Powered by Blogger.

අවුරුදු දහස්‌ ගණනක්‌ තිස්‌සේ ජන සාහිත්‍යයෙන් අප හමුවන්නීය. බණ මඩුවටද ආවාය. ගැමි නාටකයටද ආවාය චලන චිත්‍රයේද චරිතයක්‌ වූවාය. ඒ ඇවිත් ඕ... තම අතිශයීය අනුවේදනීය කතා පුවත දිග හැරියාය.

මා කය වෙලා දවා අළු කළ

රාගයේ සෝ සුසුම

කඳුලැලිව හැඬූ ගඟ

දෙගොඩවෙලා, දෙබෑකර

මා නික්‌මුණ සසරේ...

භව තණ්‌හා සසරේ...



අපට කියන්නටත් කලින් ඈ මේ කතාව කීවේ... තිලෝගුරු බුදු පියාණන් වහන්සේ හමුවේය. ආදරය නිසා ඈ සිතට බිය ඉපදුනාය. ආදරය නිසාම ඈ ශෝකයටද පත්වූවාය. අවසන ඈ ආදරයෙන් මිදුනාය. ශෝකය බිය ප්‍රහීන කළාය. ආදරයේ මිහිරත්, විප්‍රයෝගයේ වේදනාවත් විඳි ඕ අවසන ලෝකෝත්තර සුවය ලැබුවාය.

එදා සසර කතරේ අතරමං වූ මේ ගැහැනිය ජීවිතයේ සුන්දරත්වයත්, මිහිරත්, දුක හා වේදනාවත් අවසානයේදී යථාර්ථයත් එකසේ පසක්‌ කරගත් ධෛර්ය සම්පන්න ස්‌ත්‍රිය පටාචාරා නෘත්‍ය නාටකයක්‌ ලෙසින් අද අප දැස්‌ මානයට පැමිණ සිටින්නීය.

පටාචාරා සැවැත්නුවර සිට කොළඹ නෙළුම් පොකුණට පළමුව පා තැබුවේ පසුගිය ජනවාරියේදීය. මාස හතරක්‌ ඉක්‌ ගිය තැන ඕ යළි අප සොයා එන්නීය. ඒ මේ මස 10, 11 යන දිනවලදීය. ඒද නෙළුම් පොකූටනමය. සවස 6.30 ටය.

"පටාචාරා" අධ්‍යක්‍ෂණය කරන්නී ජානකී හිල්ය. අරකවිල ග්‍රාමයේ සිට කොළඹට එන ජානකී කලාකාරියක වීමේ පසුබිම ගොඩනඟා ගන්නීය. නර්තනයේ මෙන්ම රංගනයද හදාරමින් දක්‍ෂ කලා ශිල්පිනියක වීමට මඟ පාදා ගන්නා ජානකීගේ ජීවන ගමන වෙනස්‌ වන්නේ එවක ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිව සිටි පීටර් හිල් හමුවීමෙනි. ජානකී පීටර් විවාහවෙති. හිල් අද ජානකී හිල් වන්නේ එතැන් සිටය. ඕ ඉන්පසු ජාත්‍යන්තර තලයේ අධ්‍යක්‍ෂණය ලබන්නීය. යළි තමන් ඉපිද හැදුණු වැඩුණු අරකාවිල ගම්මානයට එන ඕ ධනයත් ශ්‍රමයත් කාලයත් වැය කරන්නේ ගමේ දරුවන්ගේ කලා හැකියාවන් ඔප් නැංවීමටය. ඈ තම ධනයෙන් ගමේ අක්‌කර දෙකක භූමි ප්‍රමාණයක්‌ මිලට ගෙන ඉතා අලංකාර නාට්‍යාගාරයක්‌ ගොඩනංවන්නී ගමේ දරුවන් උදෙසාය. එතැන් සිට රටේ නමගිය කලාකරුවන් මෙන්ම විදෙස්‌ ශිල්පීන්ද සහභාගි කරවා ගනිමින් දරුවන්ගේ රංගන නර්තන හැකියාවන් වැඩි දියුණු කරන ඕ ඒ දරුවන්ගේ නිර්මාණ එක්‌සත් රාජධානියේ එඩින්බරෝ උළෙල වෙතද ගෙන යන්නීය. පීටර් හිල් අද එමිරේට්‌ස්‌ ගුවන් සේවයේ ජපානයේ ප්‍රධාන විධායක නිලධාරියාය. අරකවිල නර්තන හා නාට්‍ය පදනම වෙනුවෙන් පීටර් සමග එක්‌ව ජානකී නිර්මාණය කරන දෙවැනි නිර්මාණය "පටාචාරාය"

හට ගැන්ම නැති වීම භව සසරේ

නොදැන මේ දිවි ගමනේ

කය දවන රාග පාෂයේ

උණුසුම් පොදට ලොල් බැඳ හඬන

පටාචාරා...

සිත එක තැනක, කය අන්තැනක

එදෙස හැරෙන්නට, බවුන් වඩන්නට

පමාවුණේ ඇයි පටාචාරා සළු උනා දමන්නී....

මේ අපි අසා තිබෙන පටාචාරා කතා වස්‌තුවමද ජානකී හිල් හමුවී අපි ඇසුවෙමි.

ඔව්... බීජය එකයි. ඒත් එය අපූර්ව ලෙස ඉදිරිපත් කරනවා. රංගනයට නර්තනයත් සංකලනය කරලා. නරඹන්නාට හැඟේවී එදා සැවැත්නුරවට ගියා වගේ හැඟීමක්‌. ගොයම් ගස පවා අපි මිනිස්‌ සිරුරෙන් නිර්මාණය කරනවා. විශාල මාළිගාවක්‌ සත්තු පවා මිනිස්‌ සිරුරු ඒකාකාරී බවින් මිදෙන නිර්මාණයක්‌. මේ වෙනස දකින්න නම් පටාචාරා නාට්‍යය බලන්නම ඕනෑ. අපි මින් පෙර ජනවාරි මාසයේ පටාචාරා ප්‍රදර්ශනය කළා. ඉන්පසු දෙස්‌ විදෙස්‌ ප්‍රේක්‍ෂකයන්, සරසවි සිසුන් බලවත් ලෙස ඉල්ලීම් කළා යළි "පටාචාරා" රඟ දක්‌වන්න කියලා. ඒ නිසා තමයි අපි යළි "නෙළුම් පොකුණට" එන්නේ.

ඇයි නෙළුම් පොකුණම. වෙනත් ශාලාවල පටාචාරා පෙන්වන්න බැරිද. අපේ ප්‍රශ්නයට ඇය පිළිතුරු දුන්නේ මේ ආකාරයටයි.

සාමාන්‍ය ශාලාවල පෙන්වන්න පුළුවන්. ඒත් පසුතල දර්ශන හැදුවේ නෙළුම් පොකුණටමයි. අඩි පනස්‌ දෙකක්‌ දිගයි මාළිගාව.

සාමාන්‍ය ප්‍රේක්‍ෂකයාට පටාචාරා බලන්න අමාරුයි. නෙළුම් පොකුණේ ප්‍රවේශ පත්‍ර මිල අධිකයි. ඒක අසාධාරනයක්‌ නොවේදැයි අපි යළි ඇගෙන් ඇසුවෙමු.

මම හිතන්නෙ නෑ අපේ ගමේ අයත් පහුගිය දවස්‌වල කුමාර් සානුගේ යානිගේ ප්‍රසංගය බලන්න ගියා. රුපියල් 25000 ට, රුපියල් 10,000 ට ප්‍රවේශපත්‍ර අරගෙන. ඇයි එහෙම නම් අපේ රටේ නිර්මාණයක්‌ බලන්න බැරි රුපියල් 1000 ක්‌ වියදම් කරලා. ජෝන් ද සිල්වා රඟහල තිබුණා නම් අඩුවෙන් කරන්න තිබුණා. නෙළුම් පොකුණේ එක දර්ශනයකට රුපියල් 840,000 ක්‌ ගෙවන්න ඕනෑ. පුහුණුවීම් වලට පැයකට රුපියල් 120,000 යි. පුහුණුවීම් කරන්නට පැය හත අටක්‌ ඕනෑ. නාට්‍යයේ ඇඳුම්වලට, පසුතල නිර්මාණවලට දැවැන්ත වියදමක්‌. අපේ පළමු දර්ශනයටම රුපියල් ලක්‍ෂ 90 ක්‌ වැය වුණා. අපි දැනගෙන කළේ ඒ මුදල හොයාගන්න බැරි බව. මෙවර මූලික වියදම් නෑ. ඒත් රුපියල් ලක්‍ෂ පනහක්‌ විතර වියදම් වෙනවා. කුමාර් සානු, යානි බලන්න යන අයට ඇයි පටාචාරා බලන්න බැරි.

මේ තරම් විශාල මුදලක්‌ වැය කරන්න තරම් ආයෝජකයෝ අපේ නාට්‍ය ක්‍ෂේත්‍රයේ සිටීද... ප්‍රශ්නයටත් ජානකී පිළිතුරු දුන්නාය.

"මේ හැම සතයක්‌ම වියදම් කළේ පීටර්. පීටර් අපේ කලාවට හරිම ආදරෙයි.

"පටාචාරා" සමග රංගනයෙන් එක්‌වන ශිල්පීන්වද ඇය හඳුන්වා දුන්නාය.

රුක්‌සලා මැද්දෙගොඩ, "පටාචාරා"ගේ චරිතය රඟපනවා. රුක්‌සලා අපේ අරකවිල නර්තන හා නාට්‍ය පදනමේ නර්තනාචාර්යවරිය. ධාරකගේ චරිතය රඟපාන්නේ කපිල පළිහවඩන. ඔහු අපේ රටේ සුප්‍රසිද්ධ බැලේ නර්තන ශිල්පියෙක්‌. සිතුමිණගේ චරිතය දර්ශන මැද්දෙගොඩ රඟපානවා. ධාරකගේ පියා ලෙස මහාචාර්ය ලයනල් බෙන්තරගේ මහතා රඟපානවා. ඔහු සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක්‌. පහතරට නර්තන සම්ප්‍රදාය ගෙන යන අවසන් පුරුක්‌ කිහිපයෙන් කෙනෙක්‌. දේවිය ලෙස කෝසලා මැද්දෙගොඩ රඟපානවා. ඇයත් අපේ පදනමේ නර්තනාචාර්යවරියක්‌. ඊට අමතරව ප්‍රියන්ත අංහෙට්‌ටිගම, ටෙෂානි සෙහස්‌නා, කවිඳු නර්ථන්, යෂ්මි එලීසා, අකිල මධුභාෂ්, දිනේෂ් එදිරිසිංහ, ටකේෂි දෙව්මිණි ඇතුළු එකසිය පනහක්‌ රඟපානවා.

මේ අය අතර අපේ අරකවිල නර්තන හා නාට්‍ය පදනමේ ශිල්පීන් 120 ක්‌, නටන්ඩා ඩාන්ස්‌ තියටර්හි ශිල්පීන් 14 ක්‌, ශ්‍රී ලාල් රංගායතනයේ ශිල්පීන් 18 ක්‌ සිටිනවා.

මේ ශිල්පීන් අතර බහුතරය දරුවන්. දරුවන් සමග වැඩ කිරීම අභියෝගයක්‌ නොවේද?

නෑ... මම හිතන්නේ ඒක ලොකු අභියෝගයක්‌ නොවේ. දරුවන්ව පාලනය කරන්න පහසුයි. විනෝදෙන් වැඩ කරනවා නම් සාර්ථකව කළ හැකියි.

"පටාචාරා" සංගීතයේ විශේෂත්වයක්‌ තියෙනවා?

ඔව්... සංගීතය පුදුම ආලෝකයක්‌ වුණා. ඉන්පසු සංගීත අධ්‍යක්‍ෂ නීතින් කුමාර් ගුප්තා සහ ජෙයිසන් ඡේ ප්‍රේම්, හරියා, ජයදේවන් යන ඉන්දීය ශිල්පීන් සංගීතය සැපයුවා. මේක ඉන්දියානු කතා වස්‌තුවක්‌. සමහර සංගීත භාණ්‌ඩ අප සතුව ඇත්තෙත් නෑ. ඊට අමතරව මේ නිර්මාණයේ තියෙනවා සත්තුන්ගේ දර්ශන. ඒවා වන්නම් ආශ්‍රීතව ගොඩනැඟුවා. අපේ සම්ප්‍රදායික නැටුම් යොදා ගත්තා. එහිදී අපේ සංගීතය යොදා ගත්තා. මගේ සෙdහ්දරයා ඇතුළු එදිරිසිංහ සහ පබළු එරංග ඒ සඳහා සංගීතය සැපයුවා. නර්තන නිර්මාණය මමත්, රුක්‌සලා මැද්දේගොඩ, කපිල පළිහවඩන සහ ශ්‍රී ලාල් පෙරේරා විසින් සිදු කළා. නෘත්‍ය නර්තන අනුර ද සිල්වා සමග මා සිදු කළා. සමන්ත පෙරේරා ගී ගැයුවා. ඇඳුම් නිර්මාණය සම්පත් සංජිව, ඇඳුම් සම්බන්ධීකරණය නීතිනි පිනිපා, පසුතල දර්ශන මධුර හසන්ත, වේෂ නිරූපණය කළේ නාරද දනන්ජි තොටගමුව. නිෂ්පාදන කළමනාකරු නිලන්ත සංජිව. තව බොහෝ අය සම්බන්ධයි. ඔබ දකින නිශ්චල ඡායාරූප ලේඛා එදිරිසිංහගේ. අපේ පළමු දර්ශනය නැරඹූ ප්‍රභූ පිරිස ප්‍රකාශ කළා චිත්‍රසේනගේන් පසු එවැනි නිර්මාණයක්‌ යළි දුටුව බව. රවිබන්දු විද්‍යාපති, මහාචාර්ය ජයසේන කෝට්‌ටේගොඩ, මහාචාර්ය ආරියරත්න කළුආරච්චි, මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක, ප්‍රවීණ ශිල්පිනී අනෝජා වීරසිංහ යන අය "පටාචාරා" නරඹලා ප්‍රසාදයෙන් කතා කළා. නොබැලූ අය කතා කරලා අහනවා ආයේ කවදාද කරන්නෙ කියලා. ඒ හින්දා තමයි මේ මාසේ 10, 11 හවස 6.30 ට අපි ආයෙත් නෙළුම් පොකුණට එන්නේ.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය