Powered by Blogger.




හෙතෙම "රඟපාන්නට" සිටි අයෙක්‌ නොවේ. ඔහුගේ හත්මුතු පරම්පරාවේම කිසිවකුත් රඟපෑමට එක්‌වීද නැත. ඔහු සංගීත ක්‌ෂේත්‍රයේ කටයුතු කළ අයෙකි. වැඩිමනත් පිරිසක්‌ ඒ ගැන දන්නේ නැත. ඒ මතුද නොව දැන්වීම් ප්‍රචාරක කලාවේද ඔහු ප්‍රවීණයෙකි. අහඹුවක්‌ ලෙස රංගනයට පිවිසෙන හෙතෙම එහි ප්‍රවීණයන් හා එක්‌ව "කරට කර" ම රඟපාන්නේය. ජනප්‍රිය නළුවා සම්මානයෙන්ද ජනාධිපති සම්මානයෙන්ද පුද ලබන්නේය. එතරම් ප්‍රවීණයන් රැසක්‌ මැද කරට කර රඟපාන්නට හැකියාව ලැබෙන්නේ "වාසනාව" නිසා යෑයි ඔහු කියන්නේය. හෙතෙම වාසනාවන්තය... නැතිනම් "ලකී" පුද්ගලයෙකි. එහෙයින්ම ඔහුට "ලකී ඩයස්‌" යෑයි කියමින් "කරට කර" ගැන කතා කරමු.

ප්‍රශ්නය - ඔබ රංගන ක්‌ෂේත්‍රයට පිවිසුණු ආකාරය ගැන කතා කරමු.

පිළිතුර - මගේ පළමු චිත්‍රපටය "අහිංසා" හැබැයි ඊට පෙර මම සුළු චරිත රඟපාලා තිබුණ, සුනිල් ආරියරත්න මහත්මයාගේ වජිරා චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකින් ආවේ අහිංසා...

ප්‍රශ්නය - කවුද, ඒ කාලයේ රංගනයට එකතු වුණු අය...

පිළිතුර - ඒකට මෙහෙම උත්තරයක්‌ දෙන්න වෙනවා. ඇත්තටම මට ලොකුම අභියෝගයක්‌ වුණෙත් ඒ කාලයේ මට රඟපාන්න ලැබුණු අනෙක්‌ ප්‍රවීණයන්ම තමයි. ඒ කියන්නේ මගේ දක්‍ෂකමක්‌ ගැන කියනවා නොවෙයි. මට ඇසුරු කරන්න රඟපාන්න ලැබුණේම ප්‍රවීණ සහ ක්‌ෂේත්‍රයේ දැවැන්තයන්. අද තමයි ඒක කොයි තරම් අභියෝගයක්‌ද කියන එක දැනෙන්නේ.

ප්‍රශ්නය - කවුද ඒ පිරිස..

පිළිතුර - දැන් අහිංසා චිත්‍රපටය ගත්තොත් මාලනී ෆොන්සේකා, නදීකා ගුණසේකර, ජීවන් කුමාරතුංග, මර්වින් ජයතුංග වගේ ප්‍රතාපවත්, සිනමාවේ දැවැන්තයන් සමග තමයි මට රඟපාන්න ලැබුණේ.

ප්‍රශ්නය - ඔවුන් සමග කරට කර රඟපෑවද?.

පිළිතුර - ඇත්තටම කරට කර රඟපාන්න වෙනවා. මගේ යම් අඩුවක්‌ තිබුණා නම් ඒ දැවැන්තයන්ට ඒක අපහසුතාවක්‌ වෙන්න තිබුණා.

ප්‍රශ්නය - මේ කියපු පිරිසට අමතරව.

පිළිතුර - ගීතා කුමාරසිංහ, වීණා ජයකොඩි, සතිස්‌චන්ද්‍ර එදිරිසිංහ, විජය කුමාරතුංග, ජෝ අබේවික්‍රම, ටෝනි රණසිංහ මේ වගේ නම් කියෑවුණු නොකියවුණු බොහෝ දෙනෙක්‌ පහු කරගෙන ඇවිල්ලා අන්තිමට මට සිනමා සක්‌විති, මගේ ජීවිතයේ දැවැන්ත චරිතයක්‌ වන ගාමිණී ෆොන්සේකා මුණගැහුණා.

ප්‍රශ්නය - කොහොමද මේ අය සමග කරට කර රඟපෑමේ අත්දැකීම්...

පිළිතුර - ඒ අය සිනමාවේ විශිෂ්ටයන්. එහි විවාදයක්‌ නෑ. දුෂ්ට නළුවත්, කොමඩි නළුවන් හැටියට නම් දරපු අය පවා එහෙමයි. හැබැයි මට ජෝ අබේවික්‍රම මහතා සමග අංගුලිමාල සහ අවරගිර චිත්‍රපට රඟපාද්දී පොඩි චකිතයක්‌ ඇතිවුණා. හැබැයි අවසානයේ මගේ රඟපෑම් ඔහුගේ පැසසුමට පවා ලක්‌වුණා.

ප්‍රශ්නය - කරට කර රඟපාද්දී අභියෝගයක්‌ වුණේ කාවද?

පිළිතුර - ඇත්තටම මට විශාලම අභියෝගය ආවේ ගාමිණී ෆොන්සේකා මහත්තයා එක්‌ක රඟපාද්දී. ඔහු පෞද්ගලිකවත් මගේ සමීපතම විශිෂ්ටතම ගුරුවරයා වූ පුද්ගලයෙක්‌. ඇත්තටම මාව ගොඩනැගූ එක පුද්ගලයෙක්‌ තමයි ගාමිණී ෆොන්සේකා කියන්නේ. මම ඔහු ළඟට ගියේ චිත්‍රපට සහ ටෙලි නාට්‍ය ගණනාවක රඟපාලා, ජනප්‍රිය නළුවා සම්මානයත් හිමිකර ගත්තාට පසුවයි. මට මතකයි අන්තිම රැය චිත්‍රපටයේ ඔහු මට දේවේන්ද්‍ර සිල්වාගේ චරිතය දුන්නා. ඇත්තටම මට ඒක අදහාගන්න බැරිවුණා. ඒ චරිතය ලියවිලා තිබුණේ ඒ චිත්‍රපටයේ ගාමිණී මහත්තයා රඟපාපු චරිතය අභිබවා යන විදියටයි. හුඟ දෙනෙක්‌ කිව්වා "ඕක ගාමිණී උඹට කරන්න දෙන්නේ නෑ" කියලා. ඒක ඔහු විසින්ම ලියලා ඔහුම අධ්‍යක්‍ෂණය කරපු එකක්‌. කොහොම හරි මේ චිත්‍රපටය රෑගත කිරීම් අවසන් වෙලා එදා මට කිව්වා "තමුසේ (ඒ ඔහු කතා කරන විලාශය) මේ ෆsල්ම් එකෙන් සම්මානයක්‌ ගත්තේ නැත්නම් මම ආයේ ෆsල්ම් කරන්නේ නෑ" කියලා. ඇත්තටම මට ජාත්‍යන්තර සම්මානයක්‌ ඒ රඟපෑමට හිමිවුණා. කරට කර රඟපෑම ගත්තොත් මට ඒ අවස්‌ථාව අමතක කරන්නම බෑ. කෙසේ හෝ මම පටන් ගත්ත තැන ඉඳලම මට තියෙන්නේ කරට කර රඟපෑම ගැන අත්දැකීම්.

ප්‍රශ්නය - ටෙලි නාට්‍ය ක්‌ෂේත්‍රයෙත් ඔබට එහෙම අත්දැකීම් තියෙන්න පුළුවන්.

පිළිතුර - අනිවාර්යයෙන්ම.

ප්‍රශ්නය - යශෝරාවයේ බලදේවගේ චරිතය ගැන මොකද හිතෙන්නේ...

පිළිතුර - මම මුලින් කිව්වා වගේ හැම ක්‌ෂේත්‍රයකදීම මට රඟපාන්න ලැබුණේම දැවැන්තයන් එක්‌ක ප්‍රවීණයන් එක්‌ක. යශෝරාවයේ ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර, අයිරාංගනී සේරසිංහ එක්‌ක රඟපාන්න ලැබෙනවා කියන එක මට අදහා ගන්නත් බැරිවුණා. ගාමිණී හෙට්‌ටිආරච්චි, එච්. ඒ. පෙරේරා, අමිත්ත වීරසිංහ, ගීතා කාන්ති ජයකොඩි, රත්නා ලාලනි ජයකොඩි, රිචඩ් ද සොයිසා ඒ අය එක්‌ක තිබ්බම මම කවුද? ඒත් යශෝරාවයේ බලදේවගේ චරිතයට හරියටම පණ දෙන්න මට පුළුවන් වුණා.

ප්‍රශ්නය - කොහොමත් "බලදේව" කියන්නේ කතා නායකයා... ඔහු ප්‍රධාන චරිතය, ඒ හින්දා ඔබේ චරිතය ජනප්‍රිය වෙන්න ඒක බලපෑවා කිව්වොත්...

පිළිතුර - නෑ... අර තරම් දැවැන්තයන් පිරිසක්‌ අතරේ ක්‌ෂේත්‍රයට පය ගහපු ගමන් ප්‍රධාන චරිතයක්‌ දුන්නාම ඒක දැනෙන විදියට කරට කර රඟපෑවේ නැත්නම් කීයටවත් ඒක ප්‍රේක්‍ෂකයා අතරට යන්නේ නෑ.

ප්‍රශ්නය - ඔබ කොමඩි, සටන් ජවනිකා ආදියටත් එක්‌ වුණා.

පිළිතුර - පැහැදිලිවම. ඒ අවස්‌ථාවලත් මම ඒ ඒ ක්‌ෂේත්‍රවල දැවැන්තයන්, ප්‍රවීණයන් අතර මගේ තැන ආරක්‍ෂා කරගන්න සමත් වෙලා තියෙනවා. උදාහරණයක්‌ හැටියට යර්ස්‌ බොස්‌ ටෙලි නාට්‍යයේ "විජය නන්දසිරි" කියන්නේ ප්‍රහසනයේ රජු වගෙයි. ඒත් මට ඔහු සමග කරට කර රඟපෑමේ අවස්‌ථාව උදාවුණා.

ප්‍රශ්නය - ඔබට මෑත භාගයේ එහෙම කරට කර රඟපෑමේ අවස්‌ථා ලැබුණාද?

පිළිතුර - මම කොහොමත් අවුරුද්දකට එක නිර්මාණයයි බාර ගන්නේ. කලාතුරකින් ඒක දෙකක්‌ බවට පත්වෙනවා. මෑත භාගයේ මම ජයන්ත චන්ද්‍රසිරිගේ "මහරජ ගැමුණු" හා ඇහැලේපොල කුමාරිහාමි යන සිනමා පටවලට සම්බන්ධ වුණා. ඒ නිර්මාණ දෙකේමත් මට රඟපාන්න ලැබුණේ ක්‌ෂේත්‍රයේ ප්‍රවීණතම උදවිය සමග. ඒක කරට කර රඟපෑමක්‌ද කියන්න මට තේරෙන්නේ නෑ. හැබැයි මගේ කොටසට මම සාධාරණය කළා. කොහොමත් මට ආපහු කියන්න තියෙන්නේ අපි ලව් සීන් කළා, කොමඩි කළා, ෆයිට්‌ සීන් කළා... හැබැයි එක තැනකදීවත් ෆේල් වුණේ නෑ. ඒ කරට කර රඟපාපු නිසා තමයි·

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය