Powered by Blogger.

cctvකළුතර පැත්තේ දේවස්ථානයක පූජකවරයකු ලෙස කටයුතු කරන මොහොමඩ් නස්රික් සිය බිරිඳ ෆාතිමා මුජියාත්, දියණිය සහ බිරිඳගේ සහෝදරයාත් සමග දෙහිවල ඔවුන් පදිංචිව සිටින නිවසින් ඉකුත් අප්‍රේල් 27 වෙනිදා උදෑසනින්ම එළියට බසින්නේ පූජාපිටිය බලා යන බස් රථයකට ගොඩවීමට සූදානමින් කොළඹ යන්නටය.  කොළඹ කොටුව බලා ගමන් ගත් බස් රථයකට දෙහිවලින් ගොඩවන ඔවුන්  පිටකොටුව  මධ්‍යම බස් නැවතුම්‍පොළ අසලින් බැස ගන්නේ බැස්ටියන් මාවතේ ඇති පෞද්ගලික බස් නැවතුම්‍පොළ වෙත යන්නට සිතාගෙනය.
එවිට වේලාව අලුයම හතරයි පහළොවට පමණ ඇත. මධ්‍යම බස් නැවතුම්‍පොළ අසලින් බස් රියෙන් බැසගත් ඔවුහු පදික වේදිකාවට ගොඩ වී ගුණසිංහපුර හන්දිය දෙසට මද දුරක්  පා ගමනින් ආවෝය. ඒ පාර හරහා  මාරු වීමට කහ ඉරක් සොයාගෙනය. මාර්ගය හරහා යන්නට ඔවුන් තීරණය කරන්නේ ගුණසිංහ පුර හන්දියේ ඇති කහ ඉරෙනි. ඒ එම කහ ඉරෙන් පාර හරහා ගිය පසු කෙළින්ම බැස්ටියන් මාවත බස් නැවතුම්‍පොළට ඇතුළුවීමට හැකි නිසාය.
විදුලි ආලෝක සංඥාවලින්ද සමන්විත එම පදික මාරුවේ ඉදිරියෙන්ම මාර්ගය හරහා  ගමන් කරන්නට වූයේ බිරිඳගේ සහෝදරයාය. නස්රික්ගේ බිරිඳ ෆාතිමා සිටියේ ඔහුට පිටුපසිනි. නස්රික් සිටියේ ෆාතිමාට වම්පසින් දියණියද සමගිනි.
කොළඹ කොටුව  පැත්තේ සිට සුදු පැහැති  සුඛෝපභෝගී ජීප් රථයක් පාර පුරා යමින් වේගයෙන් ඉදිරියට  ඇදෙන්නට වූයේ ඔය අතරතුරදීය.
කිසිවකුට කිසිවක් සිතාගන්නට ඉඩක් නොවීය. වේගයෙන් පැමිණි ජීප් රථය කහ ඉර මත සිටි ෆාතිමාගේ ඇඟේ ගැටුණේය. ඒත් සමගම ඇය මීටර් දහයක් පහළොවක් ඈතට උඩින් විසිවී ගොස් කපා හෙලූ ගසක් සේ බිම ඇද වැටුණාය. නමුත් ජීප් රියේ  රියැදුරා ඒ ගැන කිසිදු තැකීමක් කළේ නැත. ආ වේගයෙන්ම එහාට මෙහාට පැද්දෙමින් බිම වැටී සිටි ගැබිනියද යට කරමින් ඒ පැමිණි වේගයෙන්ම පලා යන්නට විය. ඒ ඇයගේ අවසන් හුස්ම ‍පොද මහ පාරේදීම වාතලයට මුසු කරමිනි. 
accident-cam1පැය විසි හතර පුරා කොළඹ නගරය ආරක්ෂක සී.සී.ටී.වී කැමරා මගින් නිරීක්ෂණය කළද, එමෙන්ම ඒ අසල ඇති ආරක්ෂක කැමරාවක මෙම අනතුර පටිගත වී තිබුණද එකී ජීප් රථයේ අංකය නම් එහි පැහැදිලිව සටහන්ව තිබුණු බවක් දක්නට නොවීය. මෙම මාරක රිය අනතුර තවත් එක් හප්පා පලායාමක් ලෙස ‍පොලිස් ‍පොත්වල ලියැවෙන්නට වූයේ ඒ සමගිනි.  
පූජාපිටියට යන්නට බස් රථයකට ගොඩවීමේ අපේක්ෂාවෙන් පිටකොටුවට පැමිණි ෆාතිමාගේ  ඉරණම එසේ සුඛෝපභෝගී ජීප් රථයක් පැදවූ රියැදුරෙකු විසින් තීරණය කරනු ලබන විට ෆාතිමා පස් මස් ගැබිනියක වූවාය. එම රිය අනතුර කෙරෙහි ‍පොලීසියේ විශේෂ අවධානයක් යොමුවන්නේ ඒ නිසාමය.
රථ වාහන අංශය භාර නියෝජ්‍ය ‍පොලිස්පති අමරසිරි සේනාරත්න මහතාගේ  උපදෙස් පරිදි පරීක්ෂණ කටයුතු පැවැරෙන්නේ පිටකොටුව ‍පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති උප ‍පොලිස් පරීක්ෂක වීරසිංහටය. පස් මස් ගැබිනි මවක් වූ  ෆාතිමාව  කහ ඉරේදී යටකර  මරා දමමින් පලා ගිය ඒ සුඛෝපභෝගී වාහනය හඹායාමේ අභියෝගය භාරගත් වීරසිංහ  තමන් යටතේ සේවයේ නියුතු කොස්තාපල්වරුන් වන රත්නායකත්, ධනුෂ්කත් සමග එක්ව මුලින්ම පරීක්ෂාවට ලක්කරනුයේ එම වාහනය පලා යන්නේ කුමන දිශාවටදැයි කියාය. ඒ සඳහා කොළඹ නගරයේ සවිකර ඇති ආරක්ෂක කැමරාවල පටිගත වන  දර්ශන යොදාගන්නට ඔවුහු  වගබලා ගත්හ. එය තරමක් වෙහෙසකාරී විමර්ශනයක් වුවත් එකී සුඛෝපභෝගී රථය මරදානේ ටෙක්නිකල්  හන්දිය පසුකර පංචිකාවත්ත වටරවුමින් වමට හැරී ආමර්වීදිය හන්දියට පිවිස එතැනින් සිරිමාවෝ බණ්ඩාරනායක මාවත ඔස්සේ ගොස්  නව කැලණි පාලමෙන් කොළඹින් පිටව ගිය බව හෙළිවන්නේ එහිදීය.  කැලණි පාලමෙන් කොළඹින්  පිටතට යන ජීප් රථය ඇතුළු වන්නේ කටුනායක - කොළඹ අධිවේගී  මාර්ගයටය. 
accident-cam2අධිවේගී මාර්ගයට ජීප් රථය ඇතුළු වුවත් එය කටුනායක හෝ ජාඇල  පිවිසුම්වලින් පිටතට ගිය බවක් අධිවේගී මාර්ගයේ  ආරක්ෂක කැමරා පිරික්සීමේ දී පෙනී ගියේ නැත. ඒ අනුව වීරසිංහ ඇතුළු නිලධාරීන්ට පැහැදිලි වූයේ අධිවේගී මාර්ගයේ නොමි‍ලේ ගමන් කිරීමට පහසුකම් සලසා ඇති කොටසේ ජීප් රථය ගමන් කර ඇති බවයි. එම මාර්ග කොටස ආරක්ෂකකැමරාවලින් ආවරණය නොවන බැවින් ජීප් රථයේ ඉදිරි ගමන ගැන නිසි තොරතුරක් නොවීය. ඒ නොමිලයේ ගමන් කරන කොටසින් කොළඹ- මීගමුව මාර්ගයටත්, කොළඹ- මහනුවර මාර්ගයටත් ගමන් කිරීමට හැකියාව ඇති බැවිනි.
එය එසේ යැයි කියා කහ ඉරක් මත ෆාතිමාව හප්පා මරා දමමින් පලාගිය ඒ රියැදුරු නීතිය හමුවට ගෙන ඒමේ උත්සාහය ලෙහෙසියෙන් අතහැර දමන්නට වීරසිංහ ඇතුළු නිලධාරීන් සූදානම් වූයේ  නැත. ඒ නිසා ඔවුන් ඊළඟට තීරණය කළේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ සහය පතන්නටය. ඒ මෙරට ලියාපදිංචි කොට ඇති, අදාළ වර්ගයට අයත් සුදු පැහැති සුඛෝපභෝගී රථවල අංක ලබාගෙන එහි ලියාපදිංචි හිමිකරුවන් සොයා යාමේ අරමුණිනි. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ දත්තයන්වලට අනුව එම වර්ගයට අයත් සුදු පැහැති සුඛෝපභෝගී ජීප් රථ පන්සියයකට වඩා ඒ වන විට ලියාපදිංචි වී තිබුණේය. එම වාහනවල ලියාපදිංචි හිමිකරුවන් සොයා යමින් වීරසිංහ  ඇතුළු නිලධාරීන් ෆාතිමාගේ මරණයට වගකිවයුතු පුද්ගලයා ලුහුබඳින්නට පටන් ගැනීමත් සමග විවිධ පුද්ගලයන් ඉහළ ‍පොලිස් නිලධාරීන්ගෙන් එම අනතුර  ගැන තොරතුරු හාරා  අවුස්සන්නට  ගන්නේ වාහනය බලවතෙකුගේ හෝ සමාජයේ ඉහළ ස්ථරයක සිටින්නෙකුගේ විය හැකි බවට සැක මතු කරමිනි.
ඒ වන විටත් වාහනය ගැන නිශ්චිත තොරතුරක් ‍පොලීසිය සතු නොවූවත් උපක්‍රමශීලීව ඒ සෑම  විමසුමකටම පිළිතුරු දෙන්නට වූයේ “අපි සියල්ල සොයාගෙන හමාරයි. අද හෙටම සැකකරුවන් අත්අඩංගුවට ගන්නවා” යනුවෙන් පවසමිනි.  ඒත් සමග එම අනතුර ගොඩින් බේරා  ගැනීමටද විවිධ පාර්ශ්ව අදහස් ගෙන එන්නට විය. ‍පොලීසිය එහිදීද උපක්‍රමශීලී විය. දින අටක් නමයක් තිස්සේ යම් ස්ථානයක සඟවා තිබුණු ජීප් රථය  එළියට එන්නේ ඒත් සමගිනි. ඒ කිරිබත්ගොඩ පැත්තේ පිහිටි සුඛෝපභෝගී නිවසක් ඉදිරිපිටිනි. වාහනය එහි ඇති බව දැනුම් දෙන්නේ ගොඩින් බේරාගැනීමට ‍පොලීසිය සමග ‘ඩීල් ගසන්නට’ පැමිණි අයෙකි.  
වාහනය දමා යන්නේ  වෙන කිසිවෙකුගේ නිවසක් ඉදිරිපිට නොව, එදා ෆාතිමාව යටකරගෙන වාහනය පදවාගෙන ගිය රියදුරා යැයි සැක කරන පුද්ගලයාගේ නිවස ඉදිරිපිටමය. එකී පුද්ගලයා මෙරට ප්‍රමුඛ පෙළේ රෝහලක ආරක්ෂක
අංශයේ අධ්‍යක්ෂවරයෙකි. රාත්‍රී සමාජ ශාලාවක සිට බිමත්ව තවත් කිහිප දෙනකු සමග ගමන් කරමින් සිටියදී සිදුවූ බව හෙළි වී ඇති එම අනතුර පිළිබඳ වගකීමෙන්  බේරෙන්නට ඔහු ඒ වන විටත් සිටියේ රටින් පලා ගොසිනි. ඒ සිංගප්පූරුවටය.
රටින් පලා යන විට ඔහු ජීප් රථය මිතුරෙකුට භාර දී ඇතැයිද අනාවරණය වී ඇත. ඒ අන් කිසිවක් සඳහා නොව ජීප් රිය කොහේ හෝ සඟවා තැබිම සඳහාය. ‍පොලීසිය සමග ගොඩින් මේ කටයුත්ත බේරා ගැනීමට උත්සාහ දරා ඇතැයි කියැවෙන්නේ එම මිතුරාය. ඒ ඔහුගේද මිතුරෙකු මගිනි. ජීප් රථය සැඟවූ තැනින්  එළියට එන්නේ ඒ අනුවය.
තවමත් තනිකඩ ජීවිතයක් ගත කරන බව පැවසෙන රෝහල් ආරක්ෂක අධ්‍යක්ෂවරයාගේ පවු‍ලේ සහෝදර සහෝදරියන් සහ ඥාතීන්  සිටින්නේ යුරෝපීය රටවලය. කිරිබත්ගොඩ නිවසේ ඔහු රැඳී සිට ඇත්තේ තනිවමය. ඒ පියාගේ අභාවයෙන් පසු මවද පිටරට  සිටින සහෝදරියක් ළඟට ගොස් ඇති  බැවිනි.
ෆාතිමාව යටකර ඇයව මරා රටින් පලා ගිය බවට සැක කරන මෙම රෝහ‍ලේ ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂවරයාට එරෙහිව ජාත්‍යන්තර ‍පොලීසිය මගින් රතු නිවේදනයක් නිකුත් කිරීමට අවශ්‍ය මූලික පියවර පවා ‍පොලීසිය ගත්තේය. යම් හෙයකින් රතු නිවේදනයක් නිකුත් වුවහොත් ලෝකයේ කොහේ සිටියත් බේරිල්ලක් නැති බව වටහාගත් නිසාදෝ 09 වෙනිදා උදේම ඔහු නැවත ලංකාවට ආවේය. එසේ පැමිණ ‍පොලීසියට භාර වූයේ තවදුරටත් සැඟවී සිටීමෙන් ඵලක් නොවන බැවිණි.
‍පොලීසිය දැන් උත්සහා දරන්නේ ඔහුට එරෙහිව උපරිමයෙන් නීතිය ක්‍රියාත්මක කොට නිසි දඬුවම් ලබාදෙමින් ෆාතිමාට සාධාරණයක් ඉටුකර දෙන්නටය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය