තමයි දැන් මට ලැබෙන තිර රචනා පවා කියවා බලා මේ චරිතය බාර ගන්න කියා යෝජනා කරන්නේ. ‘කාල’ ටෙලිනාට්‍යයත් එලෙස ඇය කියවා බලා ‘හොඳ වැඩක්’ එයට දායක වෙන්න කියලා කිව්වා. එනිසා එරන්දි ගොඩක් දුරට මං ගැන හිතන මගේ සිතුම් පැතුම් තේරුම් ගත් ආදරණීය බිරියක්. එනිසා ඇගෙන් මගේ සිතුම් පැතුම්වලට කිසිම බාධාවක් නෑ.”
ඔබ දෙදෙනා පදිංචිව සිටින්නේ මහනුවරම ද?
“ඔව් මගේ ගෙදර. මගේ අම්මත් තාත්තත් අපිත් එක්ක ඉන්නවා.”
කොළඹට එන්න අදහසක් නැද්ද?
“තවම එහෙම අදහසක් නම් නැහැ. පදිංචිව ඉන්නේ නුවරම තමයි. රූගත කිරීම් වලට සහභාගි වෙන විට කොළඹ නැවතී ඒ දේවල්වලට සහභාගි වෙලා නුවර යනවා. ඒ නිසා කොළඹ හිටියේ නෑ කියල කලා කටයුතුවලට ගැටලුවක් වෙලා නැහැ.”
විවාහ වූ අලුත බොහෝ නළු නිළියන් රට රටවල සංචාරයේ නිරත වෙනවා. ඔබේ එහෙම අදහසක් නැද්ද?
“එහෙම උවමනාවක් තිබුණෙ නැහැ. නමුත් එරන්දිගෙත් මගෙත් අදහසක් තිබෙනවා ඉදිරියේදි රටවල් කීපයකම සංචාරය කර අත්දැකීම් ලබන්න.”
ඔබේ පවුලට තුන්වැන්නෙක් කවදා එක්වෙයිද?
“දැනට නම් මුකුත්ම එවැනි අදහසක් මගෙත් එරන්දිගෙත් සිත් තුළ නැහැ. මොකද මේ කාලය තුළ අපි දෙන්නටම හුඟක් දේවල් ඉටුකරගන්න තියෙනවා. කවදා හරි අපට ලැබෙන දරු මල්ලන්ට දුකක් නැති ජීවිතයක් උරුම කර දෙන්නට අපි දෙන්නා තව ටික කාලයක් වෙහෙසිය යුතුයි. තව අවුරුදු කීපයක් ජීවිතේ සුන්දරව ගත කරලා රට රටවල ඇවිදලා ඉන්පසුව තමයි ඒ ගැන හිතන්නේ.
නිවාඩු පාඩු වේලාවට ඔබ දෙදෙනා රසවත් කෑම බීම හදනවා කියලා ආරංචියි?
“එරන්දිත් කෑම හදන්න හරිම දක්ෂයි. මම හදන කෑම කන්න එයා හරි කැමැතියි. ඒ වෙලාවට මට ලොකු සහයෝගයක් දෙනවා. නූඩ්ල්ස්, ඩෙවල් වර්ග මට රසට හදන්න පුළුවන්.”
ජීවිතේ ගැන මොකද හිතෙන්නේ?
“ජීවිතේ හුඟාක් සුන්දරයි. ගොඩක් බාධා හමුවෙනවා. ඒ හැමදේම හඳුනාගෙන නිවැරැදිව ගෙනයන්න ඕන දෙයක් තමයි ජීවිතය.”
රඟපෑමෙන් පමණක් අද පවුල් ජීවිතයක් නඩත්තු කර ගන්න පුළුවන් ද?
“මගේ ලොකු අරමුණක් නැහැ අසීමිතව මුදල් උපයන්න. එදිනෙදා ජීවිතේ ගෙවන්න යම් මුදලක් තිබුණොත් ඇති. එනිසා රංගනයට අමතරව වෙනත් ව්‍යාපාරවල නියැළී මුදල් උපයා ගැනීමේ අදහසක් මට තවම නැහැ.”
ඔබේ බිරිය එරන්දි ව්‍යාපාරයක් අරඹන්න ආසාවෙන් ඉන්න බව දැන ගන්න ලැබුණා?
“ඔව්. ඇය ගේ කැමැත්තක් තිබෙනවා ව්‍යාපාර ක්ෂේත්‍රයට. විශේෂයෙන්ම ඇඟලුම් ව්‍යාපාරයක් කිරීමේ බලාපොරොත්තුවක් ඇයට තිබෙනවා.
වර්තමානයේ ජනප්‍රිය කලාකරුවන්ට විවිධ කටකතා ඇතිවෙනවා. මේ ගැන ඔබේ අදහස කුමක් ද?
“කටකතා කියන දේ අද කලා ක්ෂේත්‍රයේ සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. ඔවුන්ට උස් පහත් භේදයකින් තොරව වයස් භේදයකින් තොරව කටකතා හැදෙනවා. මම හිතන්නේ මේ දේවල් අපි වැඩිය ඔළුවට නොගෙන සිටීමයි වැදගත් වෙන්නේ.”
අද කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය නළු නිළියන් ගේ විවාහ ජීවිතවලට ආයුස අඩුයි නේද?
“විවාහ වුණු පසු ඕනෑම පවුලක ප්‍රශ්න ඇති වෙනවා. එහෙම ඇති වුණේ නැහැ කියලා කියනවා නම් ඒක අමූලික බොරුවක්. සමහරු කියනවා අපි අවුරුදු 20 ක් 30 ක් කිසිම ප්‍රශ්නයක් නැතිව විවාහ ජීවිතය ගත කළා කියලා. එහෙම කියනවා නම් ඒකත් බොරු.
මගේ බිරියට වුණත් අපි විවාහ වූ දිනවල මගේ රඟපෑම් ගැන යම් යම් ප්‍රශ්න තිබුණා. නමුත් මම හැමදේම ඇයව රූගත කරන තැන්වලට ගිහින් ඇයට පෙන්වා තේරුම් කර දුන්නා. මොකද එරන්දි රඟපෑම් ගැන කිසිවක් දන්නෙ නැහැ.
එතැන සිදුවන කාර්ය භාරය ගැන ඇයට වැටහීමක් නැහැ. විවාහ වන විට ඇය මගේ හොඳම රසිකාවියක්. ඉතින් විවාහ ජීවිතයේ දී අන්‍යෝන්‍ය විශ්වාසය වගේ ම තේරුම් ගැනීම ඉතාම වැදගත්. ප්‍රශ්නයක් ආවාම ඒවා කතාබහ කරලා තේරුම් අරගෙන විසඳා ගැනීම තමයි වැදගත්.

ප්‍රේම ජවනිකා මවා පෑම හරියට දැලි පිහියෙන් කිරි කනවා වගේයි

මංජුලා කුමාරි

'ඕලූ' ටෙලි නාට්‍යයේ ඕලූ චරිතයට පණ පොවමින් පුංචි තිරයේ අහිංසකාව ලෙස මෙරට ජනතාවගේ ආදරය දිනා ගත් ඇය සිය රංගන කුසලතාවය දිනෙන් දින සාර්ථකත්වය ළඟා කර ගත් රංඟන ශිල්පිනියකි.මේ දිනවල නැවතත් 'වරාමලී' ඔස්සේ අපේ ආලින්දයට එන ඇයගේ අලුත්ම තොරතුරු අප සමඟ බෙදා ගන්නට අප හා පිළිසඳරකට එක් වූ මොහොතයි මේ...
ඉතින් මංජුලා කොහොමද අවුරුදු ජයයි ද?
කොච්චර කාර්යබහුල වුණත් නැකත් අනුව අවුරුදු සිරිත් විරිත් නම් අපි හරියාකාරවම කරනවා. ඊට පස්සේ ලැබුණු දවස් කිහිපයේම පාසිකුඩා සහ කතරගම තමයි නිවාඩුව ගත කළේ.
විවේකයක් ලැබුණු ගමන්ම සංචාරවල යෙදෙන්න හරිම කැමැතියි නේද?
ඔව් ගොඩක් කැමැතියි. මම කොහොමත් වැඩිය කාර්යබහුල වෙන්න මම කැමැති නැහැ. ඉතින් පහු ගිය කාලේ ලැබුණු විවේකයේදිත් කළේ රට රටවල සංචාරය කරපු එක තමයි.
ඒ රටවල් වලින් හිත ගත් රට?
මම ගොඩක් ආසයි ප්‍රංශයට. ඒ රට හරිම පිරිසුදුයි. ගෙවල් වල මල් වවලා තියෙනවා සෑහෙන්න. මල් වලට ගොඩක් මම කැමැතියි නේ... ප්‍රංශය කියන්නේ රෝස මල් පිරිලා තියෙන රටක්.
මේ දිනවල 'වරාමලී' ටෙලි නාට්‍ය ඔස්සේ මංජුලා දකින්නට ලැබෙනවා?
'වරාමලී' විශේෂත්වයක් තියෙන නාට්‍යයක්. අද සමාජයේ වැඩිපුරම දකින්නට ලැබෙන්නේ දික්කසාද වීම්. ඉතින් 'වරාමලී' කියන්නේ පවුලක් දෙදරා යාම තුළ දරුවන්ට කොහොමද ඒක තදින්ම දැනෙන්නේ කියල මේ නාට්‍ය ඔස්සේ දිග හැරෙන ඉතාමත් ආදර්ශවත් කතාවක්. මේ දේවල් ගැන මිනිස්සු හිතනවා අඩුයිනේ.
පුංචි තිරයේ පෙම්වතිය වූ ඔබ ප්‍රථම වරට බිරියකගේ භූමිකාවට අනුවර්තනය වෙලා?
මේකේ පිටපත් මට ලැබුණේ මීට අවුරුදු ගාණකට කලින්. මේ නාට්‍යයට නිෂ්පාදනයෙන් සම්බන්ධ වෙන්නත් මගේ අදහසක් තිබුණා. එත් මගේ විදේශ සංචාරය එක්ක මට ඒකට යොමු වෙන්න බැරි වුණා.
මේ චරිතය බාර ගත්තේ පෙම්වතිය කියන ඒකාකාරී චරිතයෙන් වෙනස් නිසාද?
ඔව් වෙනස්ම චරිතයක් වගේම දරුවොත් එක්ක කරන ආදර්ශවත් චරිතයක් නේ.. .
මවක ගේ චරිතය අභියෝගයක් නෙමෙයිද?
අභියෝගයක් නම් තමයි. මුලදි ටිකක් විතර අමාරු වුණා. නමුත් ශාන්ත අයියා , මහේෂ් මද්දුමආරච්චි සහ හෑමෝගේම සහයෝගය සහ අනු දැනුම මත මේ චරිතය හොඳින් නිරුපණය කරන්න පුළුවන්කම ලැබුණා කියලා මම හිතනවා.
ඕලු චරිතය තවමත් ජනප්‍රිය වුණාට මංජුලාගේ ජනප්‍රියත්වය නම් දැන් ටිකක් අඩු වෙලා නේද?
ප්‍රසිද්ධිය කියන දේ ගැන මම ලෝබ කමින් හිතුව නම් පහුගිය කාලේ ලැබුණු ආරාධනාත් එක්ක බැලුවහම ටෙලිනාට්‍ය තුන හතරක මම ඉන්න තිබුණා. එහෙම වුණා නම් මාව දැකලා දැකලා එපා වෙයි. මට හැම වෙලාවේම ඕන වුණේ ටෙලිනාට්‍ය සියයක රඟපාන්න නෙමෙයි, එකක් හරි කරලා මිනිස්සුන්ගේ හිතේ කොහේ හරි තැනක ඕලු කියන චරිතේ වගේ හැමදාමත් රැඳිලා ඉන්නයි. නාට්‍ය කියලා නිර්මාණ ගොඩකට දායක වෙන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. එක චරිතයක් හරහා හැමදාමත් මිනිස්සුන්ගේ හිතේ රැඳිලා ඉන්න එක රංගන ශිල්පිනියකට ලැබෙන භාග්‍යයක්. ඉතින් ඒ වාසනාව මට ලැබිල තියෙනවා.
රංගන වැඩ කටයුතු නිසා ගෙදර වැඩකටයුතුත් අතපසු වෙනවා ඇති නේද?
ටිකක් අතපසු වෙනවා නම් තමයි. ඒ නිසයි ගොඩක් කාර්යබහුල ජීවිතයකට කැමැති නැත්තේ. හැම වෙලේම මගේ පවුලටයි මුල්තැන දෙන්නේ. විවාහ වෙලා මුල් කාලයේදී මගේ අතින් තමයි සියලු වැඩ කටයුතු සිද්ද වුණේ. දැන් නම් වැඩට කෙනෙක් ඉන්නවා. එත් උදේට තේ, කෑම ඔක්කොම සකස් වෙන්නේ මගේ අතින්මයි.
රංගන කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ කියලා ඔබ කියලා තිබුණා ?
රංගනය සහ විශේෂයෙන්ම ප්‍රේම ජවනිකා කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. මොකද හැඟීම් දැනීම් කියන දේ ගැහැනු පිරිමි දෙපාර්ශ්වයටම පොදුයි නේ. ඉතින් රංගනයේදී දෙන්නෙක් අතර ප්‍රේම ජවනිකා සිප වැලඳ ගැනීම් ආදර වදන් වැනි දේවල් තියෙනවා. රංගනය තුළ ඒ වගේ ප්‍රේමාන්විත හැඟීම් ඒ වෙලේදී ඇති වුණත් ඒ ජවනිකාවෙන් පසුවත් ඒ සිදුවීම් එක්ක හිටියොත් තමයි බොහෝ වෙලාවට ප්‍රශ්න ඇති වෙන්නේ. පවුල් ආරවුල් වෙලා දරුවන් අනාථ වෙන්නේ. ඉතින් ඒ වගේ සෑහෙන පිරිසක් මම දැකල තියෙනවා. නමුත් රංගනය කියන්නේ භාවනාවක් වගේ දෙයක් . මොකද රංගනයේදී අපි ඒ චරිතයේ ජීවත් වුණාට එතනින් එහාට අපි සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න ඕන.
ඔබටත් එවැනි අත්දැකීම් තිබුණද?
අවංකවම මට නම් ඒ වගේ අත්දැකීම් නැහැ. මම ක්ෂේත්‍රයේ ඉන්න විදිහක් තියෙනවා. මංජුලා කියන්නේ කවුද කියල ක්ෂේත්‍රයේ හැමෝම දන්නවා. එනිසා නොකැළැල් චරිතයක් ලෙස ක්ෂේත්‍රයේ මට රැඳිල ඉන්න පුළුවන් වෙලා තියෙනවා.
ප්‍රේම ජවනිකා රඟපානවට සැමියාගෙන් අමනාපයක් නැද්ද?
අනේ එහෙම නැහැ. මම තෝරා බේරා ගෙන කරන චරිත ගැන එයාට හොඳ අවබෝධයක් සහ විශ්වාසයක් තියෙනවා. බැඳපු අලුත නම් පුංචි පුංචි තහංචි තිබ්බා. ඒක ඉතින් සාමාන්‍ය දෙයක්නේ.
නිෂ්පාදනයට යොමු වුණේ එය සරල දෙයක් කියල හිතාගෙනද?
අනේ අම්මෝ නැහැ, නිෂ්පාදනය කියන්නේ බොහොම ලොකු වගකීමක්. කෑම බීම , ඇඳුම් පැලදුම් ලොකේෂන්ස් ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඉතා භාර දුර කටයුතු රාශියක් තියෙනවා. මේ වෙද්දී නිෂ්පාදන කටයුතු හතරක්ම සාර්ථකව නිමා කරන්න හැකියාව ලැබුණා. ඉතින් ඒ වැඩ කරපු සියලු දෙනාගෙත් නාළිකාවලින් පවා ප්‍රසාදය දිනා ගන්නට හැකි වුණා.
අහිංසක චරිත නිරුපණය කරපු මංජුලා දැන් මොඩ් වෙලා නේද?
මම මොඩ් වෙන්න උත්සහ කළා නම් තමයි ඒ වුණත් එය සාර්ථක වුණේ නැහැ. මොකද ඕලු කියන චරිතයෙන් මිදෙන්න අපහසුයි‍. ඒ චරිතය කතා විලාසය මට බොහොම කිට්ටු නිසා. ඉතින් ඒ වගේ චරිතයකට තමයි මිනිස්සු ආදරය කරන්නේ.
ඒ වුණත් ඕලුට නැති ආඩම්බරකමක් මංජුලාට තියෙනවලු නේද?
අපෝ නැහැ. මගේ වටා ඉන්න හැමෝම දන්නවා මම එහෙම නැහැයි කියලා. වෙලාවකට හිනා වෙලා හිනා වෙලා කටත් රිදෙනවා.
දෙන්නා තුන්දෙනා වීමේ සිහිනය තවමත් කල් අරිනවද?
එහෙම නැහැ ඒ ගැන ලොකු බලාපොරොත්තුවකින් තමයි ඉන්නේ. බලාපොරොත්තුව ඉටු වුණ ගමන්ම ඒ ගැනත් මම කියන්නම්කො.

හිටපු ජනපති බිරිය ප්‍රසංග වේදිකාවේ

ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලස් සාකෝසිගේ බිරිය කාර්ලා බෲනි පසුගිය අප්‍රේල් 27 ඉරිදා ලොස් ඇන්ජලිස් නුවර පැවැති ප්‍රසංගයේදී ගී ගයද්දී ඇගේ සැමියා නිකොලස් ද ප්‍රේක්ෂකාගාරයේ සිටියේය.
කාර්ලා බෲනි ලොස් ඇන්ජලිස්හි දී එසේ ගී ගැයුවේ ඇය ලොව පුරා සංචාරය කරමින් පැවැත්වීමට නියමිත ප්‍රසංගවලින් එකකදීය. එම සංචාරයේදී කාර්ලා ඔස්ට්‍රියාව, ජර්මනියේ බර්ලින් හා මියුනිච්, ප්‍රංශය, ඇමෙරිකාවේ නිව්යෝර්ක්, කැනඩාවේ කියුබෙක් හා මොන්ට්‍රියල් යන නගර හා රටවල ප්‍රසංග පැවැත්වීමට නියමිතය. පසුගිය ඉරිදා කැලිෆෝර්නියාවේ ලොස් ඇන්ජලිස් හි ප්‍රසංගයට පෙර ඇය පසුගිය අප්‍රේල් 25 සිකුරාදා සහභාගි වූයේ ඇමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝවල පැවැති ප්‍රසංගයකටය.
නිකොලස් සාකෝසි ප්‍රංශයේ 23 වෙනි ජනාධිපතිවරයා ලෙස 2007 මැයි මස 16 දා සිට 2012 මැයි මස 15 දා දක්වා ප්‍රංශය පාලනය කළේය. ඊට පෙර දෙවතාවක් විවාහ වී සිටි සාකෝසිට මුලින්ම කාර්ලා මුණගැසී ඇත්තේ 2007 වසරේ නොවැම්බරයේ දීය. කෙටි කාලයක් ඇසුරු කළ දෙදෙනා 2008 පෙබරවාරි දෙවැනිදා පැරීසියේදී විවාහ වූහ.
කාර්ලා ගිල්බර්ටා බෲනි ටෙඩෙස්ච් 1967 දෙසැම්බර් 23 දා උපත ලබා ඇත්තේ ඉතාලියේ ටියුරින් හීදීය. පසු කලෙක ඇය ප්‍රකට වූයේ ප්‍රංශ ගායිකාවක, ගීත රචිකාවක හා නිරූපණ ශිල්පිනියක ලෙසිනි. ඇගේ මව ඉතාලියේ ප්‍රකට පියානෝ වාදන ශිල්පිනියක වූ මරිසා බොරිනි ය. පියා කර්මාන්තශාලා හිමියකු මෙන් ම සංගීත අධ්‍යක්ෂවරයකු ද වූ ඇල්බර්ටෝ බෲනි ටෙඩෙස්මිය. කාර්ලා බෲනි කෝටිපතිනියක ද වන්නේ ඇගේ සීයා 1920 දශකයේදී ඉතාලියේ ‘සියැට්’ ටයර් කර්මාන්තශාලාව පිහිටුවීමට පුරෝගාමී වූ තැනැත්තා හෙයිනි. 1970 දී එම කර්මාන්තශාලාව විකුණා දැමුණු අතර බෲනි පවු‍ලේ අය 1975 දී ප්‍රංශයට සංක්‍රමණය වූහ. ඊට හේතුව ඔවුනට ඉතාලියේ මාක්ස් - ලෙනින් වාදීන්ගෙන් එල්ල වූ තර්ජන නිසා බව කියැවේ. කෙසේ වෙතත් බෲනි පවුලේ දේපළට අද ෆර්ලා ද හිමිකම් කියන්නීය.
ඇය වයස අවුරුදු 19 දී ජීවිතය ඇරඹූයේ මෝස්තර නිරූපණ ශිල්පිනියක ලෙසිනි. 1990 දශකයේ ඉහළ ම ගෙවීම් ලබා මෝස්තර නිරූපණ ශිල්පිනියන් විසි දෙනා අතර කාර්ලා ද සිටියාය. එම වෘත්තියේ නියැළෙමින් ඇය එකල වසරකට ඩොලර් ලක්ෂ 75 ක් පමණ ඉපැයූ බව කියැවේ.
1997 දී මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉවත් වූ ඇය පිවිසියේ සංගීත ක්ෂේත්‍රයටය. පළමුව ඇය කටයුතු කළේ ගීත රචිකාවක ලෙසිනි. කාර්ලා ගායිකාවක ලෙස ලොව හමුවට පැමිණියේ 2002 දී ගී කළඹක් නිකුත් කරමිනි. එම ගී කලඹේ ගීත තුනක් ම 2005 දී ප්‍රදර්ශනය වූ ‘කොන්වර් සේෂන්ස් විත් අදර් විමෙන්’ යන හොලිවුඩ් සිනමා පටයට ඇතුළත් විය. පළමු ගී කළඹෙන් ම ඉහළම ජනප්‍රියතවයක් අත්කරගත් කාර්ලා සිය දෙවැනි ගී කළඹ ‘හෝ ප්‍රොමිසස්’ නිකුත් කළේ 2007 වසරේ ජනවාරියේදීය.
දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා ගේ 91 වෙනි උපන් දිනය වෙනුවෙන් කාර්ලා නිව්යෝර්ක් නුවර ‘රේඩියෝ සිටි මියුසික් හෝල්’ හි ගී ගැයුවාය.
කාර්ලාගේ ‍තෙවැනි ගී කළඹ 2009 වසරේ ඔක්තෝබරයේදී නිකුත් වූ අතර සිවුවෙනි ගී කලඹ නිකුත් වූයේ 2013 අප්‍රේල් මාසයේදීය.
ප්‍රංශ ජනාධිපති බිරිය ලෙස කාර්ලා තම සැමියා සමඟ නිල විදෙස් සංචාරයන් හි නියැළුණාය. ඇය එසේ එක් අවස්ථාවක අමෙරිකාවේ සංචාරයක නියැළෙද්දී, 1997 වසරේ ඇය මෝස්තර නිරූපණ ශිල්පිනියක ලෙස ගත් නිරුවත් ඡායාරූපයක් ක්‍රිස්ටීන් වෙන්දේසි ශාලාවේදී අලෙවි කෙරුණේ ‍ඩොලර් 91,000 ක මුදලකටය. ජනපති බිරියකගේ නිරුවත් සේයාරුවක් එසේ ප්‍රසිද්ධියේ අලෙවි කෙරුණු ප්‍රථම අවස්ථාව එය වූ අතර එම සිද්ධිය ලොව පුරා ඇති කළේ මහත් ආන්දෝලනයකි. ‍‍
කෙසේ වෙතත් සාර්කේසි හා විවාහ වීමට පෙර කාර්ලා ප්‍රකට ගායක මික් ජැගර් ගේත් හිටපු ප්‍රංශ අගමැති ලෝරන්ට් ෆැබිසන්ගේත් පෙම්වතියව සිටි බවද පැවසෙයි.
ඒ හැර තවත් පිරිමින් කිහිපදෙනකුගේ ම නම් ඇගේ නම හා ඈඳී තිබේ. ප්‍රංශය කාර්ලාට නයිට් නාමයක් පිරි නැමුවේ 2003 වසරේදීය. ස්පාඤ්ඤය 2009 වසරේදී ඇයට ග්‍රෑන්ඩ් ක්‍රොස් පදක්කම පිරිනමමින් ගෞරව කළාය.
තවමත් සිය රූමත් බව රඳවාගෙන සිටිය ද කාර්ලා දැන් 47 හැවිරිදිය. ලොස් ඇන්ජලිස් හි පැවැති ප්‍රසංගයෙන් පසු ඇය ජනමාධ්‍යවලට පැවසුවේ වයසට යනවාට තමන් කැමතියි කියායි.
“මම වයසට යන්න කැමැති එය මගේ කටහඬට යෝග්‍ය නිසායි. වියපත් වෙද්දී කටහ‍ඬේ සිදුවන වෙනස්කම් නිසා මට ගායනයේදී නව මාර්ගවල යා හැකි යැයි මා සිතනවා” ඇය පවසන්නීය.
නිකොලස් සාර්කෝසි ඇය සමඟ ලොව පුරා සංචාරය කරනවාදැයි මාධ්‍යවේදියකු විමසූ ප්‍රශ්නයකට ඇය දී ඇත්තේ මෙවැනි පිළිතුරකි.
“එයා මගේ ගී ගායනා අහන්න කැමැතියි අනික දැන් දේශපාලනයෙන් සමු අරගෙන නිසා එයාට වෙන කරන්න දෙයක් ඇත්තේ නහැ.”
එය සත්‍යයකි. දේශපාලකයන්ගේ තනතුරු ඉදිරියට ‘හිටපු’ යන යෙදුම භාවිත කෙරුණ ද කලාකරුවකු කලා කාරියක වෙනුවෙන් එම යෙදුම භාවිත වන්නේ නැත.


0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය